ශ්‍රී ලංකාව සහ මාලදිවයින අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කරයි | සිළුමිණ

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් කරයි

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබේ.
 
සෞඛ්‍ය සහයෝගිතාව, සංස්කෘතික සහයෝගිතාව සහ ශ්‍රී ලංකාව තුළ මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම යන ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් (MOU) තුනකට මෙලෙස ඊයේ (07) අත්සන් තබා ඇත. 
 
ශ්‍රී ලංකාව – මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීව එම ගිවිසුම් අත්සන් තබා ඇත. 
 
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ ගිවිසුම මගින් දෙරටටම සමීප සහ ශක්තිමත් සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ. උරුම සංරක්ෂණය, සංරක්ෂණය සහ පුරාවිද්‍යාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ද එය හේතු වනු ඇත.
 
මාලදිවයිනේ කලා, සංස්කෘතික සහ උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් තෝරික් සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සංස්කෘතික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.
 
මේ අතර, සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුම මෙම ක්ෂේත්‍රයේ වැඩිදියුණු කළ මාලදිවයින-ශ්‍රී ලංකා සහයෝගීතාවයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 
 
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරය ඊයේ සහ පෙරේදා දිනවල විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි.
 
මෙම සැසිවාරය සඳහා මාලදිවයින නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් මහතා එක්ව සිටියේය.

Comments