ජනවාරි සිට අප්‍රේල් දක්වා වසරේ පළමු කාර්තුවෙන් ආයෝජන ව්‍යාපෘතිවලින් ඩොලර් මිලියන 604ක් | Page 2 | සිළුමිණ

ජනවාරි සිට අප්‍රේල් දක්වා වසරේ පළමු කාර්තුවෙන් ආයෝජන ව්‍යාපෘතිවලින් ඩොලර් මිලියන 604ක්

මේ වසරේ පළමු කාර්තුව තුළදී එනම් ජනවාරි සිට අප්‍රේල් දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති හරහා ඇ‌ෙමරිකානු ඩොලර් මිලියන 604ක (රුපියල් කෝටි 18,200) ආයෝජන ලැබී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සිළුමිණට කීවේය.

ඒ අතර නව ව්‍යාපෘති 23ක් හා පවතින ව්‍යාපෘති පුළුල් කිරීම් 7ක් ද වන බවද හෙළි කළ ඇමැතිවරයා මීට අමතරව පසුගිය සතියේ බ්‍රහස්පතින්දාද ඇමෙරිකන් ඩොලර් මිලියන 38කට අධික නව ව්‍යාපෘති 3ක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ බවද කියා සිටියේය.

එම ගිවිසුම් අතර ඛනිජ වැලි පිරිපහදු කර ඛනිජ ද්‍රව්‍ය අපනයනය කරනු ලබන අමෙරිකානු ඩොලර් මිලියක 19.8ක MCS Minerals ව්‍යාපෘතියද යකඩ හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්ට අදාළ ඩොලර් මිලියන 15ක Gloves International ව්‍යාපෘතියද සුපිරි නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන 4.1ක Kenon Investment ව්‍යාපෘතියද අඩංගු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඊට අමතරව තවත් සමාගම් 3ක් සමඟද පසුගිය 26 වෙනිදා සිකුරාදාද ගිවිසුම් අත්සන් කර තිබේ.

එමෙන්ම ඉදිරියේදී තවත් ආයෝජන කලාප 6ක් අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

එම ආයෝජන කලාප ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ, කිළිනොච්චි හි පරන්තන් (රසායනික කම්හල පිහිටා තිබූ භූමිය) කන්කසන්තුරේ (සිමෙන්ති සංස්ථාව පිහිටා තිබූ භූමිය) මුලතිව්හි මාන්කුලම් , වයඹ පළාතේ ඉරණවිල හා බිංගිරිය II අදියර ලෙස ස්ථාපිත කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

Comments