මල්වලට වඩා වැඩිපුරම ලැබුණෙ ගල් | Page 2 | සිළුමිණ

මල්වලට වඩා වැඩිපුරම ලැබුණෙ ගල්

 

කලාව, සෞන්දර්ය, සොබාදහම, ආදරය හා කලාව වෙනුවෙන්ම ජීවත් වන්නියක්. සංගීතයේ සප්ත ස්වරයත්, හඩ ශිල්පයත්, ළමා රසවින්දනාත්මක වැඩසටහන් හා සුසංයෝග කරමින් අපූරු මෙහෙවරක නිරත වන ඇය ගායන හා ප්‍රසාංගික කලා ශිල්පිනියක වන නිදහස් මාධ්‍යවේදිනී නදීෂා විජේසුනදර.

කලාවේ විවිධ ඉසවු ඔස්සේ ඉදිරියට එන ඔබේ ගමනේ ආරම්භය ගැන සිහි කළොත්?

මම උපන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, නිකහැටිකන්ද කියන දුෂ්කර ගමේ. මගේ අම්මා විදුහල්පතිනියක ලෙසයි කටයුතු කළේ. භූගෝල විද්‍යාව, සිංහල, නාට්‍ය හා රංග කලාව විෂයන් ඇය දරුවන්ට ඉගැන්නුවා. මට වැඩිපුරම ලැබුණෙ මගෙ අම්මාගෙ ආභාෂය. අවුරුදු තුනක් හතරක් වගේ වෙන කොට මට පුංචි පුංචි කවි ලියන්න පුළුවන් වුණා. කිසිම ගුරුවරයෙකු නැතිව වයස අවුරුදු පහේ දි මම ඕගන් එක වාදනය කරනවා. මගෙ අම්මා මට වයස අවුරුදු දහය වන විට පෙරදිග සංගීතය ගුරුවරයෙකු වෙත මා යොමු කරනවා. ගායනයට අමතරව, ගද්‍ය, පද්‍ය නිර්මාණ කරන්න, නිවේදනය වගේම පාසල් තූර්ය වාදන කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරන්න ලැබෙනවා. මේ හැම දේකදීම අම්මා මගේ පසුපසින් ඉන්නවා. කලාව එක්ක එහෙම ආපු ගමනක් තමා අද සාර්ථක වෙලා තියෙන්නෙ.

පාසල් හා උසස් අධ්‍යාපනය වගේම බාහිර දක්ෂතා ඔබේ ගමනට ලබා දුන්නෙ මොන වගේ සහයෝගයක්ද?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ ඌරාපොල කනිෂ්ඨ විද්‍යාලයෙන් පසුව ගම්පහ සිරිකුරුස විද්‍යාලය තමා මගෙ ද්වීතීයික අධ්‍යාපනය සකස් කරන්නෙ. එහිදී උසස් පෙළ හදාරන්නෙ භාෂා අංශයෙන්. පසුව එම විද්‍යාලයේම ස්වේච්ඡා ගුරුවරියක ලෙස සේවය කරන්නත් ලැබෙනවා. ඒ සඳහා මා දිරි ගන්වන්නෙ සිරිකුරුස විද්‍යාලයේ කාමෙලා කන්‍යා සොයුරිය. ඒ වගේම මගේ ජීවිතය වෙනස්ම මඟකට යොමු වෙන අවස්ථාව උදා වෙන්නෙ “ තුරුණු ශක්ති ” වැඩසටහන හරහායි. 1999 අවුරුද්දෙ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ගායන අංශයේ තරඟවලින් ජයග්‍රහණය උදා කරගෙන මට ඉදිරියට එන්න ලැබෙනවා. ඒ තුළින් ප්‍රසංග වේදිකාව පිළිබඳ සැබෑ අත්දෑකීම් ලබා ගන්න මට පුළුවන් වෙනවා. මගෙ හැකියාව ගැන උපරිම විශ්වාසය ලබා කටයුතු කරන්න උපරිම සෙවණැල්ල වගේ හිටියෙ මගෙ අම්මා. ඒ නිසා මට මාව විශ්වාස කරන්න ආත‍්ම ශක්තියක් ලැබුණා.

ඔය අතරෙ විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා ප්‍රාථමික අධ්‍යපනවේදී උපාධි පාඨමාලාවත්, බ්‍රිතාන්‍ය කවුන්සිලයෙ ළමා මනෝ විද්‍යාව, පෙර පාසල් හා ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලා හදාරනවා. මේ තුළින් මගෙ වෘත්තීය ජිවිතය ගොඩනඟා ගන්න පුළුවන් වෙනවා. පසුව ගම්පහ රීජන්ට් ජාතත්‍යන්තර පාසලේ හා ගම්පහ ලයිසියම් පාසල්වල ගුරුවරියක ලෙස කටයුතු කරන්න ලැබෙනවා.

වර්තමානය වන විට ඔබ කලාවේ විවිධ ක්ෂේත්‍රවලට එකතුව සිටිනවා. ගුරු වෘත්තිය සමඟ මාවත විවිර වුණේ කොහොමද?

ගායනය කියන්නෙ මට සහජයෙන්ම ලැබුණු දෙයක්. ගුරු වෘත්තියෙ නියැළෙන කාලය තුළත් මම සෞන්දර්ය අංශයන් භාරව කටයුතු කළේ. දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන්නත් ලැබුණා. 2011 දි පුතාගෙ පාසල් ගමනත් එක්ක මම රැකියාවෙන් ඉවත් වුණා. නමුත් ඒ අතරතුර මගෙම ගීත 10 ක් පමණ කළා. සංගීතය වැඩිදුර හැදෑරුවා. ගුවන් විදුලි සරල ගී ගායිකාවක, නාට්‍ය හඬ ශිල්පිනියක ලෙස කටයුතු කරන්නත් ලැබුණා. මුවන්පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයෙ සුපිනා කියන චරිතය නිසා මට හොඳ නමක් හදගන්න පුළුවන් වුණා. එතැනින් නොනැවතුණු මම ගුවන් විදුලි අභ්‍යාස ආයතනයට බැඳිලා මාධ්‍ය සම්බන්ධව වැඩිදුර ඉගෙන ගත්තා. එහිදී සම්මුඛ පරීක්ෂණයක් මඟින් ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ට්ආරච්චි මහතා සහ අලෙවි ප්‍රධානි පාලිත දිසානායක මහත්වරුන් විසින් අලෙවි අංශය සදහා මා බඳවා ගන්නවා. ඔවුන් ලබා දුන් සහයෝගය හා ගුරු හරුකම් අදටත් මා අගය කරනවා. සංගීත වැඩසටහන්. ඒකාංගික ටෙලිනාට්‍ය, වෙළඳ දැන්වීම් හරහා නදීෂා කියන නම ජනතාව අතරට යනවා.

ඔබේ නිර්මාණාත්මක කාර්යභාරය හා කලා කටයුතු වර්තමාන දරු පරපුර වෙනුවෙන් සූදානම් කරන්නෙ කොහොමද?

හැම දෙයටමත් වැඩියෙන් මම කැමති දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක ළමා වැඩසටහන් සිදු කරන්නයි. ළමා රසවින්දන නිර්මාණ අධ්‍යක්ෂවරියක කියන භුමිකාවට තමා වැඩි ආදරයක් තියෙන්නෙ. තලවතුගොඩ, ගම්පහ ආදී ප්‍රදේශවල මගේ නිවසේ දරුවන් වෙනුවෙන් නිර්මාණාත්මක වැඩසටහන් සිදු කෙරෙනවා. මගේ පෞද්ගලික කලා ඇකඩමියක් මඟින්. පාට පාට මල් නමින් ළමා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. බාහිර කථිකාචාර්යවරියක් විදියට රසවින්දනය උගන්වනවා. මේ දවස්වල නම් ළමා මනස හා රසවින්දනය ගැන පොතක් ලියනවා.

ළමයින් සමඟ මගේ සම්බන්ධය වැඩි වෙන්න එක හේතුවක් තමා රූපවාහිනී මුතුහර ළමා සමාජය( 2615 අත්තනගල්ල) එය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවොත් නිවැරදියි. එය ගම්වල දරුවන්ට විශාල වේදිකාවක් තැනුවා. ගායන, වාදන, නර්තන, නිවේදන නාට්‍ය වගේ අංශ ගණනාවක දක්ෂයින් රැසක් ජාතික වේදිකාවට ගේන්න මේ මඟින් අවස්ථාව ලැබුණා.

මගේ පුතා තේනුක අලගියවන්නත් දක්ෂ දරුවෙක්. මේ වන විට 10 වසර අධ්‍යාපනය ලබන්නෙ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ. පිහිනුම් අංශයේ ජාතික තරග ජයග්‍රහණ දිනූ කෙනෙක්. දරුවන් කැමති ක්ෂේත්‍රයන් තෝරා ගැනීමට අප අවස්ථාව ලබා දිය යුතුයි.

ඔබ කාන්තාවක්. විවිධ භූමිකාවන්හි නිරත කෙනෙක්. ඒ සඳහා ඔබට මොන වගේ සහයෝගයක් ද බාහිරින් ලැබෙන්නෙ?

කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝකාලීනව රැඳීම කාන්තාවකට අභියෝගයක්. මට අත දුන්නට වඩා වට්ටපු පිරිස වැඩියි. මල්වලට වඩා වැඩිපුරම ලැබුණෙ ගල්. ඒත් නොසැලී ඒවාට මුහුණ දෙමින් පන්නරය ලබමින් මම මගේ ගමන නොනැවතී යනවා. බොහෝ තැන් වලදි ලැබුණු උදවු බොහොම අඩුයි. සමාජය හැකියාවට තැන දෙන්න හරිම ලෝභයි.

පාසල් යන කාලෙත් ගොඩක් දුක් කරදර තිබ්බා. මම ආවෙත් රෝස මල් අතුල මාවතක නම් නොවෙයි. මම හරි ආඩම්බරයෙන් කියනවා. මට හයියක් වුණේ මගේම ශක්තිය කියලා. මට තවත් සහයෝගයක් ලැබුණා නම් තව ලොකු ගමනක් යන්න පුළුවන්කම තිබුණා. ඒත් මම ඒ ගැන පසුතැවෙන්නෙ නෑ.

Comments