රංගනය පටන් ගනිද්දි මට ලොකු අරමුණක් තිබ්බේ නෑ | සිළුමිණ

රංගනය පටන් ගනිද්දි මට ලොකු අරමුණක් තිබ්බේ නෑ

- අපි දෙන්නට දෙන්නා ඕනෑම තැනක අපි වෙනුවෙන් ඉන්නවා
- හිත කැමැති විදිහේ නිර්මාණයක් ලැබුණොත් සිනමාවට සම්බන්ධ වෙනවා

එමාෂා සෙනෙවිරත්න හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණය එක්ක බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් චරිතයක්. පුංචි තිරයේ හමුවන බොහෝ චරිත අතර ඇය බොහොම ප්‍රවේශම්කාරි ගමනක් යන සේයාවක් දකින්න ලැබෙනවා. අහම්බයකින් ආ ගමන තුළ ඇය කොයි තරම් දුර යන්න හීන දකිනවා ඇතිද? මේ ගැන අහන්නත් එක්කයි මේ ඉඩ ඇයට වෙන්වුණේ.

කොහොමද එමාෂා.මේ දවස්වල කාර්යබහුල වෙලාද? 

මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ සිරස නාලිකාවේ විකාශය වෙන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍ය වෙනුවෙන්. සයුරි චරිතයත් එක්ක සතියේ දින පහේම මම ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේ නිර්මාණය රචනා කරන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්ව් අයියා. එය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් රසාංග අයියා. හරිම ආසාවෙන් ඒ නිර්මාණයේ වැඩ කරගෙන යනවා.

ඔබට ප්‍රේක්ෂක ආදරයත් නොඅඩුව ලැබෙනවා ඇති නේද?

මම රංගනයට සම්බන්ධ වුණ පළමු ටෙලි නාට්‍යයේ සිටම කළ විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයෝ මට ආදරය කළා. මම දැනට ටෙලි නාට්‍ය 13කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණවලින් භාගයක් විතර ප්‍රේක්ෂකයෝ අතරට ආවා. තව නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට එන්න තියෙනවා. මෙතෙක් දැකපු චරිතවලින් ප්‍රේක්ෂකයෝ මාව හඳුනාගන්නවා. විශේෂයෙන් හිතුවක්කාරී ටෙලි නාට්‍ය මුල ඉදන් යූ ටියුබ් එකේ බලලා කතා කරන අය තවම ඉන්නවා. මේ දවස්වල සයුරිගේ චරිතයටත් විශාල පිරිසක් ආදරය කරනවා.මඟ තොටේ දැක්කත් ගොඩක් අය මාව අගය කරනවා. එය පෙර පිනක් ලෙසයි මම දකින්නේ.

සුදුසු දේවල් තෝරාගන්න වාරණ දාගන්නේ ඔබමද? නැත්නම් පවුලෙන් වාරණ දාලා තියෙනවද?

මම හැදුණ වැඩුණ පරිසරය එක්ක මට තේරෙනවා මම කළොත් හොඳ මොනවද නොකර හිටියොත් හොඳ මොනවද කියලා. මගේ අම්මි ගුරුවරියක්. හිටපු නියෝජ්‍ය විදුහල්පතිනියක්. තාත්ති ඉංජිනේරුවරයෙක්. ඔහු ඌව පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධූරයෙත් ඉන්නවා. මගේ අම්මි,තාත්ති ඉහළ නිලයන්හි ගෞරවාන්විතව වැඩ කරන, අය. ඒ නිසා මම මොන දේ කළත් මුලින්ම ඔවුන් ගැන හිතනවා. ඒ වගේම මමත් ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මගේ හැකියාවෙන් උපරිම සාධාරණයක් කරන්න පුළුවන් , කරන්න සුදුසු දේවල් තෝරාගෙන කරනවා.

ඔබ මේ යන්නේ හීන දැක්ක මාවතකද?

රංගන ශිල්පිනියක් වෙන්න චූටි කාලේ නම් ආසාවක් තිබ්බා. හැබැයි ටික ටික ලොකු වෙද්දි අධ්‍යාපනයට අවධානය දෙද්දි ඒ හීනය ටිකක් ඈත් වුණා. ඒ අතරේ රංගනයට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබුණත් මම ඒවට සම්බන්ධ වුණේ නෑ. ඔය අතරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරමින් ඉන්න කාලේ 2018දි මට දෙරණ නාලිකාවේ විකාශය වුණ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ සහේලිගේ චරිතයට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒක නොහිතපු වෙලාවක සිද්ධ වුණ දෙයක්. ඒ නිර්මාණය ඒ වෙනකොට ගොඩක් අය ආදරය කළ නිර්මාණයක් වෙලා තිබ්බ නිසා මම ඒ අවස්ථාව භාරගත්තා., රංගන ක්ෂේත්‍රයේ කොයි තරම් දුර යනවද කියලා නොහිතා ආවට මට එදා ඉදන් මේ වෙනකල් ලස්සන ගමනක් ක්ෂේත්‍රයේ එන්න ලැබුණා.

ඔබට ඒ මාවත තෝරාගන්න අම්මා තාත්තා නිදහස දුන්නද?

මගේ ඡායාරූපයක් දැකලා තමයි මට තිර පරීක්ෂණයට ආරාධනා කළේ. මට කලින් රංගන අත්දැකීම් තිබ්බේ නෑ. ගොඩක් අය අතරින් තමයි මාව මුල් නිර්මාණයට තෝරා ගත්තේ. මම ඒක මගේ තාත්තිට කිව්වා. ඇත්තටම මම ඒ වෙනකොට මගේ උපාධියේ අධ්‍යාපන කටයුතු කරමින් හිටියේ. පළමු උපාධිය ඉවර වුණ ගමන් ඔස්ට්‍රේලියා යන්න හිටියේ පශ්චාත් උපාධියට. තාත්ති මට කිව්වා ගොඩක් අය අතරින් ඔයාටනේ මේ අවස්ථාව ලැබුණේ. ඒක වාසනාවක්. ඒ නිසා රංගනයට ලැබුණ ආරාධනාව වටිනාකමක් විදිහට හිතලා භාරගන්න කියලා. ඒ නිසා මට හිතන්න දෙයක් තිබ්බේ නෑ. අම්මියි තාත්තියි මට දුන්න ඒ සහයෝගය මට ගොඩක් වටිනවා.

ඔබ රංගනය තෝරාගත්තට අධ්‍යාපනයට පයින් ගැහුවෙත් නෑ නේද?

ඔව්. මම මගේ පළමු උපාධිය සම්පූර්ණ කළේ පළමු පෙළ සාමාර්ථයකුත් එක්ක. මම batch top වුණා. ඊට පස්සෙ මම පශ්චාත් උපාධියත් සම්පූර්ණ කළා. මේ ඔක්කොම කළේ රංගන කටයුතු කරන ගමන්. අධ්‍යාපනය පැත්තට මාව කවුරුවත් බලෙන් තල්ලු කළේ නෑ. මම ආසාවෙන් ඉගෙන ගත්තේ. මම චීන භාෂාවට ආස නිසා ඒ භාෂාවත් ඉගෙන ගත්තා. ඒ විදිහට මගේ ඉගෙනීම් කටයුතු කරගෙන යනවා.

ඔබ මේ ක්ෂේත්‍රය තුළ අරමුණක් තියාගෙනද ඉදිරියට යන්නේ?

රංගනය පටන් ගනිද්දි නම් මට ලොකු අරමුණක් තිබ්බේ නෑ. රංගනයට එන්න ලැබුණ අවස්ථාව වාසනාවට, පෙර පිනකට ලැබුණ දෙයක් ලෙස දැකලා ආදරයෙන් මේ ක්ෂේත්‍රයට එකතු වුණා. ක්ෂේත්‍රයේ වැඩ කරද්දි දවසින් දවස රංගන හැකියාව ඔපමට්ටම් කරගනිද්දි ලැබෙන චරිත තාත්ත්විකව කරලා ප්‍රේක්ෂක ආදරය දිනාගන්න. ඒ කියන්නේ ජනයාට ප්‍රිය චරිතයක් වෙන්න ලැබුණොත් හොඳයි කියලා හිතුණා. ඒ ප්‍රියතාවය මට ලැබිලා තියෙනවා. ඒක ගොඩක් වටින දෙයක්. දැන් මගේ ආසාව තමයි හොඳම ඛාණ්ඩයට එකතුවීම. ඒක දක්ෂතාවය මත පදනම් වෙන දෙයක්. ඒ නිසා හොඳම ඛාණ්ඩයට එකතු වෙන්න තමයි දැන් මහන්සි වෙන්නෙ.

රංගන ක්ෂේත්‍රය කියන්නේ කටකතා බහුල ක්ෂේත්‍රයක් .ඒ නිසා ඔබ මේ ක්ෂේත්‍රයේ ගැවසෙද්දි පරිස්සම් වෙනවද?

මුල ඉදන් අද වෙනකල් ඒ පරිස්සම තිබ්බා. ඉස්සරහටත් එහෙමයි. මම පිටපතක් ලැබුණම කැමරාව ඉදිරියේ රඟපානවා. ඒ කර්තව්‍ය අවසන් වුණ ගමන් එතැන රැදෙන්නේ නැතුව මම ගෙදර එනවා. ප්‍රශ්න හදාගන්නේ නෑ.

සිනමාවට ඔබට ආරාධනා ලැබිලා නැද්ද?

සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒ දවස්වල පශ්චාද් උපාධියට කාලය වෙන් කරලා තිබ්බ නිසා ඒ ආරාධනා භාරගත්තේ නෑ. කොරෝනා නිසා සිනමා නිර්මාණ කෙරුණේ නැති කාලයක් තිබ්බා. දැන් නැවත සිනමා නිර්මාණ කරන්න පටන් ගෙන තියෙනවා. අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. නමුත් හිත ආසා විදිහේ නිර්මාණ තියෙනවානේ. ඒ විදිහේ නිර්මාණයක් ලැබුණොත් සිනමාවටත් සම්බන්ධ වෙනවා.

ඔබ පෙම්වතියක්. ඔබේ හිතගත් කෙනා ගැන කියන්න අකැමැති නෑ නේද?

ඔහුත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක්. ඔහු තිනෙරු දිලුම් විජේසිංහ.

ඔහු ඔබේ කලා ගමනට සීමා පනවලා නැද්ද?

ඔහු රංගන ක්ෂේත්‍රයට සම්බන්ධයි වගේම ඉංජිනේරු ක්ෂේත්‍රයෙත් නිරත වෙන කෙනෙක්. රංගනය පැත්තෙන් අපි දෙන්නම ලස්සන ගමනක් යනවා. බාහිර කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ දේවල් පැහැදිලි කරනවට වඩා ක්ෂේත්‍රයෙම කෙනෙක් නිසා ඔහු එක්ක අවබෝධයෙන් වැඩ කරන්න පහසුයි. ඔහු මටවත් මම ඔහුටවත් කවදාවත් බාධාවක් වෙලා නෑ. අපි දෙන්නට දෙන්නා ඕනම තැනක අපි වෙනුවෙන් ඉන්නවා.

විවාහයට කාලය ළඟද?

විවාහය කොයි කාලේ සිද්ධ කරනවද කියලා තවම තීරණය කරලා නෑ. දෙන්නටම සුදුසු කාලය ආවම විවාහය සිද්ධ කරන්න ඉන්නේ.

Comments