ඔබ ධනවතෙක් කරන අන්සතු ධන රේඛාව | Page 2 | සිළුමිණ

ඔබ ධනවතෙක් කරන අන්සතු ධන රේඛාව

ලොතරැයි දිනුම්වලින් කෝටි ගණන් ලැබුණු අය සහ අන්සතු ධනයක් හිමි වූ අයගේ අල්ලේ මේ රේඛාව ඇත

චරිත රේඛාව පිහිටන්නේ දුසිරිත් ඇත්තන්ගේ අල්ලේ

 

ප්‍ර‍ධාන රේඛාවන්ට අමතරව අල්ලේ සටහන් වන විවිධ රේඛා සහ සලකුණු අතර තවත් රේඛා සලකුණු කිහිපයක් පිළිබඳව අද විස්තර කෙරේ. ඒ තමයි චරිත රේඛාව. අන්සතු ධන රේඛාව, සොලමන්ගේ මුදුව, ශනිගේ මුදුව, මත්ස්‍ය සලකුණ, ත්‍රිශූලය. දැන් අපි බලමු එම රේඛා ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද කියා.

චරිත රේඛාව

සිකුරු මණ්ඩලය ආශ්‍රයෙන් ආරම්භ වී අර්ධ කවාකාර හැඩයෙන් යුතුව චන්ද්‍ර මණ්ඩලය ආශ්‍රයෙන් අවසන් වන්නේ එම චරිත රේඛාවයි. මැණික්කටු රේඛාවලට තරමක් ඉහළින් පිහිටීම චරිත රේඛාවේ ලක්ෂණයයි. කාම රේඛා නමිනුත් මෙය හඳුන්වනු ලබයි. සිකුරු ග්‍රහයාගේ අති ධාවන බල ශක්තිය ශරීරගත වූ අත්වල බොහෝ විට චරිත රේඛාව දැකිය හැකිය. තමන් සුදනන් බව සමාජයට පෙන්වමින් රහසිගතව විවිධ ආකාරයේ දුසිරිත්වල යෙදෙන අයගේ අත්වලත් එවැනි රේඛා පිහිටිය හැක. සුරා පානය ඇතුළුව නොයෙකුත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් මෙම රේඛාව ඇති අයගේ කැපී පෙනෙන ලක්ෂණයකි. නොයෙකුත් සමාජ රෝග ඇතිකර ගෙන ජීවිත අඳුරු කර ගැනීමටත් එවැනි පිහිටීම් අනුබල දෙයි. මේ හැම ව්‍යසනයකටම හේතු වන්නේ ඔවුන් තුළ පිහිටන අසීමිත කාම රාගයයි. චරිත රේඛාව දඟර ගැසී විහිද යෑම වඩා අසුබය. එමඟින් ඉතාමත් දූෂිත චරිතයක් ඇති අයෙක් මූර්තිමත් වෙයි. සමහර අයගේ අත්වල චරිත රේඛාව බොහෝ ගැඹුරට පිහිටයි. එය බේබදුකමේ විශේෂ ලක්ෂණයක් ලෙස සැලකේ.

අන්සතු ධන රේඛාව

දෙවැනි කුජ මණ්ඩලයත්, චන්ද්‍ර මණ්ඩලයත් අතර ඇති ප්‍රදේශයෙන් ආරම්භ වී රවි මණ්ඩලයට විහිද යන අන්සතු ධන රේඛාවේ පිහිටීම රූප සටහනින් බලන්න. අන්සතු ධන රේඛාවේ පිහිටීම කීර්ති රේඛාවේ පිහිටීමට තරමක් සමාන වූවත් එහි කැපී පෙනෙන වෙනස්කමක් ඇති බව ඔබට වැටහෙනවා ඇති. අන්සතු ධන රේඛාව කලාතුරකින් අතක තමයි දැකිය හැක්කේ. ලොතරැයි දිනුමක් හිමිව කෝටිපතියකු වන අයගේ මෙන්ම අන්සතු ධනයකට හිමිකම් ලබන අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැක. මෙම රේඛාව මත තාරකා ලකුණක් හෝ කතිර ලකුණක් දිස්වීම ද ඉතා සුබ පල ගෙන දේ. එවැනි අයට රේස් ඔට්ටු ඇල්ලීමෙන් ඉක්මනින් ධනවතෙකු විය හැකිය.

සොලමන්ගේ මුදුව

ඈත අතීතයේ පලස්තීනයේ ජීවත් වූ ඉතා ධනවත්, බලවත් රජ කෙනෙක් වූයේ සුලේමාන්. ඔහු සොලමන් නමින් ව්‍යවහාර වූයේ පසුවටයි. එම බලවත් රජතුමාගේ අතේ දඹරැඟිල්ලේ මුල මෙම මුදු සලකුණ තිබූ නිසා සොලමන්ගේ මුදුව යනුවෙන් නම් කළ බව සාමුද්‍රික විද්‍යාවේ සඳහන් වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් මුදුව හඳුන්වන්නේ ද රිං ඔෆ් සොලමන් නමිනි. ගුප්ත මුදුව කියාද මෙය හඳුන්වයි. සොලමන්ගේ මුදුව මහා බලවත් පිහිටීමකි. එය රාජ යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය. මෙම මුදු සලකුණ කෙනෙකුගේ අතක පිහිටා තිබේනම් මේ කාලයේ හැටියට රජ වෙන්න බැරි වුවත් අවම වශයෙන් රජයේ උසස්ම රැකියාවක් හෝ ලැබිය හැක. ඒ වගේම මහ බලවතෙක් මෙන්ම ධනවතෙක් වෙන්නත් හේතු වන බැව් කියැවේ. සොලමන්ගේ මුදුව පිහිටන්නේ බොහෝ විට රේඛා බහුල අත්වලය. ජ්‍යොතිෂය, මන්ත්‍ර, ශාස්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් පහසුවෙන් හැදෑරීමත් ඒ මඟින් රටේ ප්‍රසිද්ධ වීමටත් එවැනි පිහිටීම හේතු වෙයි.

ශනිගේ මුදුව

මැදඟිල්ල හෙවත් ශනිගේ ඇඟිල්ල මුල අර්ධ කවාකාර හැඩයෙන් පිහිටා ඇති මෙම රේඛා සලකුණ දැන් පරීක්ෂා කරන්න. එය තමයි ශනිගේ මුදුව නමින් හඳුන්වන්නේ. අඩ සඳ ලකුණ හෙවත් චන්ද්‍රවංකය යනුවෙන් මෙම රේඛාව හඳුන්වයි. චපලත්වයේ ප්‍රතිමූර්තියක් වශයෙන් සලකනු ලබන ශනිගේ මුදුව සුබ පිහිටීමක් නොවේ. ශනිගේ මුදුව පිහිටා ඇති අයගේ ක්‍රියාකාරකම් ඉතා දුර්වලය. කොයිම දෙයක්වත් හරිහැටි නිවැරදිව කළ නොහැකි වීම ඔවුන් තුළින් කැපී පෙනෙන ලකුණකි. අවංක හදවතක් නැති ඔවුන් තුළ ඍජු ප්‍රතිපත්තියක් ද නැත. ඒ නිසාම ඔවුන්ගේ ජීවිත බොහෝ විට අසාර්ථක වේ. ශනිගේ මුදුව ඇති අය රහස් වැඩවලට දක්ෂය. හුදෙකලා ජීවිතය ප්‍රිය කිරීම ද ඔවුන්ගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් වේ.

මත්ස්‍ය සලකුණ

මත්ස්‍ය සලකුණ කියන්නේ අල්ලේ සටහන් වන මාළුවෙකුගේ සලකුණයි. මෙම සලකුණ අල්ලේ ගුරු, ශනි, රවි, බුධ, සිකුරු ආදී මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටීමට ඉඩ ඇත. රේඛා බණ්ඩි ගැසීමෙන් ද බොහෝ විට එම ලකුණ පිහිටන බව කිව යුතුයි. මත්ස්‍ය සලකුණ ඉතාමත් සුබ පල දෙන පිහිටීමකි. අනේකවිද භව භෝග සම්පත් ලැබීමට ද මෙය හේතුවකි. කාන්තාවකගේ අල්ලේ මාළුවෙකුගේ සලකුණක් දර්ශනය වේනම් ඇයට ලක්ෂ්මී යෝගය උදාවන බව ශාස්ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිය වන ඇය සුපුන්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය. එම සලකුණ පිහිටියේ ගුරු මණ්ඩලයේ නම් වඩාත්ම සුබ පල ගෙන දේ.

ත්‍රිශූලය

ත්‍රිශූලය කියන්නේ උල් තුනකින් සෑදුන ලකුණකට බව රූප සටහනින් ඔබට පැහැදිලි වනු ඇත. කිසියම් රේඛාවක මුල හෝ අග ත්‍රිශූලයක ලකුණක් වැටී තිබේනම් එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවන බව හස්ත රේඛා විද්‍යාවේ නිගමනයයි. මණ්ඩල මත ස්වාධීනව දිස්වන ත්‍රිශූල ලකුණ ගුරු මණ්ඩලය මත වැටී ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් මෙන්ම බලවත් වන බවට සලකුණකි.

දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ශනි මණ්ඩලය මත ත්‍රිශූල විද්‍යමාන වන අතර ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රවි මණ්ඩලයෙහි බොහෝ විට එවැනි ලකුණු දිස්වෙයි. බුධ මණ්ඩලයටත් ත්‍රිශූල ලකුණක් තිබීම ව්‍යාපාර කටයුතුවලින් වඩා දියුණු විය හැකි අතර චන්ද්‍ර මණ්ඩලයේ පිහිටන ත්‍රිශූල ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ගුප්ත විද්‍යාවන් කෙරෙහි සහජ දක්ෂතා ඇති අයෙකු බවයි. කුජ මණ්ඩලය මත පිහිටන එම ලකුණින් අභීත පුද්ගලයෙකු මූර්තිමත් වෙයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

හිඹුටානේ

පියතිලක ද අල්විස්

Comments