වසර 34කට පෙර ඌරුබොක්කේ කළ ඝාතනයේ ඇඳ ඇතිරිල්ල දැන් දෙන සාක්කිය | සිළුමිණ

වසර 34කට පෙර ඌරුබොක්කේ කළ ඝාතනයේ ඇඳ ඇතිරිල්ල දැන් දෙන සාක්කිය

88 89 භීෂණයේ සෙවණැලිවලට වහන් වී මෙරට සිදුවූ අපරාධ බොහෝය. ඇතැම් අපරාධ අදටත් ඇත්තේ අබිරහස් ලෙසිනි. එසේ භීෂණයට මුවාවී 89 වසරේදී සිදුවූ මිනිස් ඝාතනයක් වසර 34කට පසු හෙළි කර ගනිමින් මළ සිරුරේ කොටස් පවා ගොඩගන්නට ඌරුබොක්ක පොලිසියේ නිලධාරීන් සමත් වෙන්නේ පසුගිය සතියේදීය. ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන ඇමතුමක් ඔස්සේ කළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ කියන ඇමතුම 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබෙන්නේ 2022 වසරේ දෙසැම්බර් 10 වෙනිදාය. සිය අනන්‍යතාව සඟවමින් පොලිසියට මෙම ඇමතුම දුන් පුද්ගලයා පවසන්නේ ඌරුබොක්ක අන්නාසිවත්ත ප්‍රදේශයේ ජීවත්වූ කපුගේ ජිනදාස නැමැති පුද්ගලයාව ඔහුගේ බිරිය සහ අනියම් සැමියා එක්ව මරා ඔවුන් පදිංචිව සිටි වත්තේම වළ දමා ඇති බවය.

මෙම ඇමතුමෙන් කියැවෙන්නේ වසර 34කට පෙර සිදුවූ මිනිස් ඝාතනයක් ගැනය. මෙහි ඇත්ත නැත්ත ගැන සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ ඌරුබොක්ක පොලිස් ස්ථානයටය. ඒ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද එම දුරකතන ඇමතුම රේඩියෝ පණිවුඩයක් ලෙස ඌරුබොක්ක පොලිස් ස්ථානයට දැනුම් දෙමිනි.

එකල ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රමය. වසර 34කට පෙර සිදු වූ මිනිස් ඝාතනයක් ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුර ගැන විමර්ශනයක් පැවැත්වීමේ වගකීම සමරවික්‍රම විසින් පවරනු ලබන්නේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. පතිරත්නටය. අපරාධ අංශයේ නිලධාරීන්ද සමඟ පතිරත්න මුලින්ම යන්නේ දොළමුල්ලේ පිහිටි අන්නාසි වත්තටය. ඒ කපුගේ ජිනදාස ජීවත් වූ නිවෙස සොයාගෙනය.

ඒ වන විට එම නිවස තිබෙන්නේ ගරා වැටෙමිනි. ජිනදාසයේ වැඩිමහල් දරුවා වූ සුනිල් ජීවත්වූයේ මහ ගෙදරට යාබදව ඉදිකරනු ලැබූ නිවසකය. ඒ සිය බිරිය හා දරුවන් සමඟිනි. ජිනදාසගේ බිරිය රොසලින් සිටියේ සිය බාල පුතු ළඟය. ඔහු පදිංචිව සිටියේ කටුවන පැත්තේය. 83 හැවිරිදි වියේ පසුවූ රොසලින් ඒ වන විටත් සිටියේ ඔත්පල වී එකතැන් වෙමිනි. ඒ නිසාම පතිරත්න ඇතුළු නිලධාරීන්ට එදා රොසලින්ව මුණගැසී සිය සැමියා ගැන විමසන්නට හැකියාවක් නොවීය. සිය පියාට සිදුවූ දෙයක් සුනිල්ට ද කියන්නට ඒ වන විට හැකියාවක් නොවීය. සිය පියා වසර තිස් හතරක් තිස්සේ සිටින්නේ අතුරුදන්ව බව පමණක් තමා දන්නා බව සුනිල් පොලිස් නිලධාරීන් හමුවේ කීවේය. ඒ 89 අවුරුද්දේ පියා අතුරුදන් වන විට ඔහු සිටියේ දෙනිපිටිය පැත්තේ පිහිටි පිරිවෙනක අධ්‍යාපනය ලබමින් වූ බැවිනි.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන ඇමතුමෙන් කියැවුණු තොරතුරට අනුව ජිනදාසව ඔහුගේ බිරිය සහ අනියම් සැමියා එක්ව මරා දමා ඇත්තේ 34 වසරකට පෙරය. සුනිල් ද කියන්නට වූයේ වසර 34ක් තිස්සේ සිය පියාට වූ දෙයක් තමා නොදන්නා බවය. අඩුම තරමින් ඒ ගැන පොලිසියටවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබී නැත. ඒ මවට එතරම් උනන්දුවක් නොවූ නිසා බව ද සුනිල්ගේ කටින්ම පතිරත්න ඇතුළු නිලධාරීන් එහිදී දැන ගත්තේය.

මෙහිදී පතිරත්න ඇතුළු නිලධාරීන්ට පෙනී ගියේ ජිනදාසගේ අතුරුදන්වීම ගැන ප්‍රශ්න කළ යුතු වන්නේ ඔහුගේ බිරියගෙන් බවය. ඇය ඒ වන විට සිටි රෝගී තත්ත්වය හමුවේ පතිරත්න ඇතුළු නිලධාරීන්ට ඇගෙන් ඒ ගැන හාරා අවුස්සමින් ප්‍රශ්න කරන්නට හැකියාවක් නොවීය. ඒ ඇය එවැනි ප්‍රශ්න කිරීමට ලක් කළ හැකි තත්ත්වයක නොවූ බැවිනි.

එබැවින් පතිරත්න කල්පනා කරනුයේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ ගැන කී තොරතුරුකරුගෙන් වැඩියමක් දැන ගැනීම සුදුසු බවය. ජිනදාස මරා දැමුවේ යැයි කියන්නට තරම් වැදගත් කිසිදු සාක්ෂියක් එතෙක් නොලැබුණත් වසර 34ක් තිස්සේ ජිනදාස ආගිය අතක් සොයා ගැනීමට නොමැති අයෙක් වූ බැවින් ඒ ගැන සොයා බැලීමට උනන්දුවක් පතිරත්න ඇතුළු නිලධාරීන්ට ගෙන දුන්නේය. ඒ ඔහුගේ අතුරුදන්වීමත් 119 හදිසි ඇමතුම් අංශයට ලද දුරකතන ඇමතුමෙන් කියැවුණු ඝාතනයක තොරතුරත් කුතුහලය දනවන්නක් වූ නිසාය. පොලිස් හදිසි ඇමතුම් අංශය ඔස්සේ තොරතුරුකරු සම්බන්ධ කර ගන්නට පතිරත්න පියවර ගන්නේ එබැවිනි. එම අංකයට ඇමතුමක් ගත් පතිරත්න පුදුමයට පත්වන්නේ ඒ පුද්ගලයා කවුරුන් දැයි හඳුනා ගැනීමත් සමඟිනි. ඒ වෙන කිසිවෙක් නොව, ජිනදාසගේ වැඩිමහල් දරුවා වූ සුනිල්ය.

සිය පියා අතුරුදන් වන විට සුනිල් අවුරුදු 16 ගැටවරයෙකි. දැන් ඔහුගේ වයස අවුරුදු 50කි. පතිරත්න ඇතුළු නිලධාරීන් මෙහිදී සුනිල්ගෙන් විමසන්නට වූයේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් දුරකතන ඇමතුම ගැනය.

“මම දන්නේ නැහැ, තාත්තව මැරුව ද කියල හරියටම. හැබැයි අම්මා එයාගේ නංගිට කියල තියෙනවා ඒවගේ කතාවක්.“ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් ලබාදීමට මුල්වූ වස්තු බීජය ඔහු දිගහරින්නට ගත්තේ එසේය.

සුනිල්ගේ මව ලෙඩ ඇඳට වැටී ඒ වන විට බොහෝ කල්ය. සුනිල් ඇය සමඟ එතරම් ඇයි හොඳයියක් නොවූ බැවින් ඇය ඔත්පල වෙන්නත් පෙර සිටම රැඳී සිට ඇත්තේ බාල පුතාගේ රැකවරණය ලබමිනි. සුනිල්ට සිය මව රිස්සුවේ නැත්තේ සිය පියාගේ අතුරුදන්වීමට සිය මව වගකිව යුතු යැයි ඔහු තදින්ම විශ්වාස කරන්නට වූ බැවිනි. ඒ යැයි කියා සිය මව අනියම් සැමියා සමඟ එක්ව පියාව මරා දමා ඇති බවට වූ කිසිඳු තොරතුරක් සුනිල් ඒ වන විටත් දැන සිටියේ නැත. ඒ ගැන කියන්නේ සුනිල්ගේ පුංචි අම්මාය. ඇය මවගේ නැඟණියයි.

ඇයට මේ කතාව කියන්නේ වෙන කිසිවෙක් නොව, සුනිල්ගේ අම්මා වූ රොසලින්මය. ඒ දිනක් ඇගේ දුක සැප බලන්නට නැඟණිය කටුවන නිවෙසට ගිය විටදීය.

“ජිනදාසව මරල වළ දැම්මා. අද මට මේ දේ වෙලා තියෙන්නේ ඒ නිසයි.“ හිත සැහැල්ලු වන්නට හිතාගෙන ඇය හැමදෙයක්ම නැඟණිය හා පැවසුවාය. ඒ සිය සැමියාගේ මරණය ඇගේ හිතට වද දෙන්නට වූ බැවිනි.

ජිනදාසව මරා වළ දැමූ හැටි රොසලින් කී දේවල් ඇගේ නැඟණියගේ හිතේ දෝංකාර දෙන්නට ගත්තාය. එය රහසක් ලෙස හිතේ හිර කරගෙන තබා ගෙන සිටීමට ඇයට කිසිසේත්ම හිත දුන්නේ නැත. ඇගේ හිතට වද දෙන්නට වූයේ මේ ගැන කාට හෝ කියන ලෙසය. ඒ නිසාම ඇය මේ ගැන කන තියන්නේ සුනිල්ගේ බිරිය තිලකාගේය.

“අක්කා මැරෙන්නේ ඔහොම නෙමෙයි. පණුවෝ ගහලයි. අර මිනිහත් එක්ක ජිනදාස අයියට කළ අපරාධෙට“ යැයි කියාය.

නැන්දණිය විසින් එසේ කී සිය මවගේ හපන්කම් ගැන සුනිල්ට පවසන්නේ තිලකාය. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් දෙමින් සිය මව අනියම් සැමියා සමඟ එක්ව පියාව මරා වළ දමා ඇතැයි කියන්නේ ඒත් එක්කමය. පියාගේ මරණයට වගකිව යුත්තන් නීතියේ හමුවට ගෙන ඒමේ ඒකායන අපේක්ෂාව ඇතිවය. ඒ මුල සිටම ඔහුට සිය පියාගේ අතුරුදන්වීම ගැන සැකයක් මතුවී තිබුණු බැවිනි.

එකල සුනිල් අධ්‍යාපනය ලබමින් සිටියේ දෙනිපිටිය පැත්තේ පිහිටි පිරිවෙනකය. ඒ විහාරස්ථානයේ රැඳී සිටිමිනි. සුනිල්ව පන්සලේ නතර කරමින් පිරිවෙන් අධ්‍යාපනයක් ලබාදෙන්නට වෙහෙස මහන්සියක් ගත්තේ ඔහුගේ පියාය. දෙනිපිටිය පන්සලේ ඇති පිරිවෙනට සුනිල්ව ඇතුළත් කරනු ලබන්නේ වයස අවුරුදු 12දීය. ඒ 1985 වසරේදීය.

සුනිල් පවුලේ වැඩිමලාය. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙකි. එක් සහෝදරයෙක් මිය යන්නේ වයස අවුරුදු 19 දීය. ඔහු මියගොස් ඇත්තේ වස පානය කරමිනි. කටුවන සිටින්නේ බාල සහෝදරයාය.

සුනිල්ගේ පියා ජිනදාස එකල සේවයේ නිරතව සිටියේ මාතර කඹුරුපිටියේ ගල් වැඩපොළකය. ඒ අතර ඔහු සිය ගෙවත්තට උඩහා ඇති තිරිවාන වත්ත ලෙස ප්‍රචලිත තේ වත්තේ ද වැඩ කළේය.

ජිනදාස ඒ පවුලේ සෙසු දරුවන් දෙදෙනාට වඩා සෙනෙහස දක්වා ඇත්තේ සුනිල්ටය. ඒ නිසාම සුනිල් සිය මවට වඩා ඇලුම් කළේ පියාටය.

කුමන වැඩ රාජකාරියක් තිබුණත් ජිනදාස මසකට වරක් දෙවරක් සුනිල්ගේ දුක සැප සොයා බලන්නට දෙනිපිටියේ විහාරස්ථානයට එන්නට අමතක නොකළේය. සිය පියාව සුනිල් අන්තිමට දකින්නේ ද ඔහුගේ දුක සැප බලන්නට විහාරස්ථානයට ආ දිනකදීය. හරිහැටි ඒ දවස සුනිල්ගේ මතකයේ නොවූවත් ඒ 89 වසර බව සුනිල්ට හොඳටෝම මතකය. ඒ භීෂණය රජ කළ වකවානුවක් වූ බැවිනි. භීෂණයේ අඳුරු සෙවණැලි අතර ජිනදාස අතුරුදන්වීමත් සමඟ සුනිල්ගේ දුක සැප බලන්නට විහාරස්ථානයට එන්නේ මවය. පියා ගැන සුනිල් මවගෙන් විමසන විට ඇය ඔහුට නිසි පිළිතුරක් නොදුන්නාය. “ඒ මිනිහට කොහේද දරුවෙක් බලන්න එන්න වෙලාවක්.“ වැනි පිළිතුරු ද ඇගේ මුවින් එහිදී පිටවී තිබුණාය.

කුමන වැඩ කටයුත්තක් තිබුණත් සිය පියා තමාව බලන්නට එන බව දැන සිටි බැවින් ඒ ගැන සුනිල්ට ගෙන දුන්නේ දැඩි පීඩනයකි. ඒ ඔහු මවට වඩා සෙනෙහස දැක්වූයේ පියාට වූ බැවිනි. ජිනදාසට ද සුනිල් හැර වෙන ලෝකයක් නොවීය. ලොකු හාමුදුරුවන්ට කියා සුනිල් දෙනිපිටියේ සිට ඌරුබොක්කේ නිවසට යන්නේ ද ඒ නිසාමය. ඒ මවගේ පැමිණීමෙන් මාස හතර පහකට පසුවය.

සුනිල් නිවසට එන්නේ අනපේක්ෂිත ලෙසිනි. ඊට ඇගේ මවගේ එතරම් කැමැත්තක් නොවූවාය. ඒ බව සුනිල්ට දැනුණේ ඇගේ කියුම් කෙරුම් වලිනි. ඒ වන විට සිය පියාගේ උණුමක්වත් නිවස තුළ නොවීය. පියාගේ අඩුව මව පුරවාගනිමින් සිටියේ සෝමදාස නැමැති තරුණයෙක් මඟින් බව සුනිල්ට දැනුණේය. සුනිල්ගේ මව එකල 49 හැවිරිදි වියේ පසුවූවාය. සෝමදාස ඇයට වඩා වසර 14ක් බාලය. සිය පියා නොමැති නිවෙසේ ඒ වන විට රජ කරමින් සිටියේ සෝමදාසය. පියාගේ අඩුව පුරවමින් සිය මව විසින් නිවෙසට ගෙන්වාගෙන සිටි අනියම් පුරුෂයාව සුනිල්ට එතරම් රිස්සුවේ නැත. සුනිල් බලා සිටියේ තමාට අවස්ථාවක් ලැබෙන තුරුය. දිනක් කටගොන්නක් බීගෙන ආ සෝමදාස සිය මවට පහර දෙන හැටි සුනිල් දුටුවේය. සෝමදාසගේ ග්‍රහණයෙන් එදා සිය මව බේරාගත් සුනිල් ඔහුට පහරවල් කිහිපයක් එල්ල කර නිවෙසින්ද එළවා දැම්මේය. ඒ නැවත නිවෙසට ආවොත් මරා දමන බවට තර්ජනයක් ද කරමිනි. එදායින් පසු සෝමදාස ඒ පැත්ත පළාතේ අවේ නැත.ඒ විවාහයක්ද කරගෙන යහපත් පවුල් ජීවිතයක් ගතකරන්නට දරුවන් දෙදෙනකුගේ පියෙක්ද වෙමිනි.

“මම අම්මගෙන් හැම තිස්සෙම අහපු දෙයක් තමයි තාත්තට මොකද වුණේ කියල, අම්මා හරි උත්තරයක් දුන්නේ නැහැ. බැරිම තැන මම අම්මට කිව්වා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාමු කියල. අම්මා මගේ ඇඟට ගොඩවුණා. තරහෙන් පුපුරමින් අම්මා කිව්වා උඹලට ඕනේ ඒ මිනිහව මරා ගන්නද කියල. තාත්තා වැඩ කරපු ගල්වැඩපොළින් වෙඩි බෙහෙත් හොරකම් කරල පොලිසියට අහුවෙලා තියෙනවා කියලත් අම්මා කිව්වා. පොලිසියේ මහත්තුරු තාත්තාව අල්ලගෙන පොලිසියට අරගෙන යනකොට තාත්තා පැනල ගියා කියලත් අම්මා කිව්වා. ඒ කාලේ රටේම කලබල. අම්මා කිව්වා උඹට ඕනෙ නම් පොලිසියට තාත්තා ගැන කියපන්. එතකොට තාත්තවත් අල්ලා මරල පුච්චල මහ පාරේ දාල තියේවි කිව්වා.“ සිය පියා ගැන විමසා දැනගන්නට ගිය හැම විටකදීම සුනිල්ට සිය මවගෙන් ලැබී ඇත්තේ එවන් පිළිතුරක් පමණි. සිය පියා ගැන තොරතුරු අසනවාටත් මව එකල එතරම් කැමැත්තක් නොදැක්වූවාය. ජිනදාස ගැන විමසන හැම විටම ඇය පවුලේ ඥාතීන්ගේ ඇඟට ගොඩවී ඇත්තේ “මගේ මිනිහා මාව දාල ගියා. උඹලට ඒකෙන් වැඩක් නැහැ“ යැයි පවසමිනි.

කාලයත් සමඟ මේ හැම දෙයක්ම මතකයෙන් ඈත්ව යමින් තිබියදී ජිනදාසගේ මතකය නැවත අවදි වන්නේ රොසලින් ලෙඩ ඇඳට වැටී නැගණියට කී කතාවත් සමඟිනි. මේ හැම දෙයක්ම සුනිල් පොලිස් නිලධාරීන් හමුවේ දිගහැරියත් සිය පියාව මරා වළ දමා ඇති තැනක් ගැන ඔහු කිසියක් දැන සිටියේ නැත. ඒ ගැන ඔහු හාර අවුස්සමින් මවගෙන් විමසා ඇතත් ඇය හැම විටම පවසා ඇත්තේ පියා පොලිසියට බියෙන් පලා ගිය කතාව පමණි.

මේ හැම දෙයක්ම විශ්ලේෂණය කිරීමේදී පතිරත්න ඇතුළු නිලධාරීන්ට පෙනී ගියේ ජිනදාසගේ අතුරුදන්වීම පිටුපස ලොකු අබිරහසක් ඇති බවය. ඒ බව සිය උසස් නිලධාරීන්වද දැනුවත් කරමින් අධිකරණයයට කරුණු වාර්තා කිරීමට ද පතිරත්න අමතක නොකළේය. ඒ අතර පතිරත්න සිය නිලධාරීන් සමඟ අන්නාසි වත්ත පැත්තේ කරක් ගසමින් පැරැන්නන් හමුවෙමින් තොරතුරු සොයන්නට ගත්තේ වසර 34 තිස්සේ අතුරුදන්ව සිටින ජිනදාසට සැබෑ ලෙසම කුමක් සිදුවීදැයි නිශ්චිතවම දැන ගැනීම සඳහාය. එහෙත් ඒ කිසිවකුත් ජිනදාසට සිදුවූ දෙයක් ගැන නිශ්චිතව කිසිවක් දැන සිටියේ නැත. ඒ හැමෝම හිතාගෙන සිටියේ ජිනදාස භීෂණයේ බිල්ලක් බවට පත්ව ඇති බවය.

මේ අතර සුනිල් ද වැඩේ අතහැර දැමුවේ නැත. සිය පියාට සිදුවූයේ කුමක් දැයි මව හමුවී අතීතය හාර අවුස්සමින් විමසන්නට ගත්තේය.

“ අම්මා තව ටික කාලයක් ඉඳල මැරිල යයි. ඒ නිසා දැන්වත් ඇත්ත කියන්න. තාත්තා මැරිල නම් තාත්තට පින් දෙන්න දානයක්වත් දෙන්න පුළුවන්නේ. “ යැයි ඇත්ත කියවා ගන්න තැනට සුනිල් සිය මවගේ ඔළුව හැදුවේය. වසර 34ක් තිස්සේ පැවති අබිරහසක් සිය පුතා ඉදිරියේ රොසලින් දිග හරින්නට වූයේ ඒත් එක්කමය.

එකල රොසලිනා සිය නිවෙසේ කොටසක කුඩාවට සිල්ලර වෙළඳසැලක් පවත්වා ගෙන ගොස් තිබුණාය. ගමේ අයට අමතරව තිරුවානගල වත්තේ වැඩ කරන සේවකයන් වැඩි වශයෙන් මෙහි එන්නට වූයේ බීඩියක් දෙකක් මිලදී ගන්නටය. සෝමදාසව ඇය දැන හඳුනා ගන්නේ ඒ පැමිණි විටදීය. සෝමදාස තිරුවාන වත්තේ කුලී කම්කරුවෙක් ලෙස සේවය කළාට අමතරව කිතුල් රා මදින්නෙක් ලෙස ද කටයුතු කළේය. සෝමදාස තේ වත්තට ආවේ ගියේ ද රොසලිනාගේ කඩේ අසලිනි. ඒ යන විට රොසලිනා ඔහුට උසුළු විසුළු ද කළාය. දෙදෙනා අතර අනියම් ඇසුරකට මඟ පෑදෙන්නේද ඒත් එක්කමය.

එම ඇසුර දුරදිග යන්නේ ජිනදාස නිවෙසේ නොමැති අවස්ථාවන්වලදී සෝමදාස නිවසට රිංගන තැනට පත්වෙමිනි. දිනක් සෝමදාස නිවෙසට රිංගන විට ජිනදාස සිටින්නේ අඩියක් ගසා ඇදේ ඇලවිලාය. රොසලිනාව මුණ ගැසීමට ආ සෝමදාසට එදා ඇය මත්පැන් බෝතලයක් අතට දී එය පෙව්වේ ආදර බස් දොඩමිනි. බෝතලයෙන් භාගයක් හිස්වන ව ඇය සෝමදාස අත වූ මත්පැන් බෝතලය සියතට ගෙන ඒ වන විට ඔහු අත තබන්නේ කිතුල් පොල්ලකි. එම පොල්ලෙන් ජිනදාසගේ ඔළුවටම පහරදී මරා දමන ලෙස කියමිනි.

වෙරිමතින් සිටි සෝමදාසට ඇගේ කීමට පිටුපාන්නට කිසිසේත්ම සිතුණේ නැත. ඇයව තමාගේ කරගන්නට සිතාගෙන ඔහු කිතුල් පොල්ල ද අතට ගෙන නිදා සිටි ජිනදාසගේ හිස පුපුරා යන්නට පහරවල් කිහිපයක් එල්ල කළේය. එම කිතුල් පොලු පහරවල්වලින් එතැනම මිය යන ජිනදාසගේ සිරුර ඔතන්නේ කහ පැහැති ඇඳ රෙද්දේය. ඒ වන විටත් එම ඇඳ රෙද්ද ජිනදාසගේ රුධිරයෙන් තෙත්වෙමින් තිබුණේය. ඒ නිසාම නිවෙසේ දොර රෙදි දෙකකින්ද නැවතත් ජිනදාසගේ සිරුර ඔතා සිරුර සඟවන්නේ වැසිකිලිවළක් සඳහා යැයි කියා ගෙවත්තේ අලුත කැපූ වළකට දමාය. අලුත් වැසිකිලියකට යැයි කියා එම වළ ජිනදාසයට කියා කපා තිබුණේ ද රොසලින්ය. ඒ ඇය කල්තියා කළ සැලසුමකට අනුවය.

එදා ජිනදාසව ඔතා වළ දැමූ ඇඳ රෙද්දේ පාට මෙන්ම එහි තිබුණු කොළ සහ රතු පැහැති මල් රටාව පවා රොසලින්ගේ මතකයේ හොඳ හැටි ලියැවී තිබුණාය. ජිනදාස එදා හැඳ සිටියේ නිල්පැහැති ඉරි වැටුණු සරමක් සහ කහ පැහැති බැණියමකි. මේ දේවල් ගැන ද සුනිල් හමුවේ මව කියා තිබුණාය. ඒ සිය පියාව වළ දැමූ වැසිකිලි වළ ඇති තැන ගැන ද කියමිනි. ඒ තැන අද ඇත්තේ කැලෑවට ගොසිනි. සුනිල් ඒ තැන හඳුනාගෙන පසුගිය 11 වෙනිදා යන්නේ ඌරුබොක්ක පොලිස් ස්ථානයටය. එහි ගොස් ඔහු මුණගැසෙන්නේ අපරාධ අංශයේ ස්ථානාධිපති පතිරත්නවය. සිය මව කී හැම දෙයක්ම පතිරත්න හමුවේ කියා සිටියේය. ඒ තවදුරටත් සිය පියාගේ අතුරුදන්වීම අබිරහසක් නොවන බව කියමිනි.

මේ වන විට ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. ටී. ඩබ්ලිව්. පල්ලියගුරුගේය. අපරාධ අංශයේ ස්ථානාධිපති පතිරත්න ඔහුව මුණ ගැසී ජිනදාසගේ අබිරහස් අතුරුදන්වීමත් 119 හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරත් ගැන හැම දෙයක්ම දැනුවත් කරනු ලැබීය. පල්ලියගුරුගේ මේ හැම දෙයක්ම සිය උසස් නිලධාරීන්ව ද දැනුවත් කරනු ලැබීය. අවසානයේදී මේ ගැන නැවත මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ජිනදාසගේ සිරුර ගොඩගැනීමට කැණීම් අරඹන්නේ පසුගිය 15 වෙනිදාය. ඒ මහේස්ත්‍රාත් දුමින්ද බස්නායකගේ අධික්ෂණයෙන් මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ බුද්ධික ලේල්වලගේ ද සහභාගීත්වය ඇතිවය.

ජිනදාසගේ සිරුර වළදැමූ ස්ථානය පෙන්වනු ලබන්නේ රොසලින්ය. ඇයව එහි රැගෙන එන්නේ සුනිල්ය. ඒ ඇයව වත්තම් කරගෙනය.

“කහපාට රෙද්දකයි ජිනදාසව එතුවේ“ ඇය එතැනදීත් කීවාය. ඒ කියපු කහ පැහැති මල් රෙද්ද මතුවන්නේ අඩි හත අටක් ගැඹුරට එතැන හාරන විටදීය. වසර 34ක් ගියද ඒ රෙද්ද ඒ විදිහටම තිබුණේය. ඒ හැරුණු කොට ජිනදාස එදා ඇඳ සිටි නිල් පැහැති ඉරි වැටුණු සුදු සරමද එහි තිබුණේය. ඒ කහපැහැති බැනියමත් සමඟිනි. ඒ හැරුණු කොට ජිනදාසව ඔතා තිබුණු දොර රෙදි ද එහි තිබුණේ වසර 34ක් පුරාවට කිසිදු හානියක් නොවීය. ඒ ගැන කොයි කවුරුත් ඒ වන විටත් සිටියේ පුදුමයට පත්කරමිනි. එම පුදුමය තවත් තීව්‍රවන්නේ ජිනදාසගේ ඉනෙහි බැඳි කළු පැහැති නූලක් පවා එම වළ තුළ තිබී හමුවීමෙනි. එම නූල ජිනදාසගේ බවට හඳුනා ගන්නේ රොසලින්ය.

ඇඳුම් ආයිත්තම් විනාශ නොවී තිබුණත් එහි ජිනදාසගේ සිරුර තිබුණේ පොළවට පස් වෙලාය. ජිනදාසගේ යැයි කියා තිබෙන්නේ පස් වෙමින් තිබුණු ඇට කැබලි කිහිපයක් පමණි. ඒ පාදයේ ඇට කැබලිය. ඒ හැරුණු කොට ජිනදාසගේ සිරුරේ කොටස් යැයි කියා එහි තිබෙන්නේ දත් කිහිපයකි. ‍

මේ හැම දෙයක්ම වැසිකිලි වළෙන් ගොඩ ගැනීමෙන් අනතුරුව වසර 34කට පෙර සිදුවූ ජිනදාසගේ ඝාතනයේ පළමු සැකකරු ලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ රොසලින්වය. සෝමදාසව අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. 69 වන වියේ පසුවූ සෝමදාස ඒ වන විට සිය අඹුදරුවන් සමඟ පදිංචිව සිටියේ හිරිපිටියේය.

ජිනදාසගේ ඝාතන සැකකරුවන් ලෙස මෙසේ අත්අඩංගුවට ගත් මෙම යුවළ ඉදිරිපත් කරනු ලබන්නේ මොරවක මහේස්ත්‍රාත් දුමින්ද බස්නායක හමුවටය.

“මේ අපරාධය කරන්න වුණේ මෙයා නිසයි. එයා මට බොන්න දීලා මිනිහව මරන්න කිව්වා. මම බැහැ කිව්වා. එයා බල කළා. ඒ නිසාම මම පොල්ලෙන් ගහල ජිනදාසව මැරුවා. ඊට පස්සේ මම එයාට කිව්වා වැඩේ හරි කියලා. එයා ඇවිල්ල බැලුවා. මිනිය වළලන්න ඕන තැන පෙන්නුවෙත් එයාමයි“ සෝමදාස හැම දෙයක්ම මහේස්ත්‍රාත් හමුවේ පාපොච්චාරණය කළේය.

“මම කළ අපරාධය මැරෙන්න සිටිය මොහොතේදීත් පඩිසන් දුන්නා”.මහේස්ත්‍රාත් හමුවේ රොසලින් කියන්නට වූවාය. කිසිවිටකත් තමත් අනිත් එවැනි අපරාධයක් සිදු නොවූ බව මේ දෙදෙනාම කියන්නට ගියේ නැත. දෙදෙනාම තමන් අතින් වූ ඒ අපරාධය පිළිගත්තේය.

කාලයේ වැලි තලාවේ සැඟවී තිබුණු මෙම අපරාධය මේ ආකාරයට 34වසරකට පසු දිග හැරෙන්නේත් අපරාධකරුවන් නීතිය හමුවේ කොටු වන්නේත් අපරාධයක් සිදුකර කිසිදිනක නිදහසක් නොමැති බවට වූ පොදු ධර්මතාවය යළිත් වතාවක් පසක්කරමිනි.

 ඡායාරූප ඌරුබොක්ක විශේෂ ඒ. පි. දයාචන්ද්‍ර

Comments