Home » මිතුරු ඇසුරට වැඩිපුර කැමති වෘෂභ ලග්න හිමියෝ

මිතුරු ඇසුරට වැඩිපුර කැමති වෘෂභ ලග්න හිමියෝ

by mahesh
September 9, 2023 3:21 pm 0 comment

– උපතින්ම ස්ත්‍රී රාශියක් 
– මහ පොළොවට වෘක්ෂලතාවලට ආදරෙයි
– තිර අධිෂ්ඨානයකින් යුක්ත අය

යම් අයකුගේ උපන් රාශිය එම පුද්ගලයා මේ ලොවට උපත ලබන අවස්ථාවේදී නැඟෙනහිර ක්ෂිතිජයේ පිහිටා ඇති රාශිය අනුව තීරණය වේ. ඒ නිසා ඔබ උපත ලබන අවස්ථාවේදී පිහිටා ඇත්තේ වෘෂභ රාශිය බව ඔබ දැන් දන්නවා ඇත.

උපතින්ම ස්ත්‍රී රාශියක් වන නිසා අලංකාරයට, පිරිසිදුකමට, ලස්සනට ජීවත් වීමට මෙන්ම විනෝදයටද ආශා කරන අයකු වේ. මෙම ලග්න හිමියා තිර රාශි ගණයට අයත් වන බැවින් ස්ථිරවම කරන වැඩ ගැන මෙන්ම ඒවා නොවෙනස්ව පිළිවෙළකට සිදු කිරීම, කලබල නොමැතිකම, අවසන් මොහොත දක්වාම ගන්නා ලද තීරණයක් වෙනස් නොකිරීම මෙන්ම අන් අයගේ බසට නොනැමෙන ගතියක්ද උපතින්ම මෙම රාශියෙන් උපන් අයට පිහිටන දෙයකි.

මෙම ලග්න හිමියන් ජ්‍යොතිෂයේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සිවු වැදෑරුම් බෙදීම්වලදී අයත් වනුයේ පඨවි ගණයට නිසා පෘථිවිය වගේම ස්ථිර ගතියක් ඇති, චංචල වීමට කිසිම කැමැත්තක් නොමැති, දෙයක් වෙනස් කිරීමට ඇති අකමැත්ත නිසාම වැඩිදුර සිතීමක් නොමැතිව කටයුතු කාරණා කිරීමට පෙලඹෙන චරිතයක් වනවා ඇත.

එසේම සුළු වරදක් සිදුවූ දෙයක් වුවද සිත්හි තබාගෙන අවස්ථාව පැමිණි විට ඉදිරිපත් කර ඉක්මන් නොවී වැඩ කටයුතු සිදු කරනවා ඇත.

අදහස් වෙනස් නොකර තිර අදිටනින් යුතුව වැඩ කටයුතු සිදු කරන නිසා එයින්ම දියුණුවට මඟ පාදා ගන්නා අතර, යම් අයෙකු සමඟ අමනාපයක් ඇති වුවහොත් එයද සිත්හි තබාගෙන අවස්ථාව ආ විට කළ යුතු දෙයද සිදුකර වාඩුව පිරිමසා ගැනීමටද පසුබට වන්නේ නැත. කෙසේ වුවද පඨවි රාශියක් නිසා මහ පොළොවට, වෘක්ෂලතාවලට, වැවිලි කර්මාන්තයට ආදරයක් ආශාවක් දක්වන අයෙක් ද වනවා ඇත.

මෙම ලග්න හිමියන් තමන් කරන කියන කටයුතු කාරණාවලට එරෙහිව එන්නන් සමඟ එම කටයුතුවලට එරෙහි වීමට නැඟී සිටින අයෙකි. එවන් අවස්ථාවලදී ක්ෂණික කෝපය ඇති වී ඇතැම් විට කියන දේ නාහන තත්ත්වයකට වුවද පත්විය හැකිය. ඒ නිසා එවන් අවස්ථා ඇති වූ විට කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගත යුතුය. එයට හේතු වනුයේ වෘෂභ ලග්න හිමියන් මෙවන් සිදුවීම් ඇතිවූ විට එම සිදුවීම ගැන කල්පනා කිරීමට පෙලඹීමයි. එසේ වීම තමාගේ ශරීර සෞඛ්‍යයට එතරම් සුදුසු නොවනු ඇත. එසේ වුවද කරුණාවෙන් දයාවෙන් යුතුව කටයුතු කර මෙවන් අය හසුරුවා ගැනීම එතරම් අපහසු නොවන නිසා නිතර කරුණාවන්ත අය ඇසුරු කිරීම තමාට යහපත් වනවා ඇත.

කෙසේ වුවද සැප පහසුව, සුඛවිහරණයට කැමැත්තක් ඇත. තමාට මෙවන් දේවල් ළඟා කර ගැනීමට ධෛර්යසම්පන්නව වැඩ කටයුතු කරන අතර, කල්පනා ශක්තිය යහපත් නිසාම විසඳීමට අපහසු ගැටලු මෙන්ම බොහෝ අය නොසිතන අයුරු සිතීමෙන් වෙනත් ආකාරයක දේවල් ඉදිරිපත් කිරීමටද හැකියාවක් ඇත. එමඟින් තමාගේ දියුණුවට මඟ සලසා ගැනීමටද හැකියාවක් ඇත. මිතුරන් අතර වුවද කල්‍යාණ මිත්‍රත්වයක් ඇතිකර ගන්නා මෙම ලග්න හිමියන් තමන්ගේ වැඩ කටයුතු පසෙකලා අනෙක් අයගේ කටයුතු කාරණාවලට උර දී තම මිතුරන් හටද උදවු උපකාර වනවා ඇත. එවන් අවස්ථාවලදී තමාගේ ස්ථිර ප්‍රතිපත්ති රැකීමටද, ත්‍යාගවන්තභාවය ප්‍රදර්ශනය කරන අයුරුද දක්නට ඇති දෙයක් වනවා ඇත. මෙය ඉතාම හොඳ ගති පැවතුම් ඇති දෙයකි.

මෙම රාශිය සිකුරුට හිමි පඨවි රාශියක් වීම නිසා ලෞකික දේ කෙරෙහි ඇතිවන ඇල්ම එනම්, යානවාහන, ඉඩකඩම්වලට මෙන්ම කාව්‍යකරණය, ලේඛන කලාව, සංගීතයට මෙන්ම නොයෙක් කර්මාන්තවලටද දක්ෂතාව දක්වන අතර සාහිත්‍ය වැනි දේටද තදින් ඇල්මක් දක්වනවා ඇත. මෙම ලග්නයෙන් උපන් ස්ත්‍රීන් යම් අයෙකු නරකට සිටින විට උරණ වුවද මුදු මොළොක් කරුණාශීලි ගති පැවතුම් ඇති ස්ථීර අදහස් ඇති දැනුම් අය වනවා ඇත.

යහපත් අදහස් ඇති නිසාම කා අතරත් යහපත් ලෙස කතාබහ මෙන්ම ගුණ නුවණින් යුතුව යුතුඅයුතුකම් ගැනද අන් අයට පහදා දීමටද පසුබට නොවන ගතියක් මොවුන් සතුව ඇති දෙයකි.

සෑම විටම කොයි කාගෙත් සිත් දිනා ගැනීමට දක්ෂ වුවද අන් අයගේ අදහස්වලට වඩා තමාගේ අදහස්වලට අන් අය අවනත කරගෙන ක්‍රියා කිරීමේ දක්ෂතාවක් ද ඇති අයෙක් වුවද එවන් අවස්ථාවලදී සුළු වරදක් වුවද එයට එක එල්ලේ පහර දීමටද පසුබට නොවනු ඇත.

මෙහිදී තමාගේ ආත්මාර්ථකාමී ගතිය ඇති වුවද ඇතැම් අවස්ථාවලදී පරාර්ථයෙන් යුතුව කටයුතු කිරීමට පසුබට නොවනු ඇත. කෙසේ වුවද මේ සෑම දෙයක්ම තමාගේ ඉදිරි දියුණුවට, නිදහස් ජීවිතයකට ද මඟ සලසා ගන්නා අතර කිසිම අවස්ථාවක අයුක්ති සහගතව වැඩ නොකිරීමද මොවුන්ගේ දක්නට ඇති දෙයකි.

අප ජීවිතයේ සුබ පල යනුවෙන් අදහස් කරනුයේ අපට භුක්ති විඳීමට ලැබෙන ලෞකික සැප සම්පත්වල දියුණුවක් ලබා එයින් ජීවිතයට සුඛ විහරණ ලබා ගැනීම වනවා මෙන්ම හොඳ අදහස් යහපත් ගති පැවතුම් ආදියද සිතේ ඇති වන්නාවූ ධර්මිෂ්ඨභාවයක් උත්සාහයෙන් ලැබිය යුතු උගත්කමත් මෙම සියලු කටයුතු එක්ව ගත් කල සුබ පල යනුවෙන් අපට දක්වනවා මෙන්ම මෙම කටයුතු සඳහාද උපතේදී පිහිටන ග්‍රහ පිහිටීම් ද අපට බලපාන දෙයක් වනවා ඇත.

එනම් උපතේදී පිහිටා ඇති ග්‍රහ පිහිටීම් විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන් දියුණුවට ආශාවක් උත්සාහයක් ඇති නිසා ලග්නය, සඳු සිටින ස්ථානය, රවි සිටින රාශිය හා ඔවුන්ගේ බලයත්, දුබලකමත් අනුව මෙම සුබ පල ලැබෙන බවද කල්පනාවට ගත යුතුය.

එසේම ශනි ග්‍රහයාගේ බලපෑම හිමි නව වැන්න, දස වැන්න ගැන ඔබ දෛවඥයකු ලවා පරීක්ෂා කර බලා කටයුතු ආරම්භ කරන්නේ නම් ඔබට දියුණුව නියත වශයෙන් ලබාගත හැකි වනවා මෙන්ම ශනි ග්‍රහයා අන් අයට කරදර සිදු කළද ඔබට සියලු සුබ පල ලබාගත හැකි බවද ධනු රාජ යෝග කාරකයද වන බැවිනි. ශනි ඔබට සුබ පල ගෙන දෙන්නා සේම ගුරු ග්‍රහයා ඔබට ශනි වෙනුවට දුක්කම්කටොලු ඇති කරන අයෙක් වනවා ඇත. එනම් ගුරු – ශනි දෙදෙනාගෙන් කෙනෙක් යහපත් වන විට අනෙකා ප්‍රතිවිරුද්ධ වීම ජ්‍යොතිෂයේ මනාව සඳහන්ව ඇති දෙයකි.

එසේම මෙම කාරණා සියල්ල සිතට ගෙන තමාගේ දුර්වලතාවන් වන ආත්මාර්ථකාමී ගතිය, ලෞකික සැප සම්පත්වලට ඕනෑවට වඩා ඇලුම් කිරීම, තනි මතයට වැඩ කිරීම මෙන්ම සෙම් රෝග යනාදියත් ගැන ද සිහි කල්පනාවෙන් යුතුව වැඩ කර තමාගේ හැකියාවන් හඳුනාගෙන ජීවිතය ජය ගැනීමට ඔබට ඇති හැකියාව අවබෝධ කරගෙන ආගම ධර්මයට ළැදිව ඉවසීමෙන් කටයුතු කරන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී අගස්ති ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division