ඒක මට ගෞරවයක්ද? අභියෝගයක්ද? හිතාගන්න බැරි වුණා | සිළුමිණ

ඒක මට ගෞරවයක්ද? අභියෝගයක්ද? හිතාගන්න බැරි වුණා

කෝට්ටේ යුගයේ වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය තිස්ස නාගොඩවිතානයන්ගේ අදහසකට අනුව මියුරු දෙබසින්, කවියෙන්, ගීතයෙන්, විචිත්‍ර රූපරාමුවෙන් වර්ණවත් කර රිදී තිරයට ගෙන එන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කලා කීර්ති ශ්‍රී සනත් අබේසේකරයන්ය. ගුත්තිල ලෙසින් බෝසත් රංගනයක යෙදෙන එඩ්වඩ් ජයකොඩිගේ කුලුඳුල් සිනමා අත්දැකීම ද මෙයයි. අද අපේ කතාබහ ගුත්තිල චරිතයට පණ පොවන විශාරද එඩ්වඩ් ජයකොඩි සමඟිනි.

ගුත්තිල කියන්නේ ඔබේ කුලුඳුල් සිනමා අත්දැකීම. කොහොමද ඒක දැනෙන්නේ?

සංගීත අධ්‍යක්ෂවරයෙක්, පසුබිම් ගායකයෙක් විදිහට මං බොහෝ අවස්ථාවල සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් රංගන ශිල්පියෙක් විදිහට සිනමාවට දායක වුණු පළමු අවස්ථාව මේක. පසුගිය දා ප්‍රදර්ශනය ආරම්භ වුණු ගුත්තිල චිත්‍රපටයට මේ වෙද්දි බොහෝම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මට ලොකු සතුටක්.

ගුත්තිල සඳහා ඔබට ආරාධනා ලැබෙන්නේ තිස්ස නාගොඩවිතානයන්ගෙන්. ඒ ගැන මතක් කළොත්?

ගුත්තිල කාව්‍යය සිනමාවට ගෙන ඒමේ අදහස මුලින්ම පහළ වුණේ තිස්ස නාගොඩවිතානයන්ට. ඔහු අවුරුදු හතරක් පහක් තිස්සෙම මගේ පස්සෙන් පැන්නුවා මේ වෙනුවෙන්. හමුවෙන හැම වෙලාවකම මං ඇවිදින හැටි බලනවා. ඉඳගන්න හැටි බලනවා. කන බොන හැටි බලනවා. ඔහොම ඉන්න අතරේ චිත්‍රපටියක රඟපාමුද කියලත් ඇහුවා. විහිළුවටත් ඔහොම අහනවනේ. මං ඉතින් හිනාවෙලා නිකන් හිටියා.

කාලයක් ගිහින් අවුරුදු ගාණකට පස්සෙ ඒ කියන්නෙ ගුත්තිල කරන්න පටන් ගන්න ආසන්න කාලෙදි ආයිමත් ඇහුවා. ඒ වෙලාවෙත් මං බොහොම කරුණාවෙන් හිනා වෙලා මඟෑරියා. පස්සෙ දවසකත් ඇහුවා ගුත්තිල චරිතය රඟපාමුද කියලා. ඒ පාර නම් මට හිතුණා මේක විහිළුවක් වෙන්න බෑ කියලා. මං කිව්වා අනේ මං අලුත් කෙනෙක්නේ. මං රඟපාලා ඕක හරියයිද කියලා. මං මේක නොකෙරෙන තැනටම කතා කළා. තවත් කාලයක් ගතවෙලා ආයිමත් ඇහුවා. එදා නම් ඔහු කිවුවා ඔයා ගුත්තිල චරිතය කරන්නෙ නැත්නම් මං ගුත්තිල නිර්මාණය කරන්නෙත් නෑ කියලා. එයා ඔක්කොම ලේස්ති කරලා මගේ කැමැත්ත ලැබෙනකන් තමයි ඉඳල තියෙන්නේ.

බෑ බෑ කියලා දායක වුණු මුල්ම අත්දැකීම ගැන අද ඔබට මොනවද හිතෙන්නේ?

ඒක නරඹපු ගොඩක් දෙනා කිවුවා ඒ තෝරාගැනීම හරි කියලා. මට වඩා ප්‍රවීණයන් ඕන තරම් ඉඳිද්දි මාවම තෝරගත්තෙ ඇයි කියලා මටත් හිතුණෙ එදා චිත්‍රපටිය නරඹද්දි. ඔහු බොහෝ කලක් මාව අධ්‍යයනය කරලා තිබුණා. මං ගුරුවරයෙක් නිසා මට කේන්ති එන ප්‍රතිශතය අඩුයි. සීයට සීයක්ම නැතත් ගුත්තිල චරිතයට ළං වෙන්න පුළුවන් ඉවසීමේ සීමාවක් තියෙනවා කිවුවොත් හරි. තවත් පැත්තකිත් ඒ තෝරාගැනීම සාධාරණයි කියලා හිතෙනවා. වෙන රංගන ශිල්පියෙක් යොදා ගත්ත නම් ගීත ගායනා කරන්න, වාදනය කරන්න වෙනම කෙනෙක් ඕන. දෙබස් කවන්න ඕන වෙන අවස්ථා තියෙනව. මේකෙ හැමදේම මමම කළා. පසුබිම් ගායනයත් මගේමයි. ගීත තුනෙන් එකකට අඛිලත් සහාය වුණා. ඒ නිසා මේකෙ විශ්වසනීයත්වය මටත් දැනුණා. බලන් ඉන්න අයටත් දැනෙන්න ඇති. ඒ අයටත් විශ්වාසයක් ඇතිවෙන්න ඇති මේ ගුත්තිලමයි කියලා.

ඔබ තුළින් ගුත්තිලව දකින්න තිස්ස නාගොඩවිතානයන්ට අවස්ථාවක් ලැබුණ ද?

සංස්කරණය නොකළ සම්පූර්ණ චිත්‍රපටයේ දර්ශන එතුමාට දකින්න හැකියාව ලැබුණා. ඒක බලලා ගොඩක් සතුටු වෙලා මගේ තේරීම හරි නේද කියලත් ඇහුවා.

නවක රංගන ශිල්පියෙක් විදිහට මේ වගේ සුවිශේෂී චරිතයකට සූදානම් වෙද්දි ඒක අභියෝගයක් විදිහට දැනෙන්න ඇති?

ඒක මට ගෞරවයක්ද? අභියෝගයක්ද? දුෂ්කරතාවයක් ද? හිතාගන්න බැරි වුණා. ආසයි වගේම පොඩි බයකුත් එක්ක දෙගිඩියාවකුත් තිබුණා. මං දැන් අවුරුදු හැත්තෑවට ආසන්න කෙනෙක්. එහෙම කෙනෙක්ට පළමු වරට ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙනව කියන්නෙත් ලොකු ගෞරවයක්. අවුරුදු 35/40 ඉඳන් වයෝවෘද්ධ තත්ත්වය දක්වා දිවෙන චරිතයක්. පළමු වරට සිනමාවට ආව කෙනෙක්ට ඒකම අභියෝගයක් තමයි.

වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබුණට සිනමාව කියන්නේ මට අලුත් දෙයක්. නවක රංගන ශිල්පියෙක් විදිහට හැමෝගෙම සහාය, ආශීර්වාදය මට ලැබුණා. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා වගේම අයිරාංගනී සේරසිංහ මහත්මිය මගේ මවුපියන් විදිහට රඟපෑමම මට ලොකු ගෞරවයක්. ඒ වගේම වීණා ජයකොඩි, සනත් ගුණතිලක, යශෝධා විමලධර්ම වගේම නව පරපුරේ අඛිල දනුද්ධර වගේ දක්ෂ ශිල්පීන්ගේ සහායත් අගය කරනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන චරිතයට නවකයෙක් ආවම ඕනෑම කෙනෙකුගේ හිතේ පොඩි කුකුසක් ඇතිවෙනවා. ඒත් මෙතැනදි ඒ හැමෝම මාව හරිම ආදරෙන් භාර ගැනීමම මට ආදරණීය ශක්තියක් වුණා.

අධ්‍යක්ෂ සනත් අබේසේකරයන් ගැන කතා කළොත්?

සනත් අබේසේකර කියන්නේ පරිණත නිර්මාණකරුවෙක් වගේම ඉතිහාසය හොඳින් හදාරපු නිතර පරිශීලනය කරන පුස්තකාලයක් වගේ කෙනෙක්. ඉතිහාසයට අදාළ වසර පවා කට පාඩමින් කීමේ හැකියාව ඔහුට තියෙනවා. පාසල් ළමුන් සඳහා ප්‍රදර්ශනයටත් ගුත්තිලට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබිලා තියෙන්නේ.

දිනේෂ් සුබසිංහ කියන්නෙ නව පරපුරේ දක්ෂ සංගීත අධ්‍යක්ෂවරයෙක්. ඔබත් සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට කොහොම ද ඔහුව දැනුණේ?

ඒ ගැන නම් කතා කළ යුතුමයි. දිනේෂ් කිවුවම සමහරු හිතනව මෙයා අලුත් එක්කෙනෙක් නෙ, එහෙනම් ඇත්තෙ නූතන සංගීතෙ කියල. ගුත්තිල කිවුවම සමහරු හිතනව එහෙනම් ඇත්තෙ සාම්ප්‍රදායික ඉපැරැණි සංගීතය කියල. නමුත් මේකෙ තියෙන්නෙ මේ දෙකේම සම්මිශ්‍රණයක්. ඔහු නව පරපුරේ නිහතමානී දක්ෂ කෙනෙක්. සමහර දේවල් අපි දන්නවා එයාලට වඩා. ඒවගේම තවත් සමහර දේවල් එයාල දන්නවා අපිට වඩා. මේ දෙක එකතු වුණහම තමයි හොඳ දෙයක් බිහිවෙන්නේ. මෙතනදි අපි දෙන්න එකට එකතු වුණා. ගොඩක් දේවල් සාකච්ඡා කළා අපි කොහොමද මේක නවතාවයකින් කරන්නෙ කියලා.

හැමෝගෙම කතාබහට ලක්වෙන ගුත්තිලගෙ වීණාව නිර්මාණය වුණේ කොහොමද?

මේක නම් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේක පස්සෙ ආපු නූතන ඉන්දියානූ සිතාරයවත්, දිල්රුබා එකවත්, එස්රාජයවත්, උතුරු ඉන්දියානු වීණාවවත් නොවෙයි. මේ වීණාව උපකල්පිත භාණ්ඩයක්. දිනේෂ් ගොඩක් පර්යේෂණ කරල තමයි මේ වීණාව වගේම ඒකට අවශ්‍ය නාදය නිර්මාණය කළේ. අපි හැමෝම කතාවෙලයි මේක රඳව ගන්න විදිහ, වාදනය කරන ඉරියව්ව, වාදනය කරන ක්‍රම, වාදනය සඳහා උපයෝගී කරගන්න පොඩි පික් එක නිර්මාණය ක‍ළේ. වෙනින් භාණ්ඩ ඔළුවෙ තියාගෙන මේ දිහා බලන්න එපා කියන එකත් මං මෙහිදී මතක් කරනවා.

 

Comments