මවුපියන්ගේ නම්වලින් දරුවාට නමක් | සිළුමිණ

මවුපියන්ගේ නම්වලින් දරුවාට නමක්

මවුපියන්ගේ නම්වලට ගැළපෙන නමක් දරුවාට තබන ක්‍රම දෙකක්

 

මවුපියන් සතු උතුම් ම සම්පත, වස්තුව නම් දරුවන් ලෙස සැලැකේ. “පුත්තා වත්ථු මනුස්සානං” යන බුදු වදනිනුදු එ් බව තහවුරු වේ. දරු-දෙමාපිය සබඳතාව ලොව පවත්නා අවියෝජනීය දෘඪතම සම්බන්ධතාවක් ද වෙයි. එ හෙයින් ඇතැම් දෙමවුපියෝ තම දරුවනට තමන් ගේ නමට ගැළපෙන නමක් තැබීමට උත්සුක වෙති.

දෙමාපිය නමට ගැළැපෙන නමක් දරුවාට තැබීම දෙ ආකාරයකින් විමසා බැලිය හැකි ය. එකක් නම් ශබ්ද ශාස්ත්‍රානුකූල ව දෙමාපිය නමට ගැළැපෙන නමක් දරුවාට තැබීම යි. අනෙක නම් දෙමාපිය නමෙහි බාහිර ස්වරූපයට ගැළැපෙන පරිදි, බොහෝ විට මා පිය දෙ දෙනා ගේ නම්වල කොටස් එක් කිරීමෙන් දරුවාට නමක් නිර්මාණය කොට තැබීම යි.

මෙ දෙකින් පළමු වැන්න පළමු ව විමසා බලමු. ශබ්ද ශාස්ත්‍රානුකූල ව නමක යෝනිය සොයා ගන්නා සැටි ද එ සේ සොයා ගන්නා යෝනි අටෙහි නම් ද කලින් ලිපියකින් දක්වන ලදි. යළි දු ඒ සිහිපත් කළ හොත්, නාම යෝනි අට නම් ගුරුළු-සප්(සර්ප), බළල්-මී, සිහ(සිංහ)-ඇත්, වග(ව්‍යාඝ්‍ර)-මුව යනු වෙයි. මේ යෝනි යුගල එකක් අනෙකට විරුද්ධ ය. එ නම් ගුරුළාට සර්පයා විරුද්ධ වන පරිදි ය. (මෙහි සර්ප නමින් ගැනෙන්නේ නාගයා ම ය).

මේ අනුව නාමකරණයේ දී පළමු ව මව ගේත් පියා ගේත් නම්වල නාම යෝනිය සොයාගෙන එයට විරුද්ධ නොවන යෝනියකට අයත් නාමයක් දරුවාට තැබිය යුතු ය. උදාහරණයක් ලෙස මව ගේ නම ගුරුළු යෝනියට අයත් එකක් ද පියා ගේ නම මුව යෝනියට අයත් එකක් ද වෙති යි සිතමු. එ විට දරුවාට තැබිය යුත්තේ සප්(සර්ප) හෝ වග(ව්‍යාඝ්‍ර) හෝ යෝනියකට අයත් නොවන නාමයකි. නාම යෝනිය සොයා ගන්නා සැටි කලින් සවිස්තර ව දක්වන ලද බැවින් යළිත් මෙහි ලා නොදක්වන බව සැලැකිය යුතු ය. ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ සුළු දැනුමක් ඇති අයකුට වුව ද එය පහසුවෙන් සොයාගත හැකි ය.

දැන් දෙ වැන්න සලකා බලමු. එ නම් දෙමාපියන් ගේ නම්වල බාහිර ස්වරූපයට අනුව දරුවා ගේ නම නිර්මාණය කිරීම යි. ඇතැම් විට පියා ගේ නම අනුව පුතාට නම තබන්නට අවශ්‍ය වේ. උදාහරණ ලෙස පියා ජයසිරි වුව හොත් පුතාට ජයරු වැනි නමක් තැබිය හැකි ය. අනෙක් අතට මව ගේ නමට අනුව දුවට නම තබන්නට ඇතැම් අයට අවශ්‍ය වේ. මව සඳලතා නම් දුවට සඳලි වැනි නමක් තැබිය හැකි ය.

ඇතැම් විටෙක මව ගේත් පියා ගේත් නම්වල කොටස් එකතු කොට දුවට හෝ පුතාට හෝ නමක් නිර්මාණය කරන්නට අවශ්‍ය වේ. උදාහරණ ලෙස පියා සවිත් ද මව සරසි ද යැ යි සිතමු. එ විට මේ දෙ දෙනාගේ නම්වල මුල් කොටස් එකතු කොට ඒ දෙ දෙනා ගේ පුතුට සවිසර යැ යි නමක් තැබිය හැකි ය.

තවත් උදාහරණයන් ගෙන බලමු. මව ගේ නම නිල්මිණි ද පියා ගේ නම නෙතුසර ද යැ යි සිතමු. ඔවුන් දෙ දෙනා ගේ පුතුට නිල්නෙතු යනුවෙන් නමක් තැබිය හැකි ය. තවද, මවගේ නම මෙත්මිණි ද පියා ගේ නම සඳුන් ද යැ යි වේ නම් ඔවුන් දෙ දෙනා ගේ පුතුට මෙත්සඳු යැ යි තැබිය හැකි ය.

මේ කවර ආකාරයේ නමක් තැබුව ද නැකැතට ගැළැපෙන පරිදි සුබ ගණයකින් අර්ථාන්විත නමක් තැබීම අත්‍යවශ්‍ය සේ සැලැකිය යුතු ය.

 

සමන්ති අහුබුදු

Comments