ඉවාන් ෆවුලූෂා ගීතය මට අහම්බයක් | Page 2 | සිළුමිණ

ඉවාන් ෆවුලූෂා ගීතය මට අහම්බයක්

 

ඉවාන් ෆවුලූෂා ඇයි හොරැහින් මදෙස බලන්නේ.... මේ ගී පද බොහෝ රසිකයන්ගේ සිත මීට වසර ගණනාවක් ඈතට රැගෙන යනු නොඅනුමානයි. එදා මෙන්ම අදටත් රසික මුවින් මිමිනෙන මේ අපූරු නිර්මාණයට ජීවය එක් කළ ඒ මිහිරි හඬ අප්සරාද සිල්වාගේය. වෘත්තියෙන් නීතිඥවරියක වන ඇය කලක් විදෙස්ගතව සිට පසුගියදා මෙරටට පැමිණියාය.

 

කොහොමද මේ දවස්වල ජීවිතේ ?

මේ දවස්වල මම ලංකාවට ඇවිත් ඉන්නේ. තව ටික දවසක් ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවා.

දිගටම ලංකාවේ ඉන්න කැමැත්තක් නැද්ද?

මම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඉන්නේ විදේශගත වෙලා. එහෙම හිටියත් මම තවමත් කැමැති ලංකාවට. මගේ අම්මයි නංගියි ඉන්නේ ලංකාවේ. මට ඉඩක් ලැබුණු හැමවෙලාවෙම මම ලංකාවට එන්න තමයි උත්සාහ ගන්නේ.

 

ඔබට කොහොමද ඉවාන් පවුලූෂා ගීතය ලැබෙන්නේ ?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට සමත්වීමත් එක්ක මට අවස්ථාව ලැබෙනවා විශ්වවිද්‍යාලයේ ති‍ෙයන විවිධ උත්සව වෙනුවෙන් ගීත ගායනා කරන්න. ඒ උත්සවය වෙනුවෙන් අපිට සංගීතය පුහුණු කරන්නේ ඩිරෙක්ස් ප්‍රියන්ත අයියා. එයා මගේ දක්ෂතාව හඳුනගෙන ඒ කාලේ අපේ විශ්වවිද්‍යාලයේම ශ්‍රාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබපු චාරුක සුරවීර මල්ලිට කියලා සින්දුවක් ලියවනවා. ඒ 1998 වර්ෂයේ. ඊට පස්සේ ඩිරෙක්ස් අයියම ඒ ගීතයට සංගීතය නිර්මාණය කරලා මට කිවුවා අපි මේක කියමු කියලා. ඒ තමයි ඉවාන් ෆවුලූෂා කියන ගීතය. ඒ කාලේ ජාතික රූපවාහිනියේ සෙනේෂ් බණ්ඩාර දිසානායක යාත්‍රා වැඩසටහන කරන කාලේ. යාත්‍රා වැඩසටහන හරහා ප්‍රථම වරට රූප රචනාවකුත් එක්ක මම මේ ගීතය ගායනා කරනවා. ඒ කාලේ සමාජයේ මේ ගීතය වෙනස්ම විදිහේ නිර්මාණයක් වූණා.

 

ඔබේ පවුලේ විස්තර ගැන කතා කළොත්?

මගේ ගම මාතර. අම්මයි තාත්තයි නංගියි තමයි අපේ පවුලේ ඉන්නේ. හැබැයි අපේ පවුලේ කවුරුත් ලොකුවට කලාවට සම්බන්ධයි කියලා කියන්න බෑ. ඒත් පවුලේ හැමෝටම ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඉතිං පවුලක් විදිහට අපි ඉඩක් ලැබුණු හැම වෙලාවකදිම ගීත ගායනා කරනවා. ඉතිං අම්මා වුණත් හැමවෙලාවෙම නංගිවයි මාවයි උනන්දු කළා ගීත ගායනය වෙනුවෙන්. ඒ වගේම මම අවුරුදු 23 වෙනකොට විවහ වෙනවා. ඒක ප්‍රේම සම්බන්ධයකින් සිදු වෙන විවාහයක්. විිවාහයෙන් පස්සේ මමත් සැමියත් රට අතහැර යනවා. මගේ පුතාලා දෙන්නම මේ වන විට වෛද්‍ය සිසුන්. ඔවුන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතු සිදු කරනවා.


 

තවමත් ඔබට ගීත ගායනය වෙනුවෙන් ආරාධනා ලැබෙනවද?

ගොඩක් අය දන්නේ මම ලංකාවෙන් පිට ඉන්නවා කියලා. අනික තමයි මම ඉවාන් ෆවුලූෂා ගීතය හරහා ජනප්‍රිය වුණාට මම එක දිගට ගීත ගැයුවේ නැහැ. මගේ යාළුවෝ සහ මා ගැන දන්න අය දොස් කියනවා මේ තරම් ලස්සනට ගීතයක් කරලා ඇයි තව ගීත නොකළේ කියලා.

ඔබ ගායනා කළ වෙනත් ගීත ගැන කතා කළොත් ඒවා ප්‍රේක්ෂකයන් වැලඳගත්තේ කොහොමද?

ඔව්. මම මුල් කාලේ ගීත දෙකක් කළා. ඒකත් මගේ විශ්වවිද්‍යාලයේම මිතුරෙක් වුණ තරංග වීරසිංහ තමයි ලියන්නේ. ගීතයේ තනු නිර්මාණය ඩිරෙක්ස් වීරසිංහ අයියගේ. ඒකත් ටික කාලයක් රේඩියෝ එකේ ගියා. නමුත් ඒකට අපි රූප රචනාවක් කළේ නෑ. ඊට පස්සේ මම රඹුක්කන සිද්ධාර්ථ හිමියන් ලියූ ගීතයක් කළා. හිතේ කඳුළු කියලා. නමුත් ඒ ගීත දෙක ඉවාන් ෆවුලූෂා ගීතය තරම් ජනප්‍රිය වුණේ නෑ.

‍තව ගීතයක් නිර්මාණය කළා නම් කියලා පසු තැවුණ අවස්ථා නැද්ද?

මට කවදාවත් වුවමනා වුණේ නෑ ජනප්‍රිය වෙන්න. ඉවාන් ෆවුලූෂා ගීතය මට අහම්බයක්. මට වඩා මේ ගීතය වෙනුවෙන් මහන්සි වුණේ ඩිරෙක්ස් අයියා සහ චාරුක මල්ලී. මම ඒ ගීතයේ සෙවණැල්ල පමණයි. මම මගේ කාලය වැය කළේ දරුවෝ දෙන්නා වෙනුවෙන්. තාමත් ප්‍රේක්ෂකයෝ මගේ ගීතය ආදරයෙන් වැලඳගන්නවා ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

 

Comments