Home » ආදරය වෙනුවෙන් දිවි දුන් ලොවීනාට ජීවය දෙන්න මට හැකි වුණා

ආදරය වෙනුවෙන් දිවි දුන් ලොවීනාට ජීවය දෙන්න මට හැකි වුණා

by mahesh
August 13, 2023 1:00 am 0 comment

– මිලියනය ඉක්මවා ගිය ප්‍රේක්ෂක පිරිසක් ගීතය රසවිඳලා තියෙනවා
– පෙම්වතෙකුගෙ ආදරයක අවශ්‍යතාව තාමත් දැනිල නෑ

රෝමියෝ – ජුලියට්, සාලිය – අශෝකමාලා තරමටම ජනප්‍රිය වුණු ආන්දෝලනාත්මක ආදර අන්දරයක් තමයි මේඩ්ලන්ඩ්- ලොවීනා ආදර කතාව. මේඩ්ලන්ඩ් – ලොවීනා ආදරය මේ දිනවල අප සවන් වැකෙන්නේ ප්‍රවීණ ගායක චිත්‍රාල් සෝමපාල සහ කාංචනා අනුරාධිගේ හඬින්. ලොවීනා ගීතයට පාදක වී ඇත්තේ 1835 මෙරට ආණ්ඩුකාරවරයා වූ තෝමස් මේඩ්ලන්ඩ් සහ රොඩී කුල රූමත් තරුණියක වූ ලොවීනා අතර පැවැති ආදර කතාවේ සුවිශේෂීම සිදුවීමක්. සිය කිංකිණි මියුරු ස්වරය ගීතය හා මුසු කරන කාංචනාගේම රුවින් හැඩ වන ලොවීනා රූප රාමු තුළ ඇත්තේ ද ආකර්ෂණීයත්වයකි. ඉතිහාසගත ආදර කතාවක් වර්තමානය තුළ ජීවමාන කරන්නට වෙර දරන ඇය එහිදී ලද අත්දැකීම් අප හා මෙසේ බෙදා ගත්තාය.

කාංචනා මේ දවස්වල ජනප්‍රිය ඉතිහාසගත ආදර කතාවකට පණ පොවනවා. කොහොමද ඒ අත්දැකීම?

ලොවීනා කියන්නෙ ඉතිහාසගත ආදර කතාවක් ඇසුරින් බිහිවුණු නිර්මාණයක්. මේකට පාදක වෙලා තියෙන්නේ 1835 මෙරට ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කළ සර් තෝමස් මේඩ්ලන්ඩ් සහ ලොවීනා කියන රොඩී කුල තරුණිය අතර ඇති වුණු ආදර සම්බන්ධය. ඒ කතාවෙ එක් සුවිශේෂී අවස්ථාවක් තමයි ජෙනරල් කමල් ගුණරත්න ගීතය රචනා කරන්න යොදාගෙන තියෙන්නේ. මේඩ්ලන්ඩ් – ලොවීනා ආදර කතාව පටන් ගන්නේ රොඩී කුල කතුන්ට උඩුකය වසාගැනීම තහනම් වුණු යුගයක. ඔහු ලොවීනට කොතරම් ආදරේ කළා ද කියනව නම් රාජ නීතිය පවා වෙනස් කිරීමට කටයුතු කළා. එතෙක් තහනමක්ව පැවැති රොඩී කුල කතුන්ගේ උඩුකය වසා‍ ගැනීමේ තහනම ඉවත් කළ ඔහු උඩුකය ආවරණය කරගත යුතු රාජ අණක් නිකුත් කළේත් ලොවීනාගේ උඩුකය වෙනෙකෙකු දැකීම වැළැක්වීමේ අදහසින්. එහි ප්‍රතිඵලය වුණේ මේඩ්ලන්ඩ් වෙන රටකට මාරුකර යැවීම. ලොවීනා ඒ ශෝකයෙන්ම ජීවිතය නැතිකර ගත්ත බව තමයි සඳහන් වෙන්නේ. මේ ගීත රචනය සඳහා තේමාව වෙලා තියෙන්නේ රාජ අණ නිකුත් කිරීමේ අවස්ථාව. ආදරය වෙනුවෙන් ජීවිතය දුන් ලොවීනට ජීවය දෙන්න හැකි වුණා කියන හැඟීම මට එවෙලෙ දැනුණා. හරිම ආසාවෙන් වගේම ටිකක් බයෙන් තමයි ඒක කළේ.

ලොවීනා රූප රචනාවෙ ඉන්නෙත් ඔබමයි. උඩුකය නිරාවරණය වුණු දර්ශනවලට පෙනී ඉන්න තියෙනව කියල දැනගත්තම මොකද හිතුනෙ?

අන්න ඒකම තමයි මේ නිර්මාණය භාරගැනීමේදී මට තිබුණු එකම අභියෝගය සහ බය වුණේ. කොහොමද මං මේකට සූදානම් වෙන්නෙ කියන එක. එතැනදි චමිල් පතිරණ අයිය හරිම නිර්මාණාත්මකව මටවත් නිර්මාණයටවත් හානියක් නොවෙන්න රූප රචනය හරි ලස්සනට කරල තිබුණා. එයාගෙ ඒ පොරොන්දුව මත තමයි මමත් කැමැති වුණේ.

කොහොමද ඔබට මේ සඳහා ආරාධනා ලැබෙන්නෙ?

භාතිය ජයකොඩි අයියා විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. එයා තමයි කියල තිබුණෙ මේකට හරියනම කෙනා මං කියලා. මේක කරලත් දැන් අවුරුදු තුන හතරක් වෙනවා. මේඩ්ලන්ඩ්ට ගැළපෙනම කෙනා චිත්‍රාල් සෝමපාල මහත්මය කියන එක හැමෝගෙම තීරණය වුණා.

චිත්‍රාල් සෝමපාල එක තැනකදි කියනව මං කාංචනා අනුරාධි කියල කෙනෙක් දැනන් හිටියෙ නෑ කියල. ඔබ සමඟ ගයනව කියල දැනගත්තම කොහොමද ඔහුගෙ ප්‍රතිචාරය?

ඒ දවස්වල මං මීටත් වඩා පොඩියි. ජනප්‍රියත් නෑ. ඔහු හිටියෙ ලංකාවෙ නෙවෙයි. මගේ කොටස කියල ඩමිය ඔහුට යැව්වා. ස්වාමිණී කියන මුල් වචනෙ අහපු ගමන්ම ඔහු කියල තිබුණ, මේක නම් මාර වොයිස් එකක්, මේක මගෙ ස්ටයිල් එක නොවුණත් මං මේක අනිවාර්යයෙන්ම කරනව කියලා. එදාම ඔහු මට කතා කරල සුබ පැතුවා. හඬ ගොඩක් ලස්සනයි, හැඟීම්බරයි කියල ගොඩක් අගය කළා. විශේෂයෙන්ම චිත්‍රාල් මහත්මයගෙ හඬ ගැනත් කියන්නම ඕනෙ. මේඩ්ලන්ඩ් කියන්නෙත් සිංහල, ඉංග්‍රීසි මිශ්‍රව බටහිර ආරෙට කතා කළ කෙනෙක්. ඔහුගෙ හඬත් මාර විදිහට මැච් වුණා.

ලොවීනා රූප රචනාව ලස්සනට තාත්විකව කරන්න පුළුවන් වුණේ සැබෑම ලොකේෂන් ලැබුණු නිසා නේද?

ඇත්තටම ඔව්. මෙතැනදි ගල්කිස්ස හෝටල් හිමිකරු උක්වත්ත මහත්මය මතක් කරන්නම ඕනෙ. එදා මේඩ්ලන්ඩ්ගේ නිල නිවස තමයි අද මේ හෝටල් පරිශ්‍රය තියෙන ස්ථානය. ඔහු අපිට කතාව හා සම්බන්ධ දැනට සංරක්ෂිතව තියෙන සැබෑ ලොකේෂන් සහිත වටපිටාව සූදානම් කරල දුන්නා. මේඩ්ලන්ඩ්ගේ නිදන කාමරය, මේසය, රාජ අණ නිකුත් කරපු ස්ථානය වගේම ඔහුට රහසිගතව රොඩී ගම්මානයට යෑමට තැනූ උමං මාර්ගයේ කොටසක් තවමත් තියෙනවා. ඒ දේවල් එක්ක තමයි ලොවීනා නිර්මාණය මේතරම් සාර්ථක වුණේ.

තාල රූප සමඟින් චමිල් පතිරණ අයිය තමයි රූප රචනය කළේ. ඔහුගේ මඟපෙන්වීම මත රංගනයට අදාළ කොටස් මට පුළුවන් විදිහට කළා. පොත්පත් කියවල, ගාඩි වගේ ෆිල්ම්ස් බලලා රොඩී කුලය ගැන දැනුම්වත් වෙලා තමයි මං මේකට සම්බන්ධ වුණේ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

මේ වෙද්දි මිලියනය ඉක්මවා ගිය ප්‍රේක්ෂක පිරිසක් නරඹල තියෙනවා. ගායනයට වගේම රංගනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කාංචනා කියන චරිතයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඒ වගකීම අරන් තමයි නිර්මාණයට සම්බන්ධ වුණේ. මට පුළුවන් උපරිම දායකත්වය ලබාදුන්නා. රංගනය කියන්නෙ ලේසි දෙයක් නොවෙයි කියල තේරුණා. මේක දැකලා රංගනයට එන්න කියල ගොඩක් චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබුණා.

කාංචනාගෙ නාදෙන් ගීතයත් ලංකාවෙන් පිට ගොඩක් ජනප්‍රියයි නේද?

මුලින්ම බංග්ලාදේශය නේපාලය වගේ රටවල ටික් ටොක් හරහා ගොඩක් ජනප්‍රිය වුණා. පහුගිය දවස්වල දකුණු ඉන්දියාවෙ කේරලයේ ළමා ගායිකා නීහා කුට්ටි හරිම ලස්සනට ඒක ගායනා කළා. එයාව සම්බන්ධ කරගෙන එයාට සුබ පතන්නත් අවස්ථාව ලැබුණා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. සිංහලෙන් නිර්මාණය වුණු ගීතයක් ඒ වගේ වෙනත් රටවල ඇහෙද්දි හරිම සතුටුයි. නාදෙන් ගීතයේ ටැමිල් වර්ෂන් එකත් ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට අහන්න ලැබේවි. මේකෙදි නීහා කුට්ටිත් අපිත් එක්ක සම්බ්න්ධ වුණා.

ආදරණීය ලොවීනාට පණ පොවන කාංචනාගෙ ආදරේ ගැනත් කියමු නේද?

සැබෑ ලෝකෙදි ආදරවන්තිය කියන චරිතෙට තාමත් පණ පොවාගන්න බැරි වුණා. රසික ආදරය උපරිමයෙන් ලැබෙන නිසා පෙම්වතෙකුගෙ ආදරයක අවශ්‍යතාව තාමත් දැනිල නෑ. රසිකයන්ගෙන් ලැබෙන ආදරේ තමයි මාව ජීවත් කරවන්නෙ. මාත් ඒ ආදරේට හිතපුරා ආදරෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division