රෝග පීඩා ගැන තත්කාලයෙන් කරන හෙළිදරව්ව | සිළුමිණ

රෝග පීඩා ගැන තත්කාලයෙන් කරන හෙළිදරව්ව

කේන්දරයක් නොමැති අවස්ථාවලදී තත්කාලයෙන් තොරතුරු

රෝග ගැන හෙළිදරව්ව කේන්දරේ 6 වැනි භාවයෙන්

 

රෝගාබාධ හඳුනා ගැනීම සඳහා තත්කාල කේන්දරය යොදාගත හැකි බව අප දනිමු. ජන්ම පත්‍රයක් ඇති අවස්ථාවකදී මෙන්ම නැති විටකදී වුව ද තත්කාල කේන්දරය මඟින් බොහෝ තොරතුරු හඳුනාගත හැකි වෙයි. තත්කාල කේන්‍දරය මඟින් රෝගය ගැන හඳුනා ගැනීම සඳහා ජන්ම පත්‍රයේ මෙන්ම තත්කාල කේන්දරයේද 6 වැනි භාවය බලන්න.

තත්කාල විමසුම්වලදී පළමුවෙන්ම තත්කාල කේන්දරයේ සඳුගේ පිහිටීම ගැන බලන්න. සඳුගේ පිහිටීම මඟින් ප්‍රශ්නකරුගේ සිත ගැන පෙන්වයි.

මේ තත්කාල කේන්දරයේ සඳු 6 වැනි භාවය අධිපතිව වෘශ්චික රාශියේ 10 වැනි භාවයේ සහ බුධගේ නක්‍ෂත්‍රයක තැන්පත්ව සිටියේය. බුධ 5 වැනි සහ 8 වැනි භාව හිමියාව මේෂ රාශියේ 3 වැනි භාවයේ තැන්පත්ව සිටියේය.

තත්කාල කේන්දරයේ සඳු 6 වැනි සහ 5 වැනි භාවවලට නිවේදකයෙක් වන නිසා රෝගාබාධ සහ ඒවායින් සුවය ලබන බව පැහැදිලිවම පෙන්වයි. එය ප්‍රශ්නය නිවැරදිවම විමසා ඇති බව පැහැදිලි කිරීමකි. ඒ නිසා පිළිතුරද නිවැරදිවම ලැබේ. මේ තත්කාල කේන්දරයේ 6 වැනි භාවය සඳුගේ රාශියේ ශනිගේ නක්‍ෂත්‍රයක සහ ශනිගේ උපස්ථානයකයි. මෙම සඳු සහ ශනි යන ග්‍රහයන්ගේ සම්බන්ධතාව අනුව ප්‍රශ්නකරු පීඩා විඳින රෝග මොනවාඳැයි හඳුනාගත හැකිය. සඳු මඟින් දියර ගතිය සහ ශනි සැඟවුණ හෝ හඳුනා ගැනීමට අපහසු රෝග පිළිබඳව ඉඟි කරයි.

තත්කාල කේන්දරයේ 6 වැනි භාවයේ උපස්ථානය හිමි ශනි ග්‍රහයා තැන්පත්ව සිටියේ රාහුගේ නක්‍ෂත්‍රයකය. රාහු ග්‍රහයා ලැගුම්ගෙන සිටියේ මේෂ රාශියේය. මේෂ රාශිය යෙදෙන කාල පුරුෂයාගේ ශරීරාංග වනුයේ හිස සහ හිස සම්බන්ධ අනෙකුත් අවයවයන්ය. රාහු ග්‍රහයා මේෂ රාශියේ ලැගුම්ගෙන සිටින හෙයින් මේෂ රාශියේ අධිපති කුජගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කරයි. ඒ අනුව වැලඳෙන රෝග වන්නේ හිස, මුහුණ, වම් කන, රසය දැනීම, නාසය, සහ මූත්‍රාශය යනාදියයි.

තත්කාල කේන්‍ද්‍රයේ 1 වැනි සහ 6 වැනි භාව නිවේදකයන් වන්නේ ශනි සහ සඳු යන ග්‍රහයන් වෙති. ඔවුන්ගේ දශා අතුරු දශා කාල සීමාවලදී රෝගාබාධ ඇති කරයි. 8 වැනි භාවය ද සම්බන්ධ වන්නේනම් දරුණු රෝගාබාධ හේතු කොටගෙන ශල්‍යකර්මවලට භාජනය වීමට සිදුවෙයි. 12 වැනි භාවය ද සම්බන්ධ වන්නේනම් රෝගාබාධ හේතු කොටගෙන රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි.

තත්කාල කේන්‍ද්‍රයේ, 1 වැනි සහ 5 වැනි භාව නිවේදකයන් වන්නේ ශනි, බුධ සහ සඳු යන ග්‍රහයන් වෙති. ඔවුන්ගේ දශා අතුරු දශා කාල සීමාවලදී රෝගාබාධවලින් මිදී සුවය ඇති කරයි. 1 වැනි, 5 වැනි සහ 6 වැනි භාව එක්වරටම ක්‍රියාත්මක වන කාල සීමාවලදී රෝගාබාධවලින් සම්පූර්ණ සුවය ලබා ගැනීමට අපහසු වෙයි.

මේ තත්කාල කේන්දරයේ ආරම්භයේදී බුධගේ මහ දශාව පැවතියේය. බුධගේ නිවේදකත්වය 3, 5 සහ 8 වැනි භාවවලට යොමුවී ඇත.

බුධ ග්‍රහයා තැන්පත්ව සිටියේ සිකුරුගේ නක්‍ෂත්‍රයකය. සිකුරුගේ නිවේදකත්වයද 4 සහ 5 වැනි භාවලට යොමුවී ඇත. ඒ නිසා බුධගේ මහ දශාව පවතින විට සහ ඔවුන්ගේ ගෝචර ගමන් සමඟ එකඟ වන විට ජන්මියා රෝගාබාධවලින් මිදී සුවය ලබයි.

සිකුරුගේ නිවේදකත්වය ද 3 සහ 6 වැනි භාවවලට යොමුවන විට ජන්මියා රෝගාබාධවලට ගොදුරු වන අතර, රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමෙන් සුවය ලබයි.

 ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

ජී. එච්. ඩබ්ලිව්. සිල්වා

Comments