Home » ජ්‍යොතිෂවේදීන්ට වරදින අනාවැකි

ජ්‍යොතිෂවේදීන්ට වරදින අනාවැකි

by mahesh
September 9, 2023 3:32 pm 0 comment

– පෞද්ගලික අනාවැකි පළ කරද්දී හෘද සාක්ෂියට එකඟ විය යුතුය
– ජ්‍යොතිෂයේ සමහර සිද්ධාන්ත හැමෝටම හරියන්නේ නෑ
– දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු වුවත් පළ කරන අනාවැකිවලින් 20%ක් පමණ වරදිනවා

මා මෙන්ම අනෙකුත් සෑම ජ්‍යොතිර්වේදියෙකුම පාහේ වැඩිදුර කතා කිරීමට රුචිකත්වයක් දක්වනුයේ නිවැරදි බව ඔප්පු වූ අනාවැකි පිළිබඳවය. ඒ නිසා මෙවර වරදින අනාවැකි පිළිබඳව සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙමි. විශේෂයෙන් ඉතාම දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු වුවද අනාවැකි සියයක් පමණ පළ කරද්දී ඉන් අසූවක් පමණ නිවැරදි වී විස්සක් පමණ වැරදි නම් එය ස්වාභාවිකය. එදිනෙදා ජ්‍යොතිෂ පුවත්පත්, ජ්‍යොතිෂ සඟරා සහ වෙනත් ජ්‍යොතිෂ අතිරේක පිළිබඳව අවධානය යොමු කරද්දී පෙනී යන්නේ ඒවායේ පළ වන ජ්‍යොතිෂ අනාවැකිවලින් සමහරක් වැරදි යන බවය. නමුත් එම අනාවැකි වැරදි යෑම කෙරෙහි ජනතාවගේ අවධානය එතරම්ම යොමු නොවන බවද පෙනේ.

ඒ නිසාදෝ සමහර අවස්ථාවලදී වැරදි අනාවැකි සහිත ජ්‍යොතිෂ ලිපි දිගින් දිගටම පළ වන අවස්ථාද දකින්නට ලැබේ. සැබැවින්ම ජනතාවගේ අවධානය වැඩිපුර යොමු වන්නේ ඔවුන් වඩාත් අවධානය යොමු කරන ජාතික මැතිවරණයක් වැනි තීරණාත්මක අවස්ථාවලදී පැවසෙන ජ්‍යොතිෂ අනාවැකි කෙරෙහි පමණක් බව පෙනේ. එවැනි අවස්ථාවලදී නිවැරදි අනාවැකි පළ කරන ජ්‍යොතිර්වේදීන් ජනතාවගේ ප්‍රසාදයට ලක් වන අතරම එවැනි අවස්ථාවලදී සාවද්‍ය අනාවැකි පවසන ජ්‍යොතිර්වේදීන් ජනතාවගේ ඉමහත් අප්‍රසාදයට පත්වන බව පෙනේ.

කෙසේ වෙතත් සාවද්‍ය අනාවැකි පැවසු ජ්‍යොතිර්වේදීන්ටද වැරදුන ජ්‍යොතිෂ අනාවැකියකින් ලබාගත හැකි ප්‍රයෝජන රැසක් ඇත. උදාහරණ ලෙස එම ජ්‍යොතිර්වේදීන්ට තම අනාවැකිය වරදින්නට එක් හේතුවක් වූයේ තම පෞද්ගලික දේශපාලන මතවාදය අනාවැකියක් ලෙස පළ කිරීම විය හැකිය. ඒ නිසා ඉදිරියේදී එම ජ්‍යොතිර්වේදියාට තම අනාවැකි පළ කරද්දී පෞද්ගලික මතවාද අනාවැකි ලෙස පළ නොකිරීමේ පාඩම මෙම වැරදුන අනාවැකියෙන් ඉගෙන ගත හැකිය. තවද, මීට අමතර ලෙසද එම අනාවැකිය වැරදී යන්නට හේතු වූ වෙනත් කාරණාද එම ජ්‍යොතිර්වේදීන්ට සෙවිය හැකිය. එමඟින් අනාවැකියක් පැවසිය හැකි ජ්‍යොතිෂ ශිල්ප ක්‍රම සෙවිය හැකිය. එවැනි ශිල්ප ක්‍රම සොයාගතහොත් පමණක් ඊළඟ මැතිවරණයේදී නිවැරදිව අනාවැකි පළ කළ හැකි වනු ඇත.

එසේ අනාවැකි පැවසීමේ නව ශිල්ප ක්‍රම සොයා ගැනීමට නොහැකි වුවහොත් එවැනි ජ්‍යොතිර්වේදීන් ඊළඟ තීරණාත්මක මැතිවරණවලදී අනාවැකි පළ නොකර නිහතමානී ලෙස නිශ්ශබ්දව සිටීම නුවණට හුරුය. මෙහිදී අසාධාරණයක් ද සිදු වේ. එනම් ජනතාවගේ අවධානය යොමු නොවන සහ තීරණාත්මක නොවන අනාවැකිවලින් බහුතරයක් වරද්දා ගත් ජ්‍යොතිර්වේදියෙකු වුවද ජනතාවගේ අවධානය යොමු වන තීරණාත්මක මැතිවරණයකට අදාළ අනාවැකියක් නිවැරදි ලෙස පැවසූ විට “සියලු කල්හිම කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ” යන කියමනෙහි පරිදි ජනතාවගේ දැඩි ප්‍රසාදයට පත් වීමය. එමෙන්ම ජනතාවගේ අවධානය වැඩිපුර යොමු නොවන අනාවැකිවලින් බහුතරයක් නිවැරදි ලෙස පැවසූ ජ්‍යොතිර්වේදියෙකු වුවද ජනතාවගේ අවධානය යොමු වන තීරණාත්මක මැතිවරණයකට අදාළ අනාවැකියක් වරද්දා ගත් විට ඔහු ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත් වන බව පෙනේ.

සෑම ජ්‍යොතිර්වේදියෙකුම තමන්ට වරදින අනාවැකි පිළිබඳව දැඩි විමසිල්ලකින් පසු වුවහොත් එම අනාවැකි පවසන්නට හේතු සොයා එම අනාවැකි පවසන්නට හේතු වූ ජ්‍යොතිෂ සිද්ධාන්ත භාවිතයෙන් ඉවත් කළ හැකි වනු ඇත. ජ්‍යොතිර්වේදීන් විසින් ලෝකය ගැන ජ්‍යොතිෂ අනාවැකි පළ කරද්දී මෙන්ම, පෞද්ගලික අනාවැකි පළ කරද්දී තම හෘද සාක්ෂියට එකඟව උපරීම ලෙස සත්‍ය වන අනාවැකියක් පළ කරන්නට හැකි සෑම විටම උත්සාහ කළ යුතුය. එවැනි උපරීම ලෙස සත්‍ය වන අනාවැකියක් පළ කරන්නට තමන්ට වැරදුන අනාවැකි මෙන්ම නොවැරදුන අනාවැකි පිළිබඳවද අධ්‍යයනය කිරීම ජ්‍යොතිර්වේදීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

මා ප්‍රසිද්ධ අනාවැකි පැවසීම ආරම්භ කරන්නට පෙර බුධ ග්‍රහයා කිසියම් උත්පත්ති කේන්දර සටහනක 5 වන භාවයෙහි තැන්පත්ව ඇති විට අදාළ ජන්මියාට උසස් අධ්‍යාපනයක් ලැබෙන බවට තීරණය කරමින් අනාවැකි පැවසුවෙමි. නමුත් එවැනි පිහිටීම් ඇති ජන්මීන් කිහිප දෙනෙකුම උසස් අධ්‍යාපනයක් තබා සාමාන්‍ය අධ්‍යාපනයක්වත් ලබා නොගත් අවස්ථා මා හඳුනා ගත් පසු අධ්‍යාපන අනාවැකි පැවසීම සඳහා එම සිද්ධාන්තය ඉන් ඉදිරියට භාවිත නොකළෙමි. මේ ආකාරයට සිද්ධාන්ත එකින් එක ඉවත් කරගෙන යන විට අනාවැකි පැවසීම සඳහා එක් සිද්ධාන්තයක්වත් ඉතිරි නොවන්නට ඉඩ ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් එය එසේ නොවේ. අසත්‍ය වන ජ්‍යොතිෂ සිද්ධාන්ත තරාතිරම නොබලා ඉවත් කළ යුතු බව දිගින් දිගටම පවසන මම පවා මේ වෙද්දී අනාවැකි පළ කරන්නෙමි. එසේ සියලු ජ්‍යොතිෂ සිද්ධාන්ත අතහැර දමන්නට සිදු වන්නේ නම් පාඨක ඔබට ද කලින් ජ්‍යොතිෂ විෂයෙන් ඉවත් වන්නේ මාය.

නමුත් සැබැවින්ම ඉවත හෙළිය නොහැකි ජ්‍යොතිෂ සිද්ධාන්ත හෙවත් සත්‍ය ලෙස අනාවැකි පැවසිය හැකි ජ්‍යොතිෂ සිද්ධාන්ත රැසක් ජ්‍යොතිෂ විෂය තුළ මේ වන විටද ඉතුරුව පවතියි. ජ්‍යොතිෂ නම් වු “ඉල්ලම් පස” තුළ ඇති “මැණික් කැට” වන් එම ජ්‍යොතිෂ සිද්ධාන්ත හඳුනාගෙන ඒවායින් පල ප්‍රයෝජන ලැබීම සෑම ජ්‍යොතිර්වේදියෙකුගේම වගකීමක් වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division