ආදරය කරන්නත් ලබන්නත් මම කැමැතියි | සිළුමිණ

ආදරය කරන්නත් ලබන්නත් මම කැමැතියි

 

ඕනෙම ක්ෂේත්‍රයක් පවතින්න නම් අලුත් අය ආ යුතුමයි. හැබැයි ඒ එන පරම්පරාව දක්ෂතා සපිරි කුසලතා පිරි අය නම් තමයි ඕනෙම ක්ෂේත්‍රයක පැවැත්ම තීරණය වෙන්නේ. ඇය නමින් සමිත්‍රි කාංචනා. 2022 වසරේ Miss Sri Lanka for Miss Tourism World තරගයේ Miss Talent title එක දිනාගත්තේ ඇය. ඒ එක්කම ඇය සතු ගායන නර්තන හැකියවන් තුළින් කලා ලොවේ දිගු ගමනක් යන්නයි සුදානම. ඒ නිසාම මේ හැම දෙයක් ගැනම රසඳුන අපි කතාබහ කළා

පාසල් කාලයේ කලාවට තිබුණ නැඹුරුව

මගේ උපන්ගම බදුල්ල. නමුත් අද වන විට මම පදිංචිව ඉන්නේ කඩවත. මම ඉගෙන ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ. මම පළවෙනි ශ්‍රේණියේ ඉඳන්ම වේදිකාවට ළැදියි. ගායනයෙන්, නර්තනයෙන්, වේදිකා නාට්‍ය තුළින් පාසලේ සියලුම දෙනා විනෝදාස්වාදයෙන් පිනවන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසාම විවිධ අලුත් කලාවන් ඉගෙන ගන්න කුතුහලය තිබුණා.

පාසල් කාලේ කවුරු වෙන්න ද සිහින මැවුවෙ

ගායිකාවක් සහ නිරූපණ ශිල්පිනියක් වෙන්නමයි සිහින මැවුවේ

මුලින්ම යොමු වුණේ ගායනයට ද නර්තනයටද?

මුලින්ම යොමු වු‍ණේ ගායනයට. පෙරදිග සහ බටහිර ගායන තරගවලට සහභාගී වෙලා පාසල් මට්ටමින් ජයග්‍රහණ ලබලා තියෙනවා. නර්තනයත් ඒ ගමන්ම ටිකෙන් ටික අත්හදා බැලුවා. භරත නාට්‍ය, උඩරට නර්තනය හදාරා තිබෙනවා. Contemporary western dancing ඉගෙන ගත්තේ නම් තනිවම.

ඔබ මේ වෙද්දී නිරූපණ ක්ෂේත්‍රය ගැන හදාරනව, ඒ අත්දැකීම ගැනත් කිවුවොත්?

මම නිරූපණ ශිල්පියෙක් වෙන්න සිහින මැවුවත්, ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න සුදුසුකම් තිබෙනවද කියන විශ්වාසය මට තිබුණේ නැහැ. Covid ආසාදනය වුණත් සමඟ මගේ ජීවිතය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් ගොඩාක් දැඩි තීරණ ගත්තා. ශාරීරික යෝග්‍යතාව සහ මානසික සුවය වෙනුවෙන් කැපවෙන්න පටන්ගත්තා. ඒ තුළින් මම පෞද්ගලිකව මගේම ලොකු වෙනසක් අත්දැක්කා. විශ්වාසයක් ගොඩනැඟුණා. 2022 වසරේ Miss Sri Lanka for Miss Tourism World තරගයට සහභාගි වුණා. එහිදී අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණත්, මම ඒ තුළින් විශාල අත්දැකීම් ලැබුවා. Miss Talent Round එකේදී ගායනයෙන් සහ නර්තනයෙන් තරග කළා. Miss Talent title එක මට ලැබුණා. ඒ කාලයේදී තමයි චූලාපත්මේන්ද්‍රන් මිස් හමුවුණේ. ඇයගේ නිරූපණ පාසල Chulpadmendra Catwalk Academy එක තුළින් නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධව විශාල අත්දැකීම් ලැබුවා. අපේ Graduation Fashion Show එක Ramp Comes Alive 2023 ගිය මාසයේ පැවැත්වුණේ. තවමත් එහි අත්දැකීම් ලබනවා.

ඔබ රැකියාවක් කරන ගමන්නේ කලාවට සම්බන්ධ වෙන්නෙ. කොහොමද ලැබෙන සහයෝගය?

මම රැකියාවට මුල් තැන දෙනවා. කලා කටයුතුවලට මම යොදා ගන්නේ කාර්යාල වෙලාවන් නෙවෙයි. නමුත් විශේෂ අවස්ථාවන්වලදී කලා කටයුතුවලට යොමු වෙන්න මට මගේ ආයතනයේ සහයෝගය ලැබෙනවා. නමුත් මගේ රැකියාවට අයත් වගකීම් පැහැර නොහැර ඒ සියලුම දේවල් ඉටු කරමින් මම සියලු කටයුතු සමබරව කරගෙන යනවා.

මේ වෙද්දි නිර්මාණ කටයුතුවලට ඇරියුම් ලැබෙනවද?

නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධ අවස්ථාවන් ලැබිලා තියෙනවා. Photoshoots, Fashion Shows වලට අවස්තාවන් ලැබෙනවා. ගායනයෙන් අලුත් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කලාවට එනවට ගෙදරින් තියෙන්නේ මොන වගේ සහයෝගයක් ද?

මගේ පවුලේ සියලුම දෙනාම කලාවට ළැදියි. මව භරත නාට්‍ය හදාරා තිබෙනවා. අක්කා අනූ මධුභාෂිණී එයා ගායිකාවක් සහ රංගන ශිල්පිනියක්. ඒ වගේම මල්ලි කුෂාන් චමුපති Music Producer කෙනෙක්. ඒ නිසා හැමෝම වගේ ලොකු සහයෝගයක් දෙනවා.

රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත මොනවාද?

එහෙම නැහැ. රඟපාන්න ඕනෙම චරිතයක් අත්හදා බලන්න කැමැතියි. හැබැයි ඒ මගේ ජීවිතයේ තිබෙන පිළිවෙත්වලට එකඟ වෙන, ප්‍රේක්ෂකයන් අපහසුතාවට පත් නොවෙන, පවුලේ සියලුම දෙනාට නැරඹීය හැකි ඕනෙම චරිතයක්.

ජීවිතේ ආදරේ ගැන මොකද හිතන්නෙ

ආදරය කියන දේ ඕනෑම මනුෂ්‍යයෙක් ජීවිතයේ විඳිය යුතු දෙයක්. කොන්දේසි විරහිතව, දුකේදීත් සැපේදීත් වෙනස් නොවී අසීමිතව ආදරය කරන්නත්, ලබන්නත්, කෙනෙක්ට අවස්ථාවක් ලැබෙනවා නම් එය වාසනාවක් සහ ආශීර්වාදයක්. මේ කියපු විදිහට ආදරය කරන්නත් ලබන්නත් මම කැමැතියි.

මේ වෙද්දී ආදරවන්තියක් ද?

ඔව්. හැබැයි ඒ ආදරය ලබන්න තරම් වාසනාව ලබන්නේ කවුද කියන එක ඉදිරියේදී කියන්නම්.

ජීවිතේ ලැබුණු නොලැබුණ දේවල් ගැන මොකද හිතන්නෙ

ජීවිතයේ ලැබුණු දේවල්වලට සෑහීමකට පත්වෙනවා. ඒ සියලුම දේවල් වලට ස්තුති කරනවා. නොලැබුණු දේවලටත් ස්තුති වෙනවා. ඒ හැමදේම වෙන්නේ අපිට තේරුණත් නොතේරුණත් අපේ හොඳට කියලා මම විශ්වාස කරනවා. සමහර නොලැබුණු දේවල් ලබන්න මට තවමත් උත්සාහ කළ හැකිනම් මම ඒ දේත් කරනවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

කලාවෙන් ඉදිරියට යන්න. විශේෂයෙන් ගායනයෙන් සහ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඒ එක්කම රංගනයට හොඳ අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවා. ඒ අතරතුර මගේ උසස් අධ්‍යාපන කටයුතු ඉක්මනින් නිම කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

Comments