හරියටම බැලුවොත් මගේ ජීවිතේ චරිත තුනක් තියෙනවා | සිළුමිණ

හරියටම බැලුවොත් මගේ ජීවිතේ චරිත තුනක් තියෙනවා

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටය මේ දිනවල සාර්ථකව තිරගත වනවා. එහි එන පුරම්භිකා සැමගේ සිත් වසඟයට ගන්නා සුරූපිනියක්. පුරම්භිකාට ජීවය දෙමින් අනුරාගය මුසු රංගනයේ යෙදෙන්නේ උදාරි වර්ණකුලසූරිය. මෙතෙක් ඇය රඟපෑ චරිත තුළින් ඇය සතු සුන්දර රූ සපුව වඩාත් ප්‍රේක්ෂකයාට සමීප වන්නේ පුරම්භිකා තුළින් බව නොරහසක්. ඒ නිසාම ඇයගේ රංගනය ගැන රසඳුන අපි උදාරි සමඟම කතා කළා.

උදාරි මේ දිනවල රිදී තිරයේ චරිත දෙකකින්ම ප්‍රේක්ෂකයාට සමීප වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒ ගැන සතුටුයි. මම භාග්‍යවන්තයි කියලා හිතෙනවා. පසුගිය කොරෝනා කාලයේ දී පොදුවේ හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් තමයි වැඩ අඩු වීම. නමුත් වාසනාවකට වගේ මට එහෙම වුණේ නැහැ. කොරෝනා කාලයේ තමයි මම වැඩියෙන්ම වැඩ කරේ. ඒ කාලයේ රූපගත කිරීම් රැසක මම නියැළුණා. එහෙම වැඩ අවසන් කරපු චිත්‍රපට අටක් තිරගත වීමට නියමිතව තිබුණා. ඒවායින් චිත්‍රපට දෙකක් එළියට ඇවිත් තියෙනවා. වී. සිවදාසන් මහතාගේ “දෙවැනි යුද්ධය” සහ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටය. ඒ එක්කම තව චිත්‍රපට දෙකක් මේ වසරේ දී තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඒ ජුනි 22 ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “මිදුණු විශ්වය” සහ සැප්තැම්බර් මාසයේ සංජිව පුෂ්පකුමාර මහතා අධ්‍යක්ෂණය කළ “ආසු” චිත්‍රපටය තිරගත වෙන්න නියමිතව තියෙනවා. මේ අවුරුද්දට මගේ චිත්‍රපට හතරක් තිරගත වෙනවා කියන්නේ මම භාග්‍යවන්තයි. ඒ ගැන අහිංසක ආඩම්බරයක් තියෙනවා.

මේ කාලයේ නම් බොහෝ දෙනා කතා වෙන්නේ පුරම්භිකා කියන චරිතය. මම හිතන්නේ මේ චරිතය ඔබේ රංගන ජීවිතේට විශේෂ වෙනවා. ඒ ගැන අපි කතා කළොත්?

ජැක්සන් ඇන්තනී මහතා සහ සුනිල් ආරියරත්න මහතාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ ගැන විශ්වාසය තියලා පුරම්භිකාගේ චරිතය මට භාර දුන්නට. මට මතකයි ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ජනවාරි පළවෙනිදා තමයි සුනිල් ආරියරත්න මහතා මට මේ චිත්‍රපටයට ආරාධනා කරන්නේ. ඉතින් මුළු අවුරුද්දම සුබ වුණා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම මේකේ තිරපිටපත ලිව්වේ ජැක්සන් ඇන්තනී මහතා. ඔහුත් මාව මේ පුරම්භිකා කියන චරිතයට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා ඔවුන් දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒක එහෙම නොවුණා නම් මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් මට දිනාගන්න හම්බෙන්නේ නැහැ.

හැබැයි චිත්‍රපටයේ මංගල දර්ශනයට පුරම්භිකා එන්නේ තනිවම. අධිරාජයා නැති අඩුව දැනුණේ කොහොමද?

මුළු හදවත බරයි කිව්වොත් මම නිවැරදියි. ඔහු නැතුව චිත්‍රපටය බලලා වැඩකුත් නැහැ. එදා චිත්‍රපටයේ මංගල දැක්ම තිබුණට අපි කිසිම කෙනෙක් එදා හිටියේ සතුටින් නෙවෙයි. මොකද චිත්‍රපටය පුරාම සිටින අධිරාජයා අපිත් එක්ක චිත්‍රපටය බැලුවේ නැහැ. ඔහු මේ චිත්‍රපටයේ මුදුන් මුලක්. ඔහු රඟපෑමෙන් පමණක් නෙවෙයි දායක වුණේ තිර රචනය සහ සංවාද රචනයත් ඔහුගේ. මේ අවස්ථාවේත් කියන්න තියෙන්නේ අපි සියලු දෙනාම මුළු හදවතින්ම සුවය ප්‍රාර්ථනා කරන බව.

පුරම්භිකා තුළින් රිදී තිරය මත උදාරිගේ සුන්දරත්වය මුළු චිත්‍රපටය පුරාම දකින්න ලැබෙනවා. ඔබේ ඔය සුන්දරත්වය ඔබ තිරය මත දකිද්දී මොකද හිතුණේ?

ඒ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ මේ තාක් තිබ්බ චරිතවලට වඩා වෙනස් චරිතයක්. ග්ලැමර් එකක් තියෙන එහෙම නැත්නම් මගේ රූ සපුව වැඩිපුරම ඔප්නංවලා තියෙන චිත්‍රපටය “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටය කියලා කියන්න පුළුවන්. කැමරා අධ්‍යක්ෂණය කළේ චන්න දේශප්‍රිය. ඉතින් චන්න අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මගේ ලස්සන වඩ වඩාත් හොඳින් දැකලා ඔහු එය කැමරාවට හසුකර ගැනීම ගැන. ඒ එක්කම චිත්‍රපටයේ අංග රචනා ශිල්පියා විදියට කටයුතු කළ ප්‍රියන්ත දිසානායක අයියාගේ අත්ගුණය ඒකට බලපාලා තියෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටය තුළ මම මගේ ලස්සන දැක්කා.

අමතක නොවනා අත්දැකීම් ඇති නේද මේ ච්‍රිපටය තුළ?

අපි රන්මිණිතැන්න ආශ්‍රිතව තමයි වැඩිපුරම රූපගත කළේ. ඒ කාලය වෙද්දී කොරෝනා අත්දැකීම දරුණුවටම බලපා තිබුණා. අපි එක්ක හිටිය සටන් අධ්‍යක්ෂවරයාට ෂුටින් ඉවර වෙලා ගියාම කොරෝනා ආසාදනය වෙලා තිබුණා. ඒ නිසා අපි හැමෝම නිරෝධායනය කරලා කොරෝනා පරීක්ෂාවට ලක් කරා. ඒ වෙද්දී හැමෝම බය වෙලා හිටියේ. නමුත් වාසනාවකට වගේ ඔහුට කොරෝනා තිබුණට අපි කිසි කෙනෙක්ට දීලා ගිහින් තිබුණේ නැහැ.

ඉදිරියට එන්න තියෙන “මිදුණු විශ්වය“ චිත්‍රපටය ගැන මතක් කළොත්?

ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “මිදුණු විශ්වය” චිත්‍රපටය ජුනි මාසේ 22 තිරගත වීම ආරම්භ වෙන්න නියමිතයි. ඇත්තෙන්ම ඒ චරිතය මට අභියෝගාත්මක චරිතයක් වුණා. චිත්‍රපටය තුළ මම රඟපාන්නෙත් වෘත්තිමය රංගන ශිල්පිනියකගේ චරිතයක්. නිළියකගේ ආදර කතාවක් ඒ තුළ තියෙන්නේ. ඒ රාජිණී කියන චරිතය තුළ මට සැබෑ ජීවිතේ චරිතය සහ රංගන ශිල්පිනියක් විදියට දුර්වල චරිතයක් සහ නැවත සාර්ථක වන චරිතයක් තියෙනවා. හරියටම බැලුවොත් චරිත තුනක් තියෙනවා. ඒ නිසා මට අභියෝගයක් වුණා.

උදාරිව සිනමාවෙන් පමණයි ද දකින්න ලැබෙන්නේ, පුංචි තිරයේ ඉදිරියට එන්න තියෙන නිර්මාණ තියෙනවද?

“අළුපාට දේදුණු” කියලා ටෙලි නාට්‍යයක් රූපගත කිරීම් කෙරුණා. ඒ එක්කම “සිටුවර පුවත” කියන නවකතාව මඟින් කෙරෙන කෙටි එපිසෝඩ් ප්‍රමාණයකින් නිර්මාණය කරන චමිල් පතිරණ මහතාගේ නාට්‍යය තුළිනුත් දැකගන්න පුළුවන්. එහි රොෂාන් රවින්ද්‍ර එක්ක තමයි රංගනයෙන් දායක වෙන්නේ.

මේ කාලයේ ඉන්න සිනමා ප්‍රේක්ෂකයින්ට මේ මොහොතේ මොන වගේ ඇරයුමක් ද කරන්නේ?

මුළු ලෝකයේම ගත්තත් සිංහල ජනතාව අඩුයි. ඉන්දීය සිනමාව, හොලිවුඩ් සිනමාව හෝ කොරියන් සිනමාව ගත්තම ඒ ඒ ජාතීන්ගේ භාෂාවන් හසුරුවන කට්ටිය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි සිංහල බස තේරුම් ගන්න පුළුවන් අය ඉන්නේ අල්පයයි. ඒ නිසා අපේ රට තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මම ආරාධනා කරනවා ආදරෙන් අපිට ආවේණික වූ මේ සිනමාව වැටෙන්න ඉඩ දෙන්න එපා කියලා.

ජායාරූප - භුමි වික්‍රමසිංහ

Comments