Home » නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක්

නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීමක්

by mahesh
September 9, 2023 3:39 pm 0 comment

ඉකුත් සිකුරාදා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනයෙන් ගොඩනැඟී ඇති නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම විපක්ෂය ඇතුළු මේ රටේ වගකිව යුතු සියලුදෙනාගේ කාර්යක් බවය. ඖෂධ අසාත්මිකතා වාර්තා වූයේ අද, ඊයේ නොව මීට වසර කිහිපයක සිට බවත් වර්තමානයේ සිදු වූ ඖෂධ අසාත්මිකතා විපක්ෂයේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට භාවිතා කිරීම නොකළ යුතු දෙයක් බවත් ඇමැති වෛද්‍ය පතිරණ මෙහිදී අවධාරණය කළේය.

ඖෂධ අසාත්මිකතා හේතුවෙන් ආසන්න 2015 -2023 යන වසර හතක කාලය තුළ පවා මරණ සිදුව ඇති අතර 2015 දී මරණ 12 ක් ද 2016 දී මරණ 08 ක්ද 2017 දී මරණ 12ක් 2018 දී මරණ 12 ක්, 2019 දී මරණ 19 ක්ද 2020 දී මරණ 13 ක්ද 2021 දී මරණ 13 ක්ද ආදි වශයෙන් වාර්තා වී ඇති බවද ඇමතිවරයා මෙහිදී හෙළි කළේය. මෙවැනි ආකාරයේ මරණ මෙරට පමණක් නොව ලෝක මට්ටමින්ද වාර්තා වන බව ඇමැතිවරයා පැවසිය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේද කියා සිටියේය. ‘මෙම යෝජනාවට ප්‍රස්තුත වන කාරණය සංවේදී වන කාරණයක්.ඖෂධ අසාත්මිකතා නිසා මෙම වසරේදී පස් දෙනකු මිය ගියා අපිට මේක සංඛ්‍යාවක් පමණක් වුනාට ඒ පවුල්වලට බරපතළ ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව පිරිනමනවා. නමුත් මෙවන් කරුණක් පදනම් කරගනිමින් අමාත්‍යවරයාට විශ්වාසභංගය යෝජනාවක් ගෙන ඒම සෞඛ්‍යයට අදාළ කාරණාවක්ද නොඑසේ නම් දේශපාලන කාරණාවක් ද යන්න අප තේරුම් ගත යුතුයි.ප්‍රධාන ඖෂධ පහක් සම්බන්ධයෙන් ‍මෙම ප්‍රශ්න නිර්මාණය වී තිබෙනවා. පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි .ටෙන්ඩර් ක්‍රියාවලියෙන් තොරව මෙම ඖෂධ ගෙන්නුවා කියලා මතයක් රට තුළ ඇති කිරීමට උත්ත්සහ දරනවා. පළමුවැනි ඖෂධය පෙඩ්‍රිසිලෝන් කියන ද්‍රවනය එම ඖෂධය ලියාපදිංචි වූ ඹෟෂධයක් . ඖෂධ අසාත්මිකතාවන් නිසා මරණයට පත් වූ පුද්ගලයන් පස්දෙනකු ගැන වාර්තා වෙනවා. එක් ඖෂධයක් හැරෙන්නට අනිත් හතරම ලියාපදිංචි ඖෂධයි. එය සංවේදී කාරණාවක්.

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සෞඛ්‍ය ගැටලු විසඳන ක්‍රමයක් ද නැත්නම් අවස්ථාවාදී ලෙස දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ගත් කාරණාවක් ද යන්න ගැටලුවක්. ලියාපදිංචි නොමැති ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ මෙරටට ගෙන්වා ඇතැයි කියන මතවාදය රට පුරා ප්‍රචාරය කිරීමට විපක්ෂය උත්සාහ දරනවා. සෞඛ්‍ය ඇමතිවරයාට ඇයි හදිසි මිලදි ගැනිම් සිදුකිරීමට සිදු වුණේ. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ අර්බුදයක් ඇතිවුණේ ලෝකය පුරා ඇතිවූ කොවිඩ් තත්ත්වයත් සමග. 2020/2021 වකවානුවේදී ඇතිවූ මෙම අර්බුදත් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය එක දිශානතියකට යොමු වුණා. රටේ කොවිඩ් වෙනුවෙන් අවධානය යොමුකරන්නට වුණා. රට අඛන්ඩව වහන්න වුණා. මූල්‍ය අර්බුදයක් ඇතිවුණා. ඇතිවූ එම තත්ත්වයත් සමඟ ඹෟෂධ සැපයුම් කරුවන් බොහෝ පිරිසක් ඉවත් වුණා. හදිසි මිලදී ගැනිම් කරන්නට සෞඛ්‍ය ඇමතිවරයාට සිදුවුණා.

එලෙස නොකළානම් සෞඛ්‍ය ඇමතිවරයාට චෝදනා කරනවා අදාළ ඖෂධ නැහැ කියලා. ඇතිවූ තත්ත්වයත් සමඟ ලියාපදිංචි නොමැති ඖෂධ රටට ප්‍රධානයන් ලෙස ලැබුණා. මෙලෙස ප්‍රධානයන් ලෙස ඖෂධ 360 ක් රටට ලැබි තිබෙනවා. එලෙස ප්‍රදානයන් ලෙස ලැබුණු ඖෂධ වලින් මෙවැනි මරණ වාර්තා නොවනවා කියන කාරණය ඉතා වැදගත්.

ඒ වගේම ඉතිහාසය තුළ මෙවන් ආකාරයට ඖෂධ හේතුවෙන් සිදුවූ මරණ කෙරහි අවධානය යොමුකළ යුතුයි. 2015 සිට 2023 දක්වා මෙවැනි ප්‍රතික්‍රියා ඇතිවිම කියන තත්ත්වය සහ සිදුවූ මරණයන් පිළිබඳව තොරතුරු අප සතුව තිබෙනවා. මේ ආසාත්මිකතා හේතුවෙන් 2015 දී මරණ 12 ක් සිදුව තිබෙනවා. 2016 දී මරණ 08 ක්ද 2017 දී මරණ 12ක් වාර්තා වෙනවා.

2018 දී මරණ 12 ක්, 2019 දී මරණ 19 ක්ද 2020 දී මරණ 13 ක්ද 2021 දී මරණ 13 ක්ද සිදුව තිබෙනවා. ඉතිහාසය පුරාම මෙවැනි ආසාත්මිකතා නිසා ලංකාවේ වගේම ලෝකය පුරා මරණ සිදුව තිබෙනවා.මේ වාර්තා කළේ පසුගිය වසර හතේදි ලංකාවේ සිදුවූ මරණ. ඒ වගේම තමයි ඉතිහාසය පුරාවට ගුණාත්මක භාවය අඩුවීම නිසා ගබඩා කිරිමේ ප්‍රවාහනය කිරීමේ , ගබඩා කිරිමේ ආදි හේතු නිසාවෙන් සිදුවූ සිදුවීම් ගණනාවක් වාර්තා වි තිබෙනවා. 2016 දී ඖෂධ 18 ක් ඉවත් කර තිබෙනවා. 2017 දී 60 ක්. 2019 දී 53 ක්. 2020 දී 40 ක්.2022 දී 44 ක් ද2023 මේ දක්වා ඖෂධ 33 ක්ද වෙනවා. මේ තොරතුරු ඉතාම නිවැරදියි. මෙවන් ආකාරයට මරණත් ඉතිහාසයේදි වාර්තා වී තිබෙනවා. ඒ වගේම ඖෂධ ඉවත් කිරීම් ඛාණ්ඩ වශයෙන්, ඖෂධ වශයෙන් ඉවත් කර තිබෙනවා. මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. ඉතිහාසය පුරාවටම සිදුවි තිබෙනවා. ලෝක ඉතිහාසයේ සෞඛ්‍ය වෙනස් කරපු සිදුවිම් ගණනාවක් තිබෙනවා. පෙනිසිලින් ඖෂධය සොයා ගැනීම එවන් අවස්ථාවක්.

ඉතිහාසය පුරාම ඖෂධ අසාත්මිකතා නිසා මරණ වාර්තා වුණා. ගබඩා කිරීම, ප්‍රවාහනය යනාදී හේතු නිසා ඖෂධවල ගුණාත්මකභාවය පහළ වැටෙනවා. එසේ ඖෂධ 30 කට අධික සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට පසුගිය වසර හය හතක කාලය පුරාවටම සිදු වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය යාවත්කාලීන කළ යුතුයි. ස්වස්ථා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඖෂධ කොතරම් ප්‍රමාණයක් තිබේද යන්න බලා ගත හැකියි. විවිධ විවේචන මැද මේ යන ගමනේදී බාධක බොහෝ ප්‍රමාණක් එල්ල වෙනවා. සරල පැරසිටමෝල් පෙත්තේ සිට විශාල ලෙස මොළයේ සැත්කමක් දක්වා මෙරට ප්‍රතිකාර සේවාව පුළුල් වෙනවා. සෞඛ්‍ය සේවාව වාර්ෂිකව ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. එන්නත්වලින් වළක්වා ගත හැකි රෝග සියයට සියයකින් අපි පාලනය කරගෙන තිබෙනවා.’

සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division