ෂාෆ්ටර්ගේ මරණයේ සැඟවුණු රහස් ‘ස්කෑන්’ එකෙන් එළියට එන හැටි | Page 2 | සිළුමිණ

ෂාෆ්ටර්ගේ මරණයේ සැඟවුණු රහස් ‘ස්කෑන්’ එකෙන් එළියට එන හැටි

ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය තවමත් ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සිය දිවි හානිකර ගැනීමකින්ද? නොමැතිනම් මිනිස් ඝාතනයක්ද? යන්න නිශ්චිතවම තහවුරු වී නොමැති නිසාය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වෙනිදාය. ඒ අනුව දැන් දිනේ ෂාෆ්ටර් මියගොස් මාස 05කට වැඩි කාලයක් ගතවී හමාරය. මේ කාලය පුරාවටම දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අභිරහසක් බවට පත්ව ඇත්තේ ඇතැම් අය මෙම මරණය සිය දිවි හානිකර ගැනීමක් බවට පත්කිරීමටත් තවත් පිරිසක් එය ඝාතනයක් බවට පත්කිරීමටත් ගත් උත්සාහයක් නිසාය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන මූලික විමර්ශන වලින් කියැවෙන්නේ එය ඝාතනයක් බවය. පසුව එකවරම එය සියදිවි හානිකර ගැනීමක් බවට පෙරළෙන්නට වූයේ සමාජය හමුවේ ඒ ගැන ආන්දෝලනයක්ද ඇතිකරවමිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ උදවියට ඒ නිසාම දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලන්නට සිදුවන්නේ අධිකරණයෙනි. ඒ අය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු කියන්නට ඉදිරිපත් වන්නේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්නය. සියදිවි හානිකර ගැනීමකින් අවසන් වීමට නියමිතව තිබුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සැකසහිත මරණයක් බවට අදටත් පත්ව ඇත්තේ අනුජ ප්‍රේමරත්න විසින් අධිකරණය හමුවේ පෙන්වා දුන් මෙම මරණයේ සැක සහිත තැන් ගැන විශේෂ අවධානයක් යොමු වූ බැවිනි. අනුජ ප්‍රේමරත්න ජනාධිපති නීතීඥවරයා විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් ඒ වන විට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පවා අභියෝගයට ලක් කළේය.

දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීන් රුහුල් හක් මහතා විසින් දෙසැම්බර් 16 වෙනිදා ඉදිරිපත් කර ඇති කෙටි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණය සිදුව ඇත්තේ “තන්තුවකින් ගෙල සිරකිරීමකින් ශ්වසනය ඇනහිට“ බව සඳහන් කර ඇති බවය. පසුව මෙම මරණය සම්බන්ධයෙන් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් අධීකරණ වෛද්‍ය රුහුල් හක් ප්‍රකාශ කර ඇත්තේ “තන්තුවකින් ගෙල සිරකර ගැනීමකින් ශ්වසනය ඇනහිට මරණය සිදුව ඇති බව“ යැයි ද අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙනී යන්නේ අධිකරණ වෛද්‍ය රුහුල් හක් විසින් ඔහුගේ පළමු වාර්තාවෙන් දැක්වූ මරණයට හේතුව සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් උඩුයටිකුරු වී ඇති බවය. පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ ගෙල සිර කිරීමකිනි. ඒ අනුව සිදුව ඇත්තේ මිනිස් ඝාතනයකි. දෙවැනි වාර්තාවට අනුව සිදුව ඇත්තේ ගෙල සිර කිරීමක් නොව, සිර කර ගැනීමකි. ඒ තුළින් කියාපාන්නේ ඔහු ගෙල සිර කර ගැනීමකින් මරණය සිදු කරගෙන ඇති බවය. එහි සරල තේරුම නම් දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමකින් බවය.

ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ විශේෂ අවධානයකට යොමුකරනු ලබන්නේ රුහුල් හක් නැමැති මෙම අධිකරණ වෛද්‍යවරයාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කිරීමේදී මරණයට හේතුව තවදුරටත් වෙනස්වන බවය. අනුජ ප්‍රේමරත්න පෙන්වා දෙන්නේ සයනයිඩ් වස කෑම සමඟ මිශ්‍ර වූ බවට මතයක් ද අවසානයේදී ඔහු ප්‍රකාශ කර ඇති බවය. ඒ අනුව පෙනී යන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වූ මරණ පරීක්ෂණ වාර්තාව මොහොතින් මොහොතින් වෙනස්වීම්වලට ලක්වෙමින් ඇති බවය.

රුහුල් හක් යනු පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම් සම්බන්ධයෙන් ආධුනික අධිකරණ වෛද්‍යවරයෙක් නම් නොවේ. ඔහු මෙයට පෙර ආන්දෝලනාත්මක මරණ රැසක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර අපරාධකරුවන් පවා කොටුකර ගැනීමට පොලිසියට සහය දුන් නිලධාරියෙකි. ඔහු දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර මළ සිරුරු සිය දහස් ගණනක් පශ්චාත් මරණ පරීක්ෂණයන්ට ලක්කර ඇති අයෙකි. මෙවැනි නිලධාරියකුට දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මෙවැනි පැටළීමක් සිදුවිය හැකි දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඒ ගැන අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් පවා පවසන්නේ මෙරට ඉතිහාසයේ මෙවැනි දෙයක් අධිකරණ වෛද්‍යවරයෙක් අතින් මෙයට පෙර සිදුවී නැති බවය. ඒ පළපුරුදු අධිකරණ වෛද්‍යවරයකුට මළ සිරුරක් කපා පරීක්ෂා කිරීමේදී බැලූ බැල්මටම එය ගෙල සිරවීමකින් සිදු වූවක් ද, වස විෂ ශරීරගත වීමකින් සිදු වූවක්ද යන්න පිළිබඳ පැහැදිලි නියමනයකට එළැඹීමට හැකියාවත් ඇති බැවිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයේ අභියෝගයට ලක්වන විට ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් ස්ථාපිත කරනු ලබන්නේ ඒ අයගේ විශේෂඥ දැනුම යොදාගෙන මේ ගැටලුව නිරාකරණය කර ගැනීමටය.

කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සමන්විත වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර යන නිලධාරීන්ගෙනි. රටම පිළිගන්නා චරිත පහකින් සමන්විත මෙම විශේෂඥ කමිටුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් පැවති විමර්ශන තොරතුරු මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් අවසානයේදී මෙම ගැටලුව නිරාකරණය කරන්නට තීරණය කරනු ලබන්නේ දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වමිනි.

පවතින තත්ත්වය හමුවේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර නැවත ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීමේ සම්භාවිතාව ඉහළ බව “සිළුමිණ“ කියන්නේ පෙබරවාරි 12 වෙනිදාය. ඒ විශේෂඥ වෛද්‍ය කමිටුව පත් කිරීමට දින 15කට පෙරය. “සිළුමිණ“ එදා කී හැටියටම දැන් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණයක් සිදුවී හමාරය. එම අවශ්‍යතාව අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍ය කමිටුව විසිනි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මිහිදන් කර තිබෙන්නේ බොරැල්ල පොදු සුසාන භූමියේය. විශේෂඥ වෛද්‍ය කමිටුවේ ඉල්ලීම මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නියෝගයෙන් දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර ගොඩගැනෙන්නේ පසුගිය 25 වෙනිදාය. මිහිදන් කර ඇති මළ සිරුරක් ගොඩගැනීමේදී එය සංකීර්ණ ක්‍රියාවලියකි. හිතුමතේට එය ගොඩ ගැනීමට නොහැකිය. අධිකරණයෙන් නියෝගයක් පවා ගන්නේ එබැවිනි. මළ සිරුරක් ගොඩගන්නා අවස්ථාවේදී එම සිරුර හඳුනා ගැනීමට මියගිය තැනැත්තාගේ පවුලේ සමීපතයකු ද එම ස්ථානයේ සිටිය යුතුය. ඒ අනුව එදා දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර හඳුනා ගැනීමට බොරැල්ල පොදු සුසාන භූමියට එන්නේ ඔහුගේ පියා වන ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර්ය. ඒ පවුලේ කිහිපදෙනකු මෙන්ම ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතීඥවරු පිරිසක් සමඟිනි.

මේ අය හැරුණු කොට සුසාන භූමියට පැමිණ සිටි අය අතර මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඇතුළු අධිකරණ නිලධාරීන් කිහිප දෙනකුද පැමිණ සිටියහ. සුසාන භූමියේ මිහිදන් කර තිබුණු දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර ගොඩගැනීම මුළුමනින්ම සිදුවූයේ මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණයෙනි. ඒ හැරුණු කොට විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයන්ද එහි රැඳී සිටියේය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ද අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද පාර්ශ්ව ගණනාවක්ම එදා උදෑසන සිට රැඳී සිටියේ බොරැල්ල පොදු සුසාන භූමියේ දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මිහිදන් කර තිබුණු ස්ථානය අසලය. ඒ හැරුණු කොට දිනේෂ් ෂාෆ්ටර්ගේ සිරුර මිහිදන් කළ ස්ථානය හඳුනා ගනු ලැබුවේ මල් ශාලාවේ සේවකයන් විසිනි. එම අවස්ථාවට මල්ශාලා සේවකයන් 05 දෙනෙක්ද එදින පැමිණ සිටියේය. මළ සිරුර මිහිදන් කළ ස්ථානය හාරා පෙට්ටිය සමඟ සිරුර ගොඩගන්නේ එම මල්ශාලා සේවකයන් ය. මේ හැම දෙයක්ම අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම අපරාධ ලේඛනාගාරයේ කැමරා ශිල්පීන් ඡායාරූප සහ වීඩියෝගත කරනු ලැබුවේ ඉදිරි අවශ්‍යතාවන් සඳහාය.

මිහිදන් කළ තැණින් සිරුර ගොඩගැනීමට කැණිම් සිදු කරනු ලබන්නේ පෙරවරු 8.45ට පමණය. සිරුර ගොඩට ගන්නේ පෙරවරු 9.40ට පමණය. ගොඩගත් සිරුර සිය පුතාගේ බව හඳුනා ගන්නේ චන්ද්‍රා ෂාෆ්ටර් විසිනි. ඒ දේහයට අන්දවා තිබුණු ඇදුම් පැළඳුම්වලිනි. මුහුණින්ද ඒ තමාගේ පුතා යැයි හඳුනා ගත්ත ද සිරුර ඒ වන විටත් තිබෙන්නේ ඉදිමීය. අධිකරණ නියෝගයට අනුව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලට සිරුර රැගෙන යන්නේ අනතුරුවය. ඒ මුද්‍රා තැබූ ආවරණයක සිරුර දමාය. බොරැල්ල පොදු සුසාන භූමියේ සිට මළ සිරුර රැගෙන යන්නේ බොරැල්ලේ පිහිටි අවමංගල්‍ය ශාලාවකට අයත් වෑන් රථයක දමාය. පොලිසියේ ජිප් රථයක් මඟින් ඊට ආරක්ෂාව සපයනු ලැබීය.

මළ සිරුර එසේ කරාපිටිය වෙත රැගෙන යන අතරතුර විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයන් බොරැල්ල පොදු සුසාන භූමිය තුළ ස්ථානීය පරීක්ෂණයක් සිදු කරනු ලැබුවේ දිනේෂ් ෂාෆ්ටර් මිය යන්නට මොහොතකට පෙර රැඳී සිටියේ යැයි කියනු ලබන සුසාන භූමි කොටස වෙත ගොසිනි. දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අබිරහස ඇත්තේ එතැනය. විශේෂඥ වෛද්‍යවරු ඒ තැන පරීක්ෂාවට ලක් කරනු ලැබුවේ දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටි ආකාරයටම එතැන මෝටර් රථයක් නතර කර තබාය.

විශේෂ වෛද්‍ය කමිටුව එසේ බොරැල්ල පොදු සුසාන භූමියේ ස්ථානීය පරීක්ෂාව සිදුකර සුසාන භූමියෙන් පිටත්ව කෙළින්ම යන්නේ කරාපිටිය රෝහලටය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණයෙන් ලබාදී ඇත්තේ දින දෙකක් පමණක් වූ බැවිනි. එම දින දෙක තුළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර නැවත දේහය බොරැල්ල පොදු සුසාන භූමියේ එතැනම මිහිදන් කළ යුතුව ඇත.

දැනගන්නට ඇති තොරතුරුවලට අනුව කරාපිටිය රෝහලට රැගෙන ගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය එදිනම දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයට මුලින්ම ලක්කර ඇත්තේ අධිකරණ වෛද්‍ය විද්‍යාවේ නවීන ක්‍රමවේදයන්ට අනුව මුළු සිරුරම ස්කෑන් කරමිනි. ඒ තුළින් සිරුරේ අභ්‍යන්තරය සම්බන්ධයෙන් සියුම් තොරතුරු දැන ගැනීමට හැකිවනු ඇති බව වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙක් “සිළුමිණ“ට සඳහන් කළේය.

අමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි ලෝකයේ දියුණු රටවල පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමේදී සිරුරු ව්‍යවඡේදනය කර පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන තරම්ය. ව්‍යවඡේදනයක් කරන්නේ නම් ඒ ස්කෑන් පරීක්ෂාවෙන් අනාවරණය නොවන තොරතුරු දැන ගැනීම සඳහා පමණි. වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනු ලැබුවේ පිහි කතුරු යොදාගෙන සිරුරු විච්ජේදනය කරමින් සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ දියුණු රටවල දැන් සිදු නොකරන තරම් බවය. බොහෝවිට එම රටවල සිදුවන්නේ CT සහ MRI ස්කෑන් මඟින් මළ සිරුර පරීක්ෂාවට ලක්කර පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමය.

“ස්කෑන් කිරීමේ විශේෂත්වය තමයි ඒකෙන් අපිට පුළුවන් ශරීරය තියෙන විදිහටම ඇතුළෙන් බලාගන්න පුළුවන් වීම. ඒ තුළින් විච්ජේදනයකින් තොරව බලා ගන්න පුළුවන්කම ලැබෙනවා සිරුරේ සියුම් තැන් නිරීක්ෂණය කරන්න.“ යැයි වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයා පැවසීය.

“ශ්‍රී ලංකාවේ MRI සහ CT ස්කෑන් කරන්න රෝගීන්ටවත් අවස්ථාවක් නැහැ. පෝලිම්වල ඉඳලයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවලිනුත් ඒවා කරගන්න වෙලා තියෙන්නේ. හැබැයි බටහිර සහ දියුණු රටවල්වල නම් පිහි කතුරු අරගෙන මළ සිරුරු විච්ජේදනය කරමින් මරණයට හේතු කියන්නේ නැහැ. ස්කෑන් කරල මුළු සිරුරම අභ්‍යන්තරයෙන් පරීක්ෂා කරල මරණයට හේතුව කියනවා, “යැයිද වෛද්‍ය මහාචාර්යවරයා සඳහන් කළේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ අවස්ථාවේදී ඔහුගේ සිරුර අඩුම තරමින් එක්ස්රේ කිරණ පරීක්ෂාවකට ලක් කළේ නම් ඔහුගේ මරණය සිදුවූයේ වෙඩි තැබීමකින් නොවන බව තහවුරු කර ගැනීමට හැකියාවක් තිබුණු බව ද මෙම මහාචාර්යවරයා පැවසීය.

“ස්කෑන් කළාම සිරුර ඇතුළේ තියෙන හැම දෙයක්ම පේනවා. සාමාන්‍ය රෝගී පුද්ගලයෙක් මිය ගියේ හෘදයාබාධයකින්ද කියලත් හඳුනා ගන්න ස්කෑන් පරීක්ෂාවකින් පුළුවන්. අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වගේ රටවල අධිකරණ විකිරණ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. හැබැයි තාම එවැනි අය අපේ රටේ නැහැ. අපි කරන්නේ සාමාන්‍ය විකිරණ විශේෂඥයන්ගේ සහය මේ සඳහා ලබා ගැනීමයි. ඒ අය අධීකරණ වෛද්‍ය විශේෂඥ පුහුණුව ලබා ඇති අය නෙමෙයි. අපි උත්සහා ගැනීමක් කරල තියෙනවා අපේ රටේත් මෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන්න. එහෙම වුණානම් මළ සිරුරු නැවත ගොඩගෙන දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන්න ලොකු අවශ්‍යතාවයක් මතු වන්නේ නැහැ. අපිට උනන්දුවක් මේ ගැන තිබුණට තවමත් අවස්ථාවක් ඒ සඳහා ලැබිල නැහැ.“ යැයිද වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. ලෝකයේ දැනට අධිකරණ විශේෂඥ වෛද්‍ය විශේෂ වර්ග 07ක් සිටිති. අප‍ට එම විශේෂඥ වර්ග 07න් 06ක් ම සිටිති. එකම අඩුව අධිකරණ විකිරණ විශේෂඥ වෛද්‍යවරු පමණි. ඒ අඩුව පුරවන්නට හැකි දක්ෂයන් සිටියත් තවමත් ඊට අවස්ථාවක් අපේ රටේ ගොඩනැඟී නැත.

ස්කෑන් මඟින් සිදු කරන පරීක්ෂාවේදී මරණය ස්වභාවික ද යන්න ගැන පවා කියන්නට ඇති හැකියාව බොහෝය. එසේම පහරදීම්, වැටීම්, කැපීම්, කෙටීම් ආදියෙන් සිදුවන සිරුරේ බාහිර මෙන්ම අභ්‍යන්තර තුවාල මෙන්ම සලකුණු ඒ තුළින් පැහැදිලිවම හඳුනාගත හැකි බව ද වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයා සඳහන් කරයි. ඒ අනුව බැලීමේදී දිනේෂ් ෂාෆ්ටර්ගේ මළ සිරුර මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේද ස්කෑන් කිරීමක් සිදු කළේනම් ඔහුගේ මරණය සිදුවූයේ ගෙල සිරවීමකින් දැයි පැහැදිලිවම හඳුනා ගැනීමට තිබුණු ඉඩකඩ බොහෝය. දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ ස්කෑන් පරීක්ෂාවක් සිදු කරන බැවින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු එළියට එනු ඇත. මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොහොතින් මොහොත වෙනස් වූ කරුණු දැන් මේ තුළින් පැහැදිලිවම කියන්නට ඇති හැකියාව වැඩිය. ඒ අනුව දිනේෂ්ගේ මරණය සිදුවූයේ ගෙල සිරවීමකින් දැයි ස්කෑන් පරීක්ෂාවේදී පැහැදිලිවම එළියට එනු ඇත. ඒ ස්කෑන් පරීක්ෂාවකදී සිරුරක් විච්ජේදනය කර පරීක්ෂා කරනවාට වඩා වැඩි තොරතුරු ගොන්නක්ම ලැබෙන බැවිනි.

ඒ යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් වසක් විසක් කා සියදිවි හානිකර ගත්තේ දැයි මේ තුළින් කියන්නට බැරිය. ඒ වස විස ස්කෑන් කිරීමේදී හසු නොවන බැවිනි. මෙහිදී සිදුවන්නේ ගෙල සිර කර කිරීමකින් සහ ගෙල සිර කර ගැනීමකින් මෙම මරණය සිදුවී තිබේ දැයි මූලික වශයෙන් සොයා බැලීමය.ඒ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සිර කර සිදුකර ඇති බව මෙන්ම ගෙල සිර කර ගැනීමකින් සිදු කරගත් මරණයක් බව කියැවෙන බැවිනි. ස්කෑන් පරීක්ෂාවේදී ගෙලට වැටී තිබුණු තොණ්ඩුවෙන් ගෙල සිරවී ඇති ආකාරය සටහන්වන බැවින් ඒ ඔස්සේ යම් නිරීක්ෂණයක් කර විශේෂඥ මතයක් ඉදිරිපත් කිරීමට මේ තුළින් හැකිවනු ඇත.

“ස්කෑන් එකකින් වසක් නිසා මරණයක් සිදුව ඇති බව කියන්න බැහැ. ඒකට සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කරන්න ඕනේ. රසායනික පරීක්ෂාවක් කරන්න. මොකද මේ වෙනකොට මෙම මළ සිරුර මාස ගණනක් පරණයි. ඒ වගේම තමයි සිරුර කල් තියාගන්න රසායනික ද්‍රව්‍ය පවා ගල්වලා තියෙනවා. මුල් පශ්චාත් මරණ පරීක්ෂණය අභියෝගයට ලක්වෙලා තියෙන නිසා අනිවාර්යෙන්ම සිරුරේ කොටස් නැවත පරීක්ෂාවකට රස පරික්ෂක වෙත යොමු කරන්න ඕනේ. වඩාත් හොඳයි සිරුරේ ඇති රුධිර සාම්පලයක් ඒ සඳහා යොමුකරනවා නම්. ඒ තුළින් වඩාත් නිවැරදි ලෙස සිරුරේ වස තිබේ දැයි හඳුනා ගන්න පුළුවන් කම තියෙනවා. ගැටලුව තියෙන්නේ මළ සිරුර දැන් මාස ගණනක් පරණ නිසා රුධිරය තිබේ දැයි කියලයි. සිරුර ස්කෑන් කිරීමෙන් ඊටත් විසඳුමක් ලැබෙනවා. ඒ තමයි රුධිරය සිරුරේ යම් ස්ථානයක කැටි ගැසීමකට ලක්වෙලා පොඩි බිංදුවක් හරි තියෙනවා නම් ස්කෑන් පරීක්ෂාවෙන් එය හඳුනා ගන්න පුළුවන්. ඒ තැන විච්ජේදනය කිරීමෙන් රුධිර කැටිය පිටතට ගෙන පරීක්ෂණ සඳහා යොමු කරන්න හැකියාව ලැබෙනවා“ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයා ඒ ගැන පැහැදිලි කිරීමක් කරනු ලැබුවේ එසේය.

ස්කෑන් පරීක්ෂාවේදී රුධිර කැටියක් සොයා ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ පටකවේදී පරීක්ෂාවක් සිදු කිරීමටය. ඒ සිරුරේ මස් කැබැල්ලක් රස පරීක්ෂක වෙත යොමුකර රසායනාගාර පරික්ෂාවකට ලක්කර සිරුරේ වස අන්තර්ගතව තිබේ දැයි පරීක්ෂා කර බලන්නටය. ඒ අනුව ඉදිරියේදී විශේෂඥ වෛද්‍ය කමිටුවට අධිකරණ නියෝගයකින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් තවත් රස පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට සිදුවනු ඇත. ඒ දිනේෂ් ෂාෆ්ටර් සැබෑ ලෙසම මිය ගියේ වස ශරීරගත වීමෙන් දැයි සැකහැර දැන ගැනීමය. වස සිරුරේ තිබූ පළියට මනුෂ්‍යයෙක් මිය යන්නේ නැත. වස අන්තර්ගත විය යුතු ප්‍රතිශතයක්ද තිබේ. ඒ හැම දෙයක්ම මෙම විශේෂඥ කමිටුව සොයා බලනු ඇත. ඒ අධිකරණය විසින් ඔවුන්ට ලොකු වගකීමක් පවරා ඇති බැවිනි. එම වගකීම අකුරට ඉටුකරමින් විද්‍යාත්මක සාක්ෂි ගොන්නක්ම පදනම් කරගෙන විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවී ඇති ආකාරය ගැන මතයක් වැඩිකල් යන්නට මත්තෙන් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ඇත.

Comments