අපේ යොහානිට ගෝල්ඩන් වරමක් | සිළුමිණ

අපේ යොහානිට ගෝල්ඩන් වරමක්

ජනප්‍රිය ශ්‍රී ලාංකේය ගායිකා යොහානි ද සිල්වාට තවත් අපූරු අවස්ථාවක් උදා වී තිබෙනවා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි රන් වීසා බලපත්‍රයක් (Golden Visa) ඇයට පිරිනැමීමට එහි බලධාරීන් පියවර ගැනීමත් සමඟයි. මෙම රන් වීසා බලපත්‍රය එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පිරිනමනු ලබන්නේ සුවිශේෂී දක්‍ෂතා සහිත පුද්ගලයන් වෙත යි. එවැනි පුද්ගලයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ජීවත් වීමට, රැකියා කිරීමට සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීමට මේ තුළින් අවස්ථාව උදා වෙනවා. සාමාන්‍යයෙන් මෙම වීසා බලපත්‍රය වසර 10 ක කාලයකට වලංගු වන අතර එය දීර්ඝ කිරීමටත් හැකියාව ඇති බව සඳහන්.

ආයෝජකයන්, විද්‍යාඥයන්, ව්‍යවසායකයන්, දීප්තිමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැනි අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම රන් වීසා පිරිනමනවා. ඉන්දියාවේ ෂාරුක් ඛාන්, රන්වීර් සිං, වරුන් ධවාන්, අල්ලු අර්ජුන්, මෝහන්ලාල්, සෝනු නිගම් වැනි කලාකරුවන් ද මෙම රන් වීසා බලපත්‍රයෙන් උපහාර ලබා තිබෙනවා. මෙම දුර්ලභ සහ මහඟු අවස්ථාව හිමි කරගන්නට හැකි වීම සැබැවින්ම යොහානි ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි.

මේ සම්බන්ධයෙන් ඇය පසුගිය දා ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා තිබෙනු දැකිය හැකි වුණා. මෙම අවස්ථාව උදා කර දීම සඳහා කටයුතු කළ සියලු දෙනාටම ඇය හෘදයාංගම ස්තුතිය පිරිනමා තිබුණා. ‘මෙය මගේ පමණක් ජයග්‍රහණයක් නොවෙයි. ඔබලා සියලු දෙනාගෙන් ලැබුණු සහයෝගය සහ ආදරය පිළිබඳ සහතිකයක්’.

ඇයගේ සුවිශේෂී හැකියාවන්ට ද, කලාවට, සංස්කෘතියට, විනෝදාස්වාදන ක්‍ෂේත්‍රයට ඇය කළ දායකත්වයට ද උපහාර දැක්වීමක් ලෙස මෙම රන් වීසා බලපත්‍රය ඇය වෙත පිරිනැමීම සලකන්න පිළිවන්. යොහානි පසුගිය කාලයේ ඩුබායි හි ද බොහෝ කලා කටයුතුවල නිරත වී තිබූ බව පැවසෙනවා. ලබන ජූලි 30 වැනි දිනට 30 වැනි විය සපුරන ඇය සිය කලා දිවිය තුළ මෙවැනි සාර්ථක ගමනක් යමින් සිටීම ශ්‍රී ලාංකික කලා රසිකයන්ගේ මහත් සතුටට හේතු වන්නක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

යොහානි දිලෝකා ද සිල්වා ලොව පුරා ජනප්‍රියත්වයක් හිමි කරගත්තේ 2021 වසරේ ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් බව කාටත් රහසක් නොවෙයි. එය ඉන්දියාව ඇතුළු බොහෝ රටවල එක රැයින් ජනප්‍රිය වූ අතර ගීත ලෝලීන් උන්මාදයට පත් කිරීමට සමත් වුණා. යූටියුබ් හි එය මිලියන 200 වාරයක් නරඹා තිබුණා. මෙම ගීතයේ ජනප්‍රියත්වයත් සමඟ යොහානිට ඉන්දියානු සිනමා ක්‍ෂේත්‍රයට ද පිවිසෙන්නට අවස්ථාව උදා වුණා. හින්දි සහ දෙමළ චිත්‍රපට කිහිපයකම ඇය මේ වන විට ගී ගයා තිබෙනවා. ‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් Thank God නමැති හින්දි සිනමාපටයට ඇතුළත් වුණා. එහි ප්‍රධාන චරිත රඟපෑවේ අජේ දේව්ගන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා.

ලොව බොහෝ රටවල සංගීත ප්‍රසංග සඳහා පවා යොහානි ඇරයුම් ලැබූ අතර ඉන්දියාවේ සල්මාන් ඛාන්, රන්වීර් සිං වැනි සුපිරි බොලිවුඩ් නළුවන් මෙහෙයවන බිග් බොස්, බිග් පික්චර් වැනි ජනප්‍රිය රූපවාහිනි වැඩසටහන්වල පෙනී සිටීමටත් ඇයට අවස්ථාව හිමි වුණා. සල්මාන් ඛාන් ඇය සමඟ එක්ව ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කිරීමට උත්සාහ කළ අවස්ථාවත් ඉතා රසවත් අවස්ථාවක්. යොහානි ඩුබායි හි ද සංගීත ප්‍රසංග පවත්වා තිබෙන අතර ඒවා සංගීත රසික රසිකාවියන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණා.

ඇයගේ සංගීත කටයුතු වඩාත් විධිමත් ආකාරයෙන් ආරම්භ වූයේ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කර 2019 වසරේ ලංකාවට පැමිණීමෙන් පසුවයි. ඕස්ට්‍රේලියාවේ දී ඇය ඉගෙන ගත්තේ ගණකාධිකරණය යි. ලංකාවට පැමිණීමෙන් පසු යොහානි ගීත රැසක් ගායනා කළමුත් ඇය රටේම සුපතළ ගායිකාවක බවට පත් වූයේ 2021 වසරේ ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ත් සමඟ යි. එදාමෙදා තුර ඇය ගැයූ ගීත බොහොමයක් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. පසුගිය කාලයේ නිකුත් වූ Chunari Mein Daag, Chaudhary වැනි හින්දි ගීතත් බෙහෙවින් ජනප්‍රිය වුණා.

යොහානිගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් ජනරාල්වරයකු වූ ප්‍රසන්න ද සිල්වා. ඇගේ මව කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කටයුතු කර තිබුණා. යොහානිට ෂාවින්ද්‍රි නමින් නැඟණියක් ද සිටිනවා. ඇය වෛද්‍යවරියක වීම සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බව සඳහන්.

 

 

Comments