එදා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තහනම් කලාපයක් වූ තමිල්නාඩුවේ ආරෝව සමනය කළ වීරයන් දෙන්නා | Page 2 | සිළුමිණ

එදා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට තහනම් කලාපයක් වූ තමිල්නාඩුවේ ආරෝව සමනය කළ වීරයන් දෙන්නා

මෙරට ත්‍රස්තවාදය තුරන් කළ යුද්ධයෙන් පසු තමිල්නාඩුවේ පටු දේශපාලකයන් සිය ජනතාවට මවා පෑ ව්‍යාජ කරුණු කාරණා බොහෝය. ඒ අතුරින් වඩාත්ම ඛේදජනක සිදුවීම වන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට වසර ගණනාවකට තමිල්නාඩු භූමියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි කිරීමය. තමිල්නාඩුවේ ක්‍රිකට් මර්මස්ථානය ලෙස සැලකෙන චෙපොක් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම වසර 18කින් ක්‍රීඩා කර නැත. එහෙත් තමිල්නාඩුවේ පටු දේශපාලනයට පයින් ගැසූ එම ප්‍රාන්තයේ මිලියන සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් සිය භූමියේහිම වීර පුතුන්ට මෙන් ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණට සහ මහීෂ් තීක්ෂණට ආදරය කරන හැටි පුදුමාකාරය.

තමිල්නාඩුවේ සංස්කෘතිය විදහාපාන කහ ජර්සිය හැඳ මතීෂ හා මහීෂ් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර අයිපීඑල් අවසන් මහා තරගයට එක්වීමේ මං විවර කරනු ලැබුවේ වසර ගණනාවක් පුරා තමිල්නාඩුවේ දේශපාලකයන් සිය ජනතාව අතර මවා පෑ ප්‍රතිරූපය එහෙම පිටින්ම කුඩුපට්ටම් කරමිනි. තමිල්නාඩු ජනතාවගේ හදවත් දිනා ගත්තේ චෙන්නායි පිලේ ජයග්‍රහණයට මං විවර කළ ප්‍රධානතම පන්දු යැවීමේ තුරුම්පු බවට පත්වෙමිනි. 

‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්‘ පුවත්පත ඊයේ පෙරේදා අපූරු ලිපියක් පළ කර තිබිණි. එහි ශීර්ෂ පාඨය ‘ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා වන පතිරණ හා තීක්ෂණ කෙරෙහි චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩාලෝලීන් ආදරයෙන් බැඳුණු හැටි‘ ය.

තමිල්නාඩුවේ සදාතනික ක්‍රිකට් වීරයා වන්නේ චෙන්නායි පිලේ නායක එම්.එස්. දෝනි ය. ඔහු හැරුණු විට මෙවර තරගාවලියේදී සිදුවූ විශේෂත්වය වන්නේ මතීෂ පතිරණ හා මහීෂ් තීක්ෂණ කෙරෙහි තමිල්නාඩුවේ ජනතාව ආදරයෙන් බැඳීම බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කළේය. මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය නොඑසේ නම් චෙපොක් ක්‍රීඩාංගණය ලෙස ප්‍රකට තමිල්නාඩුවේ ප්‍රධානතම ක්‍රිකට් පිටියේ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රියතමයන් බවටත් පත්ව ඇතැයි එම පුවත්පත කියයි. තමිල්නාඩුවේ පටු දේශපාලකයන් වසර ගණනාවක් තිස්සේ ගෙන ගිය ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරණ කටයුතු තවදුරටත් වලංගු නොවන බවට හොඳම නිදසුන ද එය වේ. කැපී පෙනෙන කාරණාව වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක දෝනිගේ වඩාත්ම විශ්වාසනීය පන්දු යවන්නන් බවට පත්වී සිටින මතීෂ සහ මහීෂ් ක්‍රීඩාලෝලීන්ගේ හදවත් දිනා ගැනීමට සමත් වී ඇත්තේ තමිල්නාඩුවේ ශ්‍රී ලාංකික බෑණා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ටත් වඩා ඉහළින් වීමය.

වසර 2008 පැවැති පළමු අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කළ මුරලිදරන් මෙරට යුද ගැටුම් නිමා වීමෙන් පසු කරනු ලැබූ බව කියන ප්‍රකාශයක් හේතුවෙන් තමිල්නාඩුවේ දේශපාලකයන් ජනතාව අතර ඇති කළ මුරලි විරෝධය වසර ගණනාවකට ඇදී ගිය එකකි. 2013 වසරේදී එය තවත් දිග් ගැස්සුණේ එම වසරේ අයි.පී.එල්. තරගාවලියේදී චෙන්නායි පිල සිය කණ්ඩායමට නුවන් කුලසේකර සහ අකිල ධනංජය ඇතුළත් කිරීම නිසාය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකුට චෙන්නායි නුවර ක්‍රීඩා කිරීමට අවසර නොදීමට එවකට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබිණි. මහ ඇමැතිනි ජයලලිතා එවකට ඉන්දීය අගමැතිවරයාව සිටි මන්මෝහන් සිංට ලිපියක් ද යවමින් කියා සිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් හෝ විනිසුරුවරුන් සහභාගි වන කිසිදු අයිපීඑල් තරගයක් පැවැත්වීමට තමිල්නාඩුවේ ඉඩක් නැති බවය. චෙන්නායි පිල තමිල්නාඩුවෙන් පිටතදී වුවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තරගයට යොදා ගන්නේ නම් චෙන්නායි සුපර් කිංග්ස් පිල වර්ජනය කිරීමට ද ඇය ජනතාව පොලඹවා තිබිණි. ශ්‍රී ලංකාව අරබයා මහ ඇමැතිනි ජයලලිතා එවකට තමිල්නාඩුවේ මවා තිබුණේ එවැනි ප්‍රතිරූපයකි.

ඉන් නොනැවතී ඔවුන් ලොව විශිෂ්ටතම පිටදඟ පන්දු යවන්නා ලෙස වාර්තාපොතට ගිය මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරමින් නිර්මාණය වන ‘800‘ චිත්‍රපටයට ද විරෝධතාව පළ කර තිබිණි. එහි රූගත කිරීම් ආරම්භ වීමෙන් පසු එම තත්ත්වය දෙගුණ තෙගුණ විය. එම චිත්‍රපටයේ මුරලිගේ චරිතය රඟ දැක්වීමට නියමිතව සිටි තමිල්නාඩුවේ කොලිවුඩ් සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පි විජේ සේතුපතිට ඉන් ඉවත්වීමට ඔහුට සිදුවන තරමට ජනතාවගේ බලපෑම් වර්ධනය වී තිබිණි. මතීෂ සහ මහීෂ් ජයගෙන ඇත්තේ එසේ මෙසේ අභියෝගයක් නොවන බවට මේ සියල්ල සාක්ෂි සපයයි. පසුගියදා චෙන්නායි සහ ගුජරාට් ටයිටන්ස් අතර චෙපොක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තු නිවේදනයේදී මතීෂ හා මහීෂ්ගේ නම් කියැවෙද්දී ක්‍රීඩාංගණය පුරා නින්නාද වූයේ එකම ප්‍රීතිඝෝෂාවකි. මතීෂ පතිරණ පන්දු යැවීමට පැමිණෙන සෑම අවස්ථාවකදීම ඒ ජයඝෝෂාව දෙගුණ තෙගුණ විය. තරගයෙන් තරගය චෙන්නායි පිලේ ඉරණම මතීෂ හා මහීෂ අතර දෝලනය වන්නට වූ අතර, අවසානයේ 10 වැනි වරටත් චෙන්නායි පිල අයි.පී.එල්. තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පසුගියදා මතීෂලා කැපී පෙනෙන දස්කම් පෑ තරගයකින් චෙන්නායි පිල ජයගැනීමේ සතුටින් උද්දාමයට පත්ව ක්‍රීඩාංගණයෙන් පිටතට යමින් සිටි ක්‍රීඩාලෝලීන්ගේ මුවඟ රැව් දුන්නේ එකම නමකි.

‘පතිරණ..පතිරණ..එච්චර තමයි කියන්න තියෙන්නේ..!‘

‘පතිරණගේ පන්දු යැවීම නිසා මැච් එක දිනුවා...‘

‘පතිරණ සුපිරියට කළා..!‘

‘පතිරණ බෝල් කළේ මොනතරම් දක්ෂ විදිහටද?‘

‘පතිරණ සුපිරියට දැම්මා බ්‍රෝ..!‘

‘පතිරණ හිතාගන්න බැරි විදිහට සෙල්ලම් කළේ !‘

‘ශ්‍රී ලංකාවේ පොඩි කොල්ලා මාර විදිහටනේ බෝල් කළේ.!‘

පසුගිය වසරේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ය. චෙන්නායි පිලට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට එරෙහිව ජනතා විරෝධය ඒ වනවිටත් අවසන් වී නොතිබිණි. ශ්‍රී ලංකාවේ අභිරහස් දඟපන්දු යවන්නා ලෙස ඉන්දීය මාධ්‍ය හඳුන්වනු ලබන මහීෂ් තීක්ෂණට පසුගිය වසරේදී තමිල්නාඩුවේ මෙවැනි පිළිගැනීමක් ලැබුණේම නැත. වසර 2012දී නුවන් කුලසේකරගෙන් පසු චෙන්නායි පිලට ක්‍රීඩා කරන පළමු ක්‍රීඩකයා බවට පත් වූ මහීෂ් එවර සන්රයිස් හයිද්‍රබාද් පිලට එරෙහිව මුම්බායි නුවරදී සිය පළමු අයිපීඑල් තරගයට ක්‍රීඩා කළද, චෙන්නායි නුවර පැවැත්වෙන කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබිණි. එපමණක් නොව ඒ වන විට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී සිටි බැවින් එල්ල වූ විරෝධය ඉතා බරපතළ ස්වරූපයක් ද ගෙන තිබිණි. යුද සමයේදී එල්ටීටීඊය මිනිස් පළිහක් බවට පත් කරගෙන සිටි දහස් සංඛ්‍යාත අසරණ දෙමළ ජනතාව බේරා ගැනීමට මෙරට ත්‍රිවිධ හමුදාව දිවි පරදුවට තබා සිදු කළ මානුෂීය මෙහෙයුම සිය පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට වෙන අයුරකින් හුවා දැක්වීමට තරම් තමිල්නාඩුවේ දේශපාලකයෝ අවස්ථාවාදී වූහ. 

‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පත කියන්නේ පතිරණ එසැණින් ‘හිට්‘ වූ බවය. තීක්ෂණ සිය කාලය එනතුරු බලා සිටීමට සිදු වූ බවය. එමෙන්ම පතිරණට සාපේක්ෂව තීක්ෂණ ප්‍රතිවාදීන් හමුවේ පීඩනයට පත්ව සිටි බවට කිසිවකු හෝ පවසන්නේ නම් එය අවතක්සේරු කිරීමක් බවය. ගුජරාට් පිල සමඟ පැවැති අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ තරගයේ සිය පළමු ඕවරයේදීම ඔහු ගුජරාට් පිලේ නායක හර්දික් පාන්ඩ්‍යා දවාගත්තේය. තරගය වෙනස් වූයේ එතැන සිටය. එතැනින් එහාට චෙන්නායි පිලේ ජයග්‍රාහී ගමන ආපසු හැරවීමට ප්‍රතිවාදීන්ට නොහැකි විය. සිය ඕවර කෝටාව නිමා කරමින් රාහුල් ටේවාටියාගේ කඩුල්ල බිඳ දැමීමත් මේ විශිෂ්ට දඟපන්දු යවන්නාගේ විශිෂ්ටත්වයට නිදසුනකි. එබැවින් වඩාත් වැදගත් වන්නේ තීක්ෂණ යුද හමුදාවේ සාජන්වරයකු ලෙස රාජකාරි කිරීම නොව ඔහු චෙන්නායි නුවර සෑම ආත්මයක්ම එකිනෙක‍ යා කරන කහ ජර්සිය පැලඳ තමිල්නාඩු භූමි පුත්‍රයකු සතු කාර්යභාරය අකුරටම ඉටු කිරීමය. ඉන්දියන් එක්ස්ප්‍රස් එසේ සඳහන් කර තිබිණි.

සැබැවින්ම මහීෂ් විස්මිත දඟපන්දු යවන්නෙකි. ඔහු දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව නවදිල්ලි නුවර පැවැති තරගයේදී දිල්ලි ඉනිමේ අවසන් ඕවරය ලකුණු ලබා නොදුන් නොඉඳුල් ඕවරයක් කරගත්තේය. විස්සයි20 වැනි කෙටි මුහුණුවරක ලකුණු හඹා යන ඉනිමක විසිවැනි ඕවරය නොඉඳුල් කරගැනීම කොතරම් දුෂ්කර කටයුත්තක්දැයි නොදන්නා කෙනකු නැත. වසර 15ක අයිපීඑල් ඉතිහාසයේ එවැනි දස්කමක් පෑ පස්වැනි පන්දු යවන්නා ලෙස තීක්ෂණ වාර්තාපොතට එක් විය. කඩුල්ලක් බිඳ දමන සෑම මොහොතකදීම අනංගයා මල් හී සර විදින්නාක් මෙන් සිය දණහිස නවා ඉහළ අහසට දුනු විදීමේ අභිරූපනයක් විදහා දක්වමින් එහි සතුට භුක්ති විඳින තීක්ෂණගේ අපූරු ඉරියව්ව දැන් තමිල්නාඩුවේ ක්‍රීඩාලෝලීන් විදහා දක්වන්නේ ඔහුටත් පෙරය.

මතීෂගේ හැකියාව ඊට වෙනස්ය. ඔහු ඉනිමේ තීරණාත්මක ඕවර කිහිපය සඳහා දෝනිගේ බර අවිය බවට පත් වී ඇත. මේ සුවිශේෂී පන්දු යවන්නා අනාගතයේදී රැකගත යුතු ආකාරය දෝනි හොඳින්ම අවබෝධ කරගෙන සිටියේය. හෙතෙම පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කරමින් කියා සිටියේ මතීෂ රැක ගැනීමට නම් ඔහු ටෙස්ට් පිටියෙන් ඈත් කර තැබිය යුතු බවය. කලක් අයිපීඑල් පිටියේ ශ්‍රී ලාංකික ලකුණ බවට පත්ව සිටි ලසිත් මාලිංග මේ විචක්ෂණශීලී නායකයාගේ ප්‍රකාශය එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මතීෂ ටෙස්ට් ක්‍රීඩාවේ නිරතවිය යුතු බවය. ක්‍රීඩකයකුගේ ශක්තිය හා විශ්වාසය වර්ධනය වන්නේ ටෙස්ට් පිටියේදී බවත් ඔහු කියා තිබිණි. අවාසනාවකට මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 30කට වඩා ක්‍රීඩා කළේ නැති අතර, අවුරුදු 27ක් වැනි තරුණ වියේදීම ටෙස්ට් පිටිය හැර දමා එක්දින හා විස්සයි20 පිටියේ පමණක් ක්‍රීඩා කළේය. මුදල් ආකරයක් වූ අයිපීඑල් තරග බිමේ වසර ගණනාවක් පුරා මුම්බායි ඉන්ඩියන්ස් පිලට ක්‍රීඩා කරමින් අතමිට ද යහමින් සරු කරගත්තේය. දූරදර්ශී ක්‍රිකට් නායකයකු පමණක් නොව පරාර්ථකාමී හදවතක් ද ඇති දෝනි කළ ප්‍රකාශයට එකඟ වූයේ මෙරට ටෙස්ට් පිටියේ බිහිවු විශිෂ්ටතම වේග පන්දු යවන්නා වන චමින්ද වාස් ය. අවුරුදු 35 දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩාවේ නිරතව සිටි ඔහුට ටෙස්ට් පිටියේ වැඩිපුර ඕවර ප්‍රමාණයක් යැවීමට ද සිදු වී තිබිණි. මේ හේතුව නිසාම විවිධ ආබාධවලට ලක්වීමටත්, සැත්කම් රැසකට මුහුණ දීමටත් වාස්ට සිදු වී තිබිණි. මතීෂ ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටිය යුතු බවට ඔහු යෝජනා කරන්නේ සිය අත්දැකීම් පාදක කරමින් විය හැකිය.

මතීෂගේ මුළු පවුලම දැන් සිටින්නේ චෙන්නායි නුවරය. ඔවුන් යළි එනු ඇත්තේ අයිපීඑල් අවසන් මහා තරගයත් නැරඹීමෙන් පසුවය. පසුගියදා පතිරණ පවුලේ සාමාජිකයන් නායක දෝනි හමුවීමටත් ගොස් තිබිණි. එහිදී දෝනි සමඟ ගත් ඡායාරූපයක් සමඟ මතීෂගේ ලොකු අක්කා විෂුකා ඉන්ස්ටග්‍රෑම් ගිණුමට මුදා හළ කෙටි සටහන මේ වනවිට තමිල්නාඩුවේ පමණක් නොව මුළු ඉන්දියාවේම ‘වයිරල්‘ වෙමින් පවතී.

එම සටහන මෙසේය. ‘‘මල්ලි ආරක්ෂා සහිතව ඉන්න බව අපිට දැන් සහතිකයි.‘ විෂූකා එසේ කියද්දී දෝනි ප්‍රකාශ කර ඇත්තේ ‘කනගාටුවෙන්න දෙයක් නෑ. මතීෂ නිතරම ඉන්නේ මා එක්ක.‘ යනුවෙනි.

ඉරිදා (28) අයි.පී.එල්. අවසන් මහා තරගයේදී චෙන්නායි පිලේ ප්‍රතිවාදියා කවුරුන්දැයි තීරණය වීමට නියමිතව තිබුණේ සිකුරාදා (26) රාත්‍රීයේදිය. එම තරගය ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් අතරය. මුම්බායි යනු අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම වතාවක් කුසලානය දිනාගත් කණ්ඩායමය. ඔවුන් 5 වතාවක් අයිපීඑල් කුසලානයේ පහස ලැබූ අතර, චෙන්නායි පිල සිව්වතාවක් දිනා ඇති බැවින් ඉරිදා තරගයේදී මුම්බායි පිලේ වාර්තාව සම කිරීමට දෝනිලාට කදිම අවස්ථාවක් ලැබී ඇත. ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. පුවත් සේවය සඳහන් කරන්නේ ඉරිදා අවසන් මහා තරගයේදී කාගෙත් අවධානය යොවුන් මතීෂ වෙත යොමු වනු ඇති බවය. ‘චෙන්නායි සුපර් කිංග්ස් පිලේ සාර්ථකත්වයට විශාලතම හේතුව දෝනිගේ සෙවණ යට ශක්තිමත් වූ ශ්‍රී ලංකාවේ යොවුන් වේගපන්දු යවන්නා වන මතීෂ පතිරණය.‘

මතීෂට නොදෙවැනි තීක්ෂණ, තීක්ෂණට නොදෙවැනි මතීෂ...එකිනෙකාට ආවේණික ඉරියව් විදහා පාමින් මේ දෙදෙනාම චෙන්නායි ජනතාව අතරට අපූරූ මතක සටහනක් එක් කර තිබේ. ලොව ඕනෑම රටක ඕනෑම දේශපාලන මතවාදයක් ක්‍රීඩාව හමුවේ කුඩුපට්ටමක් කළ හැකිය. ක්‍රීඩාව එතරම්ම ප්‍රබලය. දැන් තමිල්නාඩුවේ ක්‍රීඩාලෝලීන් පුල පුලා බලා සිටින්නේ මේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනා මෙවර අයි.පී.එල්. කුසලානය තමිල්නාඩුවට දිනා දෙන තුරුය.

Comments