ගමත් කා රටත් කන විෂාදය | සිළුමිණ

ගමත් කා රටත් කන විෂාදය

මේ රටේ ජනගහනයට අයත් අවුරුදු 10 - 24 අතර සිටින පිරිසෙන් 39%ක්ම විෂාදයෙන් හෙවත් depression නමැති මනෝ ව්‍යාධියෙන් පෙළෙන බව සමීක්ෂණයකින් හෙළිවී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය මඟින් විසි අවුරුද්දක කාලයක් තිස්සේ පුද්ගලයන් 52,000ක් යොදාගෙන කෙරුණු මේ සමීක්ෂණයේ ප්‍රතිඵල ජර්මනියේ කීර්තිමත් වෛද්‍ය සඟරාවක පළ වී ඇත. යහපත් සෞඛ්‍ය යනු උසට මහතට හැදුණු කඳක් නොවේ. එසේම ජිම් එකට ගොස් දිනපතාම යකඩ කුට්ටි එසවීමෙන්ද සෞඛ්‍ය තීරණය කළ නොහැකිය. මෝඩයා තල් ගසක් සේ වැඩෙන්නේ යැයි භාග්‍යවත් ගෞතම බුදුන් වහන්සේ දේශනා කළහ. කොතරම් කඳ බඩ උසට හැදුණත් ගල් පෙරළීමට තරම් හයිය හත්තිය තිබුණත් ඒ තැනැත්තා සෞඛ්‍ය සම්පන්න මිනිසකු වන්නේ ඔහු සිතන පතන දේ යථාර්ථවාදී නම් පමණි. ඔහු නිතර සිහින ලොවක නිමග්න වී ව්‍යාජ කල්පනාවන්ගෙන් හිස පුරවා ගෙන ඒවා ඉටුකර ගැනීමට නොහැකි වන බව දැන ගැනීමෙන් පසු මානසික පිරිහීමකට ලක්වන්නේ නම් ඔහු රෝගියෙකි. මේ රටේ ජනගහනය මේ වනවිට දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ඇත. මේ දෙකෝටි විසි ලක්ෂයම යථාර්ථවාදී සහ ශක්තිමත් මානසික මට්ටමකින් පවතින්නේ නම් ඔවුන් ලවා ඉන්දියන් සාගරය හිස් කිරීමට වුව ද පුළුවන. එහෙත් ඉන්දියන් සාගරය තබා ළිඳක් ඉහ ගැනීමටවත් මේ අයට නොහැකිය. එයට හේතුව විෂාදය නමැති මානසික ව්‍යාධිය මඟින් ඔවුන් පරිහානියට පත්ව තිබීමය.

විෂාදය යනු තනිකරම මනස හා සම්බන්ධ ලෙඩකි. ලෝක ජනගහනයෙන් මිලියන 280ක් මේ රෝගයෙන් පෙළෙති. කෙනකුගේ සිතුම් පැතුම්වලට චර්යාවට සහ විඤ්ඤාණයට මේ රෝගය මඟින් දැඩි හානියක් කරනු ලැබේ. විෂාදය සහිත රෝගියාට අනාගත අරමුණක් නැත. එනම් හෙතෙම අපේක්ෂා භංගත්වයෙන් පසු වෙයි. සතුට නමැති සාධකය මෙලොව පවතින බව විෂාද රෝගියා දන්නා නමුදු එම සතුට භුක්ති විඳින්නේ කෙසේද යන්න ඔහුට නොතේරේ. විෂාද රෝගියා නිතරම සිටින්නේ දුකෙනි. අමනාපයෙනි. ඔහුට කුසගින්නක් සහ නිදා ගැනීමේ අවශ්‍යතාවක් නැත. නින්ද යාමට නම් ඔහු නිදි පෙති පානය කළ යුතුය. ඔහු නිතරම දුකින් සිටින බව අපි කිව්වෙමු. ලෙඩා දුකින් සිටින විට වෙදා ඉන්නේ සතුටිනි.

මානසික ආතතිය හෙවත් විශාදයට පාදක වන මූලික සාධකය නැති කිරීම සඳහා තාවකාලික ඖෂධ ද ඇත. විෂාද රෝගියෙක් මේවා දිගින් දිගටම ගන්නේ නම් ඉතාම ස්වල්ප කාලයක් තුළ එම ඖෂධවලට පුරුදු වීමට ඔහුට හෝ ඇයට සිදු වේ. මේවාට පුරුදු වූ විට ඒවා නැතිව ජීවත් වීමට විශාද රෝගියාට නොහැකිය. තරුණ තරුණියන් කුඩු ගැසීමට පුරුදු වන්නේ මානසික අවපාතයක් හටගන්නා අවස්ථාවකදීය. සමහරවිට එය විෂාදයේ මූලාරම්භක අවස්ථාව වීමට ඉඩ තිබේ. මත්ද්‍රව්‍යයක් ගත්විට පැය කිහිපයක් නිද්‍රාජනක මානසික මට්ටමකට ළඟා වී කිසිදු කරදරයක් ගැන නොහිතා ආතල් එකක් ගැනීමට හැකියාව ලැබෙයි. මේ ආතල් එක තුළ සිටින විට කිසිදු වැඩක් කිරීමට නොහැකිය.

මත්ද්‍රව්‍යවල අතුරු බලපෑමක් වශයෙන් සොටු පෙරමින් ද, කඳුළු ගලමින් ද කාලය ගත කිරීමට ඒවා පාවිච්චි කරන අයට සිදු වේ. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම විෂාදයේ මූලික අවස්ථාවක් බව අපගේ වැටහීම වේ. කෙනෙක් දුකින් පෙළෙමින් අඩාළ වූ ජීවිතයක් ගත කරන විට ඒ සියල්ල අමතක කර චූන් එකේ සිටීමට නම් කුඩු ඇබින්දක් ගැසිය යුතු බව ඔහුගේ හෝ ඇයගේ යහළුවන් කියනවා ඇත. ජීවිතයේ එකම එක වරක් පමණක් කුඩු චුට්ටක් ගසා අත්දැකීමක් ගන්නෙමැයි සිතමින් ඔහු හෝ ඇය කුඩු ගැසූ විට මරණය දක්වා ඒ පුරුද්ද අත්හැර ගැනීමට නොහැකිය. විශාද රෝගියා කුඩු වලට පුරුදු වුනොත් යළි කවදාවත් ඔහු ගොඩගැනීමට හැකි වන්නේ නැත. හැබැයි විෂාද රෝගියා වෛද්‍යවරයකුට යොමුකර ක්‍රමවත් ලෙස බෙහෙත් වලට හුරු කළොත් කිසියම් අවස්ථාවකදී එම බෙහෙත් අඩුකර රෝගියා එම බෙහෙත් වලට පුරුදු වීමෙන් වළක්වා ගැනීමට වෛද්‍යවරයාට හැකි වන්නේය. කුඩු සහ බෙහෙත් අතර ඇති වෙනස්කම්වලින් එකක් එසේ සඳහන් කරමු.

විෂාදය සඳහා දෙන ඖෂධ බොහොමයක් නිද්‍රාජනන ඖෂධ ගණයට වැටේ. මෙහිදී සිදු කරන්නේ විෂාද රෝගියාගේ මොළය අඩ නින්දකට පත්කර ඔහු පිස්සු කෙළීම වැළැක්වීමය. විෂාද රෝගියා කුඩුවලට පුරුදු වුණොත් ඔහු ආපසු ගොඩගැනීම ඉතාම දුෂ්කර වෙයි. විෂාදයට දෙන බෙහෙත් සහ මත්ද්‍රව්‍ය අතර විශාල වෙනසක් පවතී. මත්ද්‍රව්‍යවලට පුරුදු වූ විට නැවත ගොඩ ඒමක් නැත. කෙනෙක් මත්ද්‍රව්‍ය ගන්නේ වෛද්‍ය උපදෙස් මත නොවේ. මත්ද්‍රව්‍ය ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලැබෙන එකම එක අවස්ථාවක් තිබේ. එනම් කිසියම් රෝගියෙක් යළි ගොඩගැනීමට නොහැකි දරුණු රෝගයකට ගොදුරුව අධික වේදනාවකින් පෙළෙන අවස්ථාවය. එවිට වේදනා නාශකයක් වන මෝෆීන් නමැති මත්ද්‍රව්‍ය යොදාගෙන එම වේදනාව සමනය කරගත හැකිය. ගංජාවලද මෝෆීන් බහුලව තිබේ. මේ නිසා සුව කළ නොහැකි දරුණු පිළිකාවලින් පෙළෙන අයට ගෙවත්තේම ගංජා පැළ හතරක් වවා ගැනීමට බ්‍රිතාන්‍ය වැනි රටවල ආණ්ඩුවෙන් ඉඩ ලැබේ. එහෙත් විෂාදය යනු හරියාකාරව පාලනය කළොත් ගොඩදමා ගතහැකි රෝගයක් නිසා එම රෝගීන්ගේ පරිහරණයට ගංජා වැවීමට කිසිදු රටක ඉඩක් නොලැබේ.

මේ රටේ තරුණ පරපුර විෂාදයෙන් පෙළෙන්නේ ඇයි? එයට දිය හැකි උත්තරය ඉතා සංකීර්ණය. ආර්ථික ප්‍රශ්න අනාගතය සම්බන්ධයෙන් ස්ථාවරත්වයක් නොපෙනීම, දරිද්‍රතාව, පවුල තුළ පවතින ගැටලු, කෙනකු බාහිර ලෝකයේදී මුහුණදෙන ගැටලු යනාදිය විශාදයට හේතු ලෙස ගැනීමට පුළුවන. මේ ප්‍රශ්න සියල්ලම පැන නඟින්නේ ජන සමාජය තුළිනි. ජන සමාජයේ පාලනය ඇත්තේ දේශපාලකයා අතය. ඔහු සමාජය සංවිධානය කරන ආකාරයේ හැටියට ප්‍රශ්න පැන නැඟීම හෝ නොපැනනැඟීම සිදුවෙයි. මේ රටේ විශ්වවිද්‍යාලවල හැම මොහොතකම කුමක් හෝ අර්බුදයක් තිබේ. එම අර්බුදවල කොටස්කරුවන් හඳුනා ගෙන ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අධ්‍යයනයක් කළොත් එම පිරිසෙන් බහුතරයක්ම කුමක් හෝ විෂාද තත්ත්වයකින් පෙළෙන බව පෙනී යනවා ඇත.

මේ රටේ ජනගහනය කොතරම් දරුණු ලෙස විෂාදයට ගොදුරුව ඇත්ද යන්න ෆේස්බුක් සමාජ ජාලය වෙත පිවිසීමෙන් සොයාගත හැකිය. ෆේස්බුක් එකේ තිබෙන ඇතැම් දේවල් සහ ඒවා සම්බන්ධයෙන් යොදා ඇති අදහස් දකින විට ශ්‍රී ලංකාව උන්මත්තකයන්ගේ රාජධානියක් බව පෙනී යයි. විෂාදය පිළිබඳ හොඳම සාම්පලය වන්නේ දැනට රිමාන්ඩ් හිරගෙදර සිටින රාජාංගණේ සද්ධාතිස්ස හිමිය. ඔහු සිය මානසික පීඩනය මඟ හරවා ගන්නේ අමු තිත්ත කුණුහරුප කීමෙනි. මේ රටේ මානසික සෞඛ්‍ය ගැන වහාම ගැඹුරු වැඩපිළිවෙළකට යාමට ආණ්ඩුව පියවර ගත යුතුය. මේ රට කා දමනු ලබන්නේ විෂාදය විසින් යැයි අපට කිව හැකිය. එහි හොඳම මොඩලය අරගලයයි.

Comments