සා පෙළ විභාගයට නිවසින් පිටත් වෙන්න ඉතාම සුබ නැකැත් | Page 2 | සිළුමිණ

සා පෙළ විභාගයට නිවසින් පිටත් වෙන්න ඉතාම සුබ නැකැත්

විභාග ජය ගෙනෙන මහා බලසම්පන්න සෙත් කවිය, ගණ දෙවි පූජාව සහ බෝධි පූජාව

 

මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි මස 29 වන සඳුදා දින ආරම්භ වී ජුනි මස 08 වන ගුරු දින අවසන් වේ. සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භක දිනය වන සඳුදා දිනය සුබ ග්‍රහ බලයක පවතී. දින 9කට ආසන්නව පවතින මෙම විභාගයේ ආරම්භය සුබදායී වෙයි. මෙවර අප ඔබට විභාගයට පිටත් වීමට සුබ වේලාවන්ට අමතරව ඉතා බලසම්පන්න සෙත් කවි රත්නයක්, ගණ දෙවි පූජාවක් හා අති විශේෂ බෝධි පූජාවක් ඉදිරිපත් කරන අතර එය නිවැරදිව භාවිතය තුළින් දැයේ දූ දරුවන්ට මහඟු ප්‍රතිඵල උදා කර ගත හැකිය.

මෙම විභාගයට පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරදිව ගණ පිහිටුවා බලසම්පන්නව හා සරලව ගණදෙවි, විෂ්ණු, කතරගම යන දෙවියන් වහන්සේ උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත් කවිය පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත් යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකිය.

විභාගයට පෙනී සිටින දුවා දරුවන් පළමුව පිරිසිදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද මල් අසුන පිරිසිදු කර ගන්න. සුදු, කහ, රතු හා නිල් මල් සහිතව ගිලන්පස, පැන්, දැහැත්, බෙහෙත් ඖෂධ ඇතුළු පූජා ද්‍රව්‍යවලින් යුතුව බුලත් කොළ මත සාදා ගත් මල් වටිටි 3ක් සමඟින් සුවඳින් රුවින් යුත් මල් පුදා සුවඳ කූරු දල්වා පහන් 07ක් දල්වා තෙරුවන් නැමද බෝධි පූජා තබන ගාථා කියා එම පූජාව තබන්න. පිරිසිදු පැන් කළ 3කින් බෝධිය නාවන්න. එම ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් හා සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න.

ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත් කවි රත්නය බෝධීන් වහන්සේ ඉදිරිපිට සවස 6.00 ත් 8.48 ත් කාලය තුළ 7 වරක් ගායනා කොට විභාග නිමා වන තුරු මතක ශක්තිය වර්ධනය, නිරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්‍ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත් කවිය ගායනා කිරීමට අදාළ දිනවල නිර්මාංශව දැහැමිව සිටිය යුතුය.

 

මහා බලසම්පන්න සෙත් කවි රත්නය ‐

ලැබුණ ඔදතෙද සුරකින සදහම සදන යහපත පතළ විකුමැති

පුදන බැතියෙන ගොවිඳු බරනෙත් ගණ දෙවි ද හැම දෙවිඳු බල ඇති

ලබන වෙසක් මසට මම අබියසට එන තරඟයට යහපති

සරණ නැණ බල දෙවනු මැන දිරි විභහාගයෙ ජය සතිර කරනිති.

 

අදාළ විභාග දිනයේ විභාගයට පිටත් වීමට පෙර සුදු මල් වට්ටියක් බුදු රජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමද, දෙමාපියන් නැමද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරත් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකත හා දිශාව අනුව පිටත්ව යන්න. (සුබ නැකැත් පහත පළවී ඇත.)

“ඡයෝ මුණින්දස්ස සුබෝධි මූලේ

අහෝසි මාරස්ස පරාඡයෝහි

උද්ඝෝසයුං දේවගනා පසන්නා

ඒතේන සච්චේන ඡයස්තු මය්හං”

සුදු මලක් දමන ලද පිරිසිදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරට හමුවන ලෙස පිටත්ව යන්න.

 

විභාග ජය ගෙනෙන

මහා බල සම්පන්න ගණ දෙවි පූජාව නිවැරදිව සිදුකරන ආකාරය

ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසිදු කර එහි කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.

පහත සඳහන් දෑ සකස් කරගන්න.

මල් වට්ටියක් නෙළුම් මල් සමඟ

පලතුරු වට්ටියක් (පලතුරු 5 පමණ)

කැවිලි වට්ටියක් (කැවිලි 5 පමණ)

හඳුන් කූරු

පහනක්

සම්බ්‍රානි හා සුවඳ දුම් සූදානම් කරගන්න

 

නෙළුම් මල් හා වෙනත් සුදු හා පාට මල්වලින් වට්ටියක් සාදා ගන්න. අඹ / කෙසෙල්/ කොමඩු / දෙළුම්/ පේර වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදා ගන්න.

පොල් තෙල් මිශ්‍ර ගිතෙල්/එලඟි තෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක් පැණි ර සකෑම වර්ග පහක් සහිත වට්ටියක් හබල පෙති / උක් හකුරු / මී පැණි / කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන් කූරු දල්වා කපුරු පෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්ත්‍රෝත්‍රය හා ගණ දෙවි පූජා ස්ත්‍රෝත්‍රය 7 වරක් ගායනා කරන්න.

බදාදා හා සෙනසුරාදා දිනයන්හි දින 03 ක් සවස 6ත් 8ත් අතර කාලය ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දූරු වී දරුවන්ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරු වී ධන වාසනාව කැන්දනු ඇත.

 

ගණ දෙවි ස්ත්‍රෝත්‍ර

ගණපතිපරිවාරං ‐ චාරුකේයුරභාරං

ගිරිධරවරසාරං ‐ යෝගිනිචක්‍ර වාරං

භවහයපරිහාරං ‐ දුකකදාරිදාදුරං

ගණපතිමහිවන්දෝ ‐ චක්‍ර තුණ්ඩවතාරම්.

සියලුම දූ පුතුන්ට උපරීම ජය සාමාර්ථය ලැබේවා.

 

ජ්‍යොතිර්වේදී බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ

Comments