ජනාධිපතිවරු හත්දෙනකුගේ පාර්ලිමේන්තු රස කතා | Page 2 | සිළුමිණ

ජනාධිපතිවරු හත්දෙනකුගේ පාර්ලිමේන්තු රස කතා

- ප්‍රේමදාස ජනාධිපතිතුමාට හැමදේම හරිම පිළිවෙළට ඕනේ. පොඩි දේක වුණත් අඩුපාඩුවක් තිබුණොත් දකිනවා
- විජේතුංග ජනාධිපතිතුමා දවසක් තුන් පාරක් මගෙන් සමාව ගත්තා
- මහින්ද ජනාධිපතිතුමාගේ පැරණි රස කතා අහන්න එන මන්ත්‍රීවරුන්ගෙන් කාමරේ පිරෙනවා
- ඡන්දෙ බලන්න ලොබියට යන්න බැරි නම් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑනේ කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවෙන් පිට වෙලා ගියා
- රනිල් මහත්තයා දැන් ඉස්සරටත් වඩා නිහතමානීයි
- රැකියාවට බැඳෙනකොට මගේ මූලික වැටුප රුපියල් 695යි. දීමනාත් එක්ක 995ක වැටුපක් ලැබුණා

තමන් කරන රැකියාව කුමක් වුවත් කැපවීමෙන් අවංකකමින් කරනවා නම් රැකියාව ජීවිතේට ආශීර්වාදයක් වෙනවා. මට මෙතෙක් දුරක් එන්න ලැබුණේ කැපවීමයි අවංකභාවය ඇතිව රැකියාව කළ නිසයි. අවුරුදු හතළිහක වෘත්තීය ජීවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දි මට විශාල සතුටක් දැනෙනවා. 

ඒ වදන් මහානාම ගමගේ හෙක්ටර් ගේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි දෙපාර්තමේන්තුවට පණිවිඩකරුවකු ලෙස සේවයට බැඳුණු ඔහු ඉකුත් දා විශ්‍රාම ලැබුවේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු සේවා සහායකයකු ලෙස සේවය කරමින් සිටියදීය. ඒ, ඔහුගේ වෘත්තීය ජීවිතයට හතළිස් වසර සම්පූර්ණ වීමට මාස දෙකක් තිබියදීය. එතරම් දිගු කාලයක් එකම දෙපාර්තමේන්තුවක සේවය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ද තමා පිළිබඳ අමතක නොවන මතකයක් ඉතිරි කර ගෙදර ආ හෙක්ටර් ගැන කතා කරන්නට අපට සිතුණේ ඔහු සිය සේවා කාලය තුළ ජනාධිපතිවරුන් හත් දෙනකුටම සිය සේවය ‍සැලසීමට තරම් වාසනාවන්තයකු වූ නිසාය. එපමණක් නොව පාර්ලිමේන්තුවේ සේවය කරන කාගෙත් හොඳ හිත සහ ආදරය දිනූ ඔහු පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ ද සමීප හිතවතකු විය.

" උසස් පෙළ විභාගයෙන් පස්සේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ 'පණිවිඩකරු' තනතුරට ඇබෑර්තු තියෙනවා කියලා පත්තරේ පළවුණු දැන්වීමක් දැකලා ඇප්ලිකේෂන් එකක් දැම්මා. සම්මුඛ පරීක්ෂණයකට සහ තරග විභාගයකටත් මුහුණ දීලා ඒ දෙකෙන්ම සමත් වෙලා තමයි රස්සාවට බඳව ගත්තේ. එහෙම බඳව ගත්ත කණ්ඩායමට 10දෙනෙක් හිටියා. 1982 අලුත් පාර්ලිමේන්තුව විවෘත කළාට පස්සේ ඒ විදිහේ සම්මුඛ පරීක්ෂණයකින් සහ තරග විභාගයකින් රැකියාවට බඳවා ගත් මුල්ම කණ්ඩායම අපේ කණ්ඩායමයි. ඊට කලින් පිය පුතු පදනමට තමයි සේවයට බඳවගෙන තිබුණේ. මම සේවයට බැඳුණේ 1983 ජූලි 01 වැනිදා. මගේ මූලික වැටුප රුපියල් 695යි. දීමනාත් එක්ක මාසිකව රුපියල් 995ක වැටුපක් ලැබුණා. එතකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් විදිහට හිටියේ නිහාල් සෙනවිරත්න මහතා. වේත්‍රධාරි විදිහට හිටියේ රොනී අබේසිංහ මහතා. "

සිය ජීවිතයේ පළමු සහ එකම රැකියාව ගැන හෙක්ටර් සිය මතකය අවදි කළේ සොම්නසිනි. වේත්‍රධාරි දෙපාර්තමේන්තුවේ පණිවිඩකරු තනතුරට සේවයට බැඳෙන විට ඔහු විසි හැවිරිදි ඉලන්දාරියෙකි.

"පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක්නෙ. දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා සමඟ සුහදව වැඩ කිරීම ඇතුළු අපිට ලැබුණු උපදෙස් අතර අංක එක. කාලයක් පණිවිඩකරු විදිහට පාර්ලිමේන්තුවේ විවිධ අංශවල සේවය කළා. පසුව මට පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසාම හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සිට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දක්වා රාජ්‍ය නායකයන් හත් දෙනකුටම සේවය සලසන්න මට අවස්ථාව ලැබුණා. "රාජ්‍ය නායකයන් හත් දෙනකුටම සේවය කළ හෙක්ටර්ට ඒ පිළිබඳ ඇත්තේ රසවත් මතක ගොන්නකි.

"මුලින්ම මම සේවය කළේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාට. එතුමාට හැමදේම හරිම පිළිවෙළට ඕනේ. පොඩි දෙයක පවා අඩුපාඩුවක් වරදක් තිබුණොත් ඉක්මනින්ම පේනවා. දවසක් මගේ නිල ඇඳුමේ කමිසයේ පහළ බොත්තම ගැලවිලා තියෙනවා එතුමා දැකලා තිබුණා. "ඕක දාලා තිබුණා නම් ලස්සනයි නේද හෙක්ටර්" කිවුවා. ඒ එතුමගේ හැටි. හිත නොරිදෙන විදිහට තමයි කියන දෙයක් කියන්නෙ. 1988-89 රට පුරාම කලබල තිබුණු කාලේ මම පදිංචි වෙලා හිටියේ නාගහමුල්ල ප්‍රදේශයේ. මොන තරම් කලබල තිබුණත් පාර්ලිමේන්තු රැස්වීම් නවත්තන්න එපා කියලා ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබුණේ. ඒ නිසා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වුණා. නමුත් අපිට වැඩට යන්න බස් නෑ. පාරවල්වලින් යන්නත් බැහැ. මම වගේම අපි ගොඩක් දෙනා කැලෑවලින් පැනලා හොර පාරවල්වලින් තමයි පාර්ලිමේන්තුවට ගියේ. ඉතින් ජනාධිපතිතුමා අපිට කතා කරලා ඒ විස්තර අහනවා කොහොමද වැඩට ආවේ කියලා. ඒවා ඇහුවම එතුමට සතුටුයි අමාරුකම් මැද්දෙ හරි වැඩට එන එක ගැන. ඒ වගේම තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙලාවටම වැඩ කළ කෙනෙක්. හැමදේම නියමිත වෙලාවට කළා. කෑම වුණත් වෙලාවට ගත්තා. කොච්චර වැඩ තිබුණත් හවස හය වෙද්දි එතුමා රාත්‍රී ආහාරය ගත්තා. "

ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි වියෝව හෙක්ටර්ගේ සිතට ද දැඩි කම්පනයක් එක්කොට තිබිණ.

"එතුමාගේ මරණය දැනගත්තාම සමීපව කටයුතු කළ කෙනෙක් නිසා හිතට ලොකු වේදනාවක් දැනුණා. එතුමාගෙන් පසුව පත්වුණු ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මට ගොඩක් සමීප කෙනෙක් නිසා ඒ වේදනාව ටිකක් මඟහැරුණා. විජේතුංග ජනාධිපතිතුමා අගමැති විදිහට හිටපු කාලෙත් මම එතුමා යටතේ වැඩ කරලා තිබුණා.

විජේතුංග ජනාධිපතිතුමා ඉතාම නිහතමානී තැන්පත් කෙනෙක්. එතුමට කේන්ති ගියේ හරිම කලාතුරකින්. කේන්ති ගියත් ඒක පිටතට නොපෙන්වා ඉන්න තරම් පුදුමාකාර ඉවසීමක් එතුමාට තිබුණා. එතුමා ආරක්ෂක රාජ්‍ය ඇමැති විදිහට ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අහන ප්‍රශ්නවලට උත්තර දෙන රාජකාරිය කළේ එතුමා. එතුමා කලින් දවසේ හවස මට ඒකට අදාළ ෆයිල් එක එවනවා, මම එතකොට ප්‍රශ්න, පිළිතුරු ටික අංක පිළිවෙළට හදලා ලෑස්ති කරලා තියනවා පහුවදාම එතුමට සභාවට ගෙනියන්න. එක දවසක් විජේතුංග මහත්තයා ඕඩර් පේපර් එකේ තියෙන ප්‍රශ්නයක් මම දීපු ෆයිල් එකේ නෑ කියලා කිවුවා. මම කිවුවා නෑ සර් ෆයිල් එකේ තියෙනවා කියලා. එතුමා නෑම කියනවා. මට හොඳටම විශ්වාසයි ඒක තියෙනවා කියලා, ඒත් ෆයිල් එක තියෙන්නෙ එතුමගේ අතේ නිසා මට ඒක පෙන්නන්න විදිහකුත් නෑනේ. කොහොමහරි එදා නම් එතුමා ටිකක් කේන්තියෙන් වගේ ෆයිල් එක මේසේ උඩට අතෑරියා. මම ඉක්මනට ෆයිල් එක අරගෙන ඕඩර් පේපර් එක පෙරළලා මේ තියෙන්නෙ සර් කියලා අර නෑ කියපු ප්‍රශ්නෙ පෙන්නුවා. එතුමා ඒ වෙලාවෙම එතුමාට වෙච්ච අතපසුවීමට මගෙන් සමාව ගත්තා. ප්‍රශ්නවලට උත්තර දෙන්න සභාවට යන්න කලිනුත් සමාව ඉල්ලුවා. ඒ ගිහිල්ලා ඇවිල්ලත් සමාව ගත්තා. එතුමා ඒ තරම් නිහතමානී කෙනෙක්. ඒ වගේම අනුන් ගැන හිතන කෙනෙක්. ඕනම කෙනෙක් මොන රාජකාරිය කරගන්න ඔෆිස් එකට ආවත් එතුමා ඉස්සෙල්ලම අහන්නේ කෑවද බිවුවද කියලා. අපිටත් උපදෙස් දීලා තිබුණේ එන කෙනෙකුට තේ කෝප්පයක් හරි දෙන්න කියලා. " 

වසර එකහමාරක පමණ වන ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් පසුව ජනාධිපති ධුරයට පත් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ය.

"හුඟක් අය කියනවනේ චන්ද්‍රිකා මැඩම් එක්ක වැඩ කරන්න හරි අමාරුයි, එතුමියට තරහ යනවා, හැමෝටම බණිනවා කියලා. නමුත් වාසනාවකට වගේ මට නම් එක දවසක්වත් එතුමියගෙන් බැණුම් අහන්න වුණේ නැහැ. එතුමියගෙ කාලේ අපේ ඔෆිස් එකේ තිබුණේ පරණ ටීවී එකක්. දවසක් මැඩම්ට ටීවී එකේ මොකක්ද බලන්න ඕන වෙලා මට කිවුවා ඒක රිවයින් කරන්න කියලා. ඒක රිවයින් කරන එක ලේසි නෑ. ඇඟිලි දෙකෙන් හීමිට කරකවන්න ඕනේ. මම අමාරුවෙන් ඒක රිවයින් කරද්දි මැඩම් ඇවිත් ඔයා පොඩ්ඩක් ඉන්න, මමත් බලන්නම් කිවුවා. හැබැයි මැඩම්ටත් තේරුණා ඒක අමාරු වැඩක් කියලා. පස්සේ මැඩම් විහිළුවෙන් වගේ මට කිවුවා, දැන් මේ රිමෝට් කන්ට්‍රෝල් ටීවී තියෙද්දි ඒකක් ගන්නෙ නැතුව මොකටද මේ කබලක් තියාගෙන ඉන්නෙ කියලා. පස්සෙ මම එදාම අවශ්‍ය තැන්වලට දැනුම් දීලා ඊළඟ දවසෙ මැඩම් එනකොට අලුත් ටීවී එකක් ගෙන්නලා තිබ්බා. "

හෙත්ටර් පැවසුවේ සිනහ මුවිනි. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ධුර කාල දෙකේදීම එනම් වසර 11ක් වැනි දීර්ඝ කාලයක් ඇයට සේවය සැලසීමට ඔහුට අවස්ථාව ලැබී තිබිණ.

"චන්ද්‍රිකා මැඩම් හුඟක් වෙලාවට පාර්ලිමේන්තුවට ආවේ පාර්ලිමේන්තුවේ අය රාජකාරි අවසන් වෙලා යන වෙලාවට. හවස කීයට ආවත් මැඩම් පාර්ලිමේන්තුවෙන් යන්නේ කරන්න තියෙන වැඩ සේරම ඉවර කරලා. රෑ වුණත් පාන්දර වුණත් මැඩම්ට වෙලාව ගැන ගානක් නැහැ. අපිත් මැඩම් ගේ වෙලාව එක්ක අනුගත වුණා. එක දවසක් මම වැඩ ඉවර වෙලා පාර්ලිමේන්තුවෙන් පිටවුණේ පාන්දර 3ට. "

හෙක්ටර්ගේ අත්දැකීම් අනුව ඔහු සේවය කළ රාජ්‍ය නායකයන් අතරින් වඩාත් ජනප්‍රියම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

"මහින්ද මහත්තයාට මැති ඇමැතිවරු වගේම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අතරෙත් ලොකු ජනප්‍රියකමත් තිබුණා. එතුමා හරිම සතුටින් ඉන්න කෙනෙක් නිසා හැම තිස්සෙම එතුමා ළඟ විශාල පිරිසක් හිටියා. එතුමා පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවට අපේ කාර්යාලය මැති ඇමැතිවරුන්ගෙන් මාධ්‍යවේදීන්ගෙන් පිරිලා. එතුමා පැරණි කතා හරි රසවත්ව කියනවා. එතුමාගේ පාර්ලිමේන්තු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාත් ජනාධිපතිතුමා වගේම කාටත් සුහදශීලි කෙනෙක් වීම ජනාධිපතිතුමාගේ වැඩවලටත් පහසුවක් වුණා.

මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුලින්ම ඔෆිස් එකට ආව දවසේ මගෙන් ඇහුවා එතුමා එක්ක ඇවිත් හිටපු ආරක්ෂක අංශයේ අයට කෑම ටිකක් දෙන්නෙ කොහොමද කියලා. මම කිවුවා ඒ සේරම ලෑස්ති කරලා ඉවරයි, කට්ටියක් කෑම කාලත් ඉවරයි කියල. එතුමා ඒ වෙලාවේ හරිම සතුටින් කිවුවා, ඔයා මාර මනුස්සයෙක්නෙ කියලා. එතුමා එක්ක ඕනම දෙයක් කතා කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබුණු අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් වුණේ එතුමාගේ කාලයේදියි. එතුමා එද්දි තිබුණේ ටයිප් රයිටර්ස් විතරයි. නමුත් නවීන තාක්ෂණයට ගැළපෙන විදිහට ඔෆිස් එක හදාගන්න මට පුළුවන් වුණේ එතුමා නිසයි."

හෙක්ටර් දස වසරක්ම ජනාධිපති මහින්ද රාජපක්ෂට සිය සේවය සැලසුවේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසුව හෙක්ටර් සේවය සලසන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටය.

"එතුමාගේ සේවා කාලය අවුරුදු පහයි. එතුමා බොහොම චාම්, සරල කෙනෙක්. හැබැයි ටිකක් කේන්ති යනවා. නමුත් මට එතුමාගෙනුත් බැණුමක් අහන්න වුණේ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා කතාවක් කරන්න යද්දි ෆයිල් අරගෙන ගියේ නැහැ. ෆයිල් ලෑස්ති කරලා තිබුණත් ඒවා බලලා මට මේවා වැඩක් නෑ කියලා දාලා යනවා. සාමාන්‍යෙ‍ෙයන් ජනාධිපතිවරයාට අයිති අමාත්‍යාංශවල කමිටු රැස්වීම් තියෙද්දි ඒවාට යන්නේ රාජ්‍ය ඇමැතිවරයා වුණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාට අයිති අමාත්‍යාංශවල කමිටු රැස්වීම්වලට සහභාගි වුණා. ජනාධිපතිතුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට එන්න ඕන කියලා 17 වැනි ව්‍යවස්ථාවේ තිබුණේ නැහැ. නමුත් ඒ ව්‍යවස්ථාව සංශෝධනය කළාට පස්සේ මාස 3ක් ඉක්ම යන්න කලින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා වගන්තියක් ඇතුළත් වුණා. ඉතින් අපි මාස තුන යන්න කලින් ජනාධිපතිතුමාට මතක් කරනවා පාර්ලිමේන්තු එන්න ඕනේ කියලා. මේක පිළිගන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා කැමැති වුණේම නෑ. මාස 3 පහුවෙලත් එතුමා පාර්ලිමේන්තු ආවේ නැහැ. දවසක් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සභාවෙදි කිවුවා ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කියලා. ජනාධිපතිතුමා ඊටපස්සේ පාර්ලිමේන්තු ආව දවසේ මම සංශෝධිත ව්‍යවස්ථාවේ පිටපතක් අරගෙන අදාළ වගන්තිය හයිලයිට් කරල පෙන්නුවට පස්සේ එතුමා ඒක පිළිගත්තා. මෛත්‍රීපාල ජනාධිපතිතුමත් මන්ත්‍රීවරු එක්ක සුහදව කටයුතු කළා. ලොබි එකට ගිහින් මන්ත්‍රීවරු හමුවෙලා කතාබහ කරනවා. වැදගත් පනත් විවාදයට ගන්න අවස්ථාවල මන්ත්‍රීවරු එක්ක විශේෂයෙන් සම්බන්ධ වුණා.

19 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගත්ත දවසේ එතුමා මන්ත්‍රීවරු හමුවෙලා ඒ ගැන කතාබහ කළා. අවසානයේ ඡන්දය ගන්න වෙලාවේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා කිවුවා, කතානායක ගැලරියට ගිහින් තමන්ට ඒ අවස්ථාව බලන්න ඕන කියලා. ජනාධිපතිවරයා එහෙම යෑම සාම්ප්‍රදායිකව එතරම් සුදුසු නැති බව ඒ වෙලාවේ මම එතුමාට කිවුවා. කථානායකතුමාගෙනුයි මහලේකම්තුමාගෙනුයි විමසුවාම එතුමන්ලත් ඒ බව කියලා තිබුණා. "එහෙනම් ඉතින් මම මෙතන ඉන්න එකේ තේරුමක් නෑනේ" කියලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවෙන් පිටවෙලා ගියා. "

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හෙක්ටර් සේවය සැලසූ ඊළඟ රාජ්‍ය නායකයාය.

"ගෝඨාභය ජනාධිපතිතුමා මාස තුන ඉවර වෙන්න කලින් පාර්ලිමේන්තුවට එනවා. ආවත් එතුමා වැඩි වෙලාවක් ඉන්නෙ නෑ. සමහර වෙලාවට ඔෆිස් එකට එන්නෙත් නැතුව කෙළින්ම සභාවට ගිහින් ටික වෙලාවක් එතැන ඉඳලා මන්ත්‍රීවරුන්ට ආයුබෝවන් කියලා එතැනින්ම පිටවෙලා යන අවස්ථාත් තියෙනවා. කොහොමටත් එතුමා අපේ කාර්යාලයේ රැඳෙන්නෙ අඩුවෙන්. එතුමා ටිකක් දැඩි නිලධාරියෙක් විදිහට තමයි මම දැක්කෙ. දෙයක් කිවුවොත් ඒ මතයේම හිටියා. කවුරුත් කියන දෙයක් අහන්නැති තත්ත්වෙකුත් පෙනුණා." ‍

හෙක්ටර් සේවයෙන් ඉසුඹු ලන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද සේවය සැලසීමෙන් පසුවය. එහෙත් වසර හතළිහක් වන පාර්ලිමේන්තු සේවා කාලය තුළ රනිල් වික්‍රමසිංහයන් ඔහුට ආගන්තුකයකු නොවේ.

"එතුමාව මම දන්නේ ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලමයි. විජේතුංග ජනාධිපතිතුමා අගමැතිවරයා පත්කරගන්නකොට පොඩි ගැටලුවකට මුහුණ දුන්නා. විජේපාල මෙන්ඩිස් ඇමැතිතුමත් අගමැතිකම බලාපොරොත්තු වුණා. විජේතුංග ජනාධිපතිතුමා කළේ රනිල් මහත්තයාවයි විජේපාල මහත්තවයි කාර්යාලයට කැඳවලා සාකච්ඡාවට දාලා එතුමා එතැනින් ගියා. ඒ ප්‍රශ්නය එතැනින් ඉවර වුණා. රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඉන්න කාලේ ඉඳල මම එතුමාව දන්නවා. නමුත් මට හිතෙන්නෙ එතුමා දැන් ඉස්සරටත් වඩා නිහතමානීයි කියලා. මැතිඇමැතිවරු එක්ක සුහදයි. එතුමා සමහර වෙලාවට ඍජු තීන්දු තීරණ ගන්නවා. නමුත් එතුමා බොහොම සරල සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මාස කිහිපයකට කලින් මම හදවත් සැත්කමකට මුහුණ දුන්න වෙලාවෙත් එතුමා පෞද්ගලිකව ඒ සඳහා මැදිහත් වෙලා මට උපකාර කළා. "හෙක්ටර් රාජ්‍ය නායකයන් පිළිබඳ සිය මතක අවසන් කළේ එසේ කියමිනි. පාර්ලිමේන්තුවට පැමිණි විදෙස් රාජ්‍ය නායකයන් දැක බලා ගැනීමේ වරමද හෙක්ටර්ට සිය වෘත්තීය ජීවිතයේදී අවස්ථා කිහිපයකදී උදා වී ඇත.

" මේ රැකියාව මම ගොඩක් ආසාවෙන් කැපවීමෙන් කළේ. මට ගොඩක් දෙනකුට උදවු කරන්න අවස්ථාව ලැබුණා. ඒ සඳහා හිටපු ජනාධිපතිවරු සහ ලේකම්වරු මට උදවු කළා. හිටපු මහලේකම්වරු,වේත්‍රධාරින් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් මට උපරිම සහයෝගය ලැබුණා. මම කවදාවත් පක්ෂභේද සලකලා වැඩ කළේ නැහැ. සමහර අවස්ථාවල එකම තැනක දිගු කාලයක් වැඩ කරද්දි විවිධ ප්‍රශ්න අභියෝග ආවා. නමුත් ඒ හැම වෙලාවකම මගේ ප්‍රධානින් මාව ආරක්ෂා කළා. ඒ වගේම ජනාධිපති ලේකම්වරුන් ලෙස කටයුතු කළ සමරසිංහ, විල්සන්, පී. දිසානායක, කුමාරසිරි හෙට්ටිගේ, මියුරු භාෂිත ලියනගේ, ශානිකා ගොපල්ලව, මාලක චන්ද්‍රදාස, මහාචාර්ය ආශු මාරසිංහ ඇතුළු සියලු දෙනාවත් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාටත් පාර්ලිමේන්තුවේ මහලේකම්, නියෝජ්‍ය මහලේකම්, වේත්‍රධාරිතුමා ඇතුළු සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් සියලු දෙනාගෙන් ලැබුණු සහයෝගය නිසයි මට මගේ රැකියාව සාර්ථව කරගන්න ලැබුණේ. "හෙට්ටිගේ පැවසුවේ කෘතවේදීවය.

1963 වසරේ අප්‍රේල් 30 වැනිදා කිරුලපනදී උපන් මහානාම ගමගේ හෙක්ටර් කොළඹ ලුම්බිනි සහ ඉසිපතන විද්‍යාලවල ආදි සිසුවෙකි. 1985 ජනවාරි 25 වැනිදා විජේසිංහ ආරච්චිගේ සුනීතා සමඟ විවාහ වූ හෙක්ටර් තිදරු පියෙකි. ඔහුට මුනුපුරු මිනිබිරියන් තිදෙනකි. සිය වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය බිරියගෙන් සහ දරුවන්ගෙන් ලැබුණු සහාය අගය කරන්නටද ඔහු අමතක නොකළේය.

"බිරියගෙන් සහ දරුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මේ අවුරුදු හතළිහටම මම නිවාඩු ගත්තේ බොහොම කලාතුරකින්. වෙලාවක් ගැන නොබලා වැඩ කළා. ඒකට අවශ්‍ය මානසික නිදහස මට බිරියගෙන් වගේම දරුවන්ගෙනුත් ලැබුණා. මම හෘදයාබාධයට ලක් වුණෙත් පාර්ලිමේන්තුවේ සේවය කරමින් ඉන්නකොටයි. ඒ වෙලාවේ මට හැම දෙනාගෙම ආදරය, උපකාරය ලැබුණා. ඒ හැමදේම මම සතුටින් මතක් කරනවා. " බිරිය සහ දරු මුනුබුරන් සමඟ සුවදායි විශ්‍රාම දිවියක් ගත කිරීම සිය බලාපොරොත්තුව බවත් හෙක්ටර් කීවේය.

Comments