මාත්‍රා සුසංයෝගයෙන් ගණ පිහිටුවා හදන සෙත් කවියෙන් ලැබෙන යස ඉසුරු | සිළුමිණ

මාත්‍රා සුසංයෝගයෙන් ගණ පිහිටුවා හදන සෙත් කවියෙන් ලැබෙන යස ඉසුරු

සෙත් කවි වස් කවිවල ජීව ගුණය රඳන ‘මාත්‍ර’

වස් කවියෙන් ප්‍රතිඵල නරකයි

ගණ අනුව ලියැවෙන සෙත් කවිවලින් ලැබෙන ප්‍රයෝජන එකිනෙකට වෙනස්

 

සෙත් කවියක හෝ වේවා වස් කවියක වේවා එහි ජීවය රඳා පවතිනුයේ කවියේ අඩංගු මාත්‍රා සංයෝගය මතය. නිසි ලෙස මාත්‍රා සංයෝග වූ විට අපේක්ෂිත ගණය නිර්මාණය වේ. තමා ලියන්නට යන්නේ සෙත් කවියක් නම් ඊට අදාළ ගණද, ලියන්නේ වස් කවියක් නම් ඊට අදාළ ගණද අවශ්‍ය තන්හි නිසි ලෙස පිහිටුවිය යුතුය. මාත්‍රා සංයෝග කිරීම සහ ඒ ඔස්සේ බිහි වන ගණය මත වස් කවිය හෝ සෙත් කවිය හෝ තීන්දු වේ.

එක් වරක් ඇසිපිය හෙළන කාලයක් තුළ ශබ්ද කළ හැකි අක්ෂරවල ඇත්තේ එක් මාත්‍රාවකි. කාව්‍ය ශාස්ත්‍රයේදී "ලඝු" අක්ෂර ලෙස වර්ගීකරණය වනුයේ එකී අක්ෂරයන් බව අප දැන සිටිය යුතුය. උදාහරණ ලෙස අ, ඉ, උ, එ, ඔ යන අක්ෂර දැක්විය හැකිය. දෙවරක් ඇසිපිය හෙළන තරමේ කාලයක් ශබ්ද කිරීමට ගත වන අක්ෂර "ගුරු" අක්ෂර ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස ආ, ඊ, ඌ, ඒ, ඕ යන අක්ෂර දැක්විය හැකිය. ඒවායේ මාත්‍රා දෙකක් පවතී.

කාව්‍ය ශාස්ත්‍රයේදී නිර්මාණය කරනු ලබන ගණය සඳහා පාදක වනුයේ ඉහත දැක්වු මාත්‍රා සමඟ බැඳි විවිධ අක්ෂරයන්ය. සාමාන්‍ය කවියක වුවද මාත්‍රා යෙදීම මත විවිධ ගණ නිර්මාණය වේ. එහෙත් එම කවිවල හිතාමතා පිහිටුවන ගණ නැත. සෙත් කවි හෝ වස් කවි හෝ රචනයේදී තමා අපේක්ෂා කරන ප්‍රතිඵල සාධනය කර දෙනු ලබන ගණ හිතාමතාම පිහිටුවනු ලබයි. ඒ ඔස්සේ නිර්මාණය කරන ලබන සෙත් කවිය හෝ වස් කවිය හෝ අපේක්ෂිත ප්‍රතිඵල නියත වශයෙන්ම ලබා දෙනුයේ කාව්‍ය නායකයා හෙවත් සෙතක් හෝ සහනයක් අපේක්ෂා කරන පුද්ගලයාගේ චර්යාව මතය. කාව්‍ය නායකයා දෙවියන් කෙරෙහි සැබෑ භක්තියකින් යුක්ත අයෙකු වීම සහ තමා අදහන ආගම හදවතින්ම අදහන අයෙකු වීම මෙහිදී ඉතා වැදගත් බව කිව යුතුය.

මාත්‍රා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් පාඨකයන්ට ලබා ගත හැකි වනු පිණිස සෙත් කවිය නොවන සාමාන්‍ය කවි දෙකක් උදාහරණ කොට දක්වමි. මාත්‍රා එකකින් යුක්ත ලඝු අක්ෂරයක් සඳහා "" ලකුණද මාත්‍රා දෙකකින් යුක්ත ගුරු අක්ෂරයක් සඳහා "" ලකුණද කාව්‍යකරණයේදී භාවිත කෙරේ. ලඝු අක්ෂරයක් සමඟ හල් අකුරක් යෙදෙන විට එයද මාත්‍රා දෙකකින් යුක්ත ගුරු අක්ෂරයක් ලෙස සැලකේ.

 

ඉරට මුවාවේ ඉඳගෙන හිර පීරණ වා

--------------------------------------- (මාත්‍රා 20)

සඳට මුවාවේ ඉඳගෙන සළු පළඳින වා

---------------------------------------- (මාත්‍රා 20)

දොරට මුවාවේ ඉඳගෙන මුකුළු කරන වා

----------------------------------------- ( මාත්‍රා 20)

පාන මුවාවේ ඉඳගෙන මූණ බලනවා

--------------------------------------- (මාත්‍රා 20)

අසමාන මාත්‍රා සංඛ්‍යාවකින් යුක්ත වු කවිද සිංහල සාහිත්‍යයේ දක්නට ඇත. පහත දැක්වෙන්නේ එබඳු කවියකි.

සිය පින් සිරිත් සරු (මාත්‍රා09)

දෙතිස් ලකුණින් විසිතුරු (මාත්‍රා 11)

කෙලෙසුන් කෙරෙන් දුරු (මාත්‍රා 09)

වඳිම් මුණි උතුමන් තිලෝගුරු (මාත්‍රා 14)

සාමාන්‍ය කවියක මාත්‍රා ගොනු වන ආකාරය පිළිබඳව එසේ සරල උදාහරණ දෙකක් මඟින් දැක්වුවද සෙත් කවි සම්බන්ධ තත්ත්වය ඊට වඩා බොහෝ ගැඹුරුය. සෙත් කවියක සමස්තය ගොනු වී අවසන් වන විට එහි අවශ්‍ය ස්ථානවල යොදා ඇති මාත්‍රා හා නිර්මාණය කොට ඇති ගණ අනුව සෙත් කවියෙන් ලැබෙන ප්‍රයෝජනද එකිනෙකට වෙනස් වේ. ධෛර්ය වැඩීම, සියලු යස ඉසුරු ලැබීම, දීර්ඝායුෂ ලැබීම ආදිය සුබ ගණ සහිත සෙත් කවි ගායනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල රාශියක් අතුරින් කීපයකි.

සෙත් කවි මඟින් දෙවිවරුන්ගෙන් විවිධ ඉල්ලීම් සිදු කිරීමට බැතිමතුන් පුරුදු වී ඇති බව දැකිය හැකිය. ඒ අතරින් ග්‍රහ අපලවලින් ඇති වන බලපෑම් අවම කර ගැනීම ප්‍රධාන කාරණයක් වේ. ඊට අමතරව ලෙඩ දුක් සුව කර දෙන ලෙස ඉල්ලා සිටීමද දැකිය හැකිය. වෙළෙඳ ව්‍යාපාර දියුණු කර ගැනීම, විභාග ජයග්‍රහණ අදියට දෙවි පිහිට පැතීමද සෙත් කවි මාර්ගයෙන් සිදු කෙරේ.

වස් කවි සඳහා සුදුසු ගණ යොදා ගනිමින් රචනා කරන වස් කවිවලින් ලෙඩදුක් ඇති කිරීම, පිස්සු වැට්ටවීම, ඉබාගාතේ ඇවිද්දවීම, විවිධ විනාශයන් ඇති කිරීම හෝ මරණයට පත් කිරීම සිදු කර දෙන ලෙස ඉල්ලා සිටී. මේ අනුව බලන විට මාත්‍රා සුසංයෝගය මත නිර්මාණය කරනු ලබන ගණ ඔස්සේ සෙත් කවි හෝ වස් කවි මඟින් බොහෝ දෑ සිදු කළ හැකි බව පෙනේ.

ජ්‍යොතිර්වේදී,

විශ්‍රාමලත් පාඨශාලාචාර්ය

අසෝක විජයසේකර

Comments