ජාතික උරුමයක් වූ දන්නෝ බුදුන් ගීතය | සිළුමිණ

ජාතික උරුමයක් වූ දන්නෝ බුදුන් ගීතය

ජෝන් ද සිල්වා සූරීන්

න්නෝ බුදුන්ගේ ගීතය ගැන දැන් සමාජයේ අමුතු කතාබහක් ඇතිවී තිබේ. 1903 වර්ෂයේදී නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන් විසින් රචනා කර ඇති විශ්වනාත් ලව්ජි විසින් තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නාට්‍යයේ ඇතුළත් මේ වන විට වසර 120ක් පමණ පැරණි මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය. 

මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බවත් ඒ සියලු හේතූන් සැලකිල්ලට ගනිමින් 'දන්නෝ බුදුන්ගේ' ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතයෙහි පවත්නා සුවිශේෂ හා දුර්ලභ ගුණාංගයන් මත ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම සලකා බැලීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් මත කමිටුවක් පත්කළ අතර, එහි සභාපතිවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක පත් කෙරිණි.

දන්නෝ බුදුන්ගේ ගීතයත් සමඟම අපේ මතකයට එන නාමය ජෝන් ද සිල්වා ය. සිංහල නාට්‍යම්බරය ආලෝකමත් කළ නිබන්දකයා ඔහුය. ජෝන් ද සිල්වා සූරීන්ගේ ප්‍රියතම නාට්‍යයක් වූ 1918 වසරේදී දොරට වැඩි සිරිසඟබෝ නාට්‍යයේ දෙවැනි ජවනිකාවේදී සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය යන කුමරුවන් තිදෙනා තිසා වැවේ පාලම මතුපිටින් අනුරාධපුරය බලා යමින් ගයන ඉහත සඳහන් ගීතය මධුර, මනෝහර ධර්ම රස ප්‍රවාහකයෙකි. එය හැම අසන්නකුගේම සිත් සතන් ප්‍රබෝධවත් කරන්නට සමත් විය. ජාති මාමක හැඟීම්වලින් ද පණ පෙවුණු මෙම නාටකය 1903, 1950 අතර කාලය තුළ ලංකාව පුරා දහස් වාරයකටත් වැඩියෙන් රඟ දක්වන ලද අතර, එම නාටකය සිංහලයන් තුළ දාන, ශීල, භාවනා, මෛත්‍රිය ආදී ගුණාංග ජනිත කිරීමට ද හේතු විය.

1857 ජනවාරි මස 31 දා ඇතුල් කෝට්ටේ දියවන්නා ඇල්ල නුදුරු රාජකීය කොටු බැම්මට යාබද ඉඩමක් වූ තෙලඹුගහ වත්තේදී උපත ලද ජෝන් ද සිල්වා සිසුවකුව සිටියදී ‘කවට තිලක’, ‘ලක්මිණි පහන්’ පුවත්පත්වලට ලිපි සැපයුවේය.විසිවැනි වියේදී ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසින් ජීවිතය අරඹා ඉන් පසුව නීති විද්‍යාලයට ඇතුළුව නීතිය ඉගෙන නීතිඥයකු වූයේය. 1885 සීමාසහිත පූර්වදින ලංකා නාට්‍ය සමාගම අරඹා ‘දඹදෙණි නාඩගම’ එළිදැක්වූ ජෝන් ද සිල්වා ඉන්පසු ‘නලරාජ් චරිතයත්’, ‘මහා රාමායණය’ත් කරළියට ගෙනාවේය. සිංහල පරාභව නාටකයේ ප්‍රධාන චරිතය වූ බේබද්දා වෙරිවී ගෙදර ගොස් සිය බිරියට කරන ගැහැට අතරින් මෙසේ ගීතවත් වූ බව කියවෙයි.

‘එලිසා මගෙ හැතිරී 
මට දැන් බොහොම වෙරි 
බෙදපිය කොල්ලු කරි 
දිය බත් කොහොම හරි’

ජෝන් ද සිල්වාගේ සරල බස්වහර ඕනෑම ගැමියකුට නාගරිකයකුට වුවද වටහා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බව මෙවැනි නිර්මාණ පෙන්වා දෙයි.

මෙරට යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙල පැමිණි චරිතයක් වන්නේ බත්තරමුල්ලේ සුභූති හිමියන්ය. ටවුන්හෝල් එකේ යතුරක් අතින් ගත් චාර්ල්ස් හැන්රි ද සොයිසා අබිරහස් මරණයට පත්වූයේ ද සුභූති හිමියන්ට ‘මුත්තර බල්ලා’ යනුවෙන් පැවසීම බවට ඇත්තේ ප්‍රකට මතයකි. ජෝන් ද සිල්වාගේ පියාගේ මාමා වූයේ බත්තරමුල්ලේ සුභූති හිමියන්ය. දෛවෝපගත සිදුවීම වන්නේ අද ජෝන් ද සිල්වාගේ පිළිමය කෝට්ටේ පාරේ සිට එන විට එක් අන්තයක ඇති අතර, අනෙක් අන්තයේ ඇති පිළිමය බත්තරමුල්ලේ සුභූති හිමියන්ගේ වීමය.

නෑකම අනුව ජෝන් ද සිල්වා ශ්‍රී සුභූති හිමියන්ගේ ඇවැස්ස මස්සිනාය. තරුණ වියේදී සිංහල හා ඉංග්‍රීසි භාෂා ශාස්ත්‍ර හදාරා සාමාර්ථ ලත් ජෝන් ද සිල්වාගේ මුල්ම රක්ෂාව වූයේ ගුරු වෘත්තියයි. දොන් අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ පඬිතුමාගෙන් පෙරදිග භාෂා ශාස්ත්‍ර හොඳින් ප්‍රගුණ කළ ජෝන් ද සිල්වා තරුණයා එකල පළ වූ ‘ලක්මිණි පහන’, ‘කවට තිලක’ ආදී පුවත්පත්වලට රසවත් ගද්‍ය, පද්‍ය නිබන්ධනයන් සපයමින් ලේඛන කලාවෙහි ද මනා පරිචයක් ඇති කර ගත්තේය. පසු කාලයේදී නීති විද්‍යාලයට ඇතුළු වූ ඔහු නීතිඥ විභාගයෙන් ද සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් විය.

එදා ලංකාවේ පුරෝගාමී නාට්‍ය කතුවරයා වූ සී දොන් බස්තියන් ඇරැඹූ සිංහල නාට්‍ය සමාගම මඟින් පිටකොටුවේ මල්වත්තේ ප්ලොරල් හෝල් නම් ශාලාවේ නාට්‍ය හා නාඩගම් දැක්වූ අවධියකි. තරුණ ජෝන් ද සිල්වා එම රඟහලෙහිදී නාඩගම් බලා ‘දඹදෙණි නාඩගම’ නමැති පොත ලියා පළ කළේය. 1885 මැයි මාසයේදී ‘පූර්ව දිග නාට්‍ය සංගමය’ පිහිටු වූ ඔහු නාට්‍ය ලියමින් ඒවා රඟ දැක්වීමට පටන් ගත්තේ බලවත් උනන්දුවෙනි. ඔහු මුලින්ම ලියා රඟ දැක්වූ නාට්‍ය නම් ‘නලරාජ චරිතය’යි. ඉන්පසු ඔහු විසින් ලියන ලද ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය වූයේ ‘රාමායණය’ යි. එය වේදිකාගත කරන ලද්දේ 1886 මැයි මස 31 වැනිදා ය. පොල්අතු සෙවිලි කළ ප්ලොරල් හෝල් ශාලාවේදී එදා එම නාට්‍යයෙන් අඩක් පමණ රඟ දැක්වෙද්දී යම්කිසි විරුද්ධවාදීන් විසින් සැහැසි ලෙස ගිනි තබන ලදි. ඉන්පසු ජෝන් ද සිල්වා එම නාට්‍ය රඟ දක්වා ඇත්තේ ගිනිගත් රාමායණය යන නමිනි.

ඔහුගේ තවත් මාහැඟි නිර්මාණයක් වූ වෙස්සන්තර නාට්‍ය ප්‍රස්තාවනාවේ මෙසේ දැක්වෙයි.

“මෙහි රැඟුම් දක්වන නාට්‍යකරුවන් පස් පවින් වැළකී ශ්‍රද්ධා සම්පන්නව රැඟුම් කළ යුතු බව දන්වමි. එසේ කළාම කිසි වස් දොසක් සිද්ධ නොවේ. නැට්ටුවාට යහපතක් සිද්ධ වන බව සිතට ගත යුතුයි.”

එවක නාට්‍යකරුවන්ගේ ආකල්පයත් නාට්‍ය ධර්ම තුළින් ඔවුන් මතු කළ ආචාර ධර්මත් එමඟින් මනාව මතුකර පෙන්වා දෙයි. ජෝන් ද සිල්වාගේ නළු නිළියන්ට බීමත්ව සිටීමට ඉඩක් නොලැබෙයි. කාගෙන් හෝ සුරා ගඳක් වහනය වුවහොත් ඔහු එවේලේම රංග භූමියෙන් පිට කරනු ලැබ ඇත. ඒ බැව් කවුරුත් දැන සිටි හෙයින් දැඩි විනයක් වේදිකාව තුළ විය.

එසේම අලකේශ්වර චරිතය නම්වූ නාට්‍ය ප්‍රස්තාවනාවේ දැක්වෙන පහත දැක්වෙන සටහනින් තවත් වැදගත් පුවතක් හෙළි කොටගත හැකිය.

“ජයවර්ධනපුර කෝට්ටේ වැදගත් පවුලකට අයත් එහි උපන් ඇඩ්වර්ඩ් පෙරේරා නීතිඥ මැතිතුමන්ට මම සැලකීමක් වශයෙන් මෙම මධුර ග්‍රන්ථය බුද්ධාගම් කාරයෙක් වූ මම කෙළෙහිගුණ සැලකීමක් වශයෙන් මෙසේ ඔප්පු කෙළෙමි.”

ජෝන් ද සිල්වාගේ නීතිඥ කටයුතු සපුරා ගැනීම සඳහා බෙහෙවින් උපකාර කළ ඊ.ඩබ්ලිව්. පෙරේරාට මෙසේ උපහාර දැක්වීම ඔහුගේ කෘතවේදිත්වය පළ කෙරෙන්නකි. භක්තිය පිරි නැමෙන්නකි. ඇඳුමෙන් පැලඳුමෙන්, හිස පීරීමෙන්, රැවුල් වැවීමෙන් පවා ජෝන් ද සිල්වා අනුගමනය කළේ ඊ.ඩබ්ලිව්. පෙරේරා ය. එසේම කුදු මහත් කටයුතුවලදී ජෝන් ද සිල්වාට උපකාර කළ තවත් දෙදෙනකු නම් ඇෆ්.ආර්. සේනානායක සහ කර්නල් ටී.ජී. ජයවර්ධන ය.

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා 
පේවී රකිති සොඳ සීලේ නිබන්දා 
කෙලෙසුන් නස්නා 
භික්ෂුන් ඇත්තෙය බෝසේ 
රහතුන් නිවසනා පායා ප්‍රකාසේ 
බූලෝ මතේ මේ දෙව් ලෝ පෑවාසේ 
පේනා මෙපුර මුනි ශාසන වාසේ 
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ 
සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ 
මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී 
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී 
සේරුද පංති පංතී පීනි බෝ සේ 
අනුරාධ නගරය දැන් පේනේ ඔස්සේ

මේ ගීයෙහි තනුව ජාතික ගීයට අනුපිය නඟමින් වාදනය කරනු ලබන අවස්ථා එමටය. එය ඒ තරමටම ජාතික අනුරාගය වැඩීමට හේතු වී ඇති නිසාය. ජාතික වශයෙන් වැදගත් වූ උත්සව අවස්ථාවලදී මෙන්ම විවාහ මංගල උලෙළකදී යුවතිපති දෙදෙනා පෝරුවෙන් බැස මංගල පොල් තෙල් පහන දල්වන විටදීත් මේ ගීතයේ තනුව වාදනය කිරීම තවමත් සිරිතක් වී ඇත. ක්‍රිස්තියානි හා කතෝලික දෙව් මැඳුරුවලත් මේ ගී තනුව වාදනය වනු අසන්නට ලැබීම මෙම ගීතයට ආගම් භේදයක් නැති බවට කදිම උදාහරණයකි. ඒ අප නිදහස ලැබුවාට පසු ඇති වූ ජාතික හැඟීම් සමඟ දෙව් මැඳුරුවලට ඇතුළු වූ සිරිතක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ජෝන් ද සිල්වා මේ ගීය රචනා කළේ ඔහුගේ සිරිසඟබෝ නාට්‍යය සඳහාය. මහියංගනයේ සිට නන්ද තෙරුන් සමඟ පා ගමනින් අනුරාධපුරයට ආ සංඝතිස්ස, සංඝබෝධි, ගෝඨාභය යන කුමරුවන් තිදෙනා ගයන මේ ගීයෙන් ජාතියේ කේන්ද්‍රස්ථානය වන අනුරාධපුර නගරය වර්ණනා කෙරේ. මේ නාට්‍යයේ මෙන්ම ජෝන් ද සිල්වාගේ බොහෝ නාට්‍යවල ගී වලට තනු සැපයූයේ පණ්ඩිත විශ්වනාත් ලව්ජි නමැති ඉන්දීය සංගීතඥයාය.

ජාතික ගීය තරමට සිංහලයන් අතර ප්‍රචලිත මේ ගීතයෙහි සංගීත තනුව ඇත්තෙන්ම කාගේ ද?යන්න පිළිබඳ පර්යේෂණයක් කළ ජන ගී විමර්ශකයකු වූ මකුලොලුව එහි තීන්දුව දෙන්නට පෙර මිය ගියේය. ඒත් 1986 දී සී ද ඇස් කුලතිලක දන්නෝ බුදුන්ගේ ගීතය ගැන අපූරු හෙළිදරව්වක් කළේය. කුලතිලක මෙම හෙළිදරව්ව කරන ලද්දේ මාතලේ පැවති සාහිත්‍ය සභාවකය. කුලතිලකගේ හෙළිදරව්වට වූයේ දන්නෝ බුදුන්ගේ ගීතය ජර්මන් ගීතයක තනුවක් බවය. සී ද ඇස් කුලතිලක එවකට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ ඒකකයේ ප්‍රධානියා වශයෙන් කළ මෙම ප්‍රකාශය සනාථ කරන්නට නියම ජර්මන් ගීතයේ තනුව වේදිකාවේ ග්‍රැමෆෝනයක් ආධාරයෙන් ප්‍රචාරය කොට පෙන්වා දී ඇති අතර, මෙම දන්නෝ බුදුන්ගේ තනුව ඉන්දියාවට සංක්‍රමණය වී ඇත්තේ 1900 ටත් ප්‍රථම බව කුලතිලකගේ මතය විය. මුල් තනුව කාගේ වුණත් දන්නෝ බුදුන්ගේ ගීතය අද අපේ ඇටමිඳුළුවලට බද්ධ වූ ජාතික උරුමයක් වී හමාරය.

අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියදී ජෝන් ද සිල්වා විසින් ඉංග්‍රීසි උගතුන්ගේ ප්‍රයෝජනය සඳහා A Compendium of the History of Ceylon නමින් ඉතිහාස ග්‍රන්ථයක් ලියා පළ කරන ලදී. මෙය සිංහල පාඨකයන්ට හඳුන්වා දී ඇත්තේ ලංකා කව් සංක්ෂේපය යන නමිනි. ජෝන් ද සිල්වා සිය නාට්‍ය ඔස්සේ පිහිටුවා ඇත්තේ 1885 දීය. එය සීමාසහිත පූර්වදිග ලංකා සමාගම (Ceylon Oriental dramatic Company Limited) යනුවෙන් හඳුන්වනු ලැබිණ. ඔහු ස්වකීය නාට්‍ය සඳහා ලංකා ඉතිහාසයෙන් සිංහල සාහිත්‍යයෙන් ජනප්‍රවාදයෙන් කථා වස්තු උපුටා ගත්තේය. සරල ජීවිතයක් ගත කළ නොපැසුණු රසඥතාවකින් යුත් ප්‍රේක්ෂකයන් පිනවන අටියෙන් නාට්‍ය නිර්මාණය කිරීමට ජෝන් ද සිල්වාට සිදු වන්නට ඇත. ඒ ගැන සරච්චන්ද්‍රයන්ගේ ද සිංහල ගැමි නාටකය පොතේ සඳහන් වන්නේ මෙසේය.

“ඒ අවධියෙහි බොහේ කලා ශිල්පවලට හා සාහිත්‍යයට මෙන් නූර්තියට ද වූයේ විචාරවත් රසික පිරිසක් නොසිටීමේ අභාග්‍යය. බටහිර සංගීතය අනුව රුචිය හැඩගස්වාගත් ඉහළ පන්තියේ අය සිංහල නොදන්නාහු සිංහල නාට්‍ය බලන්ට නොගියහ. ද්විපක්ෂික මධ්‍යම පන්තිකයෝ නාට්‍ය කලාව ගර්හිත තත්ත්වයට පත්වූවක් බැවින් එය වර්ජනය කළෝය. මේ හේතු නිසා නාගරික පහළ මැද පන්තියේ ද කම්කරු පන්තියේද සංකර වූ රුචිකත්වයට අනුකූලව වැටුණු නූර්තියට උසස් කලා මාධ්‍යයක් බවට පත්වීමට අවස්ථාව නොලැබුණි.”

ජෝන් ද සිල්වාගේ දන්නෝ බුදුන්ගේ ගීතයට පමණටම සමාන නිර්මාණයක් ලෙස සරච්චන්ද්‍රයන් දකින්නේ මේ වෙස්සන්තර ගීතය ය.

මංගෙ මන්ද්‍රි නම් බිසෝගේ 
යාඥා බෝය වේගේ 
නෙක් චණ්ඩ ව්‍යාඝ්‍ර වාසේ 
හිමාල දේස දේවී 
හාමත්ව ඉන්ට වේමැයි බෝ දුක් 
විඳින්ට වෙන්නේ 
නවතින්න මාලිගාවේ 
සීදේවි නේනු මාගේ

මේ සම්බන්ධයෙන් අපූර්ව විවරණයක් සරච්චන්ද්‍රයන් කර ඇත. එය මෙසේය. “ගීතයෙහි භාෂා ප්‍රයෝගය ඔප මට්ටම් කරන ලද්දක් නුවුවද එහි රාග තාලයෙහි හා වචනවල මනා සංකලනය නිසාත් ප්‍රකාශිත කුලධර්මානුකුල හැඟීම් නිසාත් සිංහලයන්ගේ පාරම්පරික උප විඥානය හාරා අවුස්සා ඔවුන් ලොමු දැහැගැන්මෙන් උදම් කරවන ශක්තියක් එහි ඇත්තා සේය. ජෝන් ද සිල්වා විසින් ලියන ලද නාට්‍ය ග්‍රන්ථ 54 ක් බව එවකට සිළුමිණ කර්තෘ ධූරය හෙබවු මීමන ප්‍රේමතිලක 1962දී සිළුමිණට ලිපියක් ලියා ඇත. ජෝන් ද සිල්වා තම නාට්‍යයක දෙබස් වැරැද්දූ නළුවකුට අත්කළ ඉරණම එහි සටහන් කොට ඇත්තේ මෙසේය. වරක් මරණනුසුමෘති ප්‍රකරණ නාටකය රඟදක්වද්දී නාථ දෙවියන්ගේ චරිතය නිරූපණය කළේ ඇඩ්වින් ජයවර්ධන නමැති නළුවෙකි. ජයවර්ධන විසින් කිව යුතුව තිබුණ වාක්‍යයක් ඔහුට කියැවුණේ වැරදි අන්දමටය. වේදිකාවේ පසුබිමෙහි සිටි ජෝන් ද සිල්වා වහාම තිරය පහත් කරවා රැස්ව සිටි සෙනඟ ඇමතීය. “මහත්වරුනි, මේ ජඩයා මගේ නාට්‍යය කෑවා. ඔහු කීවේ මගේ පොතෙහි සඳහන් දෙයක් නොවේ” යි ජෝන් ද සිල්වා ගුගුලේය. ඉන්පසු ඇඩ්වින් ජයවර්ධන ජෝන් ද සිල්වාගේ නාට්‍යයක් රඟපානු නොදක්නා ලදි.

ජෝන් ද සිල්වාගේ ජීවිතය අධ්‍යයන කළ විට ඔහු රස ගුලාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මිත්‍රයකුගේ ගෙදරකට තේ පැන් සංග්‍රහයකට ගිය විට ජෝන් ද සිල්වා සමඟ ඇතිවු කවි සංවාදයකින් ලිපිය අවසන් කරමි.

උදය තේ මේසයට වාඩි වූ මිතුරන් කවියක් කියා තේ පානය කළ යුතු යැයි කතිකා කර ගත්හ.

ආප්ප ගොඩක් මේසය උඩ තිබෙන්නා

තවත් මිත්‍රයෙක් දෙවන පදය මෙසේ කීය.

මැස්සො රැළක් ඒ වටකර සිටින් නා

තුන්වැනි පදය කිව යුතුව තිබුණේ ජෝන් ද සිල්වාට ය.

ගොන්නු රැළක් ඒ කට කවි කියන් නා

ඉතිරි මිත්‍රයා ඒ පදය ඇසූ පසු පුටුවෙන් නැඟිට ගිය හෙයින් ගෙහිමියා සිවුවැනි පදය සම්පූර්ණ කළේ මෙසේය.

එයින් ගොනෙක් ඉවතට පැන දුවන්නා

ජෝන් ද සිල්වා පුත්‍රයා වූ පීටර් සිල්වා විසින් පසු කාලයකදී පිහිටුවනු ලැබූ ‘විපුල රංග සභාව‘ මඟින් ජෝන් ද සිල්වාගේ නාට්‍ය කීපයක්ම වරක් දෙකක් බැගින් ද රඟ දක්වා ඇති බව වාර්තා වී ඇත. ජෝන් ද සිල්වාගේ නාට්‍යවලින් ජාතික හා ආගමික වශයෙන් නව පුනර්ජීවයක් ලබා දීමෙන් තම නාට්‍ය කලාව පිළිබඳ හසළ නිපුණත්වයක් ඔහු පිළිබිඹු කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ශ්‍රී ලංකාවෙහි සංස්කෘතික පුනර්ජීවය ලබා ගැනීමට ජෝන් ද සිල්වාගෙන් වූ සේවයට ඔහුගේ නාමය, කීර්තිය අමරණීය විය. ඔහුගේ නාමය රට වැසියන් අතර නිරන්තරයෙන් රැව්පිළිරැව් දෙයි. එය අදත්, හෙටත්, සදහටමත් දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් ලෙස ගැයෙන තාක් කල් රැව්පිළිරැව් දෙනු නොඅනුමානය.

Comments