පොසොන් සිරියෙන් නැහැවෙන ‘ධර්ම රශ්මි‘ | Page 2 | සිළුමිණ

පොසොන් සිරියෙන් නැහැවෙන ‘ධර්ම රශ්මි‘

හින්දාගමනය, ලංකාවේ බුදු දහම ස්ථාපිත කිරීම අරමුණු කරගනිමින් 2331 වැනි පොසොන් උත්සවය පැවැත්වෙන්නේ එළඹෙන ජුනි 3 වැනිදාය. පසුගිය කාලයේ රටම වෙළාගත් කොවිඩ් අර්බුදය මෙන්ම රට තුළ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් බෞද්ධයන්ගේ අතිඋතුම් වෙසක් උත්සවය මෙන්ම පොසොන් උත්සවය සිතූ පරිදි පැවැත්වීමට බෞද්ධයින්ට හැකිවූයේ නැත. මේ වන විට කොවිඩ් අර්බුදය බොහෝ දුරට අවසන්ව ඇත. රට පත්ව ඇති ආර්ථික අර්බුදය වියැකෙමින් යහපත් තත්ත්වයකට රට පත්වෙමින් පවතියි. මේ හේතුවෙන් පසුගිය මැයි මස වෙසක් පොහෝ දින ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ජාතික හා වෙසක් කලාප හරහා වෙසක් උත්සවය අතිඋත්කර්ෂවත් අන්දමින් සමරන්නට ලංකාවාසී බෞද්ධ ජනතාවට හැකි විය. 

වසර කිහිපයකට පසු ලබන ජුනි මස පොසොන් උත්සවය ද ඒ අයුරින්ම සාර්ථකව පැවැත්වීමට මේ වන විට ජනතාව ලහි ලහියේ සූදානම් වෙමින් සිටිති. එළඹෙන ජුනි මස 3 වැනිදා සිට මිහින්තලා පුදබිමේදී පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව ‘ධර්ම රශ්මි ‘ පොසොන් කලාපය හෝමාගම පිටිපන පොසොන් කලාපයේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ය. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධනයන්ගේ උපදෙස් මත ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපය පැවැත්වෙන අතර ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ ජනසන්නිවේදන අමාත්‍යාංශය, මහා මාර්ග අමාත්‍යාංශය, බුද්ධශාසන අමත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම රාජ්‍ය ආයතන, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, හෝමාගම ප්‍රාදේශීය සභාව, හෝමාගම ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් මෙන්ම සියලු සංගම් එක්ව මේ සඳහා පූර්ණ සහභාගීත්වය ලබා දෙයි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනි, ගුවන් විදුලිය, විදත් මාධ්‍ය අනුග්‍රහය දක්වන අතර පොසොන් කලාපයේ වූ භක්ති ගී සංදර්ශනය 3 වැනිදා ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ද, 4 වැනිදා ජාතික රූපවාහිනිය ඔස්සේ ද, 5 වැනිදා ගුවන් විදුලිය ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට පියවර ගෙන ඇත.

ජුනි 3, 4 හා 5 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පොසොන් කලාපය කිලෝ මීටර 10 ක් පුරාවට විසිරි පවතින අතර හෝමාගම, පිටිපන, හරිත සරසවි පෙදෙස, මීගොඩ පාර හා ගොඩගම යන ප්‍රධාන නගර 5 ආවරණය වන අතර පොසොන් කලාප තුනක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි. ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාප අංක 1 හෝමාගම නගරය මුල් කර ගනිමින් පැවැත්වෙන අතර, හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානය මුල්කර ගනිමින් වෛද්‍ය සායන, දන්සල්, පොසොන් තොරණ හා බැති ගී ප්‍රසංගය පැවැත්වේ. ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාප 2 හෝමාගම ඩිපෝ පරිශ්‍රය දක්වා පැවැත්වෙන අතර ඊට පොසොන් තොරණ, පහන් කූඩු ප්‍රදර්ශන දන්සල් හා සීල සමාදාන වැඩසටහන් හා යුද හමුදා පරිශ්‍රය මුල්කර ගනිමින් පහන් කූඩු ප්‍රදර්ශන පැවැත්වෙයි. ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාප අංක 3 මහින්ද රාජපක්ෂ විද්‍යාලය NSBM හරිත විශ්වවිද්‍යාලය පරිශ්‍රවල තොරණ හා බත් දන්සල, පහන් කූඩු තරඟය හා ප්‍රදර්ශන පැවැත්වෙන අතර සිරිපා අනුරුව ඉදිකිරීම්, රූකඩ සංදර්ශන NSBM හරිත විශ්වවිද්‍යාලය පරිශ්‍රයේදි පැවැත්වෙයි. සංචාරක පිරිත් රථය කලාප 3 ආවරණය වන පරිදි ගමන් කෙරෙන අතර ඒ සඳහා සියලු දෙනටම සහභාගී විය හැකිය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ( ලේක්හවුස්) ස්වාධීන රුපවාහිනියේ විදත් මාධ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කරන පොසොන් පහන් කූඩු තරඟ ද ජුනි 3 4 5 දිනවල “ධර්ම රශ්මි “හෝමාගම පිටිපන පොසොන් කලාපයේදී පැවැත්වෙන අතර, මෙහි විශේෂත්වය වන්නේ සියලුම නිර්මාණ පොලිතින්වලින් බැහැර වී පරිසර හිතකාමි ලෙස පොසොන් උත්සවය අර්ථවත් වන අයුරින් නිර්මාණය කිරීමයි. මෙම තරගයේ පළමුවන ස්ථානය රුපියල් 500,000, දෙවන ස්ථානය රුපියල් 250,000 තුන්වන ස්ථානය 125,000 හතරවැනි ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා රුපියල් විසිපන්දහස බැගින් ත්‍යාග ලබා දෙයි. වෙසක් කූඩු තරඟයේ විවෘත අංශයෙන් වෙසක් කූඩු 50 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය විමට නියමිත අතර වෙසක් කූඩු 40 කට ආසන්න සංඛ්‍යාවක් පාසල් අංශයෙන් ද ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙය කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන විශාලතම පොසොන් කලාපය වන අතර කිසිවකුගේ කිසිදු මුදලක් අය නොකර සියලු කටයුතු සම්පාදනය වීම විශේෂත්වයකි. පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන අය වෙනුවෙන් පොසොන් කලාපය තුළ විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක අතර පුද්ගලික බස්රථ 65 ක් පස්වරු 6 සිට 12 දක්වා ධාවනය වන අතර ඒ කටයුතු පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය විසින් සංවිධාන කෙරෙයි.

‘ධර්ම රශ්මි‘ අලංකාර මෙම පොසොන් කලාපය 3 වැනිදා සිට පුරා දින තුනක් නැරඹීමේ අවස්ථාව ඇති අතර ඊට දායකත්වය දැක්වීමට කැමැති අයට හෝමාගම ප්‍රාදේශීය ලේකම් හමුවී සිය සහයෝගය ලබා දිය හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි.

පසුබිම් වාර්තා - බන්දුල ජයමාන්න / චන්දිමා එදිරිමාන්න

Comments