ඉබාගාතේ යන හිත හීලෑ කරගන්නේ කොහොමද? | Page 2 | සිළුමිණ

ඉබාගාතේ යන හිත හීලෑ කරගන්නේ කොහොමද?

සිතෙහි එකඟතාව ඇතිකර ගැනීමෙන් සියුම් අභ්‍යන්තර ස්වභාවයන් පැහැදිලිව බලා ගත හැකි ආකාරය ගැන අපි සාකච්ඡා කළෙමු.

හුස්ම අපගේ ඉලක්කය ලෙස භාවිත අප කරමු. සිත ඉබාගාතේ යන විට නැවත කැඳවාගෙන එන අත්‍යවශ්‍ය ලක්ෂ්‍යයක් ලෙස එය ක්‍රියා කරයි. සිත පිටතට විසිර යෑම, විසිර යෑමක් බව දැකීමට නම් එය කේන්ද්‍රගතව තිබිය යුතු ලක්ෂ්‍යයක් තිබිය යුතුයි. එය අපගේ සාමාන්‍ය සිතුවිලි ක්‍රියාවලියේ කොටසක් වන නිරන්තර වෙනස්වීම් හා බාධාවන් නිරීක්ෂණය කිරීමට මූලික රාමුව ලෙස ක්‍රියා කරනු ඇත.

පැරණි පාලි පොතපතෙහි භාවනාව, ඇතෙකු හෝ අලියකු හීලෑ කිරීමේ ක්‍රියාවලියට සමාන කර ඇත. ඒ සමයේදී අල්ලාගන්නා අලියා, ශක්තිමත් කඹයකින් ගසක බඳිනු ලබයි. මෙම ක්‍රියාවෙන් අසතුටට පත්වන සතා දින ගණනක් ගතවෙන තුරු කෑගසමින්, අඩි පොළවේ ගසමින් කඹයෙන් අදියි. අවසානයේදී තමාට බේරී යා නොහැකි බව තේරුම් ගන්නා ඌ සන්සුන් වීමට පටන් ගනියි. මේ අවස්ථාවේදී අලියාට කෑම බීම දී, ආරක්ෂාකාරීව ඌ හීලෑ කිරීමට හැකි වෙයි. තරමක කාලයකට පසුව කඹය ලිහා දමා, විවිධ කාර්යයන් කරවා ගැනීම සඳහා අලියා පුහුණු කර ගැනීමට හැකියාව ලැබෙයි. මේ අන්දමින් ප්‍රයෝජනවත් වැඩ කර ගත හැකි, හීලෑ අලියකු ලැබෙනු ඇත.

මේ උපමාවේ එන අලියා ඔබගේ සිතයි. කඹය ඔබගේ සිහිනුවණයි. අලියා බඳින ගස හෝ කණුව ඔබගේ භාවනා අරමුණ වන හුස්මයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන හීලෑ අලියා නොහොත් හොඳින් පුහුණු කළ හෝ ඒකාග්‍ර වූ සිත, යථාර්ථයට අකුල් හෙළන මුළාවේ කඩතුරාව ඉරා දැමීම වැනි දුෂ්කර කාර්යයන් සඳහා ඔබට භාවිත කළ හැකි වනු ඇත. භාවනාව ඔබගේ සිත හීලෑ කරයි.

මූලික භාවනා අරමුණ ලෙස හුස්ම භාවිත කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඔබගේ ඊළඟ ප්‍රශ්නය විය යුතුය. මීට වඩා රසවත් දෙයක් තෝරා නොගත්තේ ඇයි? එයට පිළිතුරු බොහෝ ඇත. ඵලදායී භාවනා අරමුණක තිබිය යුතු ලක්ෂණ වන්නේ සිහිය දියුණු කළ හැකි වීම, පහසුවෙන් එහා මෙහා ගෙන යෑමේ හැකියාව නිතරම පවතින දෙයක් වීම හා එය මිල අධික භාණ්ඩයක් නොවීමයි. එය අප නිදහස් වන්නට තැත්කරන තණ්හාව, කෝපය හා මුළාව වැනි ස්වභාවයන් සම අපව ගැටුමට පත්නොකරන වස්තුවක් වීම ද වැදගත්ය.

හුස්ම මේ සියලුම අංගයන් සෑහීමට පත්කරන අරමුණකි. හුස්ම ගැනීම සෑම මනුෂ්‍යයකුටම පොදු වූ ලක්ෂණයකි. අප යන සෑම තැනකටම එයද අප හා ගමන් කරයි. උපතේ සිට මරණය දක්වා නොනැවතී සෑම මොහොතකම අප සමඟ සිටින එයට කිසිම මුදලක් වැය නොවෙයි.

මනෝභාවාත්මක නොවන හුස්ම ගැනීම, සිතිවිල්ලකින් තොරව ඍජුවම අත්දැකීමට පුළුවන. ජීවිතයේ නිරන්තරයෙන්ම වෙනස්වන එක අංගයක් වන එය ඉතා සජීවී ක්‍රියාවලියකි. එය චක්‍රාකාරව ක්‍රියාත්මක වෙයි. ආශ්වාස කිරීම, ප්‍රාශ්වාස කිරීම නොහොත් හුස්ම ඇතුළු වීම හා හුස්ම පිටවීම වශයෙනි. එම නිසා එය ජීවිතයේ ඉතා කුඩා ආකෘතියක් ලෙස සැලකිය හැකිය.

හුස්ම දැනීම ඉතා සියුම්ව වූවද, එය සංජානනයට ඉගෙන ගත් විට පැහැදිලිව දැකිය හැකිය. එය සොයාගැනීම තරමක් දුරට වෙහෙසකරය. නමුත් සෑම කෙනකුටම එය කළ හැකිය. එය මහත් අසීරු කාර්යයක් නොවන නමුත් දිගටම එහි යෙදී සිටිය යුතුය. මේ සියලු හේතූන් නිසා හුස්ම වඩාත් සුදුසු භාවනා අරමුණක් වනු ඇත. ආශ්වාස ප්‍රාශ්වාසය තමාගේ මෙහෙය වීමෙන් තොරව එයටම ආවේණික ඉබේ සිදුවන ක්‍රියාවලියකි. එසේ නමුත් හිතාමතා කරන එක ක්‍රියාවකට එහි වේගය අඩු කිරීම හෝ වැඩි කිරීම හෝ එය දිගු සහ සුමට කිරීම හෝ කෙටි සහ ගොරෝසු කිරීම කළ හැකිය. ඉබේ ඇතිවන හුස්ම ගැනීම හා වුවමනාවෙන් සිදු කරන හුස්ම ගැනීම අතර පවතින්නේ සියුම් වෙනසකි. මෙහිදී අපට අධිෂ්ඨානය හා ආශාව පිළිබඳ ඉගෙන ගැනීමට පාඩමක් ඇත. මෙහිදී නාසය අග තිබෙන ලක්ෂ්‍යය, අපගේ අභ්‍යන්තර හා බාහිර ලෝක අතර පවතින කවුළුවක් ලෙස දැකිය හැක. එය "තමා" යන්නෙහි කොටසක් බවට පත්වීම සඳහා පිටත ලෝකයෙන් ද්‍රව්‍ය ඇතුළු වන හා "තමා" වෙතින් බැහැර පිටත ලෝකය සමඟ එක්වීමට පිටව යන, ශක්තිය මාරුවන හා සම්බන්ධ වන ස්ථානයක් ලෙස ක්‍රියා කරයි. "මම" යන සංකල්පය හා එය සෑදෙන ආකාරය අපට ඉගෙනීමට ඇති පාඩම්ය.

හුස්ම ගැනීම, සෑම සංචේතනික ජීවියෙකුටම පොදු ක්‍රියාවකි. එය අත්දැකීම තුළින් අවබෝධ කර ගැනීම ඔබව අනෙක් ජීවීන් වෙත සමීප කරවයි. එය සියලුම ජීවීන් සමඟ ස්වාභාවිකව පවතින ඔබගේ බැඳීම පෙන්වා දෙයි. හුස්ම ගැනීම මේ දැන් පවතින ක්‍රියාවලියකි. එයින් අදහස් කළේ හුස්ම මේ දැන් මෙතැන පවතින බවයි. සැබැවින්ම අපි වර්තමානයේ ජීවත් නොවෙමු. අප අපගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ අතීත සිහිවටනවල ඇලී ගැලී හෝ අනාගතය ගැන සිහින මවමිනි. හුස්මට වෙනත් වේලාවක් නැත. සත්‍ය වශයෙන්ම, අප හුස්ම දෙස බලා සිටින විට අප ඉබේම වර්තමානයේ රඳවා තබයි. එය අපව මනෝරූප මඩගොහොරුවෙන් මේ දැන් මෙතැනට ඇද දමයි. එලෙස ගත්කල හුස්ම සජීවී යථාර්ථයයි. එවැනි ජීවිතයේ කුඩා අනුරුවක් හොඳ සිහිනුවණකින් යුතුව නිරීක්ෂණය කිරීම ඔබගේ ඉතිරි ජීවන අත්දැකීම් සඳහා අවශ්‍ය වන විනිවිද දක්නා බුද්ධිය ඔබට ලබා දෙනු ඇත. හුස්ම භාවනා අරමුණ ලෙස භාවිත කිරීමේදී ආරම්භක පියවර වන්නේ එය සොයා ගැනීමයි. ඔබ සොයන්නේ නාස්පුඩු තුළින් ඇතුළු වී පිටවී යන වාතයේ භෞතික සංවේදනයකි. මෙය නාස්පුඩු කෙළවරෙහි ඇතුළතින් දැනෙයි. නියමිත ස්ථානය නාසයේ හැඩය මත රඳා පවතින බැවින් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. ගැඹුරු හුස්මක් ගෙන ඇතුළුවන හා පිටවන වාතය නාසය ඇතුළත හෝ උඩුතොල මත වඩාත් පැහැදිලිව ස්පර්ශ වන ලක්ෂ්‍යය සොයා ගැනීමට ඔබට හැකිවනු ඇත. දැන් හුස්ම පිටකර එම ස්ථානය මත හටගන්නා දැනීම සිතෙන් සනිටුහන් කරගන්න. ඔබගේ මුළු ආශ්වාස ප්‍රාශ්වාසයම දැක ගන්නේ මෙම ලක්ෂ්‍යය මතිනි. තමාගේ මෙම ස්ථානය පැහැදිලිවම සොයා දැනගත් පසු ඔබගේ අවධානය ඉන් ඉවතට නොගන්න. අවධානය රඳවා තබා ගැනීමට මෙය පාවිච්චි කරන්න. මෙවැනි ලක්ෂ්‍යයක් සොයා නොගන්නේ නම් නිරතුරුව වෙනස් වෙමින්, චලනය වෙමින් ගලායන හුස්ම අල්ලා ගැනීමට, නාසය තුළින් ඇතුළු වී පිට වී යමින් හා ශ්වසනාළය තුළ ඉහළ පහළ යමින් හුස්ම පසු පස ලුහුබැඳ යන්නට ඔබට සිදු වනු ඇත.

ඔබ කෙදිනෙක හෝ ලීයක් ඉරා ඇතිනම් ඔබ උපාය දන්නවා විය හැකිය. වඩුවෙක් කිසිදිනෙක චලනය වන කියතේ දැති දෙස නොබලයි. එසේ කළහොත් ඔහුට හිස කැරකැවිල්ල ඇති වනු ඇත. කියතේ දැති ලීය මත කිඳාබසින ස්ථානය වෙත ඔහුගේ අවධානය රඳවනු ඇත. ලීය කෙළින් ඉරාගත හැක්කේ එවිටය.

භාවනා යෝගියා තමාගේ නාසය ඇතුළත හුස්ම ස්පර්ශ වන එම තනි ලක්ෂ්‍යය වෙත හිත යොමු කරයි. මෙම වාසිදායක ස්ථානයේ සිට, ඔහුට සම්පූර්ණ ආශ්වාසය හා ප්‍රාශ්වාසය සන්සුන්ව හා පැහැදිලිව දැකගැනීමට හැකි වෙයි. හුස්ම පාලනය කිරීමට කිසිවිටකත් වෑයම් නොකළ යුතුය. මෙය යෝග ව්‍යායාමවලදී කරන හුස්ම ගැනීමේ අභ්‍යාසයක් නොවේ. හුස්මෙහි ඉබේ ඇතිවන චලනය කෙරෙහි හිත යොමු කරන්න. කුමන ආකාරයකින් හෝ එය හැසිරවීමට උත්සාහ නොකළ යුතුය. බොහෝ ආධුනිකයන්ට මේ ආශ්‍රිතව ගැටලු හට ගැනීමට ඉඩ තිබේ. හුස්ම කෙරෙහි හිත යොමු කිරීමට උපකාරි වන පිණිස, ඔවුන් නොදැනුවත්වම බරකොට ආශ්වාස ප්‍රාශ්වාස කරති. මෙම බලහත්කාරය හෝ අස්වාභාවික උත්සාහය හිත එකඟ කිරීමට උපකාරයක් නොව බාධාවකි. ගැඹුරින් හෝ ශබ්ද නඟා හෝ හුස්ම නොගන්න. ශබ්ද නඟා හුස්ම ගැනීම, සමූහ භාවනාවේදී සෙසු භාවනා යෝගීන්ට මහත් හිරිහැරයක් විය හැකිය. ඔබ නින්දේ පසුවන විට මෙන් ස්වාභාවිකව ආශ්වාස ප්‍රාශ්වාසය සිදුවීමට ඉඩ හරින්න. ඇලීමකින් තොරව එහි රිද්මයට අනුව එම ක්‍රියාවලියට සිදුවීමට සලස්වන්න. පහසු කාර්යයක් සේ පෙනුණද එය දුෂ්කර කටයුත්තකි. ඔබගේම කැමැත්ත එයට හරස්වුවහොත් එයින් අධෛර්යවත් නොවන්න. එය සිහිකල්පනාවෙන් යුතුව චේතනාවේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලෙස යොදා ගන්න. හුස්ම, හුස්ම පාලනය කිරීමට ඔබ තුළ ඇති පෙලඹවීම හා හුස්ම පාලනය නැවැත්වීමට ඇති පෙලඹවීම අතර පවතින සියුම් අන්තර් සම්බන්ධතාව දකින්න. මඳ වේලාවකට එය, නිෂ්ඵලදායි බවක් හැඟුණද ඇත්තෙන්ම එය ඉගෙනුම් අත්දැකීමක් ලෙස ඉතා ප්‍රයෝජනවත් වූ ක්‍රමයෙන් පහවී යන දෙයකි. අවසානයේදී හුස්ම ගැනීමේ ක්‍රියාවලිය එයට රිසිසේ සිදු වනු ඇත. එය හැසිරවීමට වුවමනාවක් ඔබට නොදැනෙනු ඇත. මේ මොහොතේදී ඔබ ඉතා වටිනා පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එනම්, විශ්වය පාලනය කිරීමට ඔබ තුළ පවතින අධික ආශාවයි.

බැලූ බැල්මට නීරස හා සරල (ක්‍රියාවක්) ලෙස පෙනුණද හුස්ම ගැනීම බොහෝ සංකීර්ණ මෙන්ම චිත්තාකර්ෂණීය ක්‍රියාවකි. එය සියුම් විවිධතාවලින් පිරී ඇති බව ඔබ දකිනු ඇත. එහි හුස්ම ඇතුළු වීම හා පිට වීම, දිගු හුස්ම හා කෙටි හුස්ම, ගැඹුරු හා නොගැඹුරු හුස්ම, සුමුදු හා රළු හුස්ම යනාදී වශයෙන් ඇත. මෙම වෙනස්වීම් ඉතා සියුම් ලෙස පැටලී එකිනෙක සමඟ සංයෝග වී ඇත. එය සමීපව නිරීක්ෂණය කරන්න. එය ඉතා හොඳින් අධ්‍යයනය කරන්න. නැවත නැවතත් සිදු වන නියත රටා චක්‍රයක් සහ වෙනස්වීම් විශාල සංඛ්‍යාවක් එවිට ඔබ දකිනු ඇත. එය හරියට සමූහ වාදනයක් මෙනි. හුස්මෙහි පිට මායිම පමණක් නිරීක්ෂණය නොකරන්න. එහි ඇතුළු වන හා පිට වන හුස්මට වඩා දැකීමට යමක් ඇත. සෑම හුස්මක්ම ආරම්භයක්, මැද අවස්ථාවක් හා අවසානයකින් යුක්තය. සෑම ආශ්වාසයකම මෙන්ම ප්‍රශ්වාසකමට ඉපදීමක්, වැඩීමක් හා මරණයට පත්වීමක් තිබේ. හුස්මෙහි ගැඹුර හා වේගය ඔබගේ මානසික ස්වභාවය, සිත හරහා ගලායන සිතිවිලි හා ඔබට ඇසෙන ශබ්ද අනුව වෙනස් වෙයි. මෙම සංසිද්ධින් අධ්‍යයනය කරන්න. එවිට ඔබ එහි ආකර්ෂණීය බව දැක ගන්නවා ඇත.

වාඩි වී, තමා සමඟම පුංචි කතාබහක නිරත වීම මෙයින් අදහස් නොකරමි. "එය බිඳුණු කෙටි හුස්මක්, මෙය ගැඹුරු දිග හුස්මක්. ඊළඟ එක මොනවගේ වෙයිද?" නැත. මේ විපස්සනා භාවනාව නොව කල්පනා කිරීමයි. පටන් ගැන්මේදී මෙවැනි දේ සිදුවිය හැක. නමුත් එය ද මඳකින් ඉවත්වී යයි. හුදෙක්ම එම සංසිද්ධිය සනිටුහන් කර, හුස්මේ දැනීම වෙතට අවධානය නැවත රැගෙන එන්න. මානසික බාධාවක් නැවතත් හටගනු ඇත. තවදුරටත් එය සිද්ධ නොවන තුරු නැවත නැවතත් ඔබගේ අවධානය හුස්ම වෙත රැගෙන එන්න. 

එය මුල් වරට පුහුණුවන විට දුෂ්කරතාවලට මුහුණ දීම බලාපොරොත්තු විය යුතු දෙයකි. ඔබ මොබ පියාසර කරන බඹරෙකු සේ, ඔබගේ හිත නැවත නැවතත් එක් එක් දිසාවට දුවනු ඇත. ඒ ගැන කරදර නොවන්න. වඳුරෙකු වැනි සිත සැමටම හොඳින් හුරුපුරුදු සංසිද්ධියකි. භාවනාවේ අගතැන්පත් අය ද මේ තත්ත්වයට මුහුණ දී තිබේ. ඔවුන් එය සාර්ථකව හසුරුවා ගෙන ඇති බැවින් ඔබටද එසේ කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඔබ හුදෙක්ම දහවල් සිහින දකින බව, කල්පනා කරන බව හා යමක් පිළිබඳ කරදර වන බව ඒ සිදුවන මොහොතේම සනිටුහන් කරගන්න. ඒ ගැන විනිශ්චය නොකර, මුදු මොළොක්ව එහෙත් ස්ථිරවම හුස්මේ භෞතික දැනීම වෙත අවධානය රැගෙන එන්න. ඊළඟ වතාවේ හා නැවත නැවතත් සිත ඉබාගාතේ යන සෑම වාරයක් පාසාම එසේ කරන්න.

මෙම ක්‍රියාවලියේ යම් අවස්ථාවකදී ඔබ සම්පූර්ණයෙන්ම උමතු වී ඇතිවා සේ ඔබට හැඟෙනු ඇත. මුළුමනින්ම පාලනයෙන් තොරවූ ඔබගේ සිත, බලාපොරොත්තු සුන් වී යටිගිරියෙන් කෑ ගසමින්, පල් හෑලි දොඩවමින් මහත් කලබලයෙන් පහළට පෙරළී යන රෝද උඩ රැඳවූ පිස්සන් කොටුවක් වැනි විය හැකිය. එහි කිසි ගැටලුවක් නැත. එය අද ඇතිවූ තත්ත්වයක් නොවේ. එය සැමදාම එසේ වූ නමුත් ඔබ එය කිසි දිනෙක දුටුවේ නැත. ඔබ අවට සිටින අනෙක් පුද්ගලයන්ට වඩා ඔබ උන්මත්තකයෙක් නොවේ. සැබැවින්ම සිදුවී ඇත්තේ ඔබ අද එයට මුහුණට මුහුණලා සිටීමයි. අනෙක් පුද්ගලයන් එසේ කර නැත. එමනිසා ඔවුහු තවමත් පහසුවෙන් සිටිති. ඔවුන් ඔබට වඩා පොහොසත් බව ඉන් අදහස් නොවෙයි. අනවබෝධය සැනසීමට හේතුවක් විය හැකි නමුත් ඉන් විමුක්තිය නොලැබෙයි. එම නිසා මෙම තේරුම් ගැනීම ඔබව කැලඹවීමට ඉඩ නොහරින්න. එය වර්ධනයේ ලකුණකි. සැබැවින්ම එය සන්ධිස්ථානයකි. ඔබ ඍජුවම, එක එල්ලේ ප්‍රශ්නය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ එයින් මිදී ඔබ ඉහළටම ගමන් කරන බවයි.

(මීළඟ කලාපයෙන් වඳුරු මනස ගැන දැන ගනිමු)

Comments