ග්‍රහ ලොව සුරතලිය 30 වැනිදා සඳුගේ රාශියට | Page 2 | සිළුමිණ

ග්‍රහ ලොව සුරතලිය 30 වැනිදා සඳුගේ රාශියට

ලග්න නවයකට යහපත් ප්‍රතිඵල | රාශි තුනකට මිශ්‍ර පල

 

ග්‍රහ වළල්ලේ සුරතලිය හෙවත් සැපයට අධිපති සිකුරු 2023 මැයි 30 වැනි දින රාත්‍රී 7.40ට සඳුගේ රාශියට පිවිසීමෙන් මේෂ, වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, මකර හා මීන ලග්නවලට සුබ පල උදා කරයි. මෙහිදී සිංහ, ධනු සහ කුම්භ ලග්න හිමියන්ගේ 6, 8, 12 යන රාශිවලට සිකුරුගේ පැමිණීම සිදු වන බැවින් ඒ අයට මධ්‍යම ප්‍රතිඵල හිමි වේ.

මේෂ ලග්නයේ සිවුවැන්නට ද වෘෂභ ලග්නයේ තුන්වැන්නට ද මිථුන ලග්නයේ දෙවැන්නටද කටක ලග්නයේ ලග්න භාවයට ද සිංහ ලග්නයේ දොළොස් වැන්නට ද කන්‍යාවේදී එකොළොස් වැන්නට ද තුලාවේදී දහවැන්නට ද වෘශ්චිකයේදී නවවැන්නට ද ධනුවේදී අටවැන්නට ද මකරයේදී හත්වැන්නට ද කුම්භයේදී හයවැන්නට ද මීන ලග්නයේදී පස්වැන්නට ද සිකුරුගේ පැමිණීම සිදු වෙයි.

සිකුරු සඳු රාශියට සම්ප්‍රාප්ත වන විට එහි කුජ ද නීචව සිටීම අනුව කුජ - සිකුරු - සඳු සංයෝගයක් දක්නට ලැබෙයි. ඒ නිසා සුබ පල මෙන්ම අසුබ පල ද ගෙන දිය හැකි කාල වකවානුවක් බැවින් ජනතාව බුද්ධියෙන් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු අතර කායික මානසික සංවර බවද ඇතිකර ගත යුතුය. සිකුරුගේ කටක රාශියේ ගෝචර වීම ජුලි මස 6 දින තෙක්ම බල පවත්වයි. මේ කාලය සැපය සතුට ජීවිතයට ළං කර ගැනීමට උත්සාහ කරන බැවින් වියදම් වැඩි වන කාලයක්ද වෙයි. නිවාස ඉඩකඩම් දේපළ යාන වාහනවලට ලැබීම් පවතින මේ කාලය සතුටින් ගත කරන්නට ඔබට හැකි වනු ඇත.

පොදුවේ බලන කල සිකුරුගේ කටක රාශිගත වීම කිසිවෙකුටත් තදබල අපලයක් ඇති නොකරයි. ඒ සිකුරු සුබ ග්‍රහයෙක් බැවිනි. සුබ පල වර්ධනය කරගැනීම උදෙසා සඳුදා සිකුරාදා දිනවල විසිතුරු වර්ණවලින් සහ සුවඳින් යුතු මල් පූජා කර කරඳ කොළ මත පහන් දල්වා බෝධි පූජා තබන්න. සඳුගේ සංයෝගයක්ද තිබෙන බැවින් දියේ පිපෙන මල් ද එයට එකතු කරගන්න. උදේ හෝ සවස මෙලෙස බෝධි පූජා පවත්වන්න. එනසාල්, බුලත් කොළ මත තබා බෝධි පූජාවේ ආනිශංස වැඩි කරගන්න. සුවඳ වර්ගවලට වැඩියෙන්ම කැමති සිකුරු ග්‍රහයා බැවින් බෝධිය අවට සුවඳවත් කරන්නට සුවඳ කුඩු වර්ග හඳුන්කූරු යොදාගන්න.

අනතුරුව රාත්‍රියේ නම් චන්ද පිරිත, දසදිසා පිරිත, ජය පිරිත කියමින් දෙවියන්ට පින් දී බෝධි පූජාව නිමා කරන්න. සිකුරු ග්‍රහයාගේ අපල දුරු කර ගැනීමට පිහිටාධාරය බෝධීන් වහන්සේගෙනුත් බෝධියට අධිගෘහිත දෙවිදේවතාවුන් වහන්සේලාගෙනුත් අයැද සිටින්න. මහා බ්‍රහ්ම සහ විෂ්ණු දෙවියන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් දෙන්න. මෙසේ කරන විට සියලු ලග්න හිමියනට සුබ පල වර්ධනය වනු නොඅනුමානය.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ

 

Comments