ලැබෙන්න ඉන්නේ දුවයි පුතයි කියලා දැනගත්තම මම මාර විදිහට සප්‍රයිස් වුණා | Page 2 | සිළුමිණ

ලැබෙන්න ඉන්නේ දුවයි පුතයි කියලා දැනගත්තම මම මාර විදිහට සප්‍රයිස් වුණා

බුවනි දියලගොඩ කියන්නේ ඉතාම සීමිත නිර්මාණවලට දායක වූ නිළියක්. නමුත් ඇය ජනප්‍රියත්වය එකසේ රඳවාගෙන ඉන්න චරිතයක්. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන ඈ දැන් නිවුන් දරුවන් දෙදෙනෙකු ගේ ආදරණීය මවක්. අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ ගත කරන ඇය ගැනයි මේ කතාබහ.

අවුරුදු තුනක් විවාහ වෙලා දරු සුරතල් බලන්න ආසාවෙන් හිටපු බුවනිත් අන්තිමට මවක් වුණා ..?

ඒ අවස්ථාව උදා වෙනකල් මම ආසාවෙන් බලාගෙන හිටියා. අප්‍රේල් මාසේ 15 දා අම්මා කෙනෙක් වුණා. ඒ අත්දැකීම ඇත්තටම මාව පුදුම කළා කිව්වොත් හරි. අම්මා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ සතුට කොච්චර හිතට දැනෙනවද කියලා.

නිවුන් දරුවන් කියලා දැනගෙන හිටියද..?

මුලින් දන්නේ නැහැ. තුන් වෙනි ටෙස්ට් එකේදී තමයි දැනගත්තේ දරුවෝ දෙන්නෙක් කියලා. ලැබෙන්න ඉන්නේ දුවයි පුතයි කියලා දැනගත්තම මම මාර විදිහට සප්‍රයිස් වුණා.

ගැබිනි කාලේ ඇතැම් අයට අමාරු කාලයක් ඔබත් ඒ අමාරු කාලය විඳින්න ඇති. එතකොට බයක් දැනුණේ නැද්ද ..?

මාස නමයම මට අමාරු වුණා. කන්න බැහැ. වමනේ යනවා. සමහර අම්මලාට එච්චර අමාරු වෙන්නේ නැහැ කියලා මම අහලා තිබුණේ. නමුත් මට අමාරු වුණා. ඒ අමාරු කාලේ මගේ සැමියා කසුන් තමයි මට හයියක් වුණේ. අමාරු කාලේ මම පන්නරය ගත්තේ එයාගේ හයියෙ. අදටත් එයා කියනවා දරුවෝ දෙන්නා හිටියට කමක් නැහැ ඔයාට එළියට ගිහිං යාළුවෝ හම්බෙලා එන්ජෝයි කරන්න ඕන නම් යන්න කියලා. නමුත් අම්මා කෙනෙක් හැටියට දැන් දරුවෝ එක මොහොතක් තනි කරන්න හිතන්නේ නැහැ.

ඔබ ගැබිනි කාලේ අනතුරකටත් ලක් වෙලා..?

අප්‍රේල් 13 වැනිදා මම ලිස්සලා බිම වැටුණා. එදාම හොස්පිට්ල් ඇඩ්මිට් කළා. ඊට පස්සේ 15 දා සිසේරියන් සැත්කමකින් බබාලව ගත්තා. වැටුණු නිසා බය වෙලා තමයි හොස්පිට්ල් ඇඩ්මිට් වුණේ. නමුත් ඉන් දරුවන්ට හානියක් වුණේ නැහැ.

දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවල හා ලැබුණට පස්සේ බොහෝ අම්මලා තරබාරු වෙනවා කිව්වට බුවනිගේ වෙනසක් වෙලා නැහැ ..?

බබා ලැබෙන්න ඉන්න කාලේ මගේ බර කිලෝ හත අටකින් විතරයි වැඩි වෙලා තියෙන්නේ. ලස්සන වෙලාද කැත වෙලාද කියලා නම් තේරෙන්නේ නැහැ. නමුත් කෙට්ටු වෙලා තියෙනවා

වත්සලා දියලගොඩ ඔබේ සහෝදරිය. ඇගේ දියණියගේ ප්‍රතිචාර කොහොමද ..?

අක්කගේ දුවට එකපාර නංගියි මල්ලියි දෙන්නෙක් ලැබිලා නිසා එයා හරි එක්සයිටඩ්. දෙන්නා ඇයි ගොඩක් වෙලා නිදි කියලා අහනවා. ඇහැරවලා සෙල්ලම් කරන්න හදනවා. එයාගේ වැඩ කරන්න උදව් කරනවා. ඉස්කෝලේ ඇරිලා අපේ ගෙදර එන්න තමයි දැන් උත්සාහ කරන්නේ බබාලව බලන්න. මොකද මට බබාලා නැති කාලේ අපේ හුරතලි එයානේ. එයා නංගිටයි මල්ලිටයි හරි ආදරෙයි.

දරුවෝ දෙන්නෙක් කියන්නේ ලොකු වගකීමක් ..?

ඒක නම් ඇත්ත. තනිකඩ කාලේ තිබ්බ නිදහස විවාහ වුණාට පස්සේ වගකීම් එක්ක වෙනස් වුණා වගේ දැන් ඊට වඩා වෙනස්. නින්දක් කෑමක් බීමක් වෙලාවට නැහැ. ඒත් ඒ වගකීම මම දරන්න සූදානම්. ආසවෙන් හැමදේම කරනවා. දෙපැත්තේ දෙමාපියන් උදව් කරනවා ඒකත් හයියක්.

රඟපෑමට දැන් තිතද..?

තවම එහෙම හිතලා නැහැ. ඉදිරියේ දී හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙයි. බලමු

  

Comments