සුරූපී නිළිය රවටා ලක්ෂ ගණන් සල්ලි ගරපු NGO අනංගයා | සිළුමිණ

සුරූපී නිළිය රවටා ලක්ෂ ගණන් සල්ලි ගරපු NGO අනංගයා

මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන “ මල් පිපෙන කාලේ“ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිත දෙකක් බවට පත්ව සිටින්නේ පිණිමුතු සහ නිල් නෙතු ය. නිවුන් සහෝදරයින් වන මේ දෙදෙනා සැබෑ ලෝකයේ නම් තැබී ඇත්තේ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුෂ්කි ප්‍රේමචන්ද්‍ර ලෙසිනි. තවමත් නව යොවුන් වියේ පසුවන මෙම නිවුන් සහෝදරියෝ කලා ලෝකයට එක්වන්නේ ද දෙරණ නාළිකාව මඟින් සංවිධානය කළ ලිට්ල්ස්ටාර් තරගාවලිය හරහාය. 

ගැහැනු දරුවන් 06 දෙනෙකුම සිටින පවුලේ බාලයන් වන අනුෂ්කි සහ කනුෂ්කි “අනු ඇන්ඩ් කනු“ නමින් යූ ටියුබ් නාළිකාවක් ද පවත්වා ගෙන යන්නේ ඔවුන්ගේ නර්තන හැකියාවන් ඇතුළු දක්ෂතා ඒ ඔස්සේ එළිදක්වමිනි. මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් ගම්පහ රත්නාවලී විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලබා ඇති මේ දෙදෙනා දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින්නේ කලා ලෝකයේ ඉහළට යමින් නර්තන කථිකාචාර්යවරියන් බවට පත්වීමට ද හීන දකිමිනි.

කලා ලෝකයේ ඉදිරි ගමනක් දැන්ම තියා පෙන්නුම් කරන මේ නිවුන් සහෝදරියන් අතර සිටින අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර මෑතකදී ලොකු රැවටීමකට ලක්වූවාය. පොලිසි උසාවි ගානේ පවා යන්නට ඇයට මේ නිසා සිදුව තිබුණාය.

මේ කතාව දිගහැරෙන්නේ 2022 වසරේ සිටය.

මැණික් ව්‍යාපාරිකයෙක් මෙන්ම FYFA නම් වූ ස්වෙච්ඡා සංවිධානයක අධ්‍යක්ෂවරයෙක් ලෙස පෙනී සිටි ලසන්ත ලියනගේ නැමැති තරුණයකුගෙන් අනුෂ්කිට ඇමතුමක් ලැබෙන්නේ ඔහුගේ මිතුරකුගේ විවාහ උත්සවයකට නර්තනාංගයක් ඉදිරිපත් කිරීමට ඇයව සම්බන්ධකර ගන්නටය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා සිටියේ මුහුණු පොත ඔස්සේ දැන හඳුනාගෙනය. මේ කියන විවාහ උත්සවය තිබෙන්නේ රත්නපුර පැත්තේ පිහිටි හෝටලයකය. ලසන්ත ඇයට පවසන්නේ මෙම නර්තනාංගය සිය මිතුරා පුදුමයට පත්කිරීම සඳහා විවාහ උත්සවයේ අංගයක් ලෙස ඇතුළත් කරන බවය.

අනුෂ්කි මෙම ආරාධනාව පිළිගනු ලබන්නේ ඒ සඳහා ඇයට ඔහු ගෙවීමට පොරොන්දු වූ මුදල ගැන ද සලකා බැලීමකින් අනතුරුවය. එදා ඇය සිය සහෝදරිය ද සමඟ විවාහ උත්සවය හැඩ වැඩ කරනු ලැබුවේ ලසන්තගේ මිතුරාව පමණක් නොව, මංගල උත්සවයට පැමිණි සිටි හැමදෙනාවම පුදුමයෙන් පුදුමයට පත්කරවමිනි.

අනුෂ්කි සහ ලසන්ත කුළුපඟ මිතුරන් බවට පත්වන්නේ මේ සමඟිනි. ලසන්ත කහවත්තේය. ඔහු පෙනී සිටියේ මැණික් ව්‍යාපාරිකයෙක් ලෙසිනි. ලසන්ත අධ්‍යක්ෂවරයෙක් ලෙස පැවසූ FYFA නම් වූ ස්වෙච්ඡා සංවිධානයේ කාර්යාලය පිහිටා තිබුණේ කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහිය. ඒ බටහිර කුලුනේ 35 වෙනි මහලේ ලිපිනයක් සඳහන් කරමිනි. එම සංවිධානය හරහා සිදු කෙරුණේ අධ්‍යාපනය, පරිසරය, සෞඛ්‍යය, කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන ස්වෙච්ඡා ව්‍යාපෘති දියත් කිරීමය. මේ සංවිධානයේ අධ්‍යක්ෂවරයා මෙන්ම නිර්මාතෘවරයා වූයේද ලසන්තය.

මෙම සංවිධානය ඔස්සේ ලසන්ත රටේ බොහෝ ජනප්‍රිය චරිත සමඟ සම්බන්ධකම් ගොඩනඟාගෙන තිබුණේය. ඒ අය අතර කලාකරුවන්, ක්‍රීඩකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශවල සාමාජිකයන් වැනි බොහෝ අය සිටියේය. ඒ බොහෝ චරිත සමඟ එකට සිට ලබාගත් ඡායාරූප මෙන්ම කෙටි වීඩියෝ පට පවා ඔහු සිය මුහුණු පොත ඔස්සේ හුවමාරු කර තිබුණේ තමාට ඇති සමාජ ශක්තිය පෙන්වීමටය. අනුෂ්කි පවා ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ගොඩනඟාගෙන ළඟින් ඇසුරු කරන්න පවා බියක් නොදක්වන්නේ ඒ නිසා විය හැකිය. ඉඳහිට ඇය මුණගැසීමට මිනුවන්ගොඩ පත්තඩුවන පිහිටි නිවෙසට පවා ඔහු ආවේ ගියේය. ඒ ඔස්සේ ඔවුන් දෙදෙනා වැඩිකල් යන්නට මත්තෙන් පෙම්වතුන් බවට පත්වූයේය.

අනුෂ්කිත් කනුෂ්කිත් හැරුණු කොට ඒ පවුලේ සෙසු සහෝදරියන් සියලු දෙනාම රැකියාවල නිරතව සිටියාය. ඒ අය අතර ගුවන් හමුදා සේවයේ නිරතව සිටින සහෝදරියක් ද සිටින්නීය. ඒ අයගේත් විශ්වාසය ලසන්ත දිනාගත්තේ ඒ පවුලට වඩාත් කිට්ටුවන්තයෙක් වෙමිනි.

ලසන්ත මේ පවුලේ අය හමුවේ මවා පෑවේ ලොකු ධනයක් ඇති සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති තැනැත්තෙක් ලෙසිනි. ඔහුගේ හැසිරීම් මෙන්ම කියුම් කෙරුම්වලින් ද ඒ බව අනුෂ්කිට මෙන්ම ඇගේ පවුලේ සාමාජිකයන්ට දැනුණේය. අනුෂ්කි සහ ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ ලසන්ත කන්න බොන්න පවා ගියේ සුපිරි අවන්හල් වෙතය. ඒ තම ධනවත්කම ප්‍රදර්ශනය කරමිනි. පවුලේ සමීපතමයෙක් බවට පත්වෙමින් හැමෝගේම විශ්වාසය දිනාගෙන සිටි ලසන්ත වැඩිකල් නොගොස් අනුෂ්කිට විවාහ යෝජනාවක් පවා ගෙන ආවේය. ඊට අනුෂ්කිගේ මවගෙන් ආශීර්වාද පවා ලැබෙන්නට වූයේ ඒ තරමට ඔහු ඒ පවුලට ඉතා විශ්වාසවන්තයෙක් බවට පත්ව සිටි බැවිනි.

අනුෂ්කිගේ පියා ජීවතුන් අතර නැත. පියා මෙලොව අතහැර යන්නේ අනුෂ්කිත් කනුෂ්කිත් කුඩා අවදියේදීය. ඒ නිසාම මේ දෙදෙනාට පියාගේ උණුසුම හිමිව නැති තරම්ය. දියණිවරු 06 දෙනෙකුගේ කරදඬු උස්මහත් කර ඒ අයට සමාජයෙන් වරදක් නොඇසෙන තරමට රැකවරණය දෙමින් බලා කියා ගන්නේ මව විසිනි. ඉතා දුක් මහන්සියෙන් ඇය විසින් මේ දරුවන් 06 දෙනාම බලා කියාගත්තත් ලසන්න උපක්‍රමශීලීව මේ පවුලට රිංගා අමුතු ගේමක් ගැසුවේය. ඒ අනුෂ්කිට විවාහ පොරොන්දුවක් දෙමින් ඇගේ මෙන්ම පවුලේ විශ්වාසය දිනාගෙන ඔවුන් සතු හැම සතයක්ම හූරා ගත්තේය. ලසන්ත මේ හැමදෙයක්ම කරනු ලැබුවේ සැලසුමකට අනුවය. සැබෑ ලෙසම ලසන්ත ධනවතෙක් හෝ ධනවත් ව්‍යාපාරිකයෙක් නොවීය. ඔහු ධනවතෙක් ලෙස හැසිරුණේ තරුණියන් සමඟ පෙම් සම්බන්ධතා ගොඩනඟා ගනිමින් ඒ අයට විවාහ පොරොන්දු දී මුදල් ගරා ගැනීම වෙනුවෙන්මය.

තමා උගුලකට හසුවී ඇති බව අනුෂ්කිට වැටහෙන්නේ ලක්ෂ 65ක්ම අහිමි කර ගැනීමෙන් පසුවය. ඒ ඔහු අනුෂ්කිව දැන හඳුනා ගෙන නිවෙසට යන්න එන්නට පවා පටන් ගෙන වසරකටත් අඩු කාලයක් තුළදීය. මුලින්ම ඔහු අනුෂ්කිව රැවටීමකට ලක්කර ලබා ගන්නේ රුපියල් ලක්ෂ 14ක මුදලකි. ඒ ඇයට විවාහ යෝජනාව කර මාසයක් දෙකක් යන්නට මත්තෙනි. අනතුරුව විටෙන් විට ඔහු විවිධ හේතු කියමින් ඇගෙන් මුදල් ඇද්දේය. ඇය සිය මව සහ සහෝදරියන් සතු මුදල් ද සිය අනාගත සැමියා වෙනුවෙන් ඉල්ලූ සැණින් ලබා දුන්නේය. ඒ ඇය ඒ තරමට ඔහුට රැවටී සිටි බැවිනි. ඒ බව දැන සිටි ඔහු ඇඟට පතට නොදැනෙන්නට ඇයව රවටමින් ගත හැකි උපරිමයෙන් මුදල් ඇගෙන් කඩා ගත්තේය.

ඒ වන විට ලසන්තගේ මෙවැනි රැවටීම්වලට ලක්ව සිටියේ අනුෂ්කි පමණක් නොවේ. රට පුරාම තරුණියන් රැසකටම අනුෂ්කිට මෙන් විවාහ පොරොන්දු දෙමින් ලසන්ත මුදල් ගරාගෙන තිබුණේය. ඒ අතර ගම්පහ පදිංචිව සිටින තරුණ නීතිඥවරියක්ද සිටින්නීය. ඇයට ඔහු විසින් කර තිබුණු වංචාවේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 60 කි. ඇයවත් ඔහු රැවටීමට ලක්කර තිබුණේ මුහුණු පොතෙන් දැන හඳුනාගෙනය.

මේ අතර ලසන්ත විසින් විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත තරුණ නිලධාරිනියක්ද දපනේ දාගෙන ඇගේ සේසතම හූරා ගත්තේය. එයින් සෑහීමකට පත් නොවූ ඔහු බැංකු ණය පවා ඇය මඟින් ලබාගෙන තිබුණාය. එම විදුලිබල මණ්ඩල නිලධාරිනිය ජීවත් වෙන්නේ කොළඹට කිට්ටුව පාත ප්‍රදේශයකය. ඇය ලසන්තගේ මුහුණු පොතේ නිත්‍ය සාමාජිකාවක් වූවාය. ඈත ගම්වල දුප්පත් දරුවන් අධ්‍යාපනය ලබන පාසල්වලට ගොස් ලසන්ත ඇතුළු ඔහුගේ ස්වෙච්ඡා සංවිධානයේ සාමාජිකයන් පොත්පත් බෙදා දෙන හැටි මුහුණු පොතේ ඡායාරූපවලින් දකින ඇය ඉඳහිට එම සංවිධානයේ බැංකු ගිණුමට කීයක් හෝ බැර කරන්නට පුරුදු වී සිටියාය. ලසන්ත වැඩිහරියක් ගොදුරු කර ගත්තේ එවැනි තරුණියන්වය. සිය සංවිධානයට මුදල් බැර කරන තරුණියන්ගේ දුරකථන අංක සොයා ගන්නා ඔහු ඒ අයට ඇමතුම් දෙමින් කුලුපග වන්නේ ඔවුන්වත් සිය සංවිධානයේ වැඩ කටයුතුවලට සක්‍රියව හවුල් කර ගනිමිනි. ඒ අතර ඔහු ඒ අය සමඟ පෙමින් වෙළෙන්නේ විවාහ යෝජනා ද ගෙන එමිනි. මුදල් ගරන්නට ගන්නේ විවාහ යෝජනාවෙන් අනතුරුවය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියටත් සිදුවන්නේ ඒ දේමය. “ඔයා කැමති නැද්ද? මුළු ජීවිත කාලයටම මගෙත් එක්ක ඉඳගෙන මිනිස්සුන්ට උදව් කරන්න“ ඇයට ඔහු විවාහ යෝජනාව ගෙන එන්නේ එසේය. ඇය ඔහුට සිය කැමැත්ත දෙන්නේ එක පයින්මය.

“අමෙරිකාවේ ඩිග්රියක් කරන්න ඇප්ලයි කළා. හදිසියේම බිස්නස් වැඩ වගයකට සල්ලි වගයක් හිර වෙලා. දවස් දෙකකින් ලක්ෂ 10ක් බැන්දෙ නැත්තම් ඩිග්‍රිය කරගන්න බැරි වෙනවා“ මුල්ම ලක්ෂ 10 ඇගෙන් කඩා ගන්නේ එසේය. අනතුරුව ව්‍යාපාරික කටයුතුවලට යැයි කියා ද තවත් මුදල් ඇගෙන් කඩා ගත්තේ ඇයට කිසිදු සැකයක් තමා කෙරෙහි ඇති නොවන ලෙසිනි. ඇගේ බැංකු ගිණුම හිඳෙන තුරු මුදල් ඇද අවසානයට ඔහු ඇයව පොලඹවන්නේ බැංකු ණයක් මඟින් මුදල් ගන්නටය. ඒ හැරුණු කොට ඇය පොලියට ද මුදල් ගෙන ඔහුට දුන්නේ ඒ තරමට ඇතිව තිබුණු විශ්වාසය නිසාය. අවසානයට ඔහු ඇය ඇපකාරිනියක් කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක් ද කල්බදු ක්‍රමයට මිලදී ගත්තේය. ඒ මෝටර් රථයට සිදුවූ දෙයක් මේ වන විට සොයා ගන්නට නැත. ලසන්ත පවසන්නේ එය තමා අනුෂ්කිට දුන් බවකි.

ලසන්තගේ මෙවැනි වංචාවලට හසුවුණු තරුණියන් බොහෝය. මේ කිසිදු තරුණියකට ලසන්තගෙන් වෙනත් කරදරයක් වූ බවට තොරතුරක් නම් මෙතෙක් අනාවරණය වන්නේ නැත. ඔහුට හසුවුණු තරුණියන්ගෙන් පොලිසියට පැමිණිලි කරන්නට ඉදිරිපත් වන්නේ අනුෂ්කිත්, ගම්පහ නීතිඥවරියත්, විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියත් පමණකි. ඔහු මේ හැමෝගෙන්ම මුදල් ලබාගෙන තිබුණේ අතට නොව සිය බැංකු ගිණුමටය. එහිදී බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමේදී මුදල් තැන්පත් කරන පෝරමයේ සටහන් කරන්න යැයි කියන්නේ මෙම මුදල් පරිත්‍යාගයක් ලෙස සටහන් කරන ලෙසය. මේ තුළින් ලසන්ත සැලසුම් කර ඇත්තේ යම් දිනක ඔහුට එරෙහිව මෙම තරුණියන් නීති මඟට ගියවිට ස්වෙච්ඡා සංවිධානයේ කටයුතුවලට මේ අය එම මුදල් පරිත්‍යාග කර ඇති බව පෙන්වමින් නීතියෙන් ගැලවෙන්නටය. එසේ ලසන්තගේ ගිණුමට මුදල් බැරකරමින් විදුලිබල මණ්ඩලයේ නිලධාරිනිය අහිමි කරගෙන තිබුණු මුදල රුපියල් ලක්ෂ 59කි.

ලසන්ත මේ හැමෝගේම විශ්වාසය දිනා ගන්නේ ගෙවල් දොරවල් වෙත ගොස් මවුපියන්ව පවා හමුවී විවාහයට ආශීර්වාදය ද ලබා ගනිමිනි. තරුණියන් තමන් සතුව ඇති මුළු සේසතම ඔහුට පූජා කරන්නට දෙවරක් නොසිතන්නේ එබැවිනි. තමන් වංචාකරුවකුට හසුවී ඇතැයි වැටහෙන විට අනුෂ්කි පිහිට පතා යන්නේ ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශයටය. ඒ තවත් තරුණියන් ලසන්තගේ ගොදුරු බවට තවදුරටත් පත්කර ගන්නට ඉඩ නොතබමිනි. ගම්පහ නීතිඥවරිය ද තමාට සිදු වූ මේ වංචාව ගැන කියන්නට යන්නේ අනුෂ්කි ගිය තැනටමය. ඒ අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරිනිය තමන්ට ලසන්ත කළ වංචාව ගැන පැමිණිලි කරනුයේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයටය.

මේ අතරින් මුලින්ම ඉස්සර වන්නේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ය. ඒ ලසන්තව අත්අඩංගුවට ගනිමිනි. එහිදී කළ ප්‍රශ්න කිරීම් හා විමර්ශන වලින් හෙළිවන්නේ ලසන්ත අපොස උසස් පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලබා වංචාව සිය ජීවිතය කරගෙන ජීවත්වන්නෙක් බවය. රත්නපුරයේ ඇති ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇති ඔහු උසස් පෙළ විභාගයට මුහුණ දී ඇත්තේ 2013 වසරේදීය. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඔහු හැදී වැඩී ඇත්තේ මවගේ රැකවරණය මත බවය. ඒ පියා ජීවතුන් අතර නැති බැවිනි. ඔහුට සහෝදරියක්ද සිටින බව කියැවෙයි. සාමාන්‍ය පවුලක තැනැත්තෙක් වන ලසන්ත මේ හැම ගේමක්ම ගැසීමට FYFA volunteer Organization Ltd නැමැති සංවිධානය ගොඩනඟාගෙන ඇත්තේ 2016 වසරේදීය. මෙම සංවිධානයේ වෙබ් අඩවියට අනුව එහි කාර්යාලය පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බව සඳහන් වූවත් මෙතෙක් කිසිදු පොලිස් අංශයක් එවැනි සංවිධානයක් එහි ස්ථාපිත දැයි කියා සොයා බලා නැත. නමුත් එම වෙබ් අඩවියේ හැම තැනම ඔවුන් රට පුරාම සිදුකරන ස්වෙච්ඡා වැඩසටහන්වල ඡායාරූප ගොන්නකි. ඒ හැම ඡායාරූපයකම කැපී පෙනෙන්නට සිටින්නේ ලසන්තය.

"කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට ඔබට ඇති හැකියාව විශ්වාස කරන්න"මේ ලසන්තගේ FYFA සංවිධානයේ තේමා පාඨයයි. ලසන්ත විවාහ පොරොන්දු දෙමින් රට වටේම තරුණියන් රවටා ඔවුන්ගේ අතමිට ඇති හැම දෙයක්ම හූරාගෙන කරනු ලැබුවේද එම තේමා පාඨයට අනුව තරුණියන්ගේ ජීවිතය වෙනස් කිරීමට ඔහුට ඇති හැකියාව පෙන්වමින් විය හැකිය.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි. සිද්ධිය පිළිබඳ මුලින්ම ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කළ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර මේ සම්බන්ධයෙන් විමසීම සඳහා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අප කිහිපවාරයක් උත්සාහ කළ ද ඇය දුරකතනයට පිළිතුරු දුන්නේ නැත)

Comments