ඇහුවාම මැරෙන්නම හිතෙන අවමංගල පැකේජ් ජාවාරම | Page 2 | සිළුමිණ

ඇහුවාම මැරෙන්නම හිතෙන අවමංගල පැකේජ් ජාවාරම

ප්පත්තිය, විවාහ මංගල්‍ය හා අවමංගල්‍ය යන ජීවිතයේ ප්‍රධාන සංධිස්ථාන තුන ව්‍යාපාරික ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර ලෙස වර්ගීකරණයට ලක්වේ. ඒ අතරින් සේවය ලබා ගන්නා කිසිවකු වරදක් හෝ හොඳක් නොදකින උඩුවතින් සයනය කරන එකම ව්‍යාපාරය අවමංගල ව්‍යාපාරයයි. තමන්ට දුන් එම්බාම් එක හොඳ මදි, අවමංගල සූට් එක අප්සැට්, ඒත් නැත්නම් පෙට්ටියේ පොලිෂ් එක මදි යැයි කිසිදු මියගිය පුද්ගලයකු අවමංගල ව්‍යාපාරයට දොස් කියන්නේ නැත. 

එහෙත් මල්ශාලා හිමියකුට එරෙහිව නඩු පැවරූ පුවතක් වාර්තා වූයේ මීට වසර 18කට පෙර 2005 දීය. මවකට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ පුතකු මල්ශාලා හිමියෙකුගෙන් කෝටි පහක වන්දියක් ඉල්ලා නඩු පැවරීම එම සිදුවීමය. ඇල්පිටිය මහවෙළ පිණිකහන පදිංචිව සිට නැසීගිය කේ.ඒ.ජී. පොඩිහාමි (85)උපාසිකාවගේ අවසන් කටයුතු භාරගත් අවංමගල්‍ය ආයතනයක් සිය වගකීම පැහැර හැරීම නිසා මෙසේ නඩුව පවරන ලදී.

මේ අතීත සිදුවීම හුවා දක්වන්නට සිදුවූයේ අවමංගල කටයුතු යනු අප සිතන තරම් සරල දෙයක් නොවන නිසාය.

දැන් අවමංගල උත්සවවලට අලුතින්ම හැදී ඇති රෝගාබාධය 'පැකේජ්' ය ඉන්ටර්නෙට් පැකේජ, බයිපාස් පැකේජ, එයාර්පෝට් ඩ්‍රොප් පැකේජ වගේ දැන් තියෙන්නේ ෆියුනරල් පැකේජය. අප මේ ෆියුනරල් පැකේජ ගැන මුලින්ම සොයන්න පටන් ගත්තේ මාලඹේ පැත්තේ ඇති ලංකාවේ ප්‍රසිද්ධම මල් ශාලාවකිනි. එහි ජීවතුන් අතර සිටිත්දී තමන්ටම කොටස් වශයෙන් ගෙවා තම අවමංගල කටයුතු සඳහා ගෙවීම් කළ හැකි පැකේජයක් විය. එය සමාන වාරික 12කින් ගෙවිය යුතුය. "අප මේ පැකේජ් එක පටන් ගත්තේ මීට අවුරුදු 40කට විතර කලින් 1980 විතර. ඒ කාලේ හොඳම මිනී පෙට්ටියක ග්‍රෑන්ඩ් විදිහට ෆියුනරල් එකක් කරන්න රුපියල් 4000/= යි අය කළේ. දැන් නම් ලක්ෂ 4ක් 5ක් විතර වටිනවා."

එම මල් ශාලාවේ කළමනාකරු අපට කීවේ එසේ මුදල් ගෙවා පැකේජය ලබාගත් කිහිපදෙනෙකු තවමත් ජීවතුන් අතර ඉන්න බවය. එම පැකේජය ලබා ගැනීමේදී සාක්ෂියට පුද්ගලයකු අත්සන් කළ යුතුය. ඇතැම් පැකේජවල සාක්ෂිකරු මිය ගොස් ඇත.

සමහර මවුපියන් මේ පැකේජය ගෙන ජීවත් වන්නේ මුදල් අය කරන සාත්තු නිවාසවලය. පිටරට සිටින තම දරුවන්ට තමන්ගේ මරණය බරක් කිරීමට ඇතැම් මවුපියන් කැමති නැත. සමහර මහත්තයල ඇවිල්ල කෝට් ප්‍රෙස්කරල මිනියට අන්දන්න කියල දෙනවා. කොටින්ම ටයි ගැටේ හිටන් දාල සූට් එක එක්ක දෙනවා.

අප කරුණු සොයා ගිය අවමංගල ශාලාවේ එදා තිබුණු අවමඟුල් උත්සව ගණන තුනකි. එම ආයතනයේ කාර්යාලය සොයා උඩුමහලට ගියෙමු. හැඳි ගෑරුප්පු ගැටෙන සද්දයක් ඇසී බලන විට උඩුමහලේ ශාලාවේ එකම ගාලගෝට්ටියකි. එහි වූයේ සාදයකට බඳුන්වල දැමූ සුපිරි දිවා ආහාරයකි. මළගෙයක් කීවාම අප මතකයට එන්නේ බල කරෝල හොද්ද, ලොකු ඇට පරිප්පු හොද්ද, ලොකු ලූණු සම්බෝලය, වට්ටක්කා හොද්ද එකක්වත් එහි නොවීය.

එහි සුදුයකඩ තසිම්වල දැමූ නාසිගුරාන් බත්, ප්‍රයිඩ් රයිස්, ඩෙවල් චිකන්, බැදපු මාළු මේ ස්පෙෂල් මළබතට ටොමැටෝ සෝස් ද තිබුණි. අඩුපාඩුවට ඇත්තේ ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් හෝ වටලප්පම් නොමැති වීමයි. එහිවූ පිඟන් ගණන සියයකට ආසන්නය. ඒ කියන්නේ සිය දෙනකුට දවල් මළබත සූදානම්ය. පැකේජය එක් පිඟානකට අය කිරීම රුපියල් 1600/=කට ආසන්නය. මළබත කීයටවත් පාර්සල් බෙදා ගෙනයන්නට දෙන්නේ නැත. ඒත් මේ මළබත කීපදෙනෙකු ලන්ච් බොක්ස්වලට දාගෙන යනවා අපට දැගත හැකි විය.

ලංකාවේ මල්ශාලාවල බලන බලන තැන ඇත්තේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ය. (Funeral directors) එහෙත් බටහිර යුරෝපීය රටවල නම් ඉහතකී තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. ඔවුහු තම සේවාදායකයන් වෙත අවශ්‍ය සියලුම සේවා විධිමත්ව හා නිවැරදිව ලබා දීමට නිතැතින්ම උත්සාහ ගනිති. විශේෂයෙන්ම සනීපාරක්ෂක සේවා සඳහා එම රටවල ඉහළ තැනක් හිමි වන අතර එම සේවාහි නියුතු සියලු දෙනා ඒ හා සම්බන්ධ ඩිප්ලෝමාවක් හෝ ලබා තිබිය යුතුය. බ්‍රිතාන්‍යයේ බාත් සරසවිය විසින් ප්‍රථමවරට එරට ශිෂ්‍යයන් හට අවමංගල්‍ය කටයුතු සඳහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාව ආරම්භ කරන ලදී. අවමංගල්‍ය කටයුතු සඳහා විධිමත් උපාධියක් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලින් පවා ඉදිරිපත් කොට නොතිබුණු මොහොතක "බාත්" සරසවිය මඟින් මෙසේ අවමංගල්‍ය අධ්‍යක්ෂණය සඳහා උපාධි පාඨමාලා ඉදිරිපත් කිරීම බ්‍රිතාන්‍ය තුළ පමණක් නොව මුළු මහත් ලෝකයේම කතාබහට ලක් විය.

උපාධි පාඨමාලාව යටතේ මරණය සිදුවන ආකාරය හා විවිධ සමාජ කොට්ඨාසයන්හි අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර පදනම් කරගත් ගැඹුරු අධ්‍යයනයක් සිසුන් හට ලබා දෙන අතර අපේ රටේ නම් ගමේ ගොඩේ මිනි පෙට්ටි සාප්පුවේ පවා බෝඩ් ගසා ඇත්තේ තමන් 'අවමංගල අධ්‍යක්ෂවරුන්' බවය. ලංකාවේ කොහොමත් එහෙමය. ඕනෑම ඡායාරූප ශිල්පියකු තම විසිටින් කාඩ් එකේ ගහගන්නේ තමන් ප්‍රොපෙෂනල් ෆොටෝ ග්‍රැපර් ලෙසය.

ඉහළම සමාජ තලයේ ව්‍යාපාරිකයන් මෙන්ම නම ගිය පාතාල අපරාධකරුවන් ආයුධ පෙන්නන්ට ගොස් ජන්මාන්තර ගතවූ විට හෙලිකොප්ටරයෙන් අහසේ සිට අවමංගල්‍ය උත්සවයට මල් ඉසිනු දක්නට ලැබේ. කොළඹ ඇති ප්‍රධාන මල්ශාලාවල කරක් ගසනාවිට මේ සඳහා යන වියදම විමසා සිටියෙමි. 

"හෙලිකොප්ටරේ ගාස්තුව ලක්ෂ හතරාමාරක් විතර වෙනවා. මල් අපි දෙන්න ඕන. හෙලිකොප්ටරයේ බිලත් කලින් ගෙවන්න ඕන. දෙන්නම් කාසිවලට හෙලිකොප්ටරේ මල්දාන්න උඩට නග්ගන්නේ නැහැ."

අවමංගල කටයුතු කරන විට සම්භාවනීයත්වය පෙන්නන්ට හොඳම සලකුණ වන්නේ චිතකයයි. අප ගිය සැම ඉහළ පෙළේ මල්ශාලාවල ඇති චිතකවල පින්තූර ඇති ඇල්බම්වල අඩුම චිතකය ලකෂ 5ට වැඩි ඒවාය. පුංචි බොරැල්ලේ එක් මල් ශාලාවක තරමක් මිල අඩු චිතකයක් තිබුණත් එය ඉටි කොළවලින් ආවරණය කළ එකකි. සුපිරි චිතක සියල්ල ආවරණය කොට තිබුණේ වටිනා ජපන් සුදු සැටින් රෙදිවලිනි. චිතකයට ගිනි දැල්වීමට ප්‍රථම මල් වෙඩි චිතකය වටා සවි කිරීමට අය කරන ගණන රුපියල් ලක්ෂයකට ආසන්නය. චිතකය පිච්ච මලෙන් අලංකාර කෙරෙන්නේ නම් දින 2කට වත් කලින් දැන්විය යුතුය. එක් මල්ශාලා හිමියකු අපට කියා සිටියේ කොරෝනාවට පෙර ඉන්දියාවෙන් පිච්ච මල් සහිත ගුවන් යානයක් දනපතා ලංකාවට ආ බවය.

අප කොළඹ අවමංගල ආයතනවල කරක්ගසද්දි සොයාගත හැකිවූයේ අවමංගල්‍යයේ කටයුතු අවසන් වන තුරු කෑම, බීම පමණක් නොව මතක වස්ත්‍ර පූජා කිරීමට ස්වාමින් වහන්සේලා වැඩම්ම වීම පමණක් නොව සිරුර ආදාහනය කිරීමෙන් පසු අළු මුට්ටියක දමා අවශ්‍ය තැනකට ගෙනවිත් දීම දක්වා සියලු අංගෝපාංග ඇතුළත් පැකේජ ඇති බවය. එමෙන්ම මරණය සඳහන් පෝස්ටරය මුද්‍රණය, අවමංගල්‍ය ගැන සඳහන් වර්ණ බැනර් මුද්‍රණය මෙන්ම මළගේ ගැන පුවත්පත් දැන්වීම් පළකිරීම ආදි සේවා ද ඊට ඇතුළත්ය. එවැනි සේවාවන් ගැන අවමංගල්‍ය ආයතනයක් අපට කිව්වේ මෙවැන්නකි.

"මිස්ට අපිට මරණ සහතිකෙයි මිනියයි විතරක් දෙන්න.

ඉතිරි ඔක්කොම අපි කරල දෙන්නම්."

දැන් මේ අවමංගල පැකේජවල වැඩිම මුදලක් අය කරන්නේ මළ බෙර ගැසීමටය.

"දැන් ඔය මළ ගෙවල්වල මිනිය ගෙනයන පෙරහැරේ මළ බෙර ගහන දවුලයි - තැම්මැට්ටමයි හොයා ගන්නත් නෑ. ඔය මළබෙර ගහපු වයසක උදවිය ගොඩක් මැරිලා. අලුත් පරම්පරාව මේකට එන්නේ නෑ. කොළඹ මළගේක බෙර ගහන්න කට්ටියක් හොයාගන්න වාද්දුවටත් එහාට යන්න ඕන. කොහොමත් කන්න බොන්න දීලා හැත්තෑපන් දහක්වත් දුන් නැත්නම් ඉතුරු වෙලා ඉන්න වයසක තුන්හතර දෙනා එන්නෙත් නෑ."

එහෙත් අප කළ විමසීමේදී දැකගත හැක්කේ දෙමටගොඩ, කොටහේන වැනි පැතිවල 'මිනී බෑන්ඩ්' තවමත් සේවාවක් ලෙස ලබාගත හැකි බවය. අය කරන ගාස්තුව රුපියල් 35,000/= සිට ඉහළටය. මළගෙදරට ඒමට ප්‍රවාහන පහසුකම් ද සැපයිය යුතුය.

ඇතැම් ප්‍රදේශවල මළගෙයක් කියූ සැණින් එතැනට රොද බැඳ එන පිරිස නම් 'බූරුවා' ගැහීම බිස්නස් එකක් කරගත් පිරිසයි. අන්තිමට සිදුවන්නේ පොලිසිය මැදිහත්වී මිනිය ඔසවනතුරුත් මළගෙදර මුදලට බූරුවා ගැසීම ජයටම කරගෙන යාමය. එවන් විටක මළගෙරද සියලු පිරිවැය දරන්නේ 'බූරුවාපිටිය' මෙහෙයවන මුදලාලි විසිනි.

කොළඹ මළගෙයක අස්කුර හඬක් ඇසුණොත් එය සුපිරිම මළගෙයකි. මේ සඳහා යොදා ගන්නේ ඉන්දියානු තරෝබ්‍රෙඩ් වර්ගයට අයත් අශ්වයන්ය. මේ ඉන්දියන් අශ්වයකුගේ මිල ඇහුවොත් ඔබ මවිතයට පත්වනු නියතය. මේ අශ්වයන් ලංකාවට ගෙන්වා තිබුණේ නුවරඑළියේ තුරඟ තරඟවලට සහභාගි කරවීම සඳහාය. මේ අසුන් මාස හයක් තිස්සේ නුවරඑළියේ ජනාකීර්ණ මාර්ගවල හෙමින් ඇවිද්ද වන්නට සිදුවිය. හෙමින් ගමන් කිරීමටත් වාහනවලට බිය නොවී සිටීමත් ඔවුන් පුරුදු කළ යුතුවිය. ඊළඟට කොළඹ නගරයට ගෙනැවිත් කොළඹ පවතින උෂ්ණත්වයටත් කොළඹ මාර්ගවල පවතින අධික ජනාකීර්ණත්වයට හුරු පුරුදු කරන්නට කරන ලද ආයෝජනයන්ට මළගෙදරක පෙර ගමන් යාමට මේ අශ්වයන්ට අය කරන මුදල ඔබටත් සිතා ගත හැකිවනු නියතය. මෙම අශ්වයන් යොදාගන්නා අවමංගල පෙරහරක පැකේජයක් ආරම්භ වන්නේ ලක්ෂ දොළහේ සිට ඉහළටය.

අශ්වයින් පෙරගමන් ගන්නා අවංමගල පෙරහරේ අශ්වයින්ට පිටුපසින් එන්නේ මල්වඩම්, මල් කළඹ තැන්පත් කළ සුපිරි ජගුවර් කාර් එකය. ඊළඟට දේහය තැන්පත් කළ සුපිරි හර්ස් එකය. අග්නිදිග ආසියාවේ ඉන්දියාවේවත් නැති සුපිරි කෝටි 10කට අධික වටිනාකම ඇති හර්ස් එක ඇත්තේ ලංකාවේ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. හර්ස් එකට පසුපසින් ඥාතීන් ගමන් ගන්නා රථය ද හර්ස් එකටම ගැළපෙන සුපිරි රථයකි. මේවා ස්වභාවික මල්වලින් සැරසීම ද පැකේජයටම අයත් කටයුත්තකි.

කොළඹ කතෝලික අවමංගල්‍ය කටයුතුවලට නම් දරපු මල්ශාලාවක අවම ගාස්තුව වන්නේ රුපියල් 350,000/=කි. එහිදී දේහය දින 2ක් තැබීමට ශාලාව ලැබෙන අතර නෙස්කැෆේ මැසිමකුත් පැකේජයට ඇතුළත්ය. දැන් දේහයක් මල්ශාලාවක තැබීමට වඩා ඇති හැකිකම පෙන්වීමට බොහෝ දෙනා කරන්නේ අවමංගල්‍ය කටයුතුවලටම වෙන්වූ නිවෙසක දේහය තැන්පත් කිරීමය. මේ නිවසේ අවමංගල්‍ය කටයුතු සඳහා අයකරන අවම ගාස්තුව ලක්ෂ හයකි.

එහෙත් එදා අලේපේච්ඡ ජීවිතයක් ගත කළ සමාජය මේ පැකේජ පසුපස ගියේ නැත. මරණය සිදුවූ දා සිට අවසන් කටයුතු නිමවන තෙක්ම රාත්‍රි කාලයේ සතිපට්ඨාන සූත්‍රය හෝ වෙස්සන්තර ජාතකය එදා කියවනු ලැබීය. දැන් මේ පැකේජ නිසා අවමඟුල ද මොඩිෆයි වී හමාරය. සමහරු ෆේස් බුකියටත් මෘත දේහයේ ෆොටෝ අප්ඩේට් කරයි. සංවේගවූ ජනයා 'ලයික්' දමති.

දැන් හන්දියේ තියෙන පොඩි මල්ශාලාවට 'බොඩි' එකක් දෙන්න කවුරුත් කැමති නැත. කාටත් අවශ්‍ය 'බ්‍රෑන්ඩ් නේම්' එකක් තියෙන පොෂ් තැනකට මළසිරුර භාරදීමටය. ගොක්කොළ සැරසිලි දැන් පරම්පරාවට අරහංය. ඉස්සර බෞද්ධයෝ නම් මේන්ටේන් කළේ පින්පොතය දැන් බෞද්ධයෝ මේන්ටේන් කරන්නේ ෆේස් බුකියයි. එදා පින්පොත ලඟ තබා ගත්තේ මරණාසන්නව තමන් ජීවිතයේ කළ පින්කම් මෙනෙහි කිරීමටය. දැන් මරණාසන්න පුද්ගලයකුගේ මතකයට නැඟුනු ඇත්තේ තමාගේ මරණයෙන් පසු අවංමගල කටයුතු කෙරෙන සුපිරි පැකේජය ගැනය. අවසන් වශයෙන් කිව හැක්කේ මේ අලුත් අවමංගල පැකේජ දුටුවිට මැරෙනන්ට හිතෙන තරම් ආකර්ෂණීය ඒවා බවය.

ඡායාරූප - රංජිත් අසංක

Comments