හොඳම යාළුවා මගේ අයිතිකාරයා වුණා | Page 2 | සිළුමිණ

හොඳම යාළුවා මගේ අයිතිකාරයා වුණා

සිදු නිසා ජනතාවගේ හදවතටම කතා කළ මනිෂා චංචලා ඊයේ පෙරේදා ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුවා. ඒ නළු අශේන් සිරිවර්ධන එක්ක විවාහ ජීවීතයට ඇතුළත් වෙලා. ළඟදීම විවාහ මංගල්‍යය ජයට ගන්න ඉන්න මනිෂා ඇයගේ අලුත් ජීවිතේ ගැන රසඳුන එක්ක මේ විදිහට බෙදා ගත්තා. කට හඩින් වගේම රඟපෑමෙන් ජනතාවගේ හිත ගත්ත ඇය ගැනයි මේ

මනිෂා අලුත් ජීවිතයකට ආරම්භයක් ගත්තා, අලුත් අත්දැකීම් එක්ක ගෙවන ජීවිතේ කොහොමද ..?

පසුගිය දිනයක අශේන් සහ මම විවාහ ගිවිසගත්තා. ඉතින් වෙනදා වගේම හරිම ආදරණීයව, බොහෝම සතුටින් කාලය ගත කරනවා. වෙනසකට තියෙන්නේ අපි දෙන්නා විවාහ ගිවිස ගැනීම හා අපි ගැන අලුත් බලාපොරොත්තු එකතු කර ගනිමින් දුක සතුට සැප දෙන්නා එක්ක බෙදාගෙන ජීවත් වෙන එක තමයි. තනිකඩ ජීවිතේ හිටියා වගේම නිදහසත් සතුටත් තවමත් විඳිමින් හොඳින් ජීවත් වෙනවා.

විවාහ මංගල්‍යය ළඟදිම ගන්න බලාපොරොත්තු වෙනවද..?

ඒ වෙනුවෙන් සැලසුම් කරගෙන යනවා. තව පුංචි කාලයකින් ඒ කටයුතුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

දෙන්නම කලාවට ලැදි නිසාත් එහි නියැළෙන නිසාත් හිත් හොඳින් ගැලපිලා ඇති..?

ඇත්තටම ඔව්. පෞද්ගලික ජීවිතයෙත් අපි දෙන්නම කලාවට බොහෝ සෙයින් ලැඳී. ඒ වගේම අපි දෙන්නාම නියැළෙන වෘත්තීයත් කලාව සම්බන්ධ නිසා ඇත්තටම අපි දෙන්නම හොඳින් ගැළපෙනවා කියලා දැනෙනවා. අපි අතර තිබූ ගැළපීම් තමයි අපිව එකතු කළේ.

 

දෙන්නගේ පෙනුම එක වගේ කියලා බොහෝ දෙනෙක් කියලා ඇති නේද ..?

ඒක නම් ගොඩාක් අය කියන දෙයක්. හිනාව එකම වගේ, පෙනුම එකම වගේ කියලා කියනවා. මඟ තොටේදි හමුවෙලා කතා කළත් බොහෝ අය කියන්නේ අපි දෙන්නා එක වගේ කියලා තමයි.

 

මොකද හිතන්නේ අශේන් වගේ ඔබව තේරුම් ගත් කෙනෙක් මුණ ගැසුණු එක ගැන ..?

හුඟාක් සතුටුයි. ඔහු බොහෝම විවෘත මනසක් තියෙන බොහෝම ආදරණීය කෙනෙක්. මට මගේ වටිනාකම කියලා දුන්නේ, මට මගේ ජීවිතයට ආදරය කරන්න කියලා දුන්නේ, මට ස්වාධීන කෙනෙක් වෙන්න පිටිවහලක් වුනේ, මගේ ජීවිතේ හුඟක් දේවල් හොඳ පැත්තට වෙනස් කරගන්න උදව් කලේ ඔහු. ඇත්තටම ඒ ආදරණීය හමුවීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි.

රූගත කිරිමකට යද්දී තමයි ඔබ දෙදෙනා මුලින්ම මුණ ගැහෙන්නේ, පරක්කු වෙලා වාහනයට නැග්ග නළුවා කවදා හරි ජීවන සහකරු වෙයි කියලා හිතන්න නැතුව ඇති..? ඒ ආදරණීය හමුවීම ගැනත් කියමු..?

ඇත්තටම හිතුවේ නැහැ. මේ තරම් අපි සමීප වෙයි කියලා , “ගුග්ලි” ටෙලිනාට්‍යයේ රූගත කිරීමේදි තමයි මුලින්ම අපි හමුවෙන්නේ. එහිදි වුණත් අපිට කතාබහ කරලා හොඳ යහළුවෝ වෙන්න ටික කාලයක් ගියා. හරිම ආදරණීය, අවංක කෙනෙක් කියලා පසුව තේරුණා. අපි හොඳම යාළුවෝ වුණා. ඉතින් හොඳම යාළුවා පසුව මගේ අයිතිකාරයා වුණා.

 

ඔබේ රංගන ජීවිතයට අශේන්ගෙන් ලැබෙන සහය කොහොමද ..?

ඇත්තටම කිව්වොත් අශේන් රංගනය ගැන හොඳ අධ්‍යයනයක ඉන්නවා සහ ඒ ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒ දේවල් මටත් කියලා දෙනවා. සමහර වෙලාවට මම බැහැ කියලා හිතුවත් එයා මාව දිරිගන්වලා මාව ඉදිරියට යොමු කරවනවා. ඉස්සර මගේ අම්මිගෙන් අප්පච්චිගෙන් ලැබුණ උදව්ව, සහයෝගය නොඅඩුව අශේන්ගෙන් මට ලැබෙනවා.

 

අශේන් කවදාවත් කියලා නැද්ද විවාහයත් එක්ක රඟපාන්න එපා කියලා ..?

අනේ නැහැ. එහෙම කියන්න හේතුවක් නැහැනේ. එයා කියන්නේ පුළුවන් තරම් හොඳ නිර්මාණවලට දායකත්වය දෙන්න කියලා. අපි දෙන්නාම අපි දෙන්නාගේ ගමන ගැන හොඳ අවබෝධයක ඉන්න නිසා එයා මටවත්, මම එයාටවත් කිසිම විදිහක වාරණ පනවගෙන නැහැ.

ක්ෂේත්‍රය ඇතුළේ අපි යම් සීමා එක්ක වැඩ කරනවා නම් ඒ අපි විසින්ම ගොඩනඟාගත් ස්වයං වාරණ තමයි.

 

ඔබ කොහොමත් නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන නිළියක්. ඉදිරියේදී විවාහ ජීවිතයත් එක්ක තවත් තේරීම් කරයි නේද ..?

මම මගේ රංගන පරාසය ඇතුළේ නිර්මාණ තෝරගන්න කෙනෙක් සහ මම විසින් පනවගත්ත සීමා ඇතුළේ වැඩ කරන කෙනෙක්. නිර්මාණයට හෝ මගේ පවුල කියන තැනට අකටයුත්තක් නොවෙන්න තමයි මම එදා ඉඳලා අද වෙනකල් නිර්මාණ තෝරගත්තේ සහ රංගනයේ යෙදුණේ. ඉදිරියටත් එහෙමම තමයි.

 

ජනප්‍රියත්වය තියෙන මේ කාලේ වැඩිපුර රඟපාන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද ..?

ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ දෙකක්. අපි තරුණ කාලේ හෝ වයසට ගිය කාලේක රංගනයේ යෙදුණත් අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ඒ නිර්මාණය ආදරයෙන් වැලඳගන්නවා. ඉතින් එක කාල වකවානුවක ජනප්‍රියයි කියලා කඩිමුඩියේ ලැබෙන සියලුම නිර්මාණ බදාගෙන රඟපාන්න ඕන නැහැ කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය.

 

අලුත් නිර්මාණ ගැනත් කියමු..?

ඉදිරියේදී විකාශය වීමට නියමිත අලුත් ටෙලි නිර්මාණ තුනකටම දායක වෙලා ඉන්නවා. ඒ වගේම මගේ ගීත නිර්මාණ කිහිපයක් වෙනුවෙනුත් වැඩකටයුතු කරගෙන යනවා. ආයෙමත් සංගීතයත් එක්ක අලුත් නිර්මාණ කරමින් කටහඬින් ප්‍රයෝජනයක් ගන්න හිතුවා. ඒ නිසා ඊට අවශ්‍ය කටයුතුවලට මේ දවස්වල සම්බන්ධ වෙනවා.

Comments