Home » විශ්වයෙන් එන අයහපත් කිරණ මිනිස් සිරුර ආක්‍රමණය කරන්නේ මෙහෙමයි

විශ්වයෙන් එන අයහපත් කිරණ මිනිස් සිරුර ආක්‍රමණය කරන්නේ මෙහෙමයි

by mahesh
September 9, 2023 2:39 pm 0 comment

– සෙනසුරුගේ ඒරාෂ්ටකයේදී ජන්මියාට ඇතිවන රෝග
– සෙනසුරු – යටි බඩටත් රවි සහ ගුරු හිස මොළය වැනි සියුම් ඉන්ද්‍රියන්ටත් බුද ග්‍රහයා ගෙලෙන් පහළ නහරවලට ප්‍රධානයි
– ඇතැම් රෝගවලට හේතුවද එයයි

මාරකයක් යනු මරණයක්ම නොවුණත් මරණය සමඟ සබැඳි ක්‍රියාවලියකි. මාරකයක් පල දෙන්නේ ජ්‍යොතිෂය හෝ වෙනත් කාරණාවක් නිසා නොවේ. එය ජ්‍යොතිෂ විෂය මඟින් පෙන්නුම් කර දෙයි. අප කළ සහ කරන ලද කුසලාකුසලය හේතුකොටගෙන කිසියම් හෝ ක්‍රියාවක් සිදු වේ. ඒ ක්‍රියාව කුමන ආකාරයකට අනුව අපට පල දෙනවාදැයි කියා විශ්වයේ කිරණ පොළොවට පතිත වීමෙන් පෙන්නුම් කරයි.

විශ්වයෙන් මහ පොළොවට පතිත වන විවිධ කිරණ මඟින් ජන්මියාට විවිධාකාරයට මේ මාරක පල දෙයි. අපට පීඩාකාරි ලෙඩක් හැදෙන විට පූර්ව ලක්ෂණ පෙන්වයි. එය එක්වරම උත්සන්න වන්නේ නැත. එවිට අප වෛද්‍යවරයා හමුවන්නට යන්නේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහාය. වෛද්‍යවරයා ඒ ගැන දන්නා නිසා සහ ඒ ගැන නිපුණත්වයක් තිබෙන හෙයින් රෝගයේ පූර්ව ලක්ෂණ විශ්ලේෂණය කර අවශ්‍ය ඖෂධ අපට ලබා දෙයි. සමහර විට විවේක ගැනීමෙන්ද බොහෝ රෝග සුව වෙයි. විශේෂයෙන් ඒ මානසික රෝගයි. මානසික රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව මනස කලබල වීම සහ අවිවේකී බවයි. විවේකීව සිටීම හොඳම ප්‍රතිකාරයකි. ජ්‍යොතිෂයෙන් පැහැදිලි කෙරෙන්නෙත් එයමය. ඒ විෂය ගැන දැනුම තිබෙන කෙනා ඒ දැනුමට සමාන ප්‍රතිකාරයක් රෝගියාට ලබා දෙයි. වෛද්‍යවරයාට ලෙඩ රෝග වෛද්‍ය විද්‍යාව ගැන නිපුණත්වයක් ඇති සේම ජ්‍යොතිර්වේදියාට විශ්ව කිරණ සහ ඒවා ජන්මියාට බලපාන අයුරු ගැන දැනුමක් ඇත. එහෙත් මේ දෙපාර්ශ්වයටම මේ අදාළ විෂයන් ගැන මනා දැනුමක් නම් තිබිය යුතුමය.

මාරකයක් යනු ඉදිරියට සිදුවන නරක සිදුවීමකි. ඕනෑම ‘මාරකයක්’ ඉදිරියේදී සිදුවීමක් ගැන පූර්ව ලක්ෂණ පෙන්නුම් කරයි යැයි උදාහරණයක් ගනිමු. කිසියම් නීරෝගි කෙනෙකුගේ උදරය තුළ නැතිනම් ආමාශය සවසට සෑම දිනෙකම පාහේ පුරවා දමයි. ඒ අමතර වාතය පිරීම නිසාය. ඔහුගේ කෑම රුචිය ඒ නිසාම නැතිව යයි. හුස්ම ගන්නට අපහසු වෙයි. මේ තත්ත්වය දින කීපයක් ගතවන විට රෝගියා වෛද්‍යවරයෙක් හමුවෙයි. දින කීපයකට බෙහෙත් ගත්තද සුව වීමක් නැත. ඇතැම් විට තාවකාලික සුවයක් පතා රෝගියා මත්පැන් ගනියි. තත්ත්වය තවත් නරක අතට හැරේ. ඒ බෙහෙත් අහන්නෙ නැති නිසාය. එවිට රෝගියා ස්වකීය ජන්ම පත්‍රය රැගෙන ජ්‍යොතිර්වේදියා හමු වෙයි.

ඔහු තත්කාල කේන්දරය, ජන්ම කේන්දරය පරීක්ෂා කර බලයි. එවිට ඔහුට වැටහෙන්නේ අදාළ කාලයට මේ ජන්මියාට විශ්වයෙන් එන ‘ශනි කිරණ’ අයහපත් ලෙස එල්ල වන බවයි. ඒ සෙනසුරු කිරණ නරක ලෙස එල්ල වන බවය. ඒ අනුව යටි බඩේ රෝග අමාරු ඇතිවන බව ජ්‍යොතිර්වේදියාට පෙනී යයි. සාමාන්‍යයෙන් උත්පත්ති කේන්දරයේ සෙනසුරු සතුරු ස්වභාවය පෙන්නුම් කෙරේ නම් සෙනසුරු ඒරාෂ්ටකය පැමිණෙන බව ජ්‍යොතිෂයේ සඳහන්ය.

සෙනසුරුගේ ඒරාෂ්ටක කාලයේදී ප්‍රථමයෙන් ජන්මියාගේ උදරයට වාතය පිරෙන බවත් එය ඒරාෂ්ටකයේ ප්‍රථම පියවර බවත් ක්‍රමයෙන් හෘදය දෙසට එය ක්‍රියා කර හෘදය හිර කිරීමෙන් රෝගියා මරණයට පත්වන බවත් ජ්‍යොතිෂයේ සඳහන්ය. මෙවන් තත්ත්වයක් නොදත් වෛද්‍යවරයා මෙම මරණය හෘදය හිර කිරීමකින් සිදුවූ බව මරණ සහතිකයේ සඳහන් කරයි. නමුත් ජ්‍යොතිර්වේදියා කී ලෙසට ක්‍රියා කළා නම් රෝගියා බේරා ගන්නට හැකි බව ඔබට දැන් වැටහෙනවා ඇත. සෙනසුරු ඒරාෂ්ටකය යනුවෙන් හඳුන්වනුයේ මේ තත්ත්වයය.

මේ ආකාරයට ශරීරයේ වැදගත් කොටස් යම් යම් ග්‍රහ කිරණ මඟින් ආක්‍රමණය කරන බව පැහැදිලි වේ. සෙනසුරු යටි බඩට මෙන්ම රවි සහ ගුරු ශරීරයේ හිස, මොළය වැනි සියුම් ඉන්ද්‍රියයන්ටද, බුධ ග්‍රහයා බෙල්ලෙන් පහළ නහරවලට මෙන්ම හදිසි හුස්ම නතර කිරීමටත් ප්‍රධානය. මෙවැනි රෝග ලක්ෂණ ආ විටදී හදිසි ප්‍රතිකාරවලින් ජන්මියා බොහෝ දුරට සුවපත් කළ හැකිය.

මෙවැනි සටහන්වලදි වැදගත්ම කරුණක් වන්නේ කිසිම මාරකයක් එක්වරම පල නොදෙන බවය. ඔබේ උත්පත්ති කේන්දරයේ චන්ද්‍රයා නැත්නම් “සඳු” පිහිටා ඇති ආකාරයට අනුව ඕනෑම මාරකයකට කලින් පූර්ව සංඥා ලබා දෙයි. එවිට විපරම් කර බැලීමෙන් ඔබට වැලඳී ඇති රෝගය හඳුනාගන්නට පුළුවන. එවිට ඉක්මනින්ම ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගත යුතුය. විශේෂයෙන් දැනුමක් ඇති ජ්‍යොතිෂවේදියකු විසින් පරීක්ෂා කර සුදුසු දේ කළ යුතුය. ආහාර, ද්‍රව වර්ග වෛද්‍යවරයෙකුගේ නියමයෙන් තොරව නොදෙන්න. බොරු ශාස්ත්‍රකරුවන්ගෙන් ප්‍රවේශම් වන්න. ඔබේ මනස තව තවත් පිරිහීමට ලක් වේ. ඉතාම කල්පනාකාරීව සුදුසුම දේ කර මාරකවලින් මිදෙන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මීපේ ගණිතගේ රන්ජිත් පී. විද්‍යාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division