ෂාරුක්ගේ පුතා අධ්‍යක්‍ෂවරයෙක්, දුව නිළියක් | Page 2 | සිළුමිණ

ෂාරුක්ගේ පුතා අධ්‍යක්‍ෂවරයෙක්, දුව නිළියක්

ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මෙයට ටික කලකට පෙර විශාල මාධ්‍ය අවධානයක් දිනාගත් චරිතයක් වුණා. ඊට හේතු වූයේ ඔහු තම මිතුරන් පිරිසක් ද සමඟ මත්ද්‍රව්‍ය චෝදනාවකට මැදිවීමයි. මේ නිසා ෂාරුක් ඇතුළු ඔහුගේ පවුලේ උදවිය ද දැඩි කම්පනයකට, පීඩනයකට පත්ව සිටියා. කෙසේ හෝ වේවා, මෙම චෝදනා ඉවත දැමීමට පැමිණිලිකාර පාර්ශ්ව පසුව කටයුතු කළ නිසා එම ප්‍රශ්නය විසඳුණා.

මේ දිනවල නැවතත් ආර්යන් පුවත් මවන්නකු බවට පත්ව සිටිනවා. ඒ කලින් සඳහන් කළ සිදුවීමට වඩා හාත්පසින්ම වෙනස් කාරණයක් නිසයි. ආර්යන් පළමු වරට තිර රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වඩින්නට සූදානම් වන බවයි පැවසෙන්නේ. නමුත් ඒ සිනමාපටයක් තුළින් නම් නොවෙයි. ස්ටී්‍රමිං සේවාවක් ඔස්සේ විකාශය කරන මාලා නාටකයක් (Series එකක්) හරහායි. මෙය කොටස් හයකින් සමන්විත මාලා නාටකයක් බව සඳහන්. එය දැනට නම් කර තිබෙන්නේ Stardom යනුවෙන්. 

මෙම මාලා නාටකය සිනමා කර්මාන්තය පසුබිම් කරගත් කතාවක් රැගත් නිර්මාණයක් බව පැවසෙනවා. ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ මෙය නෙට්ෆ්ලික්ස් සේවාව ඔස්සේ විකාශය වනු ඇති බවයි. නමුත් තවත් සමහර මාධ්‍යවල මීට වඩා වෙනස් කතාවකුත් පළ වී තිබුණා. එනම් මෙම මාලා නාටකයේ රූගත කිරීම් අවසන් වන තෙක් එය අලෙවි කරන්නේ කවර ස්ටී්‍රමිං සේවාවකට ද යන්න තීරණය නොකෙරෙනු ඇති බවයි. ආර්යන්ගේ මෙම නිර්මාණය නිෂ්පාදනය කරන්නේ ෂාරුක්ට අයත් රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් (Red Chilies Entertainment) සමාගම යි.

තවමත් මෙහි රූපගත කිරීම් ආරම්භ කර නැහැ. මේ වන විට පූර්ව නිෂ්පාදන (Pre-production) අදියරේ පවතින Stardom හි රූගත කිරීම් මෙම වසර අවසාන භාගයේ ආරම්භ වනු ඇති බව සඳහන් වෙනවා. මෙම මාලා නාටකයේ තිර නාටක රචකයාත් ආර්යන්මයි.

ආර්යන් සිය පියාගේ අඩි පාරේ යමින් නළුවකු වනු දැකීමට බොහෝදෙනෙකු ආසාවෙන් සිටි බව රහසක් නොවෙයි. ෂාරුක්ලාගේ පවුලේ හිතවතකු වන සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ කරන් ජොහාර් ද කිහිප වරක් ආර්යන් නළුවකු කිරීමට උත්සාහ ගෙන තිබුණා. නමුත් ආර්යන් නළුකමට එතරම් කැමැත්තක් දක්වන කෙනෙකු නොවන බවයි සඳහන් වන්නේ. මේ ගැන මෙයට කලකට පෙර ෂාරුක් ද අදහස් පළ කර තිබුණා. නළුවකු වුවහොත් තම පියාගේ දැවැන්ත ප්‍රතිරූපය ඔහුට අභියෝගයක් වන බව දන්නා නිසා ආර්යන් එම වෘත්තියට අකැමැති වන්නට ඇති බවත් ඇතැමුන් පවසනවා. එහි සත්‍යතාවක් තිබෙන්නට පිළිවන්.

මේ වන විට 25 වැනි වියෙහි පසුවන ආර්යන් වසර කිහිපයකට පෙර ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් සිනමා කලාව පිළිබඳ උපාධියක් ලබා ගත්තා. මෙම පාඨමාලාවේදී ඔහු අධ්‍යක්‍ෂණය සහ තිර රචනය යන විෂයයන් දෙකම හදාරා තිබුණා.

ඔහු පසුගිය දිනෙක වෙළෙඳ දැන්වීමකුත් අධ්‍යක්‍ෂණය කර තිබුණා. එහි දී ඔහු තම පියාවත් අධ්‍යක්‍ෂණය කර තිබූ බව සඳහන් වෙනවා. මෙම වෙළෙඳ දැන්වීම නිර්මාණය කර තිබුණේ ආර්යන්ටම අයත් වෙළෙඳ ව්‍යාපාරයක් වෙනුවෙන්. එය ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් බවයි පැවසෙන්නේ.

ආර්යන් සිනමා රංගනයට උනන්දුවක් නොදැක්වුවත් ෂාරුක්ගේ දියණිය සුහානා නම් ඊට විශාල උනන්දුවක් දක්වනවා. 22 හැවිරිදි ඇය මේ වන විටත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපා අවසන්. ඒ සෝයා අක්තාර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද The Archies නැමැති සිනමාපටයේ යි. එය තරුණ වියේ පසුවන කිහිප දෙනෙකු පිළිබඳ කතාවක් රැගත් සිනමාපටයක්. ජනප්‍රිය නිළියක වූ ශ්‍රී දේවිගේ බාල දියණිය (ජන්වි කපූර්ගේ නැගණිය) කුෂි කපූර් ද මෙම චිත්‍රපටයේ චරිතයක් රඟපානවා. ඊට අමතරව අමිතාබ් බච්චන්ගේ මුනුපුරකු වන අගස්ත්‍යා නන්ද ද මෙහි රඟපාන බව සඳහන්. අගස්ත්‍යා යනු අමිතාබ්ගේ දියණිය වන ශ්වේතා බච්චන් නන්දගේ පුතණුවන්ය. The Archies චිත්‍රපටය මෙම වසරේ අවසන් භාගයේ තිරගත වීමට නියමිත යි.

මේ අතර ෂාරුක් රඟපාන චිත්‍රපට දෙකක් ද 2023 වසරේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ, ඇට්ලි කුමාර් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘ජවන්’ සහ රාජ්කුමාර් හිරානි අධ්‍යක්‍ෂණය කරන ‘දුන්කි’ යන චිත්‍රපට දෙකයි.

‘ජවන්’ චිත්‍රපටය ජුනි 2 වැනි දින තිරගත කිරීමටයි නියමිතව තිබුණේ. නමුත් එම දිනය කල්දමා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. දැන් එය ප්‍රදර්ශනය ආරම්භ කරනු ඇත්තේ සැප්තැම්බර් මාසයේ බවටත් කතාවක් තිබෙනවා.

‘දුන්කි’ තිරගත වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මාසයේයි.

Comments