සෙනසුරු අපලයට මේ වත්පිළිවෙත් ඉටු කරන්න | සිළුමිණ

සෙනසුරු අපලයට මේ වත්පිළිවෙත් ඉටු කරන්න

රජකුගේ වුවත් බලය හීන වන කාලයක්

අපල කාලයේදී රාහු කුජ ශනිගෙන්  වෙනත් ග්‍රහයකු නීචව සතුරුව සිටීනම් එවැනි අයට හදිසි අනතුරු

 

සෙනසුරු ග්‍රහයාගෙන් අපල ඇති වන ආකාරය ගැන කතා කළොත් උප්පත්තියේ දී සෙනසුරු චන්ද්‍රයා සිටි රාශියෙන් එයින් 12 වැන්නේ එයින් 8 වැන්නේ ගමන් කරන කාලයන් සෙනසුරු ගෝචර ගමනින් 12 වැන්නේත් ලග්නයේත් 2 වැන්නේ ගමන් කරන වසර හතහමාරක කාලයක් සෙනසුරුගෙන් යෙදෙන ඒරාෂ්ටක අපල ඇති වේ. මෙම ඒරාෂ්ටක අපල කාලයන් තුළ රජෙකුගේ වුවත් බලය හීන වන බව ජ්‍යොතිෂයේ උගන්වයි.

මෙම ඒරාෂ්ටක අපල කාලයන් තුළ දී රාහු කුජ ශනි හෝ වෙනත් ග්‍රහයකු නීචව සතුරුව පාප දිෂ්ටි සහිතව ජන්ම පත්‍රයේ යෙදී ඇත්නම් එවැනි අයට හදිසි අනතුරු, මාරක විපත් මෙන්ම ලෙඩ රෝග, සතුරු පීඩා, රැකියා අහිමි වීම්, විවාහ ජීවිතයේ ගැටලු වැනි විවිධ කරදර හා ජීවිත අහිමි වීම් වැනි දේ එවැනි අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත.

එම නරක දශා අන්තර් දශාවලදීත් සඳු සිටින රාශියේ සෙනසුරු ගමන් කරයි නම් මෙම අපල වඩාත් තීව්‍ර වේ. ඇතැම් විට ශනි (12) සහ 2 වැන්නේ හෝ 8 වැන්නේ ගමන් කරන කාලයන් තුළ ගුරු සිකුරු බුධ වැනි ග්‍රහයකුගේ මහ දශාවන් අන්තර් දශාවන් ගමන් කරන්නේ නම් එතරම් මෙම අපල නොයෙදෙන බවත් ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

කෙසේ වුවත් තදබල විදිහට මෙම අපල යෙදී ඇත්නම් ජන්ම පත්‍ර හිමියාට චිත්ත පීඩාත් දුකින් යුක්තව කාලය ගත කිරීමටත් ධන හානි හා ඥාතීන්ගේ වියෝ වීම්වලටත් මුහුණදීමට සිදු වේ. තවද රෝග පීඩාත් රාජ දඬුවම් ද ලැබෙන බව ජ්‍යොතිෂ නියමයයි.

සෙනසුරු 12 - 1 - 2 ගමන් කරන කාලයන් (12 සහ 1) යන භාවවල ගමන් කරන වර්ෂ 5ක කාලය අපල යෙදෙන බව ජ්‍යොතිෂයේ සඳහන් වේ. ඇතැම් පොත්පත්වල (8) වැන්නේ ගමන් කරන කාලයත් තවත් සමහරු 8 - 12 - 1 වැන්නේ ගමන් කරන කාලයන් අපල ඇති වන බව පෙන්වා දී ඇත. මෙම සෙනසුරු ඒරාෂ්ටකය ජීවිත කාලය තුළ වරක් හෝ දෙවරක් කෙනෙකුට ලබන්නට පුළුවන. නමුත් තුන් වාරයක් මෙම ඒරාෂ්ටකය ලබන්නේ දීර්ඝායුෂ ඇති අයටය. මෙයින් ප්‍රථම වාරය සියලු දෙනාටම ලබන්නේ වයස අවුරුදු 30ට අඩු කාලයේදීය. යමෙක් උපදින විට ශනි 12 - 1 - 2 යන භාවයක සිටීනම් ඔහු එම ඒරාෂ්ටකය ඇතිවම උපන් අයෙකු වේ. නැවතත් ඔහුට දෙවන වරට වයස අවු: 23 - 37 අතර කාලයේදී ඒරාෂ්ටකය ලබයි. ඉන්පසු තුන් වරට ලබන්නේ වයස අවු: 52 - 67 අතර කාලයේදීය. සිවුවන වරට එම ඒරාෂ්ටකය ලබන්නේ වයස අවු: 81 - 97 ත් අතර කාලයේදීය. එසේ උපන් හතර වන ඒරාෂ්ටකය ලබන විට එම තැනැත්තා ජීවත් නොවේ. තුන්වන වාරයේ ආයුෂ හීන වීමට පුළුවන. තුන්වන වාරයෙන් පසු ජීවත් වුවහොත් 8 වැන්නේ ශනි ගමන් කරන විට හෝ සඳුගෙන් අටවැන්නේ ශනි ගමන් කරන කාලයේ මාරක විපත් ඇති විය හැකිය.

සෙනසුරු ඒරාෂ්ටකය ඇතිවම උපදින විට ශනි 12 - 1 - 27 හෝ 8 වැන්නේ ගමන් කරන කුඩා කාලය ගත වීමට කලින් තම මවුපියන් දෙදෙනාටම හෝ එක් අයෙකුට මරණය ඇතිවීමට පුළුවන. ඉන්පසු තම සියලු කටයුතු තම උත්සාහයෙන් කර ගත යුතුවේ. ඥාතීන්ගේ උදවු උපකාර නොලැබේ. මෙම ඒරාෂ්ටක අපලවලදී ඇතිවන දුෂ්කර බොහෝ තිබෙන බව පොත්පත්වල ලියවී තිබේ. මේ නිසා මෙම අපල කාල සීමාවන්හි කළ යුතු ශාන්ති කර්ම මෙසේය.

"ශනි මාතුංගය" දැමීම, ජන්ම පත්‍රය සියුම්ව අධ්‍යයනය කර මෙම ශාන්ති කර්ම තීරණය කළ යුතු වේ. "නීල මාණ්ඩලය" විෂ්ණු ආඝෝරය ද පැලඳීම සුදුසුයි.

කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් දානයක් දීම. (සෙනසුරාදා දිනවල පෙ.ව. 6ත් 7ත් අතර කාලය තුළ නුග කොළ මත තබා)

ශ්‍රී විෂ්ණු දෙවියන්ට සෙත් කවියක් කීම.

නුග ගසට සාත්තු කිරීම, ආවතේව කිරීම, ගස ස්පර්ශ කිරීම.

කළු තල, අංජන ඇට, ලොත් සුඹුළු, බැබිල, වී, පොරි, සතකුප්ප යන මේවා තැම්බූ වතුරින් ස්නානය කිරීම. (සතියට දෙතුන් වරක්)

කාක නිල් ගලක් යකඩ ලෝහයකට අල්ලා පැලඳීම.

වම් කකුලක් ආබාධිත යාචකයනට උදේ වරුවේ (ශනි දින) කැකුළු බතක් සමඟ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීම.

බෞද්ධයෙක් නම් ධර්ම ශ්‍රවණය කිරීම, දිනපතා රතන සූත්‍රය දින පංජරය, ජය පිරිත සජ්ඣායනය කිරීම හා සමත විදර්ශනා වැනි භාවනා කිරීමත් අපල උපද්‍රවයන් දුරු වීමට හේතුයි. වෙනත් ආගමිකයෙක් නම් තම තමන්ගේ ආගමික වතාවත්වල යෙදීම හේතු වන බව පොත්පත්වල සඳහන් වේ.

මේ නිසා මෙවැනි ඒරාෂ්ටක අපල යෙදී ඇති අය මෙවැනි ශාන්තිකර්ම කර ගැනීමත් ඉවසීමෙන් හා බුද්ධිමත්ව දැහැමෙන් ජීවත් වීමෙන් මෙම අපලවලින් බේරී ජීවත්වීමට හැකියාව ලැබෙන බව ඉපැරණි ඍෂීන් විසින් අපට පෙන්වා දී ඇත.

 ජ්‍යොතිෂවේදී

නන්දසේන වීරසිංහ

Comments