ඔටෝ වාහන හිමියන්ගේ හදගැස්ම වැඩි කළ වාහන උස්සන ‘ස්කෑන්‘ මාෆියාව | සිළුමිණ

ඔටෝ වාහන හිමියන්ගේ හදගැස්ම වැඩි කළ වාහන උස්සන ‘ස්කෑන්‘ මාෆියාව

තුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින පෞද්ගලික බැංකුවක කනිෂ්ඨ විධායක නිලධාරියකු ඔහුට අයත් ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථයේ නැඟී මැයි 27 වෙනිදා සවස තලවතුගොඩ පිහිටි පෞද්ගලික රෝහලකට පැමිණෙන්නේ වෛද්‍යවරයකු චැනල් කරන්නටය. 

රෝහලේ ප්‍රධාන රථ ගාල ඒ වන විට තිබෙන්නේ ඇඟිල්ලක් ගසන්නට බැරි තරමට රථවාහන වලින් පිරීය. එබැවින් ඔහුට සිදුවන්නේ සිය මෝටර් රථය රෝහලටම අයත් වෙනත් කොටසක රථ ගාලක නතර කර තැබීමටය.

සවස 6.05 ට පමණ සිය මෝටර් රථය නතර කරන ඔහු විශේෂඥ වෛද්‍යවරයාව මුණ ගැසී රථ ගාලට එන්නේ රාත්‍රී 8.20ට පමණය. ඒ පැමිණි ඔහු රථ ගාලේ ඒ මේ අත යන්නට වූයේ සිය මෝටර් රථය නතර කළ තැන නොවූ බැවිනි. රථ ගාලේ හැම තැනකම කැරකෙන්නට වූයේ කලබලයට මෝටර් රථය වෙන තැනක නතර කළේදැයි සිතමිනි. එහෙත් කොතරම් සොයා බැලුවත් මෝටර් රථය එහි නොවීය. ඒ එය සොරකම් කරගෙන ගොස් තිබුණු බැවිනි.

මේ ගැන රෝහල් ආරක්ෂක අංශයට කීවත් වැඩක් නොවීය. අඩුම තරමින් ඔහු මෝටර් රථය ගාල්කර තිබුණු ප්‍රදේශය ආවරණය වන ලෙස ආරක්ෂක කැමරාවක් පවා නොවීය. ඒ නිසාම සොරුන් මෝටර් රථය ඉතා පහසුවෙන්ම රැගෙන ගොස් තිබුණේය.

සිය රෝහලට පැමිණි පාරිභෝගිකයකු සතු රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා මෝටර් රථයක් රෝහලට අයත් බව කියන රථ ගාලකදී මෙසේ සොරා ගැනීමකට ලක්වන විට එහි ආරක්ෂකයන් සිටියේ ඇටි කෙසෙල් කෑ උගුඩුවන් ලෙසිනි. මේ නිසාම මෙම බැංකු නිලධාරියාට සිදුවන්නේ පොලිසියේ පිහිටි පැතීමටය.

මෙම රෝහල පිහිටි ප්‍රදේශය අයත් වූයේ තලංගම පොලිස් වසමටය. එබැවින් බැංකු නිලධාරියා රෝහලේ සිට ත්‍රිරෝද රථයක නැඟී යන්නේ තලංගම පොලිස් ස්ථානය වෙතය. එහි ගොස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. ලක්ෂිත හමුවී තමාගේ මෝටර් රථය සොරකම් කර ඇති බව කියා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සොරකම සිදුවන්නේ ඒ පැත්තේ පිහිටි රටම දන්නා රෝහලක රථ ගාලකය. ඒ නිසා මෙම සොරකම කෙරෙහි පොලිසියේ විශේෂ අවධානයක්ද යොමු වන්නට විය. පුද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් ගොන්නක් පවා ආරක්ෂාවට යොදවා සිටියදී මෝටර් රථයක් සොරා ගන්නේ කෙසේදැයි ගැටලුවක් පවා අපරාධ අංශයේ නිලධාරීන්ට පැන නැඟුණේය. ආරක්ෂක කැමරා නොමැති ස්ථානයකම නතර කර තිබුණු මෝටර් රථයක් සොරා ගෙන තිබුණු බැවින් රෝහලේ හතර වටේ සවිකර ඇති ආරක්ෂක කැමරා සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අයෙක් මෙම සොරකම කරන්නට ඇති බවට සැකයක් ද අපරාධ අංශයේ නිලධාරීන්ට මෙහිදී පැන නැඟුණේය. මේ හැම දෙයකටම පිළිතුරු සොයා ලක්ෂිත විමර්ශන අරඹන්නේ රෝහල් පරිශ්‍රයට නිලධාරීන් කණ්ඩායමත් සමඟින් ගොසිනි. ඒ තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධගේ උපදෙස් ද ඇතිවය.

ලක්ෂිත සමඟ සිටි කණ්ඩායම අතර කුමාර (84768), රත්නායක (88333), අමිල (60595), උෂාන්ත (94027) සහ ලක්මාල් (101358) යන කොස්තාපල්වරු පස් දෙනා සිටියේය.

රොහල් පරිශ්‍රයට ගිය මෙම නිලධාරීන් මුලින්ම පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ මෝටර් රථය නතර කර තිබුණු ස්ථානයයි. වැඩි රථවාහන ප්‍රමාණයක් ගාල් කිරීමට හැකියාවක් නොමැති එම ස්ථානය පිහිටා තිබුණේ රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ලෙහි සිට මඳක් ඈතිනි. කැමරා කෙසේ වෙතත් අඩුම තරමින් එම ස්ථානයේ ඒ වන විට ආරක්ෂක නිලධාරියෙක් වත් යොදවා තිබී නැති බව මෙහිදී පොලිස් නිලධාරීන්ට පෙනී ගියේය. මෙහිදී ලක්ෂිත ඇතුළු නිලධාරීන්ට ගෙන දුන් ගැටලුවක් වූයේ දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කරන යතුරක් සහිත බැංකු නිලධාරියාගේ මෝටර් රථය ඉතා පහසුවෙන් සොරාගෙන ගියේ කෙසේ දැයි කියාය. එසේ නම් එම සොරා සතුව අමතර දුරස්ථ පාලක යතුරක් තිබිය යුතුය. ලක්ෂිත ඇතුළු නිලධාරීන් මෝටර් රථ සොරකම ගැන විමර්ශන අරඹන්න වූයේ මේ ගැන පවා ඔළුවේ තබාගෙනය. කල්බදු වාරික නොගෙවීම නිසා කල්බදු සමාගමේ සීසර්වරුන් විසින් මෝටර් රථය සොරා ගත්තාදැයි වූ සැකයක් පවා මුලදී පොලිසියට පැන නැඟුණේය. එය ශූන්‍ය වන්නේ මෙම මෝටර් රථය කල්බදු පදනම මත ලබාගෙන ඇති එකක් නොවන බව තහවුරුවීමත් සමඟිනි. මේ තත්ත්වය මත සිදුව ඇත්තේ එහෙම් පිටින්ම සොරකමක් බව පැහැදිලි කරගත් ලක්ෂිත ප්‍රමුඛ නිලධාරීන් මෝටර් රථය සොයා වෙහෙසක් දරන්නට වූයේ රෝහල් පරිශ්‍රයේත් අවට මාර්ගවලත් ඇති ආරක්ෂක කැමරා රැසක දත්ත ඒ මහා රෑම සියුම් පරීක්ෂාවන්ට ලක්කරමිනි.

මෙහිදී ලක්ෂිත ඇතුළු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වුණු ආරක්ෂක කැමරා ගණන 15කට වැඩිය. එම කැමරාවල සටහන්ව තිබුණු දර්ශන ඉතා සියුම් ලෙස විමර්ශනයට ලක්වන විට සැකයට ලක්වන්නේ අදාළ රෝහල පිහිටි ප්‍රදේශයේ සොරකම සිදුවූ කාලය තුළ නිතර එහා මෙහා ගිය වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් කෙරෙහිය. සොරා ගැනීමට ලක්වූ මෝටර් රථය අසල වැගන් ආර් රථයක් තිබුණු බවට තොරතුරක් ද ඒ අතර ලක්ෂිත ඇතුළු නිලධාරීන්ට ලැබෙන්නේ රෝහලට රෝගියෙක් රැගෙන පැමිණි රියදුරකුගෙනි. එම වැගන් ආර් මෝටර් රථය ද රෝහල් පරිශ්‍රය දෙසින් පිටව යන්නේ පැලවත්ත දෙසට බව කැමරා දර්ශන විමර්ශනයේදී පෙනී ගියේය. එහෙත් සොරා ගැනීමට ලක්වූ බැංකු නිලධාරියාගේ මෝටර් රථය රෝහල් පරිශ්‍රයෙන් පිටව යන්නේ කොට්ටාව දෙසටය. ආරක්ෂක කැමරා දර්ශන පස්සේ පන්නමින් එම මෝටර් රථයේ ගමන් මඟ පරීක්ෂා කළත් අතරමඟදී එය මඟ හැරෙන්නේ ආරක්ෂක කැමරා නොමැති ප්‍රදේශයකින් මෝටර් රථය අතුරුදන් වන බැවිනි. මෙහිදී ලක්ෂිත ඇතුළු නිලධාරීන්ගේ අවධානය වැගන් ආර් රථයට යොමු කරනු ලැබීය.

එම රථයේ අංකය පැහැදිලිවම එක් කැමරාවක සටහන්ව තිබුණු බැවින් 28 වෙනිදා උදෑසනම ලක්ෂිත ඇතුළු නිලධාරීන් එම අංකය ඔස්සේ රථයේ හිමිකරුගේ අනන්‍යතාව පරීක්ෂා කර ගන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සහාය ඇතිවය. ඊට අනුව එම මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු සිටියේ හංවැල්ල තුන්නාන ප්‍රදේශයේය. ලක්ෂිත ඇතුළු නිලධාරීන් එම ලිපිනය සොයා ගියේය. ඒ වන විටත් එම නිවෙස තිබෙන්නේ වසා දමාය. මෙහිදී ලක්ෂිත ඇතුළු නිලධාරීන් අසල්වාසීන්ගේ තොරතුරු ඔස්සේ කඩුවෙල ගල්වලහේනේ පිහිටි නිවෙසක් සොයා ගියේය. එම නිවෙස ඉදිරිපිට සොයා ගිය වැගන් ආර් රථය නතර කර තිබුණේය. එම රථයේ හිමිකරු සමීර ඉන්ද්‍රකුමාර ද ඒ වන විට නිවසේ රැඳී සිටියේය. පොලිස් නිලධාරීන් දැක ඔහු තරමක් කලබල වන අයුරු ලක්ෂිත නිරීක්ෂණය කළේය.

“උස්සපු කාර් එක කෝ“ යැයි ලක්ෂිත ඔහුගෙන් විමසන්නට වූයේ එබැවිනි.

“ සර් කාර් එක මගේ ගාව නැහැ. යාළුවා තිහගොඩ ගෙනිච්චා“ ලක්ෂිතගේ උගුලට ඔහු හසුවූයේය. ඒ ලක්ෂිත ඇතුළු නිලධාරීන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ලෙසිනි. ඒ අනුව ලක්ෂිත ඇතුළු නිලධාරීන් විසින් සමීර ඉන්ද්‍රකුමාරව අත්අඩංගුවට ගත්තේය. ඔහු එක් දරු පියෙකි. හතළිස් හැවිරිදි වියේ පසුවන සමීර ඉන්ද්‍රකුමාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන්නට පෙරුම් පිරූවෙකි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා සිටි ඔහු අන්තර්ජාල ව්‍යාපාරික කටයුතු සහ අන්තර්ජාල වංචාවල ඒ වන විටත් යොමුවී සිටියේ සිය දැනුම වෙනත් පැත්තකට යොමු කරමිනි. ඒ අතර ඔහු ඔටෝ මොබයිල් පාඨමාලාවක් ද හදාරා තිබුණේ සිය දැනුම පුළුල් කර ගනිමිනි.

සමීර හැම ගේමක්ම ගැසුවේ සිය මිතුරා සමඟ එක්වෙමිනි. මාතර තිහගොඩ පදිංචිකරුවෙක් වූ ඔහු රුවන් කුමාරය. ඒ වන විට රුවන් කුමාර පදිංචිව සිටියේ කඩුවෙල වැලිවිට පැත්තේ කුලී නිවසකය. ඔහුද පරිගණක මෘදුකාංග භාවිතය සම්බන්ධයෙන් හසළ දැනුමක් ලබා සිටියෙකි. මේ දෙන්නා අතර හිතවත්කම ගොඩනැඟෙන්නේ ඔවුන් කලක් රක්ෂණ සමාගමක නියෝජිතයන් ලෙස සිටි බැවිනි. තමන් උගත් තාක්ෂණ දැනුම යොදාගෙන අන්තර්ජාලය ඔස්සේ ගේම් ගැසීමට ඔවුන් දෙදෙනා පෙලඹෙන්නේ රක්ෂණ අලෙවියෙන් ලැබෙන සොච්චම් මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නොවූ තැනය. ඔවුන් වැඩි හරියක්ම අන්තර්ජාලයෙන් ගේම් ගැසුවේ “බිට් කොයින්“ ඔස්සේය. ඒ හැරුණු කොට අන්තර්ජාලයෙන් ගහන්න හැකි හැම ගේමක්ම ඔවුන් දෙදෙනා එක්ව ගැසුවේ නීතියේ රැහැනට පවා හසු නොවන ලෙසිනි.

රෝහල් රථ ගාලේ නවතා තිබුණු බැංකු නිලධාරියාගේ මෝටර් රථය පවා ඔහු සිය මිතුරා සමඟ එක්ව උස්සන්නට පෙලඹෙන්නේ අන්තර් ජාලයේ දැක ඇතිවුණු සිතුවිල්ලකට අනුවය. එම උපකරණය මෝටර් රථවල එන්ජිම ස්කෑන් කර එහි ඇති දෝෂ පහසුවෙන් හඳුනා ගන්නා එකකි. එය ස්කෑනරයකි. අද වන විට රථවාහන අලුත්වැඩියාවන්වල නිරත බොහෝ අය මෙම උපකරණයෙන් වැඩ ගනිති. ඒ වාහනයක එන්ජිමේ කොටස් ගලවා පරීක්ෂා කරනවා වෙනුවට එන්ජිමට සම්බන්ධ පරිපථයකට මෙම උපකරණය සම්බන්ධ කරමින් එන්ජිමේ ඇති හැම දෝෂයක්ම පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව ඇති බැවිනි.

සමීර සහ රුවන් යන මිතුරන් දෙදෙනාට මෙම උපකරණයෙන් වැඩ ගන්නට සිතෙන්නේ වෙනත් දෙයකටය. ඒ දුරස්ථ පාලක යතුරු නොමැතිව පණ ගැන්වීමට නොහැකි තාක්ෂණික වශයෙන් දියුණු තත්ත්වයක ඇති මෝටර් රථ පණ ගන්වා සොරා ගැනීමටය. ඔවුන් දෙදෙනා සූදානම් වන්නේ එවන් මෝටර් රථ සොරාගෙන ගොස් එහි කොටස් ගලවා අලෙවි කරමින් ලොකු ගාණක් සොයාගෙන එකවර පොහොසතුන් වන්නටය. එම අරමුණ මුල් කරගෙන මෙම ස්කෑන් යන්ත්‍රය ඔවුන් මිලදී ගන්නේ අන්තර්ජාලයෙන් ඇණවුම් කරමිනි. ඊට ඔවුන් වැය කළ මුදල රුපියල් 60,000කි.

මෙම ස්කෑනරය ඔවුන් අතට ලැබෙන්නේ කූරියර් මඟිනි. එය ලද වහාම මේ දෙදෙනා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ වැගන් ආර් රථයේ පරිපථයට එය සම්බන්ධ කරමිනි. අන්තර්ජාලයෙන් ඔවුන් ඒ වන විටත් මෙම ස්කෑනරය ක්‍රියාත්මක කරන හැටි ගැන බොහෝ දේවල් ඉගෙන ගෙන තිබුණු බැවින් පහසුවෙන්ම වැගන් ආර් රථයේ අගුල් කඩා මෝටර් රථය පණ ගැන්වීමට ඔවුන්ට හැකියාව ලැබුණේය. නැවත නැවත ඔවුන් දෙදෙනා ස්කෑනර් යන්ත්‍රයෙන් වැගන් ආර් මෝටර් රථය පණ ගන්වමින් මනා පුහුණුවක් ලබා ගත්තේය. ඒ ස්කෑනරයෙන් ගන්නට හැකි හැම වැඩක් ගැනම දැනුමෙන් පෝෂණය වෙමිනි.

මෙම මිතුරන් දෙදෙනා හා පුරා කියා එම ස්කෑනරයෙන් වැඩක් ගන්නේ පසුගිය 27 වෙනිදාය. ඒ කඩුවෙල සිට වැගන් ආර් රථයේ නැඟී වැඩේට සුදුසු තැනක් සොයාගෙන තලවතුගොඩ දක්වාම එමිනි. එහිදී ඔවුන් තීරණය කරනු ලබන්නේ පුද්ගලික රෝහල් රථ ගාල වැඩේට සුදුසුම තැන යැයි කියාය. ඒ ආරක්ෂකයෙක් තබා ආරක්ෂක කැමරාවක් ද එම රථ ගාලේ නොමැති බව පෙනී යන්නට වූ බැවිනි. වටයක් දෙකක් ඒ පැත්තේ කරක් ගැසූ ඔවුන් සොරා ගැනීමට සුදුසු වාහනය ලෙස අවසානයේදී තීරණය කරනු ලබන්නේ wp CAP 65-- අංකය දරන ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථයයි. එම රථයට සමාන්තරව ඔවුන් වැගන් ආර් රථය නතර කරමින් මුලින්ම උත්සහයක නිරත වන්නේ මෝටර් රථයේ දොරගුළු විවර කරන්නටය.

අද වන විට භාවිත කරනු ලබන බොහෝ මෝටර් රථවල දොරගුළු ඇත්තේ දුරස්ථ පාලක යතුරකින් ක්‍රියාත්මක වන ලෙසිනි. දුරස්ථ පාලකය මගින් සිදු කරනු ලබන්නේ තරංග මාලාවක් නිකුත් කිරීමකි. දුරස්ථ පාලක යතුරෙන් යතුරට එම තරංග වෙනස්ය. හැම අගුලක්ම හැම යතුරකින්ම විවෘත කිරීමට නොහැකිය. එය දුරස්ථ පාලක අගුළුවලට ද පොදුය. ඒ යැයි කියා හැම අගුලක්ම විවෘත කරන්නට හැකි යතුරු ද නැත්තේම නැත. එවැනි යතුරු ඇත්තේ හොරුන් අතේය. දුරස්ථ පාලක යතුර ඇති වාහනවල අගුල් දුරස්ථ පාලකය නොමැතිව විවෘත කිරීමට නොහැකිය. එහෙත් දැන් සොරුන්ද තාක්ෂණයෙන් සන්නද්ධ වී ඇති බැවින් දුරස්ථ පාලක යතුරු මඟින් අගුල් දමන වාහනවල අගුල් පවා විවෘත කරති. ඒ දුරස්ථ පාලකයේ තරංග මාලාව හඳුනා ගෙන ඒ ඔස්සේය. පුද්ගලික රෝහල් රථ ගාලේ නතර කර තිබුණු බැංකු නිලධාරියාගේ මෝටර් රථය අසලින්ම සිය වැගන් ආර් රථය නතර කරගෙන මිතුරන් දෙදෙනා ස්කෑනරයෙන් ලොකු ගේමක් ගසමින් සිටියේ මෝටර් රථයේ අගුල් විවෘත කිරීමටය. එහෙත් එය ඔවුන් සිතූ තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. විනාඩි 30 හතළිහක් තිස්සේ දැරූ උත්සාහය ව්‍යර්ථ වූ තැන ඒ අදහස අතහැර දමන රුවන් වැගන් ආර් රථයෙන් එළියට ආවේය. ඒ වැගන් ආර්. රථයේ තිබුණු යකඩ මිටියක්ද අතින් ගෙනය. එම මිටියේ රෙදි කඩක් එතූ ඔහු එකවරම රථයේ පිටුපස කොටසේ පැති වීදුරුවකට වැර යොදා පහරක් ගැසුවේය. එම වේගවත් පහරින් පැති වීදුරුව බිඳ වැටුණු පසු ස්කෑනරය ද රැගෙන මෝටර් රථයට රිංගන්නේ සමීරය. ඒ රිංගා ඔහු රියදුරු අසුන වෙත ගොස් ස්කෑනරය සුක්කානමට යටින් ඇති මෝටර් රථයේ පරිපථය හා සම්බන්ධ කර රථයේ පාලනය සියතට ගත්තේය. ඒ දුරස්ථ පාලකය නොමැතිව අගුල් විවෘත කිරීමට හා වාහනය පණ ගැන්වීමටය. අනතුරුව එම මෝටර් රථයේ සුක්කානම අතට ගන්නේ රුවන්ය. ඔහු රථය පණ ගන්වාගෙන රථ ගාලෙන් පිටතට විත් යන්නේ කොට්ටාව දෙසටය. සමීර වැගන් ආර් රථයේ නැඟී පැලවත්ත ඔස්සේ යන්නේ කඩුවෙලටය. කොට්ටාවෙන් අධිවේගී මාර්ගයෙන් රුවන්ද අවසානයේ එන්නේ කඩුවෙලටය.

ඒ පැමිණි ඔවුන් මෝටර් රථයේ කැසට් රෙකෝඩරය ඇතුළු කොටස් රැසක්ම ගලවා ඉවත් කළේය. අනතුරුව රුවන් රථය රැගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යන්නේ මාතර තිහගොඩටය. එය ඔහු සඟවන්නේ පාළු ඉඩමකය. ඒ ඔහු දන්නා කියන තැනකය. එසේ සඟවා තැබූ මෝටර් රථය ලක්ෂිත ඇතුළු නිලධාරීන් විසින් සොයා ගනු ලබන්නේ වැලිවිට කුලී නිවසේද රුවන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. එහිදී ලක්ෂිත ඇතුළු නිලධාරීන් වැලිවිට කුලී නිවසේ තිබී මෝටර් රථයෙන් ගලවා ඉවත් කළ කොටස් සමඟ ජංගම දුරකථන සිම් කාඩ් පත්ද 2000කට වැඩි ප්‍රමාණයක් ද සොයා ගත්තේය. අන්තර්ජාලයෙන් හොර වැඩ කිරීමට ඔවුන් යොදාගෙන තිබුණේ එම සිම් කාඩ් පත්ය. ඒ බව පවා හෙළිවන්නේ සිම් කාඩ් පත් තොගය හමුවීමෙන් පසු ඒ ගැන කළ ප්‍රශ්න කිරීමේ හමුවේය.

කෙසේ වෙතත් බැංකු නිලධාරියාගේ මෝටර් රථය සොරා ගැනීමට ලක්ව පැය 48ක් යන්නට මත්තෙන් සැකකරුවන්ද නීතියේ රැහැනට ගෙන මෝටර් රථය සොයා ගැනීමට තලංගම පොලිසීයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලක්ෂිත ඇතුළු නිලධාරීන් සමත් වන්නේ හුදෙක් මෝටර් රථ සොරකමක් පමණක් අනාවරණය කර ගනිමින් නොව ඒ තාක්ෂණයෙන් ඉහළ ආරක්ෂාවක් ඇතැයි කියනු ලබන මෝටර් රථ පවා දැන් සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම ගැන නැවත වරක් සිතන්නට වාහන හිමියන්ට ඉඩ සලසමිනි.


වාහන දත්ත පරිගණක ක්‍රියාවලිය නියාමනය කළ යුතුමයි
- මෝටර් වාහන විශේෂඥ ආචාර්ය නුවන් මදනායක

‘‘ ලෝකෙ මොන රටේ තිබුණත් ‘ස්මාට් කී‘ සහිත වාහනවල ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ ‘ලොක්ස්මිත්‘ ආයතනයත් සමඟයි. ඒ ආයතනයේ විශේෂ නීති රීති අනුව තමයි අදාළ යතුරු සහිත වාහන ක්‍රියාකාරීත්වය රඳා පවතින්නෙ. ඒ අනුව යම් කිසි වාහනයකට නිර්මාණය කරන යතුරක් වෙනත් අයකුට නිර්මාණය කරන්න බැහැ.

ලොක්ස්මිත් ආයතනය අදාළ පරිගණක මෙවලම් ලබා දෙන්නෙ පිළිගත් සමාගම්වලට විතරයි. ඒ සමාගම්වලින් වාහන යතුරු නිර්මාණය කර ඒවා වාහනවලට ලබා දෙනවා.

එම යතුරක් වෙනත් අයකුට නිර්මාණය කළ හැකි ක්‍රම දෙකයි තිබෙන්නේ. එක් ක්‍රමයක් තමයි යතුරෙන්ම දත්ත පිටපත් කර ගැනීම. අනෙක් ක්‍රමය තමයි යතුරක් නැති වූ අවස්ථාවක වාහනයේ දත්ත බාහිර පරීක්ෂාවකින් යතුරක් නිර්මාණය කර ගැනීම. එහෙත් එවන් අවස්ථාවලදී එය සාමාන්‍ය ලෙසින් කරන්න බැහැ. එම දත්ත ලබා ගැනීමේදී ‘ලොක්ස්මිත්‘ සමාගමට ස්වයංක්‍රීයවම එම දත්ත යොමු වෙනවා. ඒ එම සමාගමෙන් ලබා ගත් මෘදුකාංගයක් හරහා ඒ කාර්යය කළ යුතුම නිසා. චීනය වැනි රටවල ලෝකයේ ඕනෑම ස්මාට් යතුරක් වෙනුවෙන් ආදේශක යතුරු නිර්මාණය කළ හැකියි. ඒත් ඒ රටේ මෙන්ම අන්තර්ජාතික නීති අනුව අදාළ මෙවලම් හැමෝටම මිලදී ගන්න බැහැ. මිලදී ගත් අය කවුරුන්ද ඔහුගේ වෘත්තීය සුදුසුකම් මේ සියල්ල එම රටවල දත්තයන් තිබෙනවා. නමුත් අවාසනාවට අපේ රටේ ඒ සම්බන්ධ නියාමනයක් නැහැ. අපි මේ සිදුවීම් අවුරුදු ගාණකට කලින් දැකල මේ මෙවලම් ගැන නියාමනය කරන්න කිව්වා. වුණේ නැති එකේ විපාකය තමයි මේ.

අදම මේ වෙනුවෙන් නියාමනයක් කළ යුතුමයි. නැත්නම් හෙට දවස මීටත් වඩා භයානක වෙනවා. මේ සොරකම් මඬින එකම ක්‍රමය එයයි. තාවකාලිකව ජී.ජී.එස්. තාක්ෂණය සවි කර ගැනීම වැනි කරුණු කියන්න පුළුවන්. ඒකෙන් වාහනයක් පණ ගැන්වීම තමන්ට සොයා ගන්න දුරකථනයෙන් හැකියාව තියෙනවා. නමුත් ඒක මේ ගැටලුවකට ස්ථිර විසඳුමක් නෙමෙයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක නියාමනය පැමිණිය යුතුමයි.‘‘

සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර 

Comments