දින 12ට ඩෙංගු රෝගීන් 3416ක් | Page 2 | සිළුමිණ

දින 12ට ඩෙංගු රෝගීන් 3416ක්

මැයි මස මුල් දින 12 තුළ පමණක් රට පුරා ඩෙංගු යැයි සැක කෙරෙන රෝගීන් 3,416ක් හමුවූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පැවසීය. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා රට පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,124කි. රෝගීන්ගෙන් සියයට 50කට අධික ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වන අතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ඒ අතර ප්‍රමුඛ වේ.

තහවුරු කළ ඩෙංගු රෝගීන්ගෙන් සියයට 25ක් පාසල් යන වයසේ පසුවන ළමයින් වන අතර, සියයට 60ක් වයස අවුරුදු 25ත් 55ත් අතර පසුවන්නන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා සඳහන් කරයි.

ඩෙංගු මර්දනය කිරීම සඳහා ඉකුත් වසරේ අවසන් කාර්තුවේ සහ මේ වසරේ මුල් කාර්තුව තුළ රට පුරා ස්ථාන 2,34346ක් පරීක්ෂා කර ඇති අතර, ඉන් පරිශ්‍ර 9,173ක ඩෙංගු මදුරු කීටයන් සිටි බව හඳුනාගෙන ඇත. ස්ථාන 65,000ක් මදුරු කීටයන් බෝ විය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ. මදුරු කීටයන් සිටි බවට හඳුනාගත් ස්ථාන අතර සියයට 9ක් කර්මාන්තශාලා, සියයට 8.54ක් පොදු ස්ථාන, සියයට 7.85ක් පොදු ස්ථාන, සියයට 7.23ක් පාසල් සහ සියයට 6.2ක් රාජ්‍ය ආයතන වේ.

Comments