සුන්දර මොනරාගේ අසුන්දර ගහන ඝනත්වය | සිළුමිණ

සුන්දර මොනරාගේ අසුන්දර ගහන ඝනත්වය

මොනර ගහණය පාලනය කරන්න පරිසර හිතකාමි විකල්ප සෙවිය යුතුයි
- වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර

මොනරා ලංකාවේ වියළි භාවය පැතිරීම පෙන්වීමේ දර්ශක විශේෂයක් 
- ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන

මොනර පිහාටුවක් හොයා ගන්නට කතරගම යන කාලයක් එනතුරු ආසාවෙන් බලා සිටි යුගයක් අපට තිබිණි. ඈත වන්නියේ වන අරණක මොනරෙක් දකිනු රිසිව පැය ගණන් ගත කළ අවදි තිබිණි. දශක කීපයකට පෙර මොනරා අපට විස්මයක් වූයේය. 

ඒ විස්මය රටට ව්‍යසනයක් වී ඇති අයුරු දැනෙන්නට පටන් ගත්තේ අපේ ගෙදර වහල මත හිඳිමින් මොනරා නැටුම් නටන්නට පටන් ගත් පසුවය. වියළි කලාපයේ විවෘත තැනි භූමි සිය වාසභූමි කරගෙන හැසිරුණු මොනරුන් කොළඹ නගර මැද පමණක් නොව, හෝර්ටන් තැන්නේ ද හමුවන විට විද්වත්හු තිගැස්සුණහ. දකින ඕනෑම දෙයක් සිය ආහාරයට ගන්නා මොනරා නිසා හෝර්ටන් තැන්නට ආවේණික ගහන ඝනත්වය අඩු සර්ප විශේෂ, සත්ත්ව විශේෂ කටුසු විශේෂ නැත්තටම නැති විය හැකි බවට අදහස් පළ විය.

මොනරා ගේ දැක්ම හෝර්ටන් තැන්නට සොහොන් ලකුණු ගෙනත් තිබිණි.

මොනර ගහනය වැඩිවී ඇති බවට සලකුණු රට පුරාම නිරීක්ෂණය වෙමින් තිබිණි. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වගා හානි සත්ත්ව ලැයිස්තුවක් පිළියෙළ කළේය. එම හානි ලැයිස්තුවේ 03 වැනි තැන ඉන්නේ මොනරාය.

දැන් මොනරා සංරක්ෂිත සත්ත්ව ලැයිස්තුවේ නැත. කථිකාව උණුසුම්ය. අවශ්‍ය නම් මොනරා මැරිය හැකිය. නඩු නැත. සමාජය පුරාම මොනර දඩයම පිළිබඳ සංවාදයක් ඇතිවෙමින් තිබේ. අප මේ කථිකාව ගොඩනඟන්නට උත්සාහ කරන්නේ ඒ පසුබිමේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය හෙළි කරන පරිදි වර්ෂ 2022 වනසතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර තිබේ. ඒ පර්යේෂණයේදී සත්ත්ව විශේෂ 13ක් වගා හානි සඳහා ප්‍රමුඛ බලපෑම් කරන අයුරු හඳුනා ගත් ආකාරය එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. අමාත්‍යංශ වාර්තාවලට අනුව වගා හානි සත්ත්වයන් 13 දෙනාගෙන් සත්ත්ව වර්ග 05ක් වගාවට බරපතළ හානි සිදු කරන්නේය. ඔවුන් පවසන්නේ ඒ ප්‍රබල වගා හානි සත්ත්ව වර්ග 05 රිළවා, දඬුලේනා, මොනරා, වඳුරා, සහ වල් ඌරා බවය. 

කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ පරීක්ෂණය අනුව වගාවන්ට හානි කරන සතුන් පෙළ ගැස්වූ විට වන සත්ත්ව හානි ලැයිස්තුවේ අංක 03ට ඉන්නේ මොනරාය. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මේ තත්ත්වය ගැන සිදු කරන පැහැදිලි කිරීම මෙසේය.

“වගාවන්ට සිදු වන හානිය පිළිබඳ වූ අපේ පර්යේෂණය ගොවිජන බල ප්‍රදේශ 200ක් පුරා සිදු කළා. ඉන් 175කම මොනරාගෙන් සිදුවන හානි බලපෑම දක්නට ලැබුණා. මේ අතරින් මොනරා වැඩිපුරම හානි කරලා තිබුණෙ වීවලට. වී වපුරපු දවසේ ඉඳන් අස්වනු නෙළා ගන්නා අවස්ථාව දක්වා වී වගාවට මොනර හානිය වාර්තා වෙලා තිබුණා. මේ පක්ෂියා එළවළුවලට කරන හානිය ගොවි ජන බල ප්‍රදේශ 100ත් බඩඉරිඟු සහ වෙනත් ධාන්‍යවර්ගවලට කරන හානිය බල ප්‍රදේශ 35ක් පුරාමත් දක්නට ලැබුණා. වී වගාවෙන් වැඩිපුරම මොනරු හානි කරලා තියෙන්නෙ ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලට. එළවළුවලටත් වැඩිපුරම මොනර හානිය වාර්තාව වෙලා තිබුණේ ගාල්ලෙන්. ගෙවතුවලට වැඩි වශයෙන්ම හම්බන්තොටදි සහ මාතරදි හානි වාර්තා වෙලා තිබුණා. කෙසෙල්වලට ප්‍රමුඛ හානියක් වෙලා තියනවා හම්බන්තොට සහ ගාල්ලෙදි." 

ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන්ගෙන් වගා හානි ආරක්ෂා කර ගැනීමට කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවයි. ඉදිරිපත් වී ඇති විකල්ප කිසිවක් ප්‍රායෝගිකව ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට තරම් දියුණු නැත. කෙසේ වෙතත් දැන් තුවක්කු ගොවියන් ගාව ඇත. තහනම් වන්නේ "වගා හානි සතුන් "මරා මස් කර විකිණීමය.

මේ අතර ව්‍යාප්තිය සහ වගා හානිය වැඩි බව කියන මොනරුන් මරා සිදු කළ යුතු ගහන පාලනයක් ගැන ද කතා කරනු ඇසේ. එහෙත් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ ඔහු දන්නා ආකාරයට මොනරුන් පිළිබඳ බරපතළ තීරණයක් ගත හැකි තරමේ ප්‍රාමාණික පර්යේෂණයක් මෙතෙක් මේ රට තුළ සිදු කර නැති බවය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මොනර ප්‍රශ්නය ගැන අපට කීවේ මෙවැන්නකි. “මොනරුන්ගේ ගහනය ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. ඒකට තියන දර්ශකය තමයි ගහනයක් විදිහට ස්ථාවරව නොවී සිටින ප්‍රදේශවල නවාතැන් ගන්නා සතුන් ඉන්න බව පෙනී යනවා. ඒකෙන් අදහස් වෙන්නේ යම් කිසි ආකාරයක ගහනය වැඩි වීමක් සහ ව්‍යාප්ත වීමක් සිදුවෙලා කියන එක තමයි. ඒ හැරෙන්න මා දන්නා විදිහට සංඛාත්මක විශ්ලේෂණයක් කරගත හැකි විදිහේ විධිමත් ගහන අධ්‍යනයක් තවමත් මොනරු සම්බන්ධව රට තුළ සිද්ධ වෙලා නෑ. එහෙම විධිමත් පරීක්ෂණයක් සිදුවනවා නම් අප එක්ක සම්බන්ධ වෙලා තමයි එය කරන්න ඕන. දෙපාර්තමේන්තුවක් ලෙස පවතින ප්‍රමුඛතා ලැයිස්තුව දිහා බලනකොට වනවජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වුණත් ලේසි නෑ තනියම එවැනි පර්යේෂණයක් කරන එක. නමුත් නිරීක්ෂණ බහුලයි. 

ඔබ දැන් විමසන ගහන ඝනත්ව පාලනය ගැන කිව්වොත් එය වන ජීවී සංරක්ෂණ විෂයෙහි පාලන ක්‍රමවේදයක් තමයි. එම ක්‍රමය භාවිත කරනකොට විද්‍යාත්මක අධ්‍යයන වගේම රටක සමාජ සංස්කෘතික ඇගයීම් සමුදායත් එක්ක තුලනය කරලා. එම ක්‍රම ක්‍රියාත්මක කරන්න ඕන විද්‍යාත්මක අධ්‍යයනකින් පස්සෙ ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු සමඟයි. එවැනි විද්‍යාත්මක අධ්‍යයනයක් තවම අපේ රටේ නෑ." වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිබණ්ඩාර කීවේය.

එහෙත් වන සත්ත්වයන් විෂයෙහි පෘථුල පර්යේෂණ ගණනාවක් කළ විශිෂ්ට විද්වතකු වූ මහාචාර්ය නිහාල් දයාවංසට අනුව වනසතුන් පිළිබඳ ප්‍රමුඛ පර්යේෂණ වගකීම සහිත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව රටේ විද්වත් ආයතන සම්බන්ධීකරණයෙන් මොනරුන් පිළිබඳ විධිමත් පර්යේෂණයක් සිදු කිරීම පැහැර හැරිය නොහැකි වගකීම දරන බවයි.

මහාචාර්ය නිහාල් දයාවංස අප සමඟ සංවාදයට එක් වන්නේ මෙම ප්‍රශ්නයේ ගැඹුරුම තැන් ආලෝකවත් කරමිනි.

“දැනට අවුරුදු තුනකට කලින් විල්පත්තුවේ ගවේෂණයක් කළා මිනිස්සු සම්බන්ධ කරගෙන. අපි ඒකට විද්‍යාත්මක ක්‍රමවේදයක් පාවිච්චි කළා. එතනදි මිනිස්සුගෙන් අපි ඇහුවා තමන්ගෙ ගොවිතැනට වැඩිම වනජීවී ප්‍රශ්නය තියෙන්නෙ මොන සතාගෙන් ද කියලා. අපි බලාපොරොත්තු වුණා ඔවුන් අලියා කියලා කියාවි කියලා. නමුත් මිනිස්සු කිව්වේ ලොකුම ප්‍රශ්නය තිබෙන්නේ මොනරාගෙන් බව.

ඔවුන් කිව්වේ මෙහෙම කතාවක්. “අලි එන වෙලාව දන්නවා. ඔවුන් එන තැන දන්නවා. අලි සම්බන්ධව මොනවා හරි කරන්න පුළුවන්. නමුත් මොනරුන්ගෙන් සිදුවන වගා හානිය දවස පුරාම වෙනවා. මොනරා එන වෙලාව කියන්න බෑ. පාලනය කරගන්න කොහොමටවත් බෑ”. ඒක කදිම පර්යේෂණ දත්තයක්.

ඊට පස්සේ අපි විද්‍යාත්මක ක්‍රම කීපයක් සංකලනය කරගනිමින් වස්ගමුවේ පර්යේෂණයක් කළා. වස්ගමුවේ සුළුගුණේ ගමට ගියා. ගිහින් මිනිස්සුන්ගෙන් ඇහුවා ඔබට වැඩිපුරම වගා හානි කරන සතා කවුද කියලා . ඔවුන් කිව්වෙත් මොනරා කියලා. සියලුම සතුන්ට වඩා මොනරාගේ වගා හානියේ බලපෑම ජන සමාජයට දැනිලා තිබුණා. මේ දත්ත දෙකම කදිම විද්‍යාත්මක දත්ත දෙකක්. මේ වනවිට ඇති සීමිත දත්ත ගොනුවලින් පෙනී ගොස් ඇත්තේ වස්ගමුවේ වියළි කොටසේ ඉඳන් නකල්ස් පැත්තට යනකම් ගහනය ව්‍යාප්ත වෙලා තියනවා.” ගහනයක පාලනයක් අවශ්‍ය නම් එය කළ හැක්කේ කෙසේ ද? අපි මහාචාර්යවරයාගෙන් විමසුවෙමු.

“යම් කිසි වනජීවි ගහනයක් ලොකු ප්‍රශ්නයක් වුණාම ඔවුන්ගෙන් කොටසක් ඉවත් කිරීම ලෝකයේ හැම රටකම වෙනවා. නමුත් එසේ ඉවත් කරන්න නම් නිවැරැදි පදනම් දත්ත අවශ්‍යයයි. පදනම් දත්ත නැතිව අපට කිසිම තීරණයක් ගන්න බෑ. එම දත්තවලින් අපි බලන්න ඕන මේ ගහනය ස්වභාවිකම උඩ පහළ යනවද කියලා. ගහන ඝනත්වය නිවැරැව හඳුනා ගන්න ඕන.” මරලා ගහන පාලනය කරන්න හිතනවා නම් ගහන ඝනත්වය සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත විතරක් මදි. චර්යාව ව්‍යාප්ත වන විදිහ සම්බන්ධ දත්ත, සංසර්ග ක්‍රමවේදය සම්බන්ධ දත්ත අවශ්‍ය වෙනවා. මේ ගහන පාලනය සඳහා අවශ්‍ය විද්‍යාත්මක වැඩපිළිවෙළ වනජීවී දෙපාර්තමේන්තුව තමයි කරන්න ඕන. එය අමාරු වැඩක් නොවෙයි. එහෙම දත්ත විශ්ලේෂණයක් නැතිව කිසිම සතෙක් මරන්න කතා කරන්න බෑ. 

මීට ටික කාලෙකට ඉස්සර කොළඹ කපුටු ගහනය පාලනය කරන්න ඕන කියන කතිකාව ආවා. මේ අතරෙම කපුටන්ට වස දීලා කපුටන් විශාල ප්‍රමාණයක් මැරුණා. එය කළේ කවුද කියලා කවුරුත් දන්නේ නෑ තවම කපුටු ගහනය පාලනය කරන්න බිත්තර එකතු කරලා විනාශ කරන වැඩසටහනක් කරමුද කියලා කොළඹ නගරසභාව සහ කොළඹ විශ්වවිද්‍යාලය අපෙන් ඇහුවා. නමුත් මම කිව්වේ කපුටු ගහනය පාලනය කරන්න එහෙම ක්‍රමවේදයක් අවශ්‍ය නෑ. කොළඹ තියන විවෘත කුණු කසළ දාන තැන් අඩු කළොත් එය කරන්න පුළුවන් කියලා.

ඔවුන් වර්ෂ 2015දී කොළඹ ලස්සන කරන්න ගත්තා. කපුටු ගහනය කැපී පෙනෙන ලෙස අඩු වුණා. මරන්නේ නැතිව බිත්තර විනාශ කරන්නේ නැතිව පාලනය කරන්න විදිහක් තිබුණා. මොනරු ස්වභාවිකව පාලනය කරන්න ක්‍රමවේදයක් තියනවද කියලා අපි තව හොයලා නෑ. සමහර පළාත්වල මොනරු අඩුයි.

ඔවුන් පාලනය කරන්න විලෝපිකයෙක් ඉන්නත් පුළුවන්.

උදාහරණයක් හැටියට නරින් වගේ සත්තු මොනර බිත්තර කනවා. ඒ විලෝපිකයන් ගැනත් අපි හොයලා නෑ. ඒ ගැන දන්නෙත් නෑ. ඒ නිසා වනජීවි දෙපාර්තමේන්තුව මුල් වෙලා වැඩපිළිවෙළක් පුළුවන් තරම් ඉක්මනට ඉදිරිපත් කරන්න ඕන. " මහාචාර්යවරයා කීවේය.

ඔහු කියන්නේ අවශ්‍ය නම් ගහන ඝනත්වය පාලනය කිරීමේ වගකීම වනසරංක්ෂණ දෙපාර්තමේන්තුවට තිබෙන බවත් මිනිස්සුන්ට තුවක්කු දී ගහන පාලනය කිරීමට උත්සාහ කිරීම අවිද්‍යාත්මක ක්‍රමයක් බවය. ‍

ආචාර්ය ජගත් ගුණවර්ධන පරිසරය වෙනුවෙන් කැප වුණු සම්භාව්‍ය විද්වතෙකි. පරිසර නීති විශාරදයෙකි. ඔහු ජනතා විද්‍යාඥයකු ලෙස මොනරුන් සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණ රටේ අනාගතය විෂයෙහි ගැඹුරු අවධානයක් සහිත අදහසක් මතු කරන්නේය.

“ජනතා විද්‍යා පර්යේෂණ ස්වරූපයෙන් කළ නිරික්ෂණවලදී මා දුටු දේ තමයි අතීතයේ වියළි කලාපය තුළත් දුර්ලභව සිටිය මොනරා සිය ගහන ඝනත්වය වැඩි කරගෙන තියනවා වගේම ඊටත් වැඩිය තෙත් කලාපය තුළ ගහන ඝනත්වය වැඩිකරගෙන තියනවා. ශීඝ්‍රයෙන් බෝවීම පෙන්නලා තිබෙනවා. මොනරාගේ මේ තෙත් කලාපයේ ව්‍යාප්තිය කියන සංසිද්ධිය අපි දැක්කෙ මීට අවුරුදු 20ක් 25ක් ඈත කාලෙදි. මාතර දිස්ත්‍රික්කයෙන් ටික ටික ගාල්ලට ආවා. පසුගිය දශකය තුළ කළුතර දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, පුත්තලම දිස්ත්‍රික්කයේ පහළ කොටස මීගමුව අයිතිවන ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් කොටස්, ඒ වගේම කඳුකරයේ මහනුවර දිස්ත්‍රික්කය, නුවරඑළි දිස්ත්‍රික්කයේ ඇතැම් කොටස් දක්වා විශාල ව්‍යාප්තියක් සහ වර්ධනයක් තෙත් කලාපය තුළ මොනරා පෙන්නුවා. මා හඳුනාගෙන තියෙනවා මේ ව්‍යාප්තිය සම්බන්ධව එකට එකක් බැඳුණ හේතු කීපයක්. 

මොනරා ප්‍රිය කරන්නේ වියළි විවෘත ප්‍රදේශවලට. අපි කැලෑ එළි කරලා වියළි විවෘත ප්‍රදේශ ඇති කරලා තියෙනවා. මේ කැලෑ එළිකිරීම මොනරාගේ ගහන ඝනත්වය වැඩි කිරීමට සහ පැතිරීමට හේතු වී තිබෙනවා. අංක දෙක තමයි කටුපොල් වගාව නිසා භූමියේ විවෘත ස්වභාවයත් එක්ක මොනරු ව්‍යාප්ත වෙලා තියෙනවා. තේ හෝ රබර් වගාවන් සමඟ මොනරාට පවතින්න බැරි වුණත් කටුපොල් වගාව තුළ තිබෙන වියළි බව සහ ගස් අතර පරතරය මොනරාගේ පැවැත්මට බොහෝ ඉහවල් වෙනවා. ඒ කියන්නේ සමහර වගාවන් හඳුන්වා දීම සහ වගාවන් වෙනස් කිරීමෙන් මොනරාට හිතකර පරිසරයක් හැදුණා.

තුන්වැනි කාරණාව තමයි වියළි කලාපය සිට තෙත් කලාපයට ගමන් කිරීම සඳහා අඛණ්ඩ කලාප නිර්මාණය වීම. ඒකට අලුතින්ම එකතු වුණේ අධිවේගී මහා මාර්ග. හතරවැනි කාරණය තමයි මොනරාගේ ස්වභාවික සතුරා වු‍ණේ උගේ පැටවුන් සහ බිත්තර ආහාරයට ගන්නා නරියා වගේ සතුන් දුලබ වීම. එයත් හේතුවක් වුණා මොනරාගේ ව්‍යාප්තියට.

පස්වැනි කාරණාව මොනරා අලුතින් ව්‍යාප්ත වන ප්‍රදේශවල සුලබව කෑම ජාති තිබීම. තෙත් කලාපයේ කුඩා සතුන්, උරගයන්, උභය ජීවින්ට මොනරාගෙන් හානියක් වෙනවා වගාවන්ට අමතරව.

මොනරා වගේ සතුන් අවස්ථාවාදී විශේෂ, ඔවුන් පරිසරයේ සිදුවන වෙනස්කම් ඔවුන්ගේ ව්‍යාප්තිය සහ ගහන ඝනත්වය වැඩි කරගන්න උපයෝගී කර ගන්නවා. ප්‍රශ්නය එය නොවෙයි.

මොනරා කියන්නේ දර්ශකය විශේෂයක්. වියළි භාවය ලංකාවෙ පැතිරෙනවා කියන දර්ශකය තමයි මොනරා. එය කිසිම කෙනෙක් ගණන් ගත්තේ නෑ. මොනරාට දෙස් දෙවොල් තියන අයට මතක නෑ මොනරා කියන්නේ මේ රටේ යම් ජන කොටසක් ඇති කළ විනාශයක ප්‍රතිඵලයක් කියන එක. ඒ විනාශය ගැන කතා නොකර මොනරා ගැන කථා කරන අදූරදර්ශී මිනිස්සු පිරිසක් අපි. මොනරා රට පුරා ව්‍යාප්ත වෙනවා කියන්නේ රට පුරා වියළි භාවය වැඩි වෙනවා කියලා. මේ පණිවිඩය පරිසරයෙන් ගෙනෙන මේ දර්ශක පක්ෂීන් දෙන්නා තමයි අලුකොබෙයියා සහ මොනරා. මේ කියන දේ කිසිම කෙනෙක් ඇහුවෙ නෑ.” ආචාර්ය ජගත් ගුණවර්ධන කීවේය.

මොනරා අනතුරු ඇඟවීමේ දර්ශකයක් විය. දැන් ඒ අනතුරු ඇඟවීමේ සංඥාවම අනතුරක් වී තිබේ. එම සංකීර්ණය විසඳා ගැනීමට රටට අවශ්‍ය වඩාත් විදුහුරු ප්‍රවේශයක් බව අපි විශ්වාස කරමු. එසේ නොවනතාක් කල් ප්‍රශ්න කෙළවර වන්නේ ප්‍රශ්න පත්‍රවලින් බව සිහි තබාගැනීම වැදගත්ය.

Comments