නැවතුණු මහාමාර්ග ව්‍යාපෘති කඩිනමින් ඇරැඹීමට පියවර | සිළුමිණ

නැවතුණු මහාමාර්ග ව්‍යාපෘති කඩිනමින් ඇරැඹීමට පියවර

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදිකරමින් තිබූ දැනට වැඩ නැවතී ඇති මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පසුගිය 26 වෙනිදා පාර්ලිමේන්තු පැවැති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැති ආචාර්ය ගුණවර්ධන කියා සිටියේ දිවයිනේ සෑම ප්‍රදේශයකම නැවතී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල ඉදිකිරීම් කඩිනමින් නැවත අරඹන බවය. අබලන් තත්ත්වයේ පවතින බොහෝ

මාර්ග අලුත්වැඩියාවන් සිදු නොවුවහොත් ඉදිරියේදී මහජනතාවට යෑමට ඒමට පවා නොහැකි වන තත්ත්වයටම පත්වනු ඇති බව මන්ත්‍රීවරුන් පවසා සිටි අතර ඇමැතිවරයා එහිදී කියා සිටියේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාර්ග සම්බන්ධ ඉල්ලීම් ඉටු කරන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කියා සිටියේය. ‘ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තුරු මෙරටට ලබාදෙන ණය ආධාර නවතා තිබෙනවා. ඉතිහාසයේ පටන්ම රට තුළ සිදුකරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක වී ඇත්තේ විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලබා ගත් ණය ආධාර මුදල යටතේ යටතේයි.

කෙසේ නමුත් රට තුළ මාර්ග පද්ධතියේ පවතින දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, අවම වශයෙන් i Road (ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන) ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති සඳහා හෝ, ඒවා කඩිනමින් අවසන් කිරීම සඳහා අරිකානු ඩොලර් මිලියන 53ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ‘

මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු හරහා මේ වන විට ගමනාගමනයට ඉතාමත් අපහසු තත්ත්වයේ පවතින මාර්ග හඳුනා ගැනීමට සහාය ලබාදෙමින් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඉල්ලීම් කර ඇති මෙම ඩොලර් මිලියන 53 ක ණය මුදල ලැබුණු වහාම ආරම්භ කිරීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශ භාර රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිරිපාල ගම්ලත්, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර, සනත් නිශාන්ත, පියල් නිශාන්ත, ඩී බී හේරත්, ජානක වක්කුඹුර, විජිත බේරුගොඩ, චාමර සම්පත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩබ්. එච් එම් ධර්මසේන, වෛද්‍ය ගයශාන් නවනන්ද, චාල්ස් නිර්මලනාදන්, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත කැටගොඩ, ඩබ්. බී වීරසිංහ, අන්ගජන් රාමනාදන්, එම්. ඒ. එල් අතාවුල්ලා, කුමාරසිරි පතිරණ, ජගත් කුමාර, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, ඇතුළු නිලධාරීහු රැසක් මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

Comments