කපිල් දේව් රජිනිකාන්ත් රඟන අලුත්ම චිත්‍රපටය ලාල් සලාම් | සිළුමිණ

කපිල් දේව් රජිනිකාන්ත් රඟන අලුත්ම චිත්‍රපටය ලාල් සලාම්

දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් සහ එරට ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධයකු වන කපිල් දේව් එකට රඟපාන සිනමාපටයක් මේ දිනවල රූපගත කෙරෙමින් ඇති බවට අපූරු පුවතක් වාර්තා වෙනවා. මෙය ඉතා දුර්ළභ ගණයේ සිදුවීමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ චිත්‍රපටයේ නම ‘ලාල් සලාම්’. ඉහත කී කාරණයට අමතරව මෙම සිනමාපටය සම්බන්ධයෙන් තවත් විශේෂත්වයක් තිබෙනවා. එනම් එය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ රජිනිකාන්ත්ගේ දියණියක විසින් වීමයි. අයිශ්වර්යා ධනුෂ් කියන්නේ රජිනිකාන්ත්ගේ වැඩිමල් දියණියයි. ඒ වගේම ඇය දකුණු ඉන්දියානු සිනමාවේ තවත් ජනප්‍රියම නළුවකු වන ධනුෂ්ගේ බිරිඳ.

‘ලාල් සලාම්’ අයිශ්වර්යා අධ්‍යක්‍ෂණය කරන තුන්වැනි වෘත්තාන්ත චිත්‍රපටය වන අතර, ඇය චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්නේ වසර හතකට පමණ පසුවයි. විෂ්ණු විෂාල් සහ වික්‍රාන්ත් යන ජනප්‍රිය නළුවන් ද ‘ලාල් සලාම්’ හි චරිත නිරූපණය කරනවා.

‘ලාල් සලාම්’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල මුම්බායි නුවර සිදුවන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එහි කතා පුවත ගැන වැඩි විස්තරයක් තවමත් ප්‍රසිද්ධියට පත්ව නැහැ. කෙසේ නමුත්, මෙය ක්‍රිකට් ක්‍රීඩාව පසුබිම් කර ගත් චිත්‍රපටයක් බවට යම් යම් ආරංචි පළ වෙනවා. කපිල් දේව් රඟපානවා නම් එය ක්‍රිකට් සම්බන්ධ චිත්‍රපටයක් විය යුතු බව අමුතුවෙන් කියන්න දෙයකුත් නෙවෙයි. රජිනිකාන්ත් මෙහි රඟපාන්නේ මොයිදීන් බායි නැමැති මුස්ලිම් ජාතිකයකුගේ චරිතයක් බව පැවසෙනවා.

චිත්‍රපටය රූපගත කරන තැනක තමා කපිල් දේව් සමඟ කතා කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගිය දිනෙක රජිනිකාන්ත් ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කර තිබුණා. ඔවුන් මෙලෙස කතා කරමින් සිටින්නේ ක්‍රිකට් පිටියක බවයි පෙනුණේ. ‘පුරාවෘත්තයක් වූත්, කාගේත් ගෞරවය දිනාගත්තා වූත්, පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දෙමින් ඉන්දියාවට ආඩම්බරයක් ගෙන ආවා වූත් කපිල් දේව් මහතා සමඟ වැඩ කරන්නට ලැබීම ගෞරවයක් සහ විශාල වරප්‍රසාදයක්’ යනුවෙන් ද ඔහු ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා. කපිල් ද ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවක තවත් මෙවැනි ඡායාරූපයක් පළ කර තිබෙණු දැකිය හැකි වුණා. ‘මෙම ශ්‍රේෂ්ඨ මිනිසා ඇසුරු කරන්නට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසාදයක්’ යැයි ඔහු ද එහි සඳහන් කර තිබුණා.

චිත්‍රපටයක වැඩකටයුතුවලට කපිල් දේව් සම්බන්ධ වූ පළමු වතාව මෙය නොවෙයි. 2021 වසරේ තිරගත වූ ‘83’ චිත්‍රපටයටත් ඔහු විශාල වශයෙන් දායක වුණා. එම චිත්‍රපටයට පසුබිම් වූයේ 1983 වසරේ ඉන්දියානු පිල ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම පිළිබඳ කතාවයි. එදා එම කණ්ඩායමට නායකත්වය දුන්නේ කපිල් දේව්. කෙසේ නමුත් ඔහු ‘83’ චිත්‍රපටයේ චරිතයක් රඟපෑවේ නැහැ. එහි ප්‍රධාන චරිතයට පණ දුන්නේ ජනප්‍රිය නළු රන්වීර් සිං. කපිල්ගේ චරිතය රඟපෑවේ ඔහුයි. රන්වීර් මෙම චරිතය සඳහා සූදානම් කිරීමේදී කපිල් විශාල සහයෝගයක් ලබා දී තිබුණා. රන්වීර් ටික දිනක් කපිල්ගේ නිවසේ නතර වී සිටි බවත් පැවසුණා.

මේ වන විට 64 වැනි වියෙහි පසුවන කපිල් දේව් ඉන්දියානු කණ්ඩායමට ක්‍රීඩා කළේ 1978-1994 අතර කාලයේයි. ඔහු පළමු වරට නායකත්වය දැරුවේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයකදී වීමත් විශේෂත්වයක්.

කපිල් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටියත් 72 වැනි වියෙහි පසුවන රජිනිකාන්ත් නම් දැන්ම සිනමාවෙන් විශ්‍රාම ගන්නට සූදානම් බවක් පෙනෙන්නේ නැහැ. තවමත් ඔහු නළුවකු ලෙස ගත කරන්නේ ඉතාම කාර්ය බහුල ජීවිතයක්. ඔහුගේ තවත් අලුත්ම සිනමාපටයක් අගෝස්තු මාසයේත් තිරගත වීමට නියමිතව තිබෙනවා. එහි නම ‘ජේලර්‘. තම නායකයා බේරාගෙන යාමට සිරගෙදරකට කඩා වදින කල්ලියක් සහ ඔවුන්ගේ එම වෑයම වැළැක්වීමට සටන් කරන ජේලර්වරයකු පිළිබඳ කතාවක් මෙයට පසුබිම් වන බවයි පැවසෙන්නේ.

රජිනිකාන්ත්ට දියණියන් දෙදෙනෙක් සිටිනවා. බාල දියණියගේ නම සෞන්දර්යා. වැඩිමල් දියණිය අයිශ්වර්යාගේ වයස අවුරුදු 41 ක් වන අතර, සෞන්දර්යාගේ වයස 38 ක්. ඇයත් අක්කා වගේම චිත්‍රපට අධ්‍යක්‍ෂවරියක්. මේ වන විට සෞන්දර්යාත් චිත්‍රපට දෙකක් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා. පළමු චිත්‍රපටය වූ ‘කොචදයියාන්’ හි රජිනිකාන්ත් ද රඟ පෑ අතර, ඔහු එකවර චරිත තුනක් නිරූපණය කිරීම විශේෂත්වයක්. ඇයගේ දෙවැනි සිනමා නිර්මාණය වූ ‘වෙල්ලායිලා පතධාරි-2’ හි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ධනුෂ්.

Comments