අපේ බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ විශාල අවුලක් තියෙනවා | සිළුමිණ

අපේ බදු එකතු කිරීමේ යාන්ත්‍රණයේ විශාල අවුලක් තියෙනවා

ඔබ සභාපතිත්වය දරන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ෂණයට ලක් වුණා. එසේ වීමට හේතු වූ කරුණු කාරණා මොනවාද?

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙි සභාපති ලෙස කටයුතු කරන්නේ මමයි. පාර්ලිමේන්තුව ආංශික අධීක්ෂණ ඇතුළු විවිධ කාරක සභා විසින් විවිධ අවස්ථාවල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කැඳෙව්වා. ඒ එය රටේ ප්‍රධාන මාතෘකාවක් වූ නිසා. විටින් විට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කාරක සභා කිහිපයකින්ම කැඳවා තිබුණ නිසා පාර්ලිමේන්තුවේ මේ විෂයයට උනන්දු වන කාරක සභා සභාපතිවරු කිහිප දෙනෙක් පසුගියදා මේ කාරක සභාවට කැඳෙව්වා. මෙහිදි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරිම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගාමිණි වගේබොඩ ඇතුළු කාරක සභා කිහිපයක සභාපතිවරු කැඳෙව්වා. සියලු දෙනා එකට එකතු වී මේ සම්බන්ධව තීරණයක් ගැනීමේ අරමුණින් තමයි ආරම්භ කළේ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳ මෙහිදි වැඩි අවධානයක් යොමු කළා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කැඳවීමට මූලික වූ හේතුව වූයේ රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයත් සමඟ රාජ්‍ය ආදායම පිළිබඳව මතුවූ බරපතළ ගැටලුව. අපේ රටේ රාජ්‍ය ආදායමෙන් 90% ක් එන්නේ ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුවෙනුයි. ලොව අනිකුත් රටවල රාජ්‍ය ආදායම සංසන්දනය කළහොත් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය රාජ්‍ය ආදායමට සාපේක්ෂව 8.3% යි. අනිකුත් රටවල මේ අගය 15% ක්. අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපේ බදු එකතු කිරීමේ යන්ත්‍රණයේ විශාල අවුලක් පවතින බව පේනවා. බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ විශාල ප්‍රශ්න තියෙනවා. වෙන රටවල බදු ගසන්නේ පුද්ගලයා උපයන ආදායමට අනුව වුවත්, අපේ රටවැසියන්ට ඕන තරම් ආදායම් සොයන්න පුළුවන් තමන් කැමැති බද්දක් ගෙවලා. කෙනකුට රුපියල් බිලියනයක් හොයලා රුපියලක් ගෙවන්න පුළුවන්. එයට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එකඟ වෙනවා. ඒ නිසා ක්‍රමවේදයේ විශාල වැරුද්දක් තියෙන බව අපිට පේනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ බදු ගෙවන්නාට ඇවැසි විදියට මිසක්, එම දෙපාර්තමේන්තුවේ නීති රීතීන්ට අනුකූලව නෙමෙයි. 

ඔබ පවසන්නේ බදු ගැසීමේදි නිසි යන්ත්‍රණයක් ආදායම් බදු දෙපාර්තමේන්තුවට නොමැති බවද?

මේ වන විට ජනාධිපතිතුමා බදු වර්ග ගණනාවක් අලුතින් එක්කළා. පුද්ගල ආදායම් බදු සීමාව වර්ෂයකට මිලියන 3 සිට ලක්ෂ 12ට අඩු කළා. ඒ වගේම 24%ට තිබුණු බද්ද 36% දක්වා වැඩි කළා. එකතු කළ අගය මත බද්ද 8% සිට 15% දක්වා වැඩි කළා. වාර්ෂිකව රුපියල් මිලියන 300 කට ගසන එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 80ට අඩු කළා. රඳවා ගැනීමේ බද්ද 5%ක් ගැසුවා. කුලිය සඳහා රඳවා ගැනීමේ බද්දක් අය කළා. එසේම සමාගම්වල අපනයනවලට තිබූ 14% හා නිෂ්පාදනවලට තිබූ 18% බද්ද 24% ක් කළා. සමාජ ආරක්ෂණ බද්ද ලෙස 2.5%ක් ගැසුවා. මේ සියලු බදු ගසා රජයට විශාල දෝෂාරෝපණයක් එල්ල වුණා. මගේ අදහස බදු එකතු කිරීමේ නිසි යන්ත්‍රණයක් නොමැති නම් බදු ගැසුවාට වැඩක් නැති බවයි.

අපේ රටේ මිලියන 22 ක ජනගහනයෙන් බදු ගෙවන්නේ 31,000 ක පිරිසක් බවත් තෝරු මෝරු මෙයින් ගැලවෙන බවත් ඔබ පවසනවා...?

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා, මිලියන 22 ක් සිටින රටේ ජනගහනයෙන් බදු ලිපි ගොනු කීයක් මේ වන විට තමන් ළග තියෙනවද කියා. ඔවුන් කිවුවේ පෞද්ගලික සමාගම්වල හා තනි පුද්ගල ගත්විට ඇත්තේ ලක්ෂ 5 ක් බව. අපේ රටේ ලියාපදිංචි සමාගම් පමණක් 105,000 ක් තියෙනවා. මම එතැනදි ඇහුවා පුද්ගලික ආදායම් බදු ගෙවන පිරිස කොපමණ ද කියා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කිසි කෙනෙක් ඊට පිළිතුරක් දෙන්න දන්නේ නැහැ. නමුත් මගේ ළඟ දත්ත තිබුණා, ඒ පිරිස 31,000 ක් බව. මා මුලින් කියූ ලියාපදිංචි ප්‍රධාන සමාගම් 105,000 න් නියම විදිහට බදු ගෙවන්නේ සමාගම් 382 යි. මෙතැනම ඔවුන්ගේ විශාල අඩුවක් තියෙන බව මම පෙන්වා දුන්නා. ජනගහනයට සාපේක්ෂව බදු ලිපි ගොනු අවම වශයෙන් මිලියන 3 ක් වත් තිබිය යුතුයි. අද බදු ලිපි ගොනු ඇරියත් රිටර්න්ස් 10% ක් වත් එවන්නේ නැහැ. මේ අයගේ බදු ලිපි ගොනු ලක්ෂ 5 ක් තිබුණට එවන්නේ 105,000 යි. සල්ලි ගෙවන්නේ 31,000 යි. අපි කිවුවා අවම වශයෙන් ලක්ෂ 15 ක ඉලක්කයක ලිපිගොනු පවත්වා ගත යුතු බව. අඩුම තරමින් එයින් ලක්ෂ 10-12 ක් වත් බදු ගෙවන තැනට පත්කරගත යුතුයි. එය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉලක්කය විය යුතුයි.

ඔබතුමන්ලා ආණ්ඩු කිහිපයක ප්‍රබල ඇමැතිකම් දරද්දීත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මෙවැනි අකාර්යක්ෂමතා තිබුණා නේද..?

ඒ දවස්වල මෙය කාගේත් අවධානයට යොමු වුණේ නැහැ. ණය, ලෝක ආධාර හමුවේ රට කොහොම හරි ඉදිරියට ගියා. අපේ ඇස් ඇරුණේ ආර්ථික අර්බුදයක් එක්කයි. ඩොලර් රුපියල් නැතිවෙන කොට රාජ්‍ය ආදායමේ ප්‍රශ්න මතුවුණා. ඇමැති ධුරය නැති කාලයේ මේ ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ ඇයි කියලා ලෝක තත්ත්වය විග්‍රහ කරමින් මම අධ්‍යයනයක් කළා. ආර්ථිකය කඩා වැටුණේ අපේ සිස්ටම් එකේ පවතින දුර්වලතාවක් නිසා. ඒ නිසයි අපි දේශීය ආදායම් එකෙන් විමසීමක් කළේ මේ සඳහා ඇති ක්‍රමවේදය කුමක්ද කියා. ඒ අය රැමිස් කියලා ඔන්ලයින් පද්ධතියක් හදලා තියෙනවා. හොරකම පහසුවෙන් මේ හරහා හසුකර ගත හැකියි. මේ සඳහා අවුරුදු 10 ක් තුළ රුපියල් බිලියන 10ක් වියදම් කරලා. තාම එය බලාත්මක වී නැහැ. ආයතන විසි ගණනක් මෙයට ඒකාබද්ද කර තියෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එකතු කර තිබුණට ජාතික හැඳුනුම්පත් එයට එකතු කර නැහැලු. ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඇතුළත් කර නැහැ. කොළඹ තනි මහල් නිවාස එකකයක් පමණක් රුපියල් මිලියන 300-400 ක්. මේවා කාගෙද යන්නවත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු නැහැ.

රටට ආදායම් එන බදු ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ ඔබගේ යෝජනා කවරේද?

රුපියල් ලක්ෂ 2 කට වැඩි මුදල් හුවමාරුවක්ම බැංකු හරහා හුවමාරු කළ යුතු බවට නීතියක් ගෙන ආ යුතුයි. ලක්ෂ 2 ට වැඩි කෙඩ්‍රිට් කාඩ් ඇති අයගේ දත්ත ගෙන්වා ගත යුතුයි. මේ සඳහා ක්‍රමවේදයක් සැකසීම හරිම පහසුයි. ඉඩම් කච්චේරිය මේ ක්‍රමවේදයට හැදූ පසු ඉඩමක් මිලදී ගත්විට බද්ද හැදීම පහසුයි. මෝටර් රථ ප්‍රවාහන ‍ෙදපාර්තමේන්තුවට අලුතින් ලියාපදිංචි වන සියලු වාහන මෙහි එනවා. අපි බිලියන 2ක් ආනයනය කරන විට රුපියල බිලියන 12ක් අපනයනය කරනවා. මෙය කරන්නේ පොඩි පිරිසක්. මේ තොරතුරු ගත්විට ඔවුන්ගේ බදු ගෙවීම ගැන සොයා ගත හැකියි. මේ කිසිවක් මේ අය සොයන්නේ නැතිවිට මේ ලිපි ගොනු ඇරෙන්නේ කොහොමද? ‘කැමැතිනම් අපිට ගෙවපන්’ සංකල්පයේ තමයි මේ අය ඉන්නේ.

ආදායම් බදු පොඩි මිනිසුන් පසුපස පන්නන බවට ජනතාවගෙන් චෝදනා නැඟෙනවා?

රාජ්‍ය සේවකයාගේ වැටුපට බද්දක් අය කිරීම නෙමෙයි කළ යුත්තේ. මුදල් තියෙන විශාල පිරිසක් බදු ගෙවන්නේ නැහැ. දේශීය ආදායම් එක කියන්නේ බදු ප්‍රතිපත්තිය අසාර්ථක වුණේ රැමිස් පද්ධතිය නිසා කියලා. මන්ද රැමිස් එක ක්‍රියාත්මක වුණොත් ඔවුන්ට අවශ්‍ය දේ කරන්න බැහැ. ගනුදෙනු සියල්ල නවතිනවා. ඒ නිසා අපි කිවුවේ රැමිස් පද්ධතිය වහාම ක්‍රියාත්මක කර සියලු දෙනා මෙයට ඇතුළත් කළ යුතු බවයි. රුපියල් ලක්ෂ 2කට වඩා ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන අයත් ආදායම් බදු සඳහා ඇතුළත් කළ යුතුයි.

ඔබ පවසන්නේ ආදායම් බදු එකතු කිරීම තුළ වංචා දූෂණ සිදුවන බවද?

එය දේශීය ආදායම් බදු කොමසාරිස්ම පිළිගත්තා. ලක්ෂ 50ක බදු ගෙවන්න කියලා ලියුමක් යැවූ පසු එය ලක්ෂ 5ට අඩු කර ගන්නවා. අපි මේ අයගෙන් ඇහුවා ලංකාවේ ලොකුම ගනුදෙනුකරුවෝ කීයද කියලා. 500 යි කිවුවා. නමුත් 5000 ක් ඉන්නවා. මෙයින් බහුතරයක් බදු ගෙවන්නේ නැහැ. මේ අය බිලියන ගණන් ලාභ ලබනවා. අපේ රටේ බදු ගෙවන ජනතාව ගත්විට අවුරුද්දකට මිලියන 300 ක් බදු ගෙවන අය ඉන්නේ එක්කෙනයි. මිලියන 100-50 යි අතර ගෙවන අය තුන් දෙනයි. මිලියන 50-25 යි අතර 25 දෙනයි. මිලියන 25-10 යි අතර 60 දෙනයි. මිලියන 10-5 යි අතර බදු ගෙවන අය 137 යි. මිලියන 2-1 ත් අතර ගෙවන අය 864 ක්. ලක්ෂ 100 ක බදු ගෙවන්නෝ ලංකාවටම ඉන්නේ 10 දෙනෙයි. මම අවුරුද්දට ලක්ෂ 15 ක් ගෙවනවා. මම ඇතුළු ලක්ෂ 10 ට වැඩි ආදායම් බදු ගෙවන්නෝ 1300 ක් පමණයි ඉන්නේ. රුපියල් බිලියන 950 ක බදු අය කර ගත යුතුව තියෙනවා. මේ සඳහා ආදායම් බදු දෙපාර්තමේන්තුව අමුතුම ක්‍රමයක් සකසා තියෙනවා. බදු ගෙවන්න කියලා දැනුම් දුන්නොත් ඕනැම අයෙකුට අභියාචනයක් දාන්න පුළුවන්. මෙයින් වසර 7 ක් නෙගෙවා කල් දාන්න පුළුවන්. අභියාචනාවක් වසරකින් අවසන් විය යුතුයි. මේ බිලියන 950 තුළ අභියාචනා නොමැති ඒවා බිලියන 270 ක් තියෙනවා. ඒ ටික හෝ එකතු කර ගත හැකියි. බදුකරුවා බිලියනයක් හොයලා රුපියලක් ගෙවන්නම් කියලා කිවුවත් ආදායම් බදු දෙපාර්තමේන්තුව එයත් පිළිගන්නවා. මේ අය වහාම දැනට ඇති ලිපි ගොනු ලක්ෂ 5 ත් සමඟ තව ආදායම් බදු ලිපි ගොනු ලක්ෂ 15 ක් ක්ෂණිකව ඇර ගන්නා වැඩපිළිවෙළ මෙන්ම එයින් 75% බදු අයකර ගන්නා වැඩ පිළිවෙල මාසයක් ඇතුළත් අපිට දැනුම් දිය යුතුයි. ජනාධිපතිතුමා ඊට උපදෙස් ලබා දී තියෙනවා. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම අවම 15%ක් ගෙන ඒම අපේ ඉලක්කයයි. ඉදිරියේදී රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන්ම ගේනවා. රේගුවට දිනකට කන්ටේනර් දෙදහස් ගණනක් එනවා. නමුත් බහුතරයක් පරීක්ෂා කරන්නේ නැහැ. මේවා තුළ හොරබඩු එනවා. ස්කෑනින් මැෂිමේ ඉන්නේ එකම පිරිසක්. ඔවුන් ඉවත් කරන්න බැහැ. සුරාබදු දෙපාර්තමේන්තුවේ බදු ගෙවන්නේ ඉන්නේ 25% ක් පමණයි.

මේ තත්ත්වයට වගකිව යුත්තෝ පාලකයෝද? නිලධාරීහුද? 

නිලධාරීන් මේ කටයුතු හරියට කරන්නේ නැහැ. නමුත් බැණුම් අහන්නේ ආණ්ඩුව. මම කතා කරද්දි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මට විරුද්ධව සී. අයි. ඩී. යනවා. ඒකෙන්ම ඔවුන්ගේ බලවත්කම පේනවනේ. මේ කරුණ ගැන මම කාරක සභාවේදි කතා කළපසු මගේ ආදායම් බදු ෆයිල් එක විගණනයට ගත්තා. අපිට ගහලා බය කරන්න බැහැ.

මේ කටයුතු සිදු කරන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොපමණ පිරිසක් සිටිනවාද?

සියල්ලම 3000 කට ආසන්නව ඉන්නවා.

රටේ ආර්ථිකය කඩා වැටීමට මෙය ප්‍රබල හේතුවක් වුණාද?

පැහැදිලිවම හේතුවුණා. බදු නොගෙවන්නාට විරුද්ධව කටයුතු කරන්නට දෙපාර්තමේන්තුවට විශාල බලයක් තියෙනවා. මොවුන් බදු උසාවියක් පවා හදලා දෙන්න ඉල්ලුවා. ඉදිරියේදි එය ඉටු කරනවා.

ඇයි මේ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයකට යාමට බැරි?

මීට මුහුණ දීමට මෙන්ම මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට හැකි හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතියි. ඔහු බය නැතිව තීරණ ගන්නවා. අපි ගෝඨාභය හිටපු ජනාධිපතිගෙන් බලාපොරෝතු වුණේ ඒක. අද මෙතුමා එය කරනවා. ඔහු ගන්නා රැඩිකල් තීරණ ජනතාවගේ පැසසුමට හේතු වුණා. ජනක රත්නායක ඉවත් කිරීම ගැන ජනතාව කිසිදු චෝදනාවක් කරන්නේ නැහැ. වෙනදාට වඩා ආණ්ඩුවට ඡන්ද හම්බ වුණා. මේ ප්‍රශ්නය පිළිබඳවත් ජනාධිපතිතුමා තදින්ම සිටිනවා.

ආදායම් බදු දෙපාර්තමේන්තුව හරියට ක්‍රියාත්මක වුණා නම් අපි IMFයාමට අවශ්‍ය නැති බව ඔබ පවසනවා?

ඇත්තෙන්ම ඔව්. දේශීය ආදායම්, සුරා බදු හා රේගුවට යකෙක් වගේ කැබිනට් ඇමැති කෙනෙක් දාන්න ඕන. අවුරුදු දෙකක් හරියට කළොත් මේ ණය කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. සම්පත් අතේ තියාගෙන කටට දාගන්න බැරිවයි ඉන්නේ. සම්පත් කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළිවෙළ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අද රටට හොඳ තීන්දු ගන්න නායකයෙක් ඇවිත් තියෙනවා. වෙනත් නායකයන්ට වැඩිය වෙනසක් අපි එතුමාගෙන් දැක්කා. වැඩි මිලට තෙල් ගෙනත් අඩු මිලට දුන්නු නායකයාට මිනිස්සු ගහලා එ‍ෙලව්වා. නමුත් මේ ජනාධිපතිතුමා තෙල් විදුලිය මිල වැඩි කළා. ඒත් ජනතාව එතුමාව අගය කරනවා. ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගැන හොඳ කියනවා. එතුමා එතුමාගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මේ අවස්ථාව් ජනාධිපතුමාගේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ ආර්ථිකය හැදීමටයි. එතුමා ඉන්නේ IMF දෙවැනි වාරිකය අරමුණු කරගෙනයි. දෙවැනි වාරිකයෙන් පසුව තමයි සාර්ථකත්වය අත් විඳින්නේ. සැප්තැම්බර්වලින් පස්සේ සමෘද්ධිමත් රටක් ඇතිකිරීම එතුමාගේ අරමුණයි. ඒ නිසා ඊට පෙර කැබිනට් මණ්ඩල වැඩි කිරීමට එතුමාගේ බලාපොරොත්තුවක් නැහැ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ගැන දැඩි චෝදනා තිබුණා නමුත් විපක්ෂය කියනවා, ජනතාව වෙනුවෙන් ඔහු වගකීමක් ඉටු කළ බව?

අද විධායකය, අධිකරණය, ව්‍යවස්ථාදායකය එකට යනවා. ස්වාධීන කොමිසම් සභාවක සභපතිවරයකුට මේ තුන අබිබවා යා හැකිද? ජනක රත්නායකගේ චිත්‍රපටියේ අවසානයේදී නළුවා කියනවා, තමන්ගේ ඉලක්කය කුමක්ද යන වග. ඔහු බැලුවේ චරිතයක් වෙලා දේශපාලනයට එන්න.

සජබයෙන් විශාල පිරිසක් කඩා ගෙන එන බවත්, ඔවුන් ඇමැතිකම් බලාපොරොත්තු වන බවත් පැවසෙනවා?

එම පක්ෂයේ නායකයා පිළිබඳ පක්ෂය තුළම විශාල චෝදනා මතු වෙනවා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විශාල කලකිරීමකින් ඉන්නේ. එදා රනිල් මහත්තයට විරුද්ධව සිටි අපිට අද එතුමාගේ වැඩපිළිවෙළ හොඳ බව තේරුම් ගිහින් තියෙනවා. රට ගොඩ ගන්න කෙනකුට උදවු කළ යුතුය යන මතයේ බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන් ඇමැතිකම් බලාපොරොත්තුවෙන්ම එන්නේ නැහැ. අද සුළු ජාතික පක්ෂ පවා ස.ජ.බයේ නැහැ. ළඟදීම ලොකු බෑයක් කඩා ගෙන එයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් ඉදිරිපත් කරන බවට මත පළ වෙනවා.

ඉදිරි මැතිවරණයේදී ගෙන ඒමට සිදු වන්නේ පොදු අපේක්ෂකයෙකුයි. නමුත් ඒ කවුරුන්ද යන්න පිළිබඳ දේශපාලන කතිකාවතක් නැහැ. වර්තමාන ජනාධිපතිවරයා ගෙනියන වැඩපිළිවෙළ ගැන විශාල ප්‍රසාදයක් රටේ තියෙනවා. මටත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ ගැන තියෙන්නේ විශාල පැහැදීමක්. ඉදිරියේදි පක්ෂයක් ලෙස මේ රට ගොඩගත හැකි සුදුසුම නායකයා කවුරුන්ද යන්න තීරණය කර ඔහු ජයග්‍රහණය කළ යුතුයි.

ඔබ පක්ෂයේ අදහසත් මෙයමද?

90% ක් ඉන්නේ මේ රට ගොඩ ගත් නායකයකුට උදවු කළ යුතුය යන මතයේ. විපක්ෂයේ බහුතරයකුගේ අදහසත් එයමයි. මා අදටත් ගරු කරන නායකයා මහින්ද රාජපක්ෂයන්. එතුමා තමයි යුද්ධය නිමා කරපු, රට හදපු, ජනතාව ආදරය කරන නායකයා. නමුත් මහින්ද මහතා ඉදිරියට දේශපාලනය කරයි කියලා අපිට දැනෙන්නේ නැහැ. මහින්ද මහතාගෙන් පස්සේ දැනට මේ අවස්ථාව් සිටින හොඳම නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.

Comments