ජීවිතය ගැන කියන කේන්දරේ කොටු 12 | සිළුමිණ

ජීවිතය ගැන කියන කේන්දරේ කොටු 12

ලග්නය හෙවත් 1 කොටුව ශරීරය පෞරුෂත්වය පෙනීම ගතිගු ණ හෙළි කරයි

දෙවැන්න ධනස්ථානයයි තෙවැන්න සහෝදරස්ථානය සහ වික්‍රමස්ථානය ලෙස හැඳින්වේ

 

ජන්ම කේන්ද්‍රයේ ඇත්තේ කොටු 12 කි. එයින් පළමු කොටුව 'ලග්නය' හෙවත් පළමු භාවය ලෙස හැඳින්වේ. ලග්නය තනු හෙවත් ශරීරයකල්ප හෙවත් ශක්තිය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ ශරීරය, පෞරුෂත්වය, සාමාන්‍ය පෙනීම, ගතිගුණ, වාසනාව අවාසනාව, ශරීරයේ හැඩරුව වර්ණය ආදිය ලග්නයෙන් බලා ගත හැකිවේ.

ජන්ම කේන්ද්‍රයේ දෙවැනි කොටුව හෙවත් දෙවැනි භාවය ධනස්ථානය, කුටුම්භස්ථානය යන නම්වලින් හඳුන්වයි. ජන්මියාගේ ධනය, මුදල්මය කටයුතු, ලාභ ප්‍රයෝජන, බැංකුවේ ඇති ධනය ධන හානි දෙවැන්නෙන් බැලිය හැකි ය.

ජන්මියාගේ පවුල ගැන, ඉතා සමීප ඥානීන් ගැන, පවුලට සම්බන්ධ සියලු දේ ගැන දෙවැන්නෙන් කියැවේ. දෙවැන්න මුහුණ නියෝජනය කරන ස්ථානය වේ. මුහුණේ ඇති කට, දිව, ඇස්, දත්, නිකට, කම්මුල නිරූපණය කෙරේ.

ජන්ම කේන්ද්‍රයේ තුන්වන කොටුව හෙවත්, තෙවන භාවය සහෝදර ස්ථානය විකුමස්ථානය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ සහෝදර සහෝදරියෝ, අසල්වැසියෝ අන් අයගෙන් ලැබෙන සහයෝගය වික්‍රමය, ධෛර්යය හෙවත් සටන්කාමී බව, සුළු ගමන් බිමන්, පියාගේ නැදෑයෝ, තමන්ගේ කුසලතාව, ධාරණ ශක්තිය, ලිවීම, කියවීම, ආදිය තුනෙන් බැලිය යුතුය. ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටස තුන්වැන්නට අයත් වේ.

ජන්ම කේන්ද්‍රයේ සිවුවන කොටුව හෙවත් සිවුවන භාවය බන්ධුස්ථානය ගෘහස්ථානය, මාතෘස්ථානය යන නම්වලින් හැඳින්වේ. ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, මව, මවගේ නෑදෑයන් පිළිබඳ ඉන් ගම්‍ය වේ. කෙනෙකුගේ හිත පිළිබඳ සියලු දේ 'හතරෙන්' කියවේ. ශරීරයේ පපුව හතර වැන්නට අයත් වේ.

ජන්ම කේන්ද්‍රයේ පස්වන කොටුව හෙවත් පස්වන භාවය පුත්‍රස්ථානය, බුද්ධිස්ථානය යන නම්වලින් හැඳින්වේ. දරුවන් ලැබීම සහ නොලැබීම, දරුවන්ගේ තත්ත්වය, ආගම් හා දර්ශන පිළිබඳ ඥානය පහෙන් බැලිය යුතුවේ. ශරීරයේ උදර ප්‍රදේශය 'පහට' අයිති වේ.

ජන්ම කේන්ද්‍රයේ හයවැනි කොටුව හෙවත් හයවැනි භාවය ශත්‍රැස්ථානය, රෝගස්ථානය යන නම්වලින් හැඳින්වේ. ජන්මියාගේ ලෙඩ රෝග, මෙහෙකරුවන්, ආහාර පිළිබඳ, සතුරන් පිළිබඳ, ණය ගනුදෙනු, නැන්දා මාමා පිළිබඳව හයෙන් බැලිය යුතුවේ. ජන්මියාට සිදුවන අනතුරු, දෝෂාරෝපණ, කායික මානසික පීඩා, සොර බිය, මෙහෙකරුවන්ගෙන් ඇති වන විපත්, තරගවලින් ලබන ජයග්‍රහණ ද හයෙන් බැලිය යුතුවේ.

ජන්ම කේන්ද්‍රයේ හත්වැනි කොටුව හෙවත් හත්වැනි භාවය කාලත්‍රස්ථානය යන නමින් හඳුන්වයි. හත්වැන්න විවාහය ගැන කියවෙන රාශිය වේ. පුරුෂයකු නම් ඔහුගේ භාර්යාව සම්බන්ධවද ස්ත්‍රියකුගේ නම් ඇයගේ ස්වාමියා සම්බන්ධව ද ඒ දෙදෙනාගේ සම්බන්ධතා ගැන ද හතෙන් බැලිය හැකිවේ. යුග ජීවිතය ගැන කියන භාවය හත්වැන්න වේ. වෙළහෙළදාම, හවුල් ව්‍යාපාර, රැකීරක්ෂා ආදිය ද හතෙන් බැලිය යුතුවේ. ශරීරයේ උකුළ හා ඒ අවට ප්‍රදේශය හත්වැන්නට අයත් වේ.

ජන්ම කේන්ද්‍රයේ අටවැනි කොටුව හෙවත් අටවැනි භාවය මාරකස්ථානය, රන්ධුස්ථානය ආදී නම්වලින් හඳුන්වයි. මරණය සිදු වන ආකාරය අට වැනි භාවයෙන් බැලිය යුතුවේ. විවාහයෙන් ලැබෙන දායාද හවුල් ව්‍යාපාරවලින් ලැබෙන ලාභ, මියගිය අයගෙන් ලැබෙන ධනය අටෙන් බැලිය හැකිවේ.

ජන්ම කේන්ද්‍රයේ නවවැනි කොටුව හෙවත් නමවැනි භාවය පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, තපස්ථානය, ශුභස්ථානය ආදී නම්වලින් හඳුන්වයි. උසස් ඉගෙනීම, වැඩිහිටියන්ට ගරුසරු දැක්වීම, පියාගේ සැප දුක ආදී කරුණු නමයෙන් බැලිය හැකිවේ. කේන්ද්‍රයේ නම වැන්න උසස් අධ්‍යාපනය සම්බන්ධ සියලු කරුණු බලන ස්ථානය වෙයි.

ජන්ම කේන්ද්‍රයේ දහවැනි කොටුව හෙවත් දහවැනි භාවය කර්මස්ථානය, පීතෘස්ථානය යන නම්වලින් හඳුන්වයි. රැකියාව පිළිබඳව ප්‍රධාන වශයෙන් දහයෙන් බැලිය හැකිවේ. ජන්ම කේන්ද්‍රයේ දහවැන්න වෘත්තීය ගැන කියැවෙන රාශිය වේ.

ජන්ම කේන්ද්‍රයේ එකළොස් වැනි කොටුව හෙවත් එකළොස්වැනි භාවය අයස්ථානය ලාභස්ථානය, ආදී නම්වලින් හැඳින්වේ. ප්‍රධාන ආදායම් ස්ථානය වේ. සියලු ලැබීම් එකොළහෙන් කියැවේ. වැඩිමල් සහෝදරයා පිළිබඳව ද එකොළහෙන් කියැවේ.

ජන්ම කේන්ද්‍රයේ දොළොස්වැනි කොටුව හෙවත් දොළොස්වැනි භාවය වැයස්ථානය යන නමින් ද හඳුන්වයි. වියදම් පිළිබඳ බලන ස්ථානය වේ. පිටරට යාම පිළිබඳව ද දොළහෙන් කියැවේ. කරදරවලට මුහුණ පෑම සම්බන්ධවද දොළහෙන් කියැවේ.

 

ජ්‍යොතිර්වේදිනී චතුරිකා දිල්හානි ගමආරිය

Comments