කෝටි ගණන් සල්ලි ගරන ක්‍රිකට්වලට වග නොකියන ඔස්තාර්ලාගේ කෙරුවාව | සිළුමිණ

කෝටි ගණන් සල්ලි ගරන ක්‍රිකට්වලට වග නොකියන ඔස්තාර්ලාගේ කෙරුවාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් සාමාජිකත්වය නොතිබුණු කාලයේ ශ්‍රී ලංකාව 1975 වසරේ එංගලන්තයේ පැවැති පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියට අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් සහභාගී වූයේ ආරාධිත කණ්ඩායමක් හැටියටය. නැඟෙනහිර අප්‍රිකාව ද ආරාධිත කණ්ඩායමක් ලෙස තරගාවලියට එක් විය. 1979 වසරේ එංගලන්තයේදිම පැවැති ඊළඟ එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වූයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීම හේතුවෙනි. ශ්‍රී ලංකාව සමඟ එහි අනුශූරයන් වූ කැනඩාවටත් ලෝක කුසලානයේ දොරටු විවර විය. රටවල් 15ක් අතර පැවැති මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකාව ජයගැනීම ඒ කාලයේ හැටියට ඉහටත් උඩින්ය. හැම අතින්ම ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම හා සමානය. ඒ වනවිට ශ්‍රී ලංකා පිල කිසිදු ජාත්‍යන්තර කුසලානයක් දිනා සිටියේ ද නැති බැවින් අයිසීසී කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය මතක සටහනකි. 

එවකට ඕවර 60ක් වූ එක්දින තරග මුහුණුවර යටතේ ක්‍රීඩා කළ මේ තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහභාගි වූ පළමු තරගයෙන්ම අමෙරිකාවට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කළ අතර, හිටපු විශිෂ්ට පිතිකරුවකු වූ රෝයි ඩයස් නොදැවී ලකුණු 76ක් රැස් කිරීම කදිම මතක සටහනකි. අනතුරුව වේල්සය සමඟ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබිණි. නෙදර්ලන්තය සමඟ පැවැති තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල ඊශ්‍රායලය සමඟ පැවැති මූලික වටයේ අවසන් තරගයට ක්‍රීඩා කිරීම එවකට පැවැති රාජ්‍යතාන්ත්‍රික විරසකයක් මත ප්‍රතික්ෂේප කිරීම නිසා තරගයේ ජයග්‍රහණය ඊශ්‍රායලයට හිමි විය. එය වෙනම ලියා තැබිය යුතු කතාවකි. අනතුරුව පළමු අවසන් පූර්ව තරගයේදී ඩෙන්මාර්කයට නැති වෙන්නම ගැසුවේ ලකුණු 318ක් රැස් කරමිනි. රෝයි ඩයස් ලකුණු 88ක් රැස් කරද්දී දුලිප් මෙන්ඩිස් ලකුණු 68ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව තරගය ජය ලැබුවේ ලකුණු 208කිනි. ඩී.එස්. බන්දුල වර්ණපුර හා සුදත් පැස්කුවෙල් කඩුලු 3 බැගින් බිඳ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය ඉක්මන් කළහ. ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගත්තේ ලකුණු 60කිනි.

ඉහත පූර්විකාව සටහන් කළේ ලියුම්කරුගේ වුවමනාවට නොව පාඨකයාට අවබෝධයක් ලබා ගැනීමටය. 1979 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යනු ශ්‍රී ලංකා පිල සහභාගි වූ එවැනි ආකාරයේ පළමු තරගාවලිය වූ අතර, එදායින් පසු අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි 10ටම ක්‍රීඩා කළේ සෘජුවම ලැබුණු අවස්ථාවලිනි. ඒ හැර සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ගැන නම් නිකමට හෝ හැරී නොබැලූ බව පාඨකයන් දැනගත යුතුය.

මේ වසරේ එක්දින ලෝක කුසලානයට සුදුසුකම් සොයා යෑමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිලට සිදු වූයේ වසර 44කට පසු පළමුවතාවට බව දැන් මෙරට නොදන්නා කෙනකු නැත. එබැවින් ඊයේ පෙරේදා සිම්බාබ්වේ ගිය ශ්‍රී ලංකා පිල එම තරගාවලියේදී ක්‍රීඩා කරන අයුරු දැකබලා ගැනීමට හා අසා දැන ගැනීමට ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් අතර පවා ඇත්තේ ඉමහත් උනන්දුවකි. එය හරියට ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන අයුරු දැක බලා ගැනීම තරම් උනන්දුවකි. තරගයෙන් තරගය ජය ලැබීම මෙරට ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත් කරනු ඇත. ශුරතාව දිනුවත් නැතත් අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ නම් ඒ සතුට දෙගුණ තෙගුණ වනු ඇත. මන්ද අවසන් තරගයට එක්වන කණ්ඩායම් දෙකටම මේ වසරේ අග භාගයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරග වරම් ලැබෙන බැවිනි.

එවැනි වාසනාවක් අත්කර ගන්නා සෙසු රටවල ක්‍රීඩාලෝලීන්ටත් දැනෙනු ඇත්තේ එවැනිම සතුටක් විය යුතුය. වතාවක් ශූරයන් ලෙසත්, දෙවතාවක් අනුශූරයන් ලෙසත් එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අභිමානවත් නමක් දිනා සිටින ශ්‍රී ලංකාව එක් අතකින් කෝඩුකාර රටවල් සමඟ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම ගැන කනගාටුවක් දැනීම සාධාරණය. අනිත් අතට දෙවතාවක් ශූරතාවත්, වතාවක් අනුශූරතාවත් දිනා සිටින කොදෙව් පිලත් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් තරමක අස්වැසිල්ලකුත් දැනේ. ඒවා දැනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රිකට් ක්‍රීඩාව හා ඇලී ගැලී සිටින මෙරට මිලියන 22ක ජනතාවටය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයේ වැඩිම කාලයක් වැය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ටය. විශේෂයෙන් 1996 ලෝක කුසලානය ජයගත් එවකට ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩායමටය.

එය නොදැනෙන තවත් පිරිසක් ද වේ. කනගාටුවට කාරණාව ඒ අතර ලෝක කුසලානය ජයගත් කණ්ඩායමේ සාමාජිකයකු සහ ලෝක කුසලාන අනුශූරතා දෙකක් දිනු කණ්ඩායමක සාමාජිකයකුත් සිටීමය. එය පුදුම විය යුතු කරුණක් ද නොවේ. මන්ද ඇතැමුන්ට ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳුණු තනතුරු හෝ පට්ටම් ක්‍රීඩාවට සේවය කිරීමට ලැබුණු අවස්ථාවක් වූව ද, තවත් සමහරකුට එය හොඳ ඉල්ලමකි. ලොව බොහෝ රටවල ක්‍රිකට් ආයතන දැන් ඩොලර් ආකර බවට පත් වී ඇති බැවින් මුදලට ලොල් වූ පුද්ගලයන් එවැනි තැන් කරා ඇදී යන්නේ මලට ඇදෙන බඹරු ගාණටය.

එදා 1979 සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වූ අමෙරිකාව සහ නෙදර්ලන්තය මෙදා තරගාවලියටත් එක් වී සිටී. ශ්‍රී ලංකාව ‘බී‘ කාණ්ඩයෙන් මූලික තරගවලට එක් වෙයි. ප්‍රතිවාදී කණ්ඩායම් අතර ස්කොට්ලන්තය සහ අයර්ලන්තය කැපී පෙනෙන කණ්ඩායම් ය. ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් ඇතුළත් වන්නේ එම කාණ්ඩයටය. ‘ඒ‘ කාණ්ඩයේ ද දැඩි සටනක් ඇත. 1975 සිට පිට පිට දෙවතාවක් ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිලත් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වි සිටින්නේ ‘ඒ‘ කාණ්ඩයෙනි. සත්කාරක සිම්බාබ්වේ පිලට අමතරව අමෙරිකාව හා නෙදර්ලන්තය ඇතුළත් වන්නේ එම කාණ්ඩයටය. මෑත කාලයේ කැපී පෙනෙන ආකාරයේ දස්කම් පෑ කෝඩුකාර නේපාලයත් ‘ඒ‘ කාණ්ඩයට ඇතුළත්ය. දෙවැනි වටය පැවැත්වෙන්නේ ‘සුපර් සික්ස්‘ වටය හැටියටය. මූලික වටයේදී කාණ්ඩ දෙකේ හොඳම කණ්ඩායම් තුන සුපර් සික්ස් වටයේදී ප්‍රතිවාදී කාණ්ඩයේ කණ්ඩායම් තුන සමඟ තරග වදී. ඒ අනුව එක් කණ්ඩායමකට තරග 3කි. ලෝක කුසලාන සුදුසුකම් ලබන්නේ සුපර් සික්ස් වටයේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙකය.

හිටපු ක්‍රීඩකයන්ට අනුව ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය එක් අතකින් මෙරට ක්‍රීඩාලෝලීන්ගේ ඉවසීම පරික්ෂාවට ලක් කරන ආකාරයේ තරගාවලියකි. ඔවුන් කියන්නේ අවාසනාවකට හෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට විසි වුවහොත් ක්‍රිකට් බලධාරීන්ට ජනතාවගෙන් අවලාද අසන්නට සිදුවන බවය. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශයටවත් උත්තර නොබඳින ක්‍රිකට් බලධාරීන් ජනතාවට උත්තර බඳින්නේ නැති බව නම් සහතික යැයි හිටපු ක්‍රිකට් පරිපාලකයකු ලියුම්කරු සමඟ කීවේ දැඩි අප්‍රසාදයකින් යුතුවය. නිමක් නැති එවැනි කතා නිරීක්ෂණය කිරීමේදී පෙනී යන කාරණාව වන්නේ මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය කවුරුත් එතරම් ලොකුවට ගණනකට ගෙන නැති බවය. එසේ වුවත් මේ තරගාවලියේ සුපර් සික්ස් වටය යද්දී නම් කාගෙ කාගෙත් ඉහමොළ රත්වනු සහතිකය.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට යෑමට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවාසනාව උදා වූයේ අයිසීසීය දුන් නියමිත කාලසීමාව ඇතුළත එක්දින තරග ශ්‍රේණිගත කිරිම්වල පළමු අටදෙනා අතරට එක්වීමට අසමත් වීම නිසාය. අවාසනාව වන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් බිහි කළ ශ්‍රී ලංකාව වැනි අභිමානවත් රටකට එවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුවීමේ වගකීම භාර ගැනීමට කිසිවකු නැති එකය. පිටියට ගොස් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වගකීම ගන්නේම නැත. තේරීම් කමිටුව කොහොමත් වගකීම භාර ගැනීමට ඉදිරිපත් වන්නේ නැත. ක්‍රිකට් ආයතනය කවදත් කියන්නේ කණ්ඩායමේ වැඩවලට ඇඟිලි නොගසන බවය. ඔවුන් සිටින්නේ පරිපාලනය කිරිමටය. එබැවින් වගකීම භාර ගන්නේදැයි ඔවුන්ගෙන් ඇසීමත් මෝඩකමකි. කණ්ඩායමෙන් අඩක් පමණ පුහුණුකරුවන් සිටියත් වගකීම භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවේ. ඔවුන් කියනු ඇත්තේ උපදේශක කියන අයුරින් කටයුතු කළ බවය. ක්‍රිකට් උපදේශක කොහෙත්ම වගකීම භාර ගන්නේ නැත. එය පුහුණුකරුවන්ගේ වගකීමක් බව ඔහු කියනු ඇත. එසේ නම් ශ්‍රී ලංකා පිලට ලෝක කුසලාන තරගාවලියට යෑමට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදුවීමේ වගකීම භාර ගත යුතු වන්නේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහය. මන්ද මේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල හිස් අතින් ගෙදර පැමිණීමට ක්‍රීඩා ඇමැතිවරයාට පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ දෙපක්ෂයටම උත්තර බැඳීමට සිදුවන බරපතළ කරුණක් බවට පත්වන බැවිනි.

දසුන් ශානකලා අවබෝධ කරගත යුතු වන්නේ ඒ ටිකය. ඔවුන් සිම්බාබ්වේ දේශයට ගියේ ක්‍රිකට් පිත්ත ඇතුළු උපකරණ සමඟ පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානයත් ඇපේට තබාගෙනය. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් බහුතරයකට අනුව මේ තරගාවලිය පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවත් වසර 20කට ආපස්සට යනු ඒකාන්තය. අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ විසිපන් දහසක පමණ මාසික වැටුපක් ගන්නා පුහුණු කාර්ය මණ්ඩලයකින් සමන්විත රටකට ලෝක කුසලානයට ඍජුව යෑමට තබා සුදුසුකම් ලැබීමේ තරගාවලියකින්වක් යෑමට නොහැකි නම් එවැනි රටක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇති වැඩක් ද නැත. වරින් වර අතුරුදන් වන උපායමාර්ගික ක්‍රිකට් උපදේශක යැයි කියන හිටපු ක්‍රීඩකයා කර නොහැර පරාජයේ වගකීම් භාර ගන්නේ නම් ඔහුට ඩොලර් විසිදහසක නොව හතළිස් දහසක වැටුපක් ගෙවුවත් කමක් නැති බව හිටපු ක්‍රීඩකයෝ කියති. අනිත් අතට වගකීම භාර ගැනීමට නොහැකි නම් ඔහුට ඩොලර් විසිදහසක් තබා රුපියල් විසිදහසක්වත් ගෙවීම නොවටින බව ලියුම්කරුට සිතේ. නමට ‘ක්‍රිකට් ඔස්තාර්ලා‘ යැයි කියා ගන්නා එවැනි උපදේශකවරු නොසිටි යුගයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අතිශය ඉහළ මට්ටමක රැඳී තිබුණු බවත්, මේ උපදේශකවරු ද හැදී වැඩුණේ එවැනි පසුබිමකදී බවත් තතු දත්තෝ පවසති. 

මේ දිනවල සිම්බාබ්වේ දේශයට ‘වින්ටර් සීසන්‘ ය. ශ්‍රී ලංකා කණ්ඩායම එහි ගියේ ඒවා දැනගෙනය. ඇරත් ක්‍රිකට් උපදේශකවරු මේ පිළිබඳ ක්‍රීඩකයන් දැනුම්වත් කරමින් අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර තිබේ. එබැවින් කනස්සල්ලට පත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. වින්ටර් සීසන් නිසා සිම්බාබ්වේ වැනි වේගපන්දුවට උචිත තණතීරුවලට ඩිල්ෂාන් මධුසංඛ වැනි වමත් වේගපන්දු යවන්නකු හැම අතින්ම සුදුසු බව ඇතැමුන් කියති. ඔහු පසුගියදා සංචාරක දකුණු අප්‍රිකානු ‘ඒ‘ පිල සමග පැවැති නිල නොවන එක්දින තරගාවලියේදී කඩුලු අතර සිටියේය. අතිදක්ෂයෙකි. කුසල් ජනිත්ගේ ආබාධය සුව අතට හැරී නැති බැවින් පළපුරුදු ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් සිටියා නම් හොඳ බව තවත් සමහරු කියති. එහෙත් දැන් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරය ආරම්භ කර තිබේ. මේ මස 18 වැනිදා ආරම්භ වන මේ තරගාවලිය ජයගන්නා බව නායක දසුන් ශානක විශ්වාසයෙන් යුතුව කීවේය. ඔහුගේ පමණක් නොව මෙරට සියලු ක්‍රීඩාලෝලීන්ගේ ඒකායන පැතුම ද එයයි. ඒ සඳහා සියලු සුබපැතුම් දසුන් ශානකලාට ලැබී තිබේ. ඇරත් කාලයකට පසු ක්‍රිකට් උපදේශකවරයාත් සංචාරයට එක් වී සිටීම නිසා බිය වීමට කාරණාවක් ද නැත.

ලිපිය අවසන් කිරීමට පෙර ලියා තැබීමට සිත් වූයේ හිටපු ක්‍රීඩකයකු විසින් ලියුම්කරු සමඟ කරනු ලැබූ ප්‍රකාශයකි. එය දැන ගැනීම වටී.

‘අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අපි වර්ල්ඩ් කප් කොලිෆයි වෙයි ද නැද්ද කියන එකයි. මේක සුළුවෙන් හිතන්න බෑ. හොඳ ටීම් ගොඩක් සෙල්ලම් කරනවා. මේකෙන් කොලිෆයි වුණේ නැතිනම් කවුද වගකීම භාර ගන්නේ. ක්‍රීඩා ඇමති කියයි මගේ වගකීම නෙවෙයි කියලා. ඒ වුණාට අපි වර්ල්ඩ් කප් කොලිෆයි වුණේ නැතිනම් ඉතිහාසයේ නම ලියැවෙන්නේ ක්‍රීඩා ඇමැතිතුමාගේ. ඊළඟට ක්‍රිකට් උපදේශක. එයා කියයි එයාට වගකීම භාර ගන්න බෑ කියලා. එතැන පුහුණුකරුවන් ඉන්නවා එයාලා දැනගන්න ඕන මොනවද කරන්නේ කියලා. පුහුණුකරුවන් කියන්නේ අපි වැඩ කරන්නේ පුහුණු උපදේශක කියන විදිහටයි කියලා. නිකමට හිතන්න සුපර් සික්ස්වලට ගියාට පස්සේ එක මැච් එකක් පැරදිලා කරුමෙට හරි එක මැච් එකකට වැස්සොත් මොකද වෙන්නේ? මතක තියා ගන්න අපි යන්නේ වින්ටර් එකේ. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ. අපි කොලිෆයි වෙයි කියන උපකල්පනය මත හැමදේම කරනවා. ඒ වුණාට අපි කොලිෆයි වෙන්නේ කොහොමද කියලා අදහසක් නෑ. ඒ වුණාට අන්තිමට කොල්ලෝ ටික මොනවහරි කරලා තරගාවලිය දිනලා වර්ල්ඩ් කප් කොලිෆයි වේවි කියලා මට විශ්වාසයක් තියෙනවා. හැබැයි ඊළඟට වෙන්නේ අර හැමදාම වෙනවා වගේ ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්න පියවරු එකසිය ගාණට උපදින එකයි. හැමදාම සිද්ධ වුණේ ඒකයි.

Comments