සූඩානයේ සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ මෙහෙයුම | සිළුමිණ

සූඩානයේ සිටි ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ මෙහෙයුම

සූඩානයේ අගනුවර වත්මන් තත්ත්වය

රුසියන් යුක්රේන් ගැටුම්හි උණුසුම පවතිද්දීම අපට තවත් ගැටුමක ප්‍රතිඵලයක් අත්විඳින්නට සිදු විය. ඒ සූඩානයේ අගනුවර වන කාර්ටූම් ඇතුළු එරට ප්‍රධාන නගර කිහිපයක ඇති වූ යුද ගැටුම් තත්ත්වයයි. රටේ පාලනය සම්බන්ධව හමුදා නායකත්වය තුළ ඇති බල අරගලය මේ තත්ත්වයට හේතු සාධක විය.

මේ බලඅරගලයේ ආරම්භය වසර 2019 දක්වා දිව යයි. ඒ දශක තුනක් පමණ සූඩානය පාලනය කළ ජනාධිපති ඕමාර් අල්-බෂීර් බලයෙන් පහ කිරීමට කළ හමුදා කුමන්ත්‍රණයත් සමඟය. ඕමාර් අල්-බෂීර්ගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලමින් 2019 වසරේ දැවැන්ත විරෝධතා ඇති වූ අතර, එය අවසන් වූයේ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු නෙරපා හැරීමෙන් පසුවය. එහෙත් ඕමාර් අල්-බෂීර්ගේ පාලන සමයේදීම එනම්, 2013 වසරේ සිටම රහසිගතව රැපිඩ් සපෝර්ට් ෆෝසස් (RSF) නමින් සන්නද්ධ හමුදා කණ්ඩායමක් බිහිව තිබුණි.

2019 වසරේ ජූනි මාසයේදී විරෝධතාකරුවන් 120කට වැඩි පිරිසක් සමූල ඝාතනය කිරීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ සන්නද්ධ කණ්ඩායමට චෝදනා එල්ල වී තිබුණි.

ජනතාව ඉල්ලා සිටියේ සූඩාන පාලනයට ප්‍රජාතන්ත්‍රවාදී සැලැස්මකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ හමුදා සිවිල් රජයක් පිහිටුවනු ලැබූව ද තවත් කුමන්ත්‍රණයකින් එය 2021 වසරේ ඔක්තෝම්බර් මාසයේදී කොවිඩ් 19 වසංගතය අස්සේම පෙරළා දමන ලදී.

එම කුමන්ත්‍රණයෙන් පසුව සූඩානය ජෙනරාල්වරුන්ගේ කවුන්සිලයක් විසින් පාලනය කළ අතර, රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ත්‍රිවිධ හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් ය. ඔහුගේ නියෝජ්‍ය හමුදාපති ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ අප පෙර සඳහන් කළ ආර්. එස්. එෆ්. නායකයා විය. මේ දෙදෙනා අතර ගැටුම් උග්‍ර වූ අතර, ඒ ගැටුම් සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ හමුදා සාමාජිකයන් 100,000 කින් සමන්විත ආධාරක බලකායක් හමුදාවට ඇතුළත් කිරීමේ සැලසුමත් පසුව නව හමුදාවට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න ගැනයි. එයට එකඟත්වයක් නොලැබුණු අතර, අවසානයේ නියෝජ්‍ය හමුදාපති ජෙනරල් මොහොමඩ් හම්දාන් දගලෝ විසින් ආර්. එස්.එෆ්. සාමාජිකයන් රට පුරා යෙදවීමත් සමඟ රටේ රාජ්‍ය හමුදාව එය තමන්ට කළ අවමානයක් හා තර්ජනයක් ලෙස සලකන්නට විය. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණ ද එය සමථයකට පත් නොවීය. පසුව සිදු කළ වෙඩි තැබීමක් නිසා ගැටුම් හටගත් අතර, වෙඩි තැබීම කළේ කුමන පාර්ශ්වයක් ද යන්න ගැන වාර්තා නොවුණි.

මේ තත්ත්වය දිගටම පැවතුනහොත් සූඩානය බෙදී ගොස් එරට අස්ථාවර විය හැකි බවට ලෝක දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එසේම සූඩානයේ පදිංචි විදේශිකයන්ට මේ නිසා දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ශ්‍රී ලාංකිකයන් ද නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ලෙසින් සූඩානයේ රැඳී සිටින හෙයින් ඔවුන්ට ද මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු වනු ඇත. සූඩානයේ සටන් ඇරැඹීමත් සමඟම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පියවර ගන්නා ලදී.

ඒ අනුව සූඩානයේ රැකියා කළ ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු පළමු කණ්ඩායම ලෙසින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලදී. ඒ සවුදි අරාබි රජයේ සහයෝගයත් සමඟිනි.

එසේ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම මෙරටට රැගෙන ආ අතර, ඒ සියලු දෙනාම මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා පිණිස ගිය විගමනිකයන්ය.

යුද ගැටුම් ආරම්භ වීමත් සමඟම ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම් කටයුතු වෙනුවෙන් සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා විසින් පියවර ගෙන තිබුණි.

‘‘ යුද ගැටුම් ඇති වී සැණින් අප සවුදි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා ශ්‍රී ලාංකිකයන් සූඩානයේ සිට ආරක්ෂිතව ගෙන්වා දෙන ලෙස. ඔවුන් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වුණා. ඒ අනුව පෝට් සූඩාන් සිට සවුදි අරාබියේ ජෙඩා දක්වා ශ්‍රී ලාංකිකයන් ගෙන ඒමේ කටයුත්ත සවුදි රජය විසින් සිදු කළා. ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා ඔවුන් කටයුතු කළා. ඒ ගැන අපේ ප්‍රසාදය ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සම්පූර්ණ වියදම් සවුදි රජය විසින් දැරුවේ. ඇතැම් අයගේ ගමන් බලපත්‍ර පවා තිබුණේ නැහැ. එවන් තත්ත්වයක් යටතේ වුණත් ඔවුන් කළ ඒ කාර්යය අප ඉහළින්ම අගය කරනවා. ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමේ කාර්යය සඳහා ඊජිප්තු රජයෙනුත් අපට සහාය ලබා දුන්නා. අප ඉන්දියාවෙනුත් මේ සම්බන්ධව ඉල්ලීමක් කළා.

අපගේ සංගණනයට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 60 දෙනකු පමණ සූඩානයේ රැකියා කරනවා. ඒ වගේම අනවසර සංක්‍රමණිකයන් ලෙස පැමිණි අයත් ඉන්නවා. ඒ අය සම්බන්ධ අපට තොරතුරු ලබා ගන්න බැහැ. කොහොම වුණත් මේ මුදා ගැනීමේ මෙහෙයුම් අවශ්‍ය පරිදි සිදු කරන්නට අප කටයුතු කරනවා."

මෙරටට පැමිණි පළමු කණ්ඩායමේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කිහිප දෙනෙකු විදේශ නාලිකාවකට තොරතුරු ලබා දී තිබිණි. ඔවුන් අතුරින් සුඩානයේ, කාර්ටුම් හි අල් සලාම් හෝටලයේ රැකියාවක නිරතව සිටි අශෝක ගුණරත්න විදේශීය නාලිකාවකට ප්‍රකාශ කර තිබුණේ භාර්යාව හා දියණිය සමඟ මෙරටට පැමිණීම තමන් මුහුණ දුන් භයායක අත්දැකීමක් බවයි.

‘‘අප්‍රේල් 15 වෙනිදා එක පාරටම යුද්ධය ඇති වුණා. රජයේ හමුදාවයි ආර්.එෆ්.එස්. සංවිධානයයි ගහගන්නකොට අපි ඒ ගැටුමට මැදිවෙච්ච භූමියක හිටියෙ. මෝටාර් උණ්ඩ කෑලිත් අපි හිටපු තැන්වල වැටිලා තිබුණා. නමුත් අපට කරදරයක් වුණේ නැහැ. සාමාන්‍ය ජනතාවටත් ලොකු බලපෑමක් තිබුණෙ නැහැ. හෝටල් කාර්ය මණ්ඩලය 150ක් හා නවාතැන් ගත් අය 200ක් විතර හිටියා. අප්‍රේල් 17 වෙනකොට අපට විදුලිය නැති වුණා. පසුව වතුරත් නැති වුණා. අමුත්තන් ක්‍රමයෙන් ඉවත් කරන්න වුණා. සමහර රටවල්වලින් ඒ අය ඉවත් කර ගත්තා. ඒ වන කොටත් ඊජිප්තුවේ කයිරෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සූඩානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවට උපදෙස් ලැබිලා තිබුණා ඉක්මනින් ඉවත් වෙන්න කියලා.

අපට පෝට් සුඩාන් දක්වා යන ලෙසත් එහිදී ඉන්දීය සහාය ලැබෙන බවත් දැනුම් දී තිබුණා. මම අපේ රටේ අයත් සම්බන්ධ කරගෙන ඒ විදිහට පෝට් සූඩාන්වලට ගියා. බස් එකට එක් අයෙකුට ඩොලර් 300ක් විතර ගෙවන්න වුණා. මඟදී හමුදා දෙකේම ආරක්ෂක මුරපොළවලින් පරීක්ෂා කළා. කයිරෝවල ලංකාවේ තානාපති කාර්යාලයෙන් අපි ගැන සොයා බැලුවා. පෝට් සුඩාන්වලට ගියාට පස්සේ එහෙදි අපි සම්බන්ධ වෙන්න ඕන අයගේ විස්තර ඇතුළු සියලු විස්තර ලබා දුන්නා.

පෝට් සුඩාන්වල තිබුණු පහසුකම් මදි. ඉස්කෝලයක් තමයි නවාතැන් ගන්න දීලා තිබුණේ. වැසිකිළි පහසුකම් පවා හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. පසුව අප එහි හෝටලයක නවාතැන් ගත්තා. ඉන්දියානු තානාපති කාර්යාලයෙන් අපට පහසුකම් සලසනවා කිව්වත් ඉන්දීය ජාතිකයන් වැඩි නිසා අපට දින 3ක් එහි ඉන්න වුණා. ඒ අතරේ අපට දැන ගන්න ලැබුණා සවුදි රජයෙන් මුදා ගැනීමේ මෙහෙයුමක් කරනවා කියලා. පසුව ඒ යටතේ එහි පැමිණි තවත් ලාංකිකයන් 11 දෙනෙක් එක්ක අප පිටත් වුණා.

ඊට පසුවදා පෝට් සුඩාන්වලට එනවා කියලා. මම ඒ වෙලාවේදී එම්බසි එකට කිව්වා ඉන්දියන් එම්බසි අපට පෝට් සුඩාන්වලින් පිටවෙන්න නෞකාවක් සවුදි රජයෙන් ලබා දුන්නා. පැය 24ක් යාත්‍රා කරලා සෞදියේ ජෙඩාවලට ආවා. එහිදී සවුදි රජයෙන්ම ආපු සියලු දෙනාට හෝටල් පහසුකම් ලබා දුන්නා. ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇවිල්ලා සොයා බැලුවා. භාර්යාවටත් දුවටත් ටිකක් අපහසු තත්ත්වයක් තිබුණු නිසා මම පෞද්ගලික වියදමින් ගුවන් ප්‍රවේශපත් වෙන්කර ගත්තා."

පෝට් සුඩාන් නගරයේ සේවය කරමින් සිටි මාතර ප්‍රදේශයේ පදිංචි ශ්‍රමිකයකු පවසා තිබුණේ මහා මාර්ගයේ යෑම පවා භයානක තත්ත්වයක් එහි පැවතුණු බවයි. පසුව නවාතැන් ගෙන සිටි ස්ථානයේ හිමිකරුගේ මාර්ගයෙන් නාවික හමුදා කඳවුරකට ගිය බවත් තමන් ඇතුළු තවත් පිරිසක් පෝට් සුඩාන් හි සිට ජෙඩා දක්වා යෑමට කටයුතු කළ ද එහිදී විදෙස් ගමන් බලපත්‍ර නොතිබීම හේතුවෙන් ගැටලුවකට මුහුණ දී තිබිණ. විදෙස් ගමන් බලපත්‍ර නොමැති නිසා සවුදි අරාබියට යැවිය නොහැකි බව බලධාරීන් පැවසූ බවත් ඒ අනුව එහි පැය 23ක් සිටි බවත් ඔහු කීවේය. පසුව නාවික නිලධාරීන් ඒ සම්බන්ධව සවුදි රජයෙන් විමසා සිටි අවස්ථාවේදී ගමන් බලපත්‍ර නොමැතිව හෝ එම පිරිස් එවන ලෙස දන්වා ඇති අතර, ඒ අනුව නෞකාවෙන් ජෙඩා දක්වා පැමිණි ඔවුන් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. මේ වන විටත් සූඩානයේ උණුසුම් තත්ත්වයක් පවතී. රටක ඇතිවන යුද ගැටුම් සමස්ත ලෝකයටම බලපාන බවට මෙයින් මැනවින් පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ ද එල්ටීටීඊ යුද සමයේ පැවතුණේ මෙවන් තත්ත්වයකි. එවැනි තත්ත්වයකට පත් නොවී සූඩානයට ඉක්මන් සාමය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

Comments