Home » හොඳ අවස්ථා ලැබුණම අපරාදේ ඒ දේවල් මිස් කර ගන්නෙ

හොඳ අවස්ථා ලැබුණම අපරාදේ ඒ දේවල් මිස් කර ගන්නෙ

by mahesh
September 9, 2023 12:11 pm 0 comment

 රංගනය ගැන අධ්‍යයනය කරමින් මගේ ගමන යන්න උත්සාහ කරනවා

– මට රඟපාන්න ඕනේ කියන අදහසක් තිබුණේ නැහැ

ශෙරංගි නටාෂා මුලින්ම අපිට සමීපවන්නෙ නිරූපිකාවක් ලෙසින්. නිරූපණ ක්ෂේත්‍රයට පිවිස පසුව රංගනයට ආ නටාෂා මේ දිනවල ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන ෆෝචූන් රෙසිඩන්සි තුළින් ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ නතාෂාගේ චරිතයෙන්. රසඳුන මේ කතාබහ ශෙරංගි නටාෂා සමඟින් නතාෂා ගැන වගේම කලා ලොවේ ඉදිරි කටයුතු ගැන

අපිට මුලින්ම නටාෂා ගැන කිව්වොත්?

මගේ පවුලේ මට ඉන්නෙ අම්මා තාත්තා නංගි සහ මල්ලි. මම පාසල් ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. මගේ පදිංචිය හෝමාගම.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ?

මම මුලින්ම සම්බන්ධ වෙන්නෙ නිරූපණ ක්ෂේත්‍රයට. දැන් අවුරුදු දෙකක් විතර වෙනවා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා. ගිය අවුරුද්දේ දෙරණ අවුරුදු කුමාරි වුණාට පස්සෙ තමයි මට රංගනයට ඇරයුම් ලබුණේ.

පාසල් කාලයේ නටාෂා කොයි වගේ ළමයෙක් ද?

ඒ කාලේ මට ඉගෙනුමටත් දක්ෂතා තිබ්බා. ඒ වගේම ටිකක් දඟකාර චරිතයක්. ඒ නිසා පාසල් කාලයේ දඟ වැඩත් කළා.

නංගි සහ මල්ලි කෙනෙක්නේ ඉන්නව කිව්වෙ, ගෙදරත් දඟම නතාෂා ද?

නැහැ. ගෙදරදි මම බොහොම පාඩුවේ නිහඬව මගේ කටයුතු කරගෙන ඉන්න චරිතයක්.

නිරූපණ ක්ෂේත්‍රයට එනවට ගෙදරින් කැමති වුණා ද? අකමැති වුණා ද?

මුලින්ම නම් කැමති වුණේ නැහැ. අම්මත් එක්කමයි මම හැම වැඩකටම යන්නේ. දැන් එයාලටත් අදහසක් තියෙනවා ක්ෂේත්‍රය ගැන. ඒ නිසා දැන් ලොකු අවුලක් නැහැ.

අද වෙද්දී ගොඩක් අය අවුරුදු කුමාරි තරගවලට යන්නෙ රංගනයට එන්න තියෙන ආසාවට, නතාෂාත් එහෙමද?

අනේ නැහැ. මට රඟපාන්න ඕනේ කියන අදහසක් තිබුණේ නැහැ. රඟපාන්න අවස්ථාවක් බලාගෙන නෙවෙයි අවුරුදු කුමරි තරගයට ගියේ. ඒත් හොඳ අවස්ථාවන් ලැබුණම අපරාදේනේ ඒ දේවල් මිස් කර ගන්නෙ. ඒ හින්ද තමයි රඟපාන්න ආවේ.

මේ වෙද්දී අධ්‍යාපන කටයුතු අවසන් කරලා ද ඉන්නෙ?

ඔව්. අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඉන්නේ. දැන් මගේ මුළු කාලයම කලාවට වෙන් කරලා ඉන්නෙ.

පුංචි කාලේ ආස කළේ කවුරු වෙන්න ද?

නැටුම් ගුරුවරියක් වෙන්න තමයි මම කැමැත්තෙන් හිටියේ. එ් ආසාව නිසාම මම උසස් පෙළින් පස්සෙ පෙර පාසල් ගුරුවරියක් විදියට අවුරුද්දක් විතර වැඩ කළා. ඔය අතරේ කොරෝනා ආවා. ආයේ මොඩ්ලින් කරන්න පටන් ගත්තා. දැන් ඉතින් මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන එක තමා බලාපොරොත්තුව.

මුල්ම නිර්මාණය ද ෆෝචූන් රෙසිඩන්සි කියන්නේ?

මුලින්ම රඟපෑවේ සාලින්ද රත්නායක අයියාගේ නිර්මාණයක. ඒක බොහෝදුරට ඉදිරියේදී දෙරණ නාළිකාවෙන් විකාශය වේවි. මුලින්ම විකාශය වෙන නිර්මාණය වෙන්නෙ ෆෝචූන් රෙසිඩන්සි.

කොහොමද ෆෝචූන් රෙසිඩන්සි හි නතාෂාට ලැබෙන ප්‍රතිචාර?

හොඳ නරක දෙවිදියටම ප්‍රතිචාර ලැබෙනවා. මම තවම රංගනය ගැන හදාරමින් ඉන්න කෙනෙක්. මම කරපු කොටස් නැවත මම බලද්දී මට හිතෙන දෙයක් ඊට වඩා හොඳින් කරන්න තිබ්බා කියන එක. මම තවම රඟපෑම තුළින්ම රංගනය ගැන අධ්‍යයනය කරමින් හදාරමින් මේ ගමන යන්න උත්සහ කරනවා. ඒ නිසා මේ ලබන අත්දැකීම් එක්ක ඉදිරි නිර්මාණ හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා.

කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරොත්?

ෆෝචූන් රෙසිඩන්සි ටීම් එකත් එක්ක වැඩ කරන එක මට මාරම පහසුයි. මම මේ ක්ෂේත්‍රයට අලුත් වුණත් මට කරන්න ඕනේ දේවල් හොඳින් පැහැදිලිව කියලා දෙනවා. ඒ නිසා අධ්‍යක්ෂක සුපුන් රත්නායක ඇතුළු සියලුම දෙනා එක්ක වැඩ කරන්න ලේසියි.

රංගන කටයුතු වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

තාත්තා නම් පොඩ්ඩක් රඟපෑමට එනවට අකමැති වුණා. දැනටත් ලොකු කැමැත්තක් නැහැ. අම්මා නම් කැමතියි මම රඟපානවට. අම්මා තමා කිව්වෙ අපරාදේ ලැබෙන අවස්ථා මඟහැර ගන්න එපා කියන එක. අම්මට ලොකු ආසාවක් තිබ්බා මම රඟපානව දකින්න.

අනාගත බලාපොරොත්තු මොනවාද?

කවදා හරි ශෙරංගි නටාෂා කියන නමින් ප්‍රේක්ෂකයන් හඳුනන තැනට එන එක තමයි මගෙ ඉලක්කය.

අනූෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division