ජාතික රණවිරු සැමරුම් දිනය අදයි | Page 2 | සිළුමිණ

ජාතික රණවිරු සැමරුම් දිනය අදයි

ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවරත් අභිමානවත්ව අද (19) සවස 4.00ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වේ.
 
මෙවර සැමරෙන්නේ දශක තුනක කාලයක් මෙරට පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර 14 වන යුද ජයග්‍රහණයේ සැමරුමයි. අගමැති දිනේශ් ගුණවර්ධන, කථානායකවරයා, මැති ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,හිටපු ජනාධිපතිවරුන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා, ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, හිටපු හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවත්වෙන මේ රණවිරු සැමරුම් උලෙළට යුද්ධයේදී තුවාල ලැබූ රණවිරුවන්, දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් සහ පාසැල් ශිෂ්‍යභට කණ්ඩායම් ද සහභාගී කරවා ගැනීමට නියමිතය.
 
අභිමානවත් රණවිරු සැමරුම් උලෙළක් මෙවර සංවිධානය කර තිබෙන අතර, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක බලකායේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගයීම සඳහා විශේෂ රණබෙර වාදනයක් සහ පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධාන කර තිබේ.
 
2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරිණි. 1983 වසරේදී දෙමළ සටන් කාමියෙකු යැයි කියාගත් වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද හමුදා සාමාජිකයන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කර ගත්තද 1979 වසරේ සිටම ඊළම් යුද්ධය ආරම්භ වී තිබිණි. වෙල්ලමුල්ලවයික්කාල්හිදී අවසන් එලටීටීඊ බිම්කඩද අත්පත් කරගනිමින් ශ්‍රී ලංකාවේ වීරෝදාර හමුදා මුළු ලෝකයම මවිත කරමින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගැනීමත් සමග වසර 33ක පැවැති යුද්ධය නිමාකර මෙරට වැසියන්ට නිදහස සාමය උරුම කර දෙනු ලැබිණි.
 
 
 
 
 

Comments