ජීවිතේම අවුළන දුම්වැටියට තිත තියන්න | Page 2 | සිළුමිණ

ජීවිතේම අවුළන දුම්වැටියට තිත තියන්න

ඟිලි දෙක අතරේ සිරවී දැල්වෙන දුම්වැටිය කෙමෙන් කෙමෙන් ජීවිතයේ බොහෝ දේවල් තමාගෙන් උදුරා ගන්නා බව නොදැන දුම්පානය කරන්නෝ විරලය. දුම්පානයේ අයහපත් ප්‍රතිඵල ගැන නිතර සවන් වැකෙන නිසාම කුඩා දරුවෝ පවා දැන් ඒ ගැන දනිති. ශෝචනීය සත්‍යය නම් දුම්පානය කරන්නන් එහි අයහපත් ප්‍රතිඵල ගැන දැන දැනම තව තවත් ඒ ඇබ්බැහියේ ගිලීමය.

සෑම ආකාරයකම දුම්කොළ ශරීරයට අහිතකර වන අතර, දුම්පානය කරන්නන්ගෙන් සියයට 50කට ජීවිත හානි ඇතිවන බවත් දුම්පානය නිසා වසරකට ලොව පුරා මිනිස් ජීවිත මිලියන 8කට අධික සංඛ්‍යාවක් අහිමි වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව පුරා දුම්පානය කරන ජනතාවගෙන් සියයට 80කට අධික ප්‍රමාණයක් ජීවත් වන්නේ අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල බව ද අනාවරණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ දුම්පානය කරන්නන්ට එයින් මිදීම සඳහා අනික් අයගේ සහයෝගය අත්‍යවශ්‍ය බවය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ “අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ” යන්නයි. එය වඩා කාලෝචිත තේමාවක් ලෙස සැලකිය හැක්කේ ගැටුම්, දේශගුණික විපර්යාස, Covid-19 වසංගතය සහ වැඩි වන ආහාර මිල යනාදී කරුණු රැසක් මඟින් මේ වන විට ලෝකයම ගෝලීය ආහාර අර්බුදයක් හමුවේ සිටින බැවිනි. එබැවින් වඩා පෝෂ්‍යදායී, තිරසර, විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීමත්, විකල්ප අලෙවිකරණ අවස්ථා කෙරෙහි යොමු වීමට ඔවුන් දිරි ගැන්වීමත් ඉලක්ක කිරීමත් මේ තේමාවේ අරමුණයි.

ලෝක ආහාර වැඩසටහන ඉදිරිපත් කර ඇති දත්ත අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ළඟා වෙමින් පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ දුම්කොළ භාවිතය හේතුවෙන් රටේ ආර්ථික සහ සෞඛ්‍ය සේවය මත අනිසි බරක් පැටවී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට අකල් මරණ 20,000කට නැතහොත් දිනකට මරණ 55කට හේතු වන්නේ දුම්කොළය. ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් මිලියන 400ක් සිගරට් සඳහා වියදම් කරන අතර, සිගරට් භාවිතය නිසා රජය වසරකට දැරිය යුතු ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රුපියල් මිලියන 84,320ක් බවත් දුම් පානය කරන්නන් බහුතරය අඩු ආදායම්ලාභීන් බවත් මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.

දුම්කොළ පරිසරයට බොහෝ හානිදායක වගාවක් වන අතර, දරුණු පාංශු ඛාදනය, පස නිසරු වීම හා ජල සම්පත ක්ෂය වීම නිසා භූමියේ ඵලදායිතාව අඩු වීම, අධික රසායනික පොහොර භාවිතයෙන් සමස්ත පරිසර පද්ධතියටම සිදු වන බලපෑම් මේ අතර මූලික වේ.

දුම්කොළ කර්මාන්තය විසින් නොයෙකුත් ක්‍රම මඟින් දුම්කොළ වගාව පවත්වාගෙන යමින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට දිගින් දිගටම කටයුතු කරමින් සිටින තත්ත්වයක් තුළ දුම්වැටි භාවිතය සහ ඒ හා බැඳී ඇති හානිය අවම කිරීමට සිගරට් භාවිතය අවම කිරීමේ පාලන ප්‍රතිපත්ති මේ මොහොතේ අප රටට අත්‍යවශ්‍ය බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පැවසීය.

බදු ඉහළ දැමීමෙන් දුම්වැටි මිල උපරිම මට්ටම දක්වා ඉහළ දැමීම දුම්කොළ පාලනය සඳහා ගත හැකි වඩාත්ම ඵලදායී උපාය මාර්ගය බව හඳුනාගෙන ඇතත් උද්ධමනයට අනුකූලව සකස් කෙරෙන විද්‍යාත්මක මිල සූත්‍රයක් දුම්වැටි සඳහා අවශ්‍ය බව ද හෙතෙම අවධාරණය කළේය.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් ඉකුත් දශකය පිළිබඳ සිදු කළ අධ්‍යයන වාර්තාවලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ දුම්වැටි පානය කරන්නන්ගේ අඩු වීමක් සිදුවී ඇති බවයි. 2013 වසරේ මෙරට දුම්වැටි භාවිත කළ ප්‍රතිශතය සියයට 34.2ක් වූ අතර, 2022දී එය සියයට 25.4 දක්වා පහළ බැස තිබිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සක පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා ඒ පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.

"එය හොඳ තත්ත්වයක්. මේ වෙද්දි ලංකාවේ දුම්පානය කරන ප්‍රතිශතය සියයට 10ටත් වඩා අඩුයි. පහුගිය අවුරුදු දහය ඇතුළත මිලියන ගාණක් දුම්බීම අතහැරියා. ඒ වෙද්දි අපේ රටේ මනෝ වෛද්‍යවරු හිටියෙ බොහොම අඩුවෙන්. උපදේශන සේවා තිබුණෙම නැති තරම්.

ඒ වගේම වෛද්‍යවරුන්ට දුම්පානය නැවැත්වීම සඳහා දෙන්න ඖෂධ තිබුණෙත් නැහැ. එවැනි තත්ත්වයක් තුළත් විශාල පිරිසක් එක්වරම දුම්පානය නතර කරන්න පෙලඹීම හොඳ තත්ත්වයක්. දුම්පානය කියන්නේ ඇබ්බැහියක්, නමුත් මූලිකම දේ එය නැවැත්විය හැකියි. 

වැදගත් වන්නේ එසේ නැවැත්වීම සඳහා අනුබල දෙන වටපිටාව සකස් කරගැනීමයි. දුම්පානය අඩු වූ කාලය පිළිබඳ සලකා බලද්දි ඒ කාලයේ දුම්බීමේ ආකර්ෂණය අඩු කිරීම සඳහා ආකර්ෂණීය ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. එහිදී ප්‍රචාරය කෙරුණු "සිගරට් බිව්වම ගඳයි, ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙනවා" වගේ දේවල් දුම් පානය කරන පුද්ගලයන්ගේ හිතට බලපෑමක් කළා. "

එසේ නම් නවීන තාක්ෂණය, සමාජ මාධ්‍ය ජාලා වඩාත් ප්‍රචලිත මේ කාලයේ දුම්පානය නැවැත්වීම සඳහා උත්ප්‍රේරණයක් සැපයිය නොහැක්කේ ඇයි යන කරුණ අප විශේෂඥ මනෝ වෛද්‍යවරයාගෙන් විමසුවෙමු.

"දුම්පානය ඇබ්බැහිකමක් ලෙස දිගින් දිගට යන්නේ ඇයි කියන කරුණට බලපාන සාධක කිහිපයක් තිබෙනවා. දුම්පානයෙන් වැළකී ඉන්න ක්‍රම හොයන්න කැමති තරුණයෙක් ගූගල් එකේ හෝ යූටියුබ් එකෙන් සර්ච් කරලා බැලුවම හමුවන ලිපි, දැනුම්වත් කිරීම්, උපදේශන පත්‍රිකා වැඩි ප්‍රමාණයක තියෙන්නේ දුම්පානයෙන් මිදීමට තිබෙන අසීරු බව සහ එය කළ නොහැකි දෙයක් බවට හැඟවෙන කරුණු. දුම්පානය කරන පුද්ගලයාට එය තවත් අසීරු වෙනවා. මූලිකම දේ දුම්පානයෙන් අසරණ වී සිටින පුද්ගලයකුට දුම්බීම නවත්වන්න බැරි සංකල්ප දීම සුදුසු නැහැ. "

එවැනි අහිතකර සංකල්ප මොනවාදැයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

"සමහර පුද්ගලයන් ජනවාරි පළමුවැනිදා එහෙමත් නැත්නම් එවැනි විශේෂ දවසක දුම්පානය නතර කරනවා කියලා ඉලක්කයක් තියාගෙන ඉන්නවා කියලා හිතමු. ඒත් ඒ දවස පහුවෙලා සතියක් ඇතුළත සමාජ මාධ්‍ය හරහා වෙළෙඳ දැන්වීම් නොවන ආකාරයේ දුම්පානයට දිරි දෙන දැවැන්ත ප්‍රචාරණ ගෙනයනවා.

ඒ වගේම වට්ස්ඇප් ගෘෘප් තුළ ක්‍රියාත්මක වෙන මිතුරු කණ්ඩායම් හරහා දුම්බීම නැවැත්වීම උපහාසයට ලක්කරන විහිළු මැසේජ් හුවමාරු කර ගැනීමත් එක්තරා ආකාරයකට දුම්බීම ප්‍රවර්ධනය කිරීමක්. ඒ වගේම ඇතැමුන් දුම්බීම පෞද්ගලික ගැටලුවක් බවට ලඝු කරනවා. එයත් මෙය අතහරින්න බැරි විදිහට පුද්ගලයන් අසරණ කිරීමක්. 

දුම්බීම තමන්ට කරදරයක්, දුකක් කියලා දැනගෙන ඉන්න එකම ඒ ඇබ්බැහියෙන් මිදෙන්න අවස්ථාවක් බව හඳුන ගත්ත පුද්ගලයන් අතර දැන් දුම්පානය අඩුවෙමින් තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. නමුත් දුම් නොවන භාවිතය තවම තිබෙනවා. එවැනි දේවල් පවත්වා ගෙන යන්න දුම්කොළ සමාගම් විවිධ ක්‍රමවේද භාවිත කරනවා. "

විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා ඒ අවදානම පිළිබඳ ද අප අවධානය යොමු කළේය. "නිකොටින් වාෂ්ප උරන දේවල් අපේ රටට ආගන්තුක වුණත් 'මත්ද්‍රව්‍ය ද්වාර විදිහට' විවිධ රටවල්වල ඒවා පාවිච්චි වෙනවා. එවැනි දේවල් ජනතාවගේ භාවිතයට යොමු කිරීමෙන් දුම්කොළ සමාගම් අපේක්ෂා කරන්නේ ක්‍රමයෙන් දුම්වැටි පානය සඳහා ඔවුන් යොමු කර ගැනීමයි. දුම්වැටි නැත්නම් කුමන හෝ ඇබ්බැහියකට ජනතාව හුරු කරගැනීම දැවැන්ත දුම්කොළ සමාගම්වලට වාසියක්. අපි දැන් දකිනවා, බෝඩ් ගහලා බුලත්විට විකුණන කඩවල්. එවැනි නොපෙනෙන ආකාරයේ ප්‍රචාරක ක්‍රමවලට ගිහින් කුමන හෝ ක්‍රමයකට ජනතාව දුම්කොළ භාවිතයට නැඹුරු කිරීමයි දුම්කොළ සමාගම්වල අපේක්ෂාව. ජනතාව මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. දුම්පානයෙන් සැබෑ නිදහස් වීම කියන්නේ දුම්වැටි ඇතුළු සියලු දුම්කොළ නිෂ්පාදනවලින් මිදීමයි. "

දුම්පානය නිසා සෞඛ්‍යයට ඇතිවන අහිතකර බලපෑම් අතර පිළිකා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, හෘදය රෝග හා හෘදයාබාධ, පෙණහලු රෝග ඇතිවීමේ අවදානම මෙන්ම මානසික සෞඛ්‍යය සහ පෞරුෂය පිරිහීම ද මූලික වේ. දුම්වැටි මෙන්ම දුම් රහිත දුම්කොළ භාවිතය ද එලෙසම අහිතකර බව වෛද්‍ය මතයයි.

"විශේෂයෙන් තරුණ පිරිස මෙයින් මුදාගත යුතුයි. දුම්පානයට ඇබ්බැහි වී සිටින බුද්ධි මට්ටමින් අඩු පුද්ගලයන් එයින් ගලවා ගත නොහැකි නවතම න්‍යායන් වර්තමාන සමාජය තුළ පැතිර යමින් තිබෙනවා.

දුම්පානය සතුට උද්දීපනය කරනවා, ඇල්කොහොල් ටිකක් ගැනීම ශරීරයට හොඳයි වගේ මත ඒ අතර වෙනවා. නමුත් ඒවා සත්‍ය බවට විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ. නමුත් සමාගම් දුම්කොළ භාවිතය විවිධාකාරයෙන් ප්‍රවර්ධනය කරනවා. වෙළෙඳ දැන්වීම් තහනම් කළාට සුපිරි වෙළෙඳසැල්වල දුම්වැටි අලෙවි කරනවා.

ඒ පරිසරය දුම්කොළ සමාගම් විසින් සකසා තිබෙනවා. ඒ නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන වැඩි කිරීමෙන් හෝ බෙහෙත්වලින් දුම්පානය නවත්වන්න බැහැ. දුම්පානය නවත්වන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කිව යුත්තේ නැවැත්වීමේ උත්සාහයේදී රැවටීම්ලට අහුවෙන්න එපා, 'ඇන්ඳෙන්න එපා' කියලයි. 

දුම්පානය නවත්වන්න තියෙන බෙහෙත් අතිශයින් සාර්ථකයි කියලා සනාථ වෙලා නැහැ.

බෙහෙත් සියයට 40ක් සාර්ථකයි කියන්නේ සම්පූර්ණයෙන් සාර්ථකයි කියන එක නෙවෙයි. දුම්පානය නැවැත්වූ බොහෝ දෙනෙක් එය කරලා තියෙන්නෙ තමන්ගෙම උත්සාහයෙන්. සමහරු එක්වරම දුම්පානය නවතා තිබෙනවා. සමහරු අඩුකරලා නවත්තලා තියෙනවා. ඒ කොහොම වුණත් පරෙස්සම් විය යුත්තේ දුම්පානය නතර කළ අය නැවත ඒ සඳහා යොමු කරන සාධකවලට 'අහුනොවී සිටීමට 'යි. දුම්පානය නතර කිරීම කරන්න බැරි දෙයක් නම් නොවෙයි. එය කළ හැකි දෙයක්. නවත්තන්න බැහැ කියලා ගෙනයන ප්‍රචාරවලට 'ඇන්‌ෙඳන්නෙ නැතුව ඉන්න' කල්පනාකාරී වීමයි වඩා වැදගත්. ධනාත්මක හැඟීමෙන්" මට එය කළ හැකියි" යන ආකල්පයෙන් ආරම්භ කරන්න. "දුම්පානය නතර කිරීමට බලාපොරොත්තු වන්නන් සඳහා ප්‍රයෝජනවත් වන ප්‍රයෝගික උපදෙස් ගැන ද අප විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා ගෙන් විමසුවෙමු. "සිගරට් බොන එක හැකිතරම් අමාරු දෙයක් බවට පත්කර ගන්න. 

ස්ටොක් කරලා තියාගන්නෙ නැතිව කඩේට යනකොට එක සිගරට් එකක් විතරක් ගේන්න. සමහර අයට සිගරට් එකක් නැතිව තේ බොන්න බැහැ. එහෙම කෙනෙක්ට පුළුවන් තේ වෙනුවට කෝපි එකක්, කිරි තේ එකක් හෝ සිසිල් බීම එකක් බොන්න. නිතරම සිගරට් බීපු කෙනෙකුට ඒ වෙනුවට නෙල්ලි ගෙඩියක්, කුරුඳු කෑල්ලක් වගේ දෙයක් හපන්න පුළුවන්.

සමහර අයට වැසිකිළි යෑම හොඳින් සිදුවෙන්න නම් සිගරට් එකක් බොන්න ඕනේ. ඒ පුරුද්ද මගහරවා ගන්න අපහසු නැහැ. උණු වතුර පානය කිරීම, පලතුරු වැඩිපුර ආහාරයට ගැනීමෙන් දවසක් දෙකක් යනවිට ඒ අපහසුතා මග හැරේවි.

ඒ වගේම ඔබ දුම්පානය නතර කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා ඒ සඳහා සමීපතමයන්ගේ උදව් ලබා ගැනීමත් ඒ සඳහා පරිසරය සකසා ගැනීමත් වැදගත්. දිනපතා විනාඩි කිහිපයක් ව්‍යායාම වැනි ශාරීරික ක්‍රියාකාරකමක නියැළීමත් දුම්පානයට ඇති ඇබ්බැහිය අඩු කරවන්නට හේතුවක්. " දුම්බීම හානිකර වන්නේ දුම් බොන පුද්ගලයාට පමණක් නොවන නිසා දුම් බොන ඔබේ සමීපතමයන් එයින් මුදවා ගන්නට සහයෝගය දැක්වීම සියලු දෙනාගේ සමාජයීය වගකීමක් බව ද මෙහිදී අවධාරණය කළ යුතුය.

Comments