බහුතරයක් සජබයෙන් ඉවත් වීමට පිඹුරුපත් සකසමින් යනවා | Page 2 | සිළුමිණ

බහුතරයක් සජබයෙන් ඉවත් වීමට පිඹුරුපත් සකසමින් යනවා

සමගි ජන බලවේගයේ සිටි ඔබ ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කළේ ඇයි?

සමගි ජන බලවේගය ඇතුළේ මට ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒ නිසයි 2023 ජනවාරි මස 17 වැනිදා එම පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය පක්ෂ නායක සජිත්ට හා මහලේකම්තුමාට යොමු කළේ. නමුත් ඒ අතරතුර කාලයේ පක්ෂය තුළ ඇතිවූ සිත් තැවුල් නිසා පැහැදිලි ප්‍රකාශයක් රටට කර ඉවත් විය යුතුය කියා මම තීරණය කළා.

සජබ පක්ෂ අභ්‍යන්තරය තුළ මේ වන විට බෙදීමක් පවතින බවට වාර්තා වෙනවා. විපක්ෂනායකවරයාට එම තනතුරත් නැති විය හැකි බව පැවැසෙනවා..?

දැනටම සමගි ජන බලවේග අභ්‍යන්තරයේ ලොකු දෙදිරීමක් පවතිනවා. මම ප්‍රකාශයක් කළ පසු වඩිවෙල් සුරේෂ් ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරන්න පටන් ගත්තා. පසුගියදා රෝහිණි කවිරත්න පිළිගත්තා එතුමිය ජනාධිපතිවරයා හමුවෙන්න යන බව. සරත් ෆොන්සේකාත් කොළ එළියක් දැල්වූවා. එතුමත් මේ වැඩේට සූදානම් දෝ යන සැකය පවතිනවා. රාජිත සේනාරත්න, ඒ. එච්. එම්. ෆවුසි සෘජුවම මේ වැඩේට සම්බන්ධ වෙලා. පක්ෂ අභ්‍යන්තරයේ බෙදීමක් ඇති වෙලා. නමුත් එතුමාගේ විපක්ෂ නායකකම අහෝසි වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. බහුතරයක් දෙනා එතුමාගෙන් ඉවත් වීමට පිඹුරු පත් සකසමින් යනවා.

ඊට හේතුව කුමක්ද?

මම හිතන්නේ එතුමාගේ දැක්ම, ක්‍රියාකාරිවන ආකාරය සම්බන්ධව පක්ෂය තුළ පවතින අපැහැදිලිතාව. 

ඔබ පවසනවා පොහොය දෙකක් යන්නට මත්තෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 20 දෙනෙක් පමණ ජනාධිපතිවරයාට සහය දැක්වීමට සූදානම් බව. කවුද ඒ පිරිස ?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. වයඹ, බස්නාහිර, මධ්‍යම මෙන්ම සබරගමුව නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් එන්න බලාගෙන ඉන්නවා. මේ ප්‍රමාණය 20 කට ආසන්න වෙයි. අමතරව මගේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරු 100 කට ආසන්න ප්‍රමාණයක් එන්න සූදානම්. ඒ අය ඉදිරියේදී ජනාධිපතිවරයාට මුණ ගැස්සවීමට සූදානම්.

පසුගිය කාලයේ සජබයෙන් මන්ත්‍රීවරු රජයට එකතු වන බව පැවැසුවත් එසේ සිදුවූයේ නැහැ. ඒ ඇයි?

නැහැ. පාර්ලිමේන්තුවෙන් එන අය යම් යම් වරප්‍රසාද බලාපොරොතු වෙනවා. එයට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් එනවා නම් ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් බලාපොරොත්තු වෙනවා. ඒ ඔවුන්ට රටට යමක් කරන්න අවශ්‍ය නිසා. රජය පැත්තෙන් ඒ සිග්නල් එක දෙනකම් ඉන්නේ. ජනාධිපතිතුමා ආරාධනා කළේ පොදුවේ හැම පක්ෂයකටම. ඒ නිසා හරි සිග්නල් එකක් අවශ්‍යයි.

සජබයේ ඇතැම් පිරිස් චෝදනා කරනවා, ඔබ ආණ්ඩුකාර මාරුවත් සමඟ ආණ්ඩුකාරකමක් බලාපොරොත්තුවෙන් පැමිණි බව. ඊට ඔබ දක්වන්නේ කුමන ප්‍රතිචාරයක්ද?

මුජිබර් රහුමාන් තමයි මුලින්ම එය පැවැසුවේ. ආණ්ඩුකාරවරු පත් කරන්න කලින් ජනවාරි මසයි මම ඉවත් වුණේ. ජනවාරි 17 වැනිදා මම ඇරපු ලියුම මා ගාව තියෙනවා. ඒ වන විට ආණ්ඩුකාරවරු පත්කරන්න හිතලාවත් නැහැ. මම ජනාධිපතිවරයා සමඟ කිසිදු සාකච්ඡාවක් කර නැහැ. තවමත් ජනාධිපතිවරයා හමුවුණේවත් නැහැ. මම කිසිම තනතුරක් බලාපොරොත්තු වුණේ නැහැ.

රජයට සහය දැක්වීමට සජබයේ පිරිස් සූදානම් වන සෑම අවස්ථාවකදීම පක්ෂයෙන් එය දැඩි සේ එය වැළැක් වූ බව පවසනවා?

සජිත් ප්‍රේමදාසට ගෞරවයක් තියෙනවා. නැතුවම නෙමෙයි. ඒ මාව දේශපාලනයට ගෙනාවේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා නිසා. නමුත් හිටපු ජනධිපති ගෝඨාභය රනිල් මහත්තයට කලින් අගමැතිකම භාර ගන්න ආරාධනා කළේ සජිත්ටයි. එදා ඔහු වගකීම භාර නොගෙන කොන්දේසි දමමින් ආසයි භයයි කිය කිය හිටියා. රටේ වගකීම එහෙම භාර ගන්න බැහැ. නායකයෙක් වුණාම අභියෝග භාර ගන්න ඕන. නැතුව බන්දේසියේ තියා භාර දෙන්නේ නැහැ. සජිත් මහතා ඒ අවස්ථාවේ භාර ගත්තේ නැහැ. පස්සේ ෆොන්සේකා මහතා ගියා. එයා භාර ගත්තෙත් නැහැ. ඒ භාර නොගැනීම නිසයි රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තේ.

ඇයි එදා විපක්ෂ නායකවරයා වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ?

මම හිතන්නේ ඔහුට ලොකු බයක් තිබුණා. මේ භාර ගැනීමට කලින් අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳෙව්වා. එතුමා වටේ හිටි ආර්ථික උපදේශයෝ දුන්නු උපදේශය තමයි මේ වෙලාවේ අත ගහන්න එපා. මෙය මහ ගිනි ගොඩක්. ගත්තොත් කරගෙන යන්න බැරි වෙයි කියලා. නමුත් මේ වෙලාවේ හරීන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වා වගකීම භාර ගනිමු කියලා. එතුමා අතට දීපු එක කටේ දාගත්තේ නැහැනේ. කොහොමද ඔහු නායකයෙක් වෙන්නේ. ඔහු හිතුවා තමන් දාපු කොන්දේසිවලට ගෝඨාභය ජනාධිපති ඉවත් වෙයි කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත්තා. මේ නිසා පොඩි ලෝභකමකින් ඔහු මට පුළුවන් කියලා පසුව කිව්වා. දෙවියෝ හැමදාම දෙන්නේ නැහැ. දෙන වෙලාවට භාර ගන්න ඕන. එක්කෙනා දෙන්නා පක්ෂය කඩාගෙන යන එක නතර කර ගන්න තවත් අවස්ථාවක් තිබුණා. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා පත්කරන අවස්ථාවේ එතුමාට පොහොට්ටුවට කලින් රනිල් වික්‍රමසිංහට ළං වෙන්න තිබුණා. එහෙම වුණානම් රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තියක්. රට වෙනුවෙන් වගකීමක් ගැනීමට තිබූ අවස්ථා දෙකම සජිත් මග හැරියා.

ඔබ පවසන්නේ නායකත්වයක්, වගකීමක් දැරිමට සජිත් ප්‍රේමදාසට මහතාට ශක්තියක් නොමැති බවද?

මම කියන්නේ නැහැ එතුමා නායකත්වයට සුදුසු නැහැ කියලා. නමුත් පැහැදිලිව අවස්ථා දෙකක් දුන්නා. සමහර විට පාර්ලිමේන්තුවේදී පැවැති ජනාධිපතිවරණයේදී රනිල් මහත්තයට එතුමාගේ පිරිසත් ඡන්දය දුන්නා නම් අද සජිත් අගමැති වීමට තිබුණා. අපි දේශපාලනය කරන්නේ රටට වැඩක් කරන්න. අද සජිත්ගේ පක්ෂයේ බහුතරයක් ඉන්නේ පරණ එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ අය අවුරුදු 25 ක් පමණ විපක්ෂයේ සිටි අය. පක්ෂයට ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ. අගමැතිවරයෙක් හිටියත් නාමමාත්‍රිකවයි. 2015-2019 අගමැතිකම නාමමාත්‍රිකයි. පාස්කු ප්‍රහාරය වන විට මාස 6ක් ආරක්ෂක කවුන්සලයට අගමැතිව කැඳවා තිබුණේ නැහැ. එදා රනිල් මහතා අගමැතිව සිටියේ ප්‍රශ්න රාශියක් මැද්දේ. සජිත් මහතාට එතුමාගේ පාක්ෂිකයන්ට යමක් කරන්න තිබූ හොඳම අවස්ථාව එදා මගහැරියා. එදා එතුමා එක්ක ආණ්ඩුව හැදුවානම් බහුතර බලයක් සමඟ මේ කටයුතු ඉදිරියට කරගෙන යාමට තිබුණා. දැන් මේ අයගේ බලාපොරොත්තුව ඊළඟ ජනාධිපතිවරණය. අද සුළු පක්ෂ පැහැදිලිව කියා තියෙනවා, ඔවුන්ට බලයක් ඇතිව යමක් කරන්න අවශ්‍ය බව. මේ සුළු පක්ෂ දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා වට දෙක තුනක් පවත්වා තියෙනවා. දෙමළ සන්ධානය පසුගිය සාකච්ඡාවලදි පැහැදිලිව පවසා තියෙනවා රජයට සහය දීමට සූදානම් බව. වතුකරයේ සජිත්ට හිටපු දෙමළ නායකයා වන වඩුවෙල් සුරේෂ් පවා ගියා. සුළු පක්ෂ, දෙමළ පක්ෂත් එකතු වී පොදු ජන පෙරමුණත් එකතු වුණොත් ඊළඟ ජනාධිපතිවරණය සජිත් ට දිනන්න පුළුවන් වෙයිද? එතුමා තනිවන විට පක්ෂයේ අයගේ අනාගතය කුමක්ද?

එදා සජිත් භාර ගත්තා නම් අද රට පවතින තත්ත්වයට රට පත් කරන්නට ඔහුට හැකි වෙයිද?

ඔහු හිතන වැඩ කරන ආකාරය අනුව එදා සජිත් මේ අභියෝගය භාර ගත්තා නම් මේ ගමන යන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. ජාත්‍යන්තර හා දේශීය ප්‍රශ්නවලට කොහොම මුහුණ දෙයිද? එදා IMF යන්න ඕන කියලා දිගින් දිගටම කිව්වේ සමගි ජන බලවේගයයි. එදා ඔවුන්ම යෝජනා කර දැන් IMF ගියාට පස්සේ කියන්නේ මොනවද? ඔහු කියනවා තමන්ගේ ආණ්ඩුවක් තුළ IMF යන්නේ ලිහිල් කොන්දේසි මතයි, කියලා. අනේ දෙයියනේ එතුමාට මේ රට ගැනනේ මුලින් හිතන්න තිබුණේ. සජිත්ගේ සිහින ආණ්ඩුව එනකම් තව කොච්චර කල් බලා සිටින්න ද?

මේ ප්‍රශ්නවලදි සජබය තුළ අභ්‍යන්තර මත ගැටුම් පවතිනවාද?

මිනිස්සු තෙල් පෝලිම්වල මැරිලා වැටෙන විට, දරුවා පාසලට යවන්න බැරිවන විට සජිත් මහත්තයා කියනවා මට නිකම් තෙල් දෙන්න ලොව රටවල් ඕන තරම් ඉන්න බව. මට පොහොර නිකම් දෙන්න රටවල් ඉන්නවා කිව්වා. නමුත් එදා ගොවියාට පොහොර තිබුණේ නැහැ. එහෙනම් එදා තෙල් පොහොර දීලා සම්පූර්ණයෙන්ම මේකේ ක්‍රෙඩිට් එක ගන්න තිබුණානේ. අපිට රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාව ලැබෙන කොට ඔහු කියන්නේ මගේ ආණ්ඩුවක් ආවොත් කරනවා කියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වැඩිය සජිත් මහතාට ලස්සනට කතා කරන්න පුළුවන්. විනාඩි 45 ක් පැයක් ඔහුට හොඳට කතා කරන්න පුළුවන්. කතාවේ හැටියට එතුමාගේ වැඩ තියෙනවාද කියලා ප්‍රශ්නයක්. එදා ජනතාවට තෙල් පොහොර නිකම් ලබා දුන්නා නම් මේ ජනතාව ඔහුට ඡන්දය දෙයි. තැල්ල බඳින්න බෙල්ල ඕනෑ සේ අපිට දේශපාලනය කරන්න ජනතාවක් සිටින්න ඕන.

ඔබ පවසන්නේ අර්බුදකාරි අවස්ථාවේදී විපක්ෂනායකවරයා ලෙස සිය කාර්යභාරය නිසියාකාරව ඉටු නොකකළ බවද?

එය පැහැදිලිව පෙනෙනවානේ. සුනාමියට ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක. නමුත් එදා ජනාධිපති චන්ද්‍රිකා සමඟ එක්ව අත්වැල් බැඳගෙන තමන් සමඟ සම්බන්ධතා පවතින රටවල් සියල්ලට ආරාධනා කළා, රටට උදවු කරන්න. නමුත් මේ අවස්ථාවේ සජිත් තානාතිපතිවරු වෙනමම හමුවුණා.

පක්ෂයේ කටයුතුවලදී ජලනි ප්‍රේමදාසගේ අනවශ්‍ය මැදිහත්වීම පාක්ෂිකයන්ගේ කලකිරීමකට හේතු වූ බවට දිගින් දිගටම චෝදනා මතුවුණා......?

පක්ෂයේ අභ­්‍යන්තරයේ යම් යම් බලපෑම් නිසා සමහර අයගේ හිත් කලකිරීම් ඇති බව මම පැවැසුවේ ඒ නිසයි.

ඔබ ළඟ විපක්ෂනායකවරයාගේ ආයාචනා හඬපට පවතින බවත්, අවශ්‍යනම් ඒවා ඉදිරිපත් කිරීමටත් සූදානම් බව ඔබ පැවැසුවා. මොනවද එම හඬපටවල ඇත්තේ..?

මම එතුමාගේ පක්ෂයේ සිටි ඉරට්ටක් විතරයි කියා ගෝලබාලයෝ දමා මට මඩ ගහනවා. තවත් කෙනෙක් දමා කිව්වා අපි මේ අය කුණු කූඩයට දමා හිටියේ කියලා. මහලේකම් කිව්වේ මාත් එක්ක යන්න කවුරුත් නැහැ කියලා. අපිට පක්ෂයේ උප සභාපතිකම් උප ලේකම්කම් දිලා තියෙන්නේ රඳවා ගැනීමට ඕන නිසා. මම ඔහුට වඩා අවුරුදු 6කට කලින් පාර්ලිමේන්තුවට ආවේ. 1994 දක්වාවූ මැතිවරණ 6න් 5කම දිස්ත්‍රික් පළමුවැනියා. එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ගත්තේ මම. 2015 ඡන්ද එක් ලක්ෂ දහතුන් දාහකට වැඩි ප්‍රමාණයක් ගත්තා. එහෙම කරලත් අපිටයි, මේ කතා. එතුමා මාව අයින් කළේ නැහැ. මමයි අයින් වුණේ. එදා නායකයා ලෙස කිව්ව හැම වැඩක්ම මම කළා. ගෝල බාලයන් ලවා ඉරට්ටක් රොඩ්ඩක් කියලා මට අපහාස කරන කොට මම ඔහුට කිව්වේ නායකයා මගේ බිරියටයි සහෝදරයාටයි කියු කතා, කරපු බැගෑපත්වීම් සියල්ල මා ගාව තියෙනවා. නමුත් මම තවත් රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න සූදානම් නැහැ. එතුමාගේ අවසරය දෙනවානම් මම එවා එළියට දාන්නම්. මේ හඬපටවල තියෙන්නේ මෙයා ගියොත් හානියක්, මම ලොකු දැවැන්තයෙක්. බලයක් ඇති කෙනෙක් ආදි ලෙස බිරිඳට බැගැපත් වෙමින් කියපුවා. දුරකතනයෙන් මගේ වටිනාකම කිව්වත් ගියාට පස්සේ අපි රොඩු ලෙස හංවඩු ගහනවා.

පක්ෂය තුළ කිසිදු ක්‍රියාකාරී කටයුත්තකට මන්ත්‍රීවරුන්ට සම්බන්ධ වීමට විපක්ෂ නායකවරයාගෙන් ඉඩක් නොලැබෙන බවට චෝදනා නැඟෙනවා?

මම හිතන්නේ දැඩි කනස්සල්ලෙන් ඉන්නේ. තීන්දු තීරණ ගන්නේ එතුමායි තව කිහිප දෙනෙකුයි විතරයි. අදටත් මම කනගාටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතාව දාලා යන්න සිදුවීම ගැන. යුතුකමක් ලෙස එදා මාව දේශපාලනයට ගෙනා ප්‍රේමදාස මහතා ගැන හිතලා ගත්තු තීන්දුව ගැන කනගාටුයි. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එදා ගිලිහී යන විට එතුමාගේ දක්ෂතාව හඳුනාගෙන සිටියේ නැද්ද?

ඒ වන විට රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂය තුළ වූ ප්‍රතිචාරය නිසා දේශපාලන ගමනක් තිබුණා ද කියල ප්‍රශ්නයක් මතුවුණා. මේ නිසා පක්ෂයක් හා පළපුරුදු දේශපාලඥයෙක් ලෙස මා ආසන සංවිධායකවරුන් ගෙන්වා විමසීමේදී කිව්වේ දේශපාලනය කරන්න නම් සජිත් සමඟ යායුතුයි කියලා. මා යායුතුයි කියලා සාමාජිකයන්ගේ ලොකු බලපෑමක් තිබුණා.

ජනාධිපතිතුමන්ගේ රට ගොඩ නැඟීමේ කාර්යභාරය ඔබ දකින්නේ කෙසේද?

හිටපු නායකවරු හැමෝම බැලුවේ තමන්ගේ දරුවා ඉදිරියට ගේන්න, බිරිඳ යාළුවෝ ඉදිරියට ගේන්න. රනිල් වික්‍රමසිංහ කියන්නේ හොරෙක්, බොරුකාරයෙක් වංචාකාරයෙක් නෙමෙයි කියලා අදත් මම කියනවා. එතුමාට ඔටුනු පලඳන්න කුමාරයෝ නැහැ. පැය 24 ගත කරන්නේ රටට අනාගතයක් හදන්න. විශ්වයෙන් ලද ආශීර්වාදයෙන් තමයි රට හදන්න එතුමාට අවස්ථාව ලැබුණේ. ඒ නිසයි බංකොළොත් වූ රටක් එතුමා ගොඩනැඟුවේ. රට වැටුණු අමාරු තත්ත්වයට මුහුණ දෙන්න රනිල් මහතා හැර වෙන නායකයෙක් නැහැ. ඒ නිසයි සජිත්, ෆෙන්සේකා, අනුර කුමාර මහත්වරු මග හැරියේ. අද හුස්ම ගන්න රටක් තියෙනවා. වසරක කාල සීමාව තුළ රට ගෙනා තත්ත්වය දෙස බැලූ විට අපිට විශ්වාසයි එතුමා රටේ අනාගතය සකස් කරන බවට. ඒ සඳහා එතුමාට තව අවුරුදු 6 කට බලයක් දුන්නොත් මේ රට සිංගප්පූරුවක් කළ හැකි වෙනවා.

‘සජිත් දැන් සිහින ජනාධිපති අපේක්ෂකයෙක් ‘ බව ඔබ පවසනවා. මේ යන විදියට ඔහුට ජනාධිපති සිහිනය ඉටු කර ගන්නට හැකි වෙයිද?

එතුමා කාත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා ජනාධිපති අපේක්ෂකයා තේරුවා. ජනාධිපතිවරණයට කල්යල් තවමත් නැහැ. ඒ සඳහා වසරක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහයෝගය දීමයි. ප්‍රධාන විපක්ෂයේ සහයෝගය දුන්නොත් ඉදිරි ජනාධිපතිවරණයේදී කවුරු දිනයිද කියලා අපිට තීරණය කළ හැකියි. සමහරු හංගි හැංගි ඉන්නවා. මම තමයි එළියට බැහැලා මේක කිව්වේ. මම වගේ තව ගණනාවක් ඉන්නවා. යථාර්ථය තේරුම් ගත් දවසට හැමෝම එළියට බසිවී.

ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව සහය දක්වන්නට ඔබ සූදානම් ද?

අනිවාර්යයෙන්. කිසිම කොන්දේසියක් නැහැ. තනතුරක් බලාපොරාත්තු වෙන්නේ නැහැ. හැමෝටම කතා කර අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සූදානම්.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments