බලාගෙනයි තත්ත්වය අවදානම් මාරාන්තික මී උණ ශීඝ්‍රයෙන් පැතිරේ | සිළුමිණ

බලාගෙනයි තත්ත්වය අවදානම් මාරාන්තික මී උණ ශීඝ්‍රයෙන් පැතිරේ

ලින් කලට විවිධ රෝග පැතිර යෑම අරුමයක් නොවුණත් එවැනි රෝග වසංගත තත්ත්වයකට පත්වීම ඛේදනීයය. මේ වන විට පවතින වර්ෂා තත්ත්වය ද ඇතැම් රෝග ව්‍යාප්තියට හේතුවක් වී ඇත. ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා මදිවාට දැන් මී උණ ද මෙරට ජනතාවට පීඩා කරමින් සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කළ පරිදි ඉකුත් අප්‍රේල් මස අවසන් වන විට මෙරටින් මී උණ රෝගීන් 2,642ක් හඳුනාගෙන තිබිණ. 

ඊට පෙර වර්ෂ හා සසඳන විට මේ වසරේ මුල් මාස හතර තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දැකගත හැකිය. මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මස දක්වා පමණක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 326ක් වාර්තා වී ඇති අතර, එයින් රෝගීන් 19ක් මිය ගොස් ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග සඳහන් කළේය.

මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති මී උණ රෝගින්ගෙන් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. ඒ සංඛ්‍යාව 410කි. මී උණ රෝගය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම වැදගත් වන්නේ රෝගීන් සහ මරණ අඩු කර ගැනීම සඳහා එවැනි දැනුම්වත් කිරීම් විශේෂයෙන් ඉවහල් වන බැවිනි.

මී උණ යනුවෙන් සුලබ ලෙස හඳුන් වන්නේ Leptospirosis රෝගී තත්ත්වයයි. නාගරික ජනතාවට මී උණ තරමක් විරල රෝගයක් වුවත් කෘෂිකාර්මික කටයුතුවල නිරත ගොවි ජනතාවට නම් එය සුලබ රෝගයකි. මෙම රෝගයට ප්‍රධාන හේතු කාරකය වන්නේ Leptospira interrogans නමැති ස්පයිරෝකීට් (spirochetes) වර්ගයට අයත් බැක්ටීරියාවකි.

මී උණ යනු සතුන් මඟින් මිනිසාට බෝවන රෝගයක් වන අතර, ලොව පුරා දක්නට ලැබෙන මෙම රෝගය බහුලව වාර්තා වන්නේ නිවර්තන සහ උපනිවර්තන රටවලිනි.

මී උණ රෝගය වාර්ෂිකව පුද්ගලයන් මිලියන 1.03 කට පමණ ආසාදනය වන බවත් මරණ 58,900 ක් පමණ සිදු වන බවත් එසේ මරණයට පත්වන වැඩි පිරිස ආර්ථික සංවර්ධනය සඳහා ක්‍රියාකාරී වයස් කාණ්ඩය වන අවුරුදු 20-49 අතර පසුවන තරුණ පිරිමින් බවත් මේ පිළිබඳ ඇති ගෝලීය සෞඛ්‍ය දත්ත වාර්තාවලින් කියැවේ.

එසේ වුවද මී උණ බොහෝදෙනාගේ අඩු අවදානයට ලක්වී ඇති රෝගයක් වීම අවාසනාවන්ත තත්ත්වයකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වසර පුරාම මී උණ රෝගය වාර්තා වුවත් මාර්තු සිට මැයි මාසය දක්වාත් ඔක්තෝබර් සිට දෙසැම්බර් මාසය දක්වාත් යම් වැඩි වීමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඊට හේතුව මෝසම් වැසි සක්‍රීය වීම සහ ගොවීන් යල සහ මහ කන්නය ලෙස කෘෂිකාර්මික කටයුතුවල නිරත වන කාලය වීමත්ය. 

මී උණ රෝගය පිළිබඳ අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උපදේශක වෛද්‍ය තුෂානි දබරේරාගෙන් විමසීමක් කළෙමු.

"මී උණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් රෝගය පතල් උණ , වෙල් උණ ලෙසත් ජනතාව අතර භාවිත වෙනවා. මිනිසාට මේ රෝගය බෝ වන්නේ මීයන්, ගවයන් සහ මී ගවයන් වැනි සතුන්ගේ

ශරීරයේ ඇති බැක්ටීරියාවක් මඟිනි. එම බැක්ටීරියාව සතුන්ගේ මුත්‍රා මඟින් ජලයට එකතු වනවා. එවැනි මුත්‍රා එකතු වන කුඹුරු, දියකඩිති, ඇළ මාර්ග, කානු, පතල්වල ජලයෙන් මිනිසාට මේ බැක්ටීරියාව ශරීරගත වීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන් රත්නපුර, ගාල්ල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක වැඩි අවදානම් ප්‍රදේශ ලෙස සැලකෙන අතර, සාමාන්‍ය‌ෙයන් වසරකට මෙරටින් රෝගීන් 6000-8000ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. මී උණ රෝගය වැලඳීමට හේතුවන බැක්ටීරියාව මිනිස් ශරීරයට ඇතුළු වන්නේ කැපීම්, සීරීම් තුවාල හෝ ඇස, මුඛය වැනි ශරීර පටල හරහායි."

බැක්ටීරියාව ශරීරගත වී දින 2-14ත් අතර කාලය තුළ රෝග ලක්ෂණ මතුවිය හැකි අතර, රෝග ලක්ෂණ ලෙස උණ, මස්පිඬු වේදනාව, ඇස් රතුවීම, හිසරදය සමඟ මුත්‍රා කහපැහැවීම, මුත්‍රා යෑම අඩු වීම, වමනය, අප්‍රාණික බව, ආමාශ හා ආන්ත්‍රයික ආබාධ මූලික වේ. මී උණ රෝගියකුගෙන් තවත් පුද්ගලයකුට බෝ නොවුණද මෙය මාරාන්තික රෝගයක් ලෙස සැලකෙන්නේ ඇයි යන්න පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ උපදේශක වෛද්‍ය තුෂානි දබරේරා මෙසේ පැහැදිලි කළාය. 

"ඊට හේතුව ශරීරයේ ඇති සියලුම ඉන්ද්‍රීය පද්ධතිවලට හානි කිරීමට මෙම රෝග කාරකයට හැකියාව තිබෙන අතර විශේෂයෙන්ම එයින් වකුගඩු, අක්මාව, පෙණහලු සහ හෘදය අකර්මණ්‍ය විය හැකියි. නිසි කලට ප්‍රතිකාර නොගතහොත් රෝගය උත්සන්න වී මරණය පවා සිදු විය හැකියි."

එක් එක් පුද්ගලයන් පෙන්වන රෝග ලක්ෂණ වෙනස් විය හැකි අතර, නිරාවරණය වන අයගෙන් ඇතැම් පුද්ගලයන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අවස්ථා ද වේ. බැක්ටීරියාවට නිරාවරණය වූවන්ගෙන් 5%-10% කට පමණ දරුණු තත්ත්වයක් ඇති විය හැකි අතර, බොහෝ විට මාරාන්තික ද විය හැකිය. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති මී උණ රෝගීන් අතර, වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. රත්නපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග වෛද්‍ය නිලධාරි, වෛද්‍ය කසුන් වීරසූරිය ඒ පිළිබඳ මෙසේ පැවසීය.

" 2022 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ තහවුරු කළ මී උණ රෝගීන් සංඛ්‍යාව 919යි. මරණ 22යි. 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 410යි, මරණ 3යි.

සාමාන්‍යයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව මී උණ රෝගීන් දහසක් පමණ වාර්තා වෙනවා. 

මේ දිනවල පවතින වර්ෂාවත් රෝගීන් සංඛ්‍යාව වැඩි වීමට එක් හේතුවක්. මී උණ රෝගය බහුල වශයෙන් වාර්තා වෙන්නේ ගොවීන් අතරෙයි. ඒ වගේම කානු, ළිං සුද්ද කරන විට, කොහිල වළවල් සුද්ද කරන විට මී උණ වැලඳීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා එවැනි කටයුතුවල යෙදෙන්නට වතුරට බහින්න පෙර ඩොක්සිසයික්ලීන් ප්‍රතිකාරය ලබා ගැනීම වැදගත්. එය ලබා ගත් රෝගීන් අතර මරණ වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කරනවා. ඒ නිසා අපි කියන්නේ ඒ උපදෙස් පිළිපදින්න කියලයි. විශේෂයෙන් ශරීරයේ තුවාල තිබෙන පුද්ගලයන් මඩ වතුරට බැසීමෙන් වළකින්න. කුඹුරට, කානු, ළිංවලට, කොහිල වළවල්වලට බහින්න සතියකට කලින් ඩොක්සිසයික්ලීන් 200mg පෙත්තක් ගන්න. මෙය සතියකට එක බැගින් සති 6ක් ගත හැකියි. ගඟකට, කුඹුරකට ගිය ඉතිහාසයක් සමඟ කෙනෙකුට උණ, හිසේ කැක්කුම, අතපය වේදනාව වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත් ඉතා වැදගත්."

එසේ කී වසංගත රෝග වෛද්‍ය නිලධාරි, වෛද්‍ය කසුන් වීරසූරිය මී උණ වැලඳීමේ අවදානම් කටයුතුවල නිරත වන පුද්ගලයන්ට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙතින් ඩොක්සිසයික්ලීන් ප්‍රතිකාරය ලබා ගත හැකි බව ද සිහිපත් කළ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ එම ඖෂධවල හිඟයක් නොමැති බව ද අවධාරණය කළේය. අවදානමට වඩා පෙර සූදානම වැදගත් බව අපිදු යළිත් අවධාරණය කරමු.

මේ වන විට මේ වසරේ මී උණ රෝගයෙන් වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

"2022 වසරේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 637ක් වාර්තා වී තිබුණා.

නමුත් මේ වසරේ මුල් මාස හතර තුළ රෝගීන් 326ක් වාර්තා වී තිබුණා. ඒ අතරින් මරණ 19ක් වාර්තා වුණා. පසුගිය වසරවලට වඩා මේ වසරේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා.

අපි ජනතාවට උපදෙස් දෙන්නේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමටයි. මී උණ වැලඳෙන සතුන්ගේ මුත්‍රා සහිත ජලය ආශ්‍රිත ස්ථානවල කෘෂිකාර්මික සහ වෙනත් කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට අපි උපදෙස් දෙනවා එවැනි තැන්වලට යන විට බූට්ස් සපත්තු පලඳින්න කියලා.

එයින් මී උණ බැක්ටීරියා සහිත ජලය පෑගීමෙන් වැළකිය හැකියි. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් නොමිලේ ලබා දෙන ප්‍රතිජීවක ඖෂධය ලබා ගැනීමත් වැදගත්. ඒ වගේම යම් පුද්ගලයකුට උණ සමඟ මී උණ රෝගයට අදාළ රෝග ලක්ෂණ මතුවී තිබෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන විට අනිවාර්යෙන්ම ඔහු කුඹුරක හෝ වෙනත් එවැනි ස්ථානයක වැඩ කළ අයෙක් නම් ඒ බව වෛද්‍යවරයාට පැවසීමෙන් ඉක්මනින් ඊට අදාළ ප්‍රතිකාර සඳහා යොමුවිය හැකියි. එය මී උණ නිසා සිදු වන මරණ වළක්වා ගැනීමට උදව්වක් වෙනවා. " එම අදහස්වලින් පැහැදිලි වන්නේ මී උණ යනු බරපතළ රෝගයක් වුවත් කල් ඇතිව රෝග විනිශ්චය කිරීම සහ ඵලදායී ප්‍රතිජීවක ඖෂධ ඉක්මනින්ම ආරම්භ කිරීමෙන් රෝග සංකූලතා ඇතිවීම සහ මාරාන්තික වීම වළක්වා ගත හැකි බවයි.

විශේෂයෙන් මී උණ වැලඳීමේ ඉහළ අවදානමක් ඇති ගොවීන් කුඹුරට බැසීමට පෙර ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් නොමිලේ බෙදා හරිනු ලබන ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම වැදගත්ය. ගංවතුර සහ නායයෑම් වැනි ආපදා අවස්ථාවන්වලදී විපතට පත් ප්‍රජාවට සහ මුදා ගැනීමේ සේවකයන් සඳහා ද රජය විසින් මී උණ වැළැක්වීම සඳහා රෝග නිවාරණ ප්‍රතිකාර සපයනු ලබයි.

කුඹුරු, වගුරුබිම්, ඇළ, කානු සහ පතල් ආශ්‍රිත රැකියාවල නියැළෙන පුද්ගලයන්ට මෙන්ම ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයන්ට ද මී උණ රෝගය වැලඳීමේ අවදානම ඉතා ඉහළ බැවින් එම අවදානම් කණ්ඩායම් රෝගය වැළැක්වීම පිළිබඳ දැනුවත් වීම අවශ්‍ය බව වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අවධාරණය කළේය.


මී උණෙන් වැළකීමට ආරක්ෂිත ක්‍රියාමාර්ග 

* මී උණ යැයි සැක කළ හැකි රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. 
* තුවාල, සීරීම් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න. නැත්නම් එම තුවාල ආවරණය කරගැනීමට කටයුතු කරන්න.
* කුඹුරු ආශ්‍රිතව වැඩ කිරීමට ප්‍රථම රෝගය වැළැක්වීමට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධය නිසිකලට නිසි මාත්‍රාවෙන් ලබා ගන්න.
* ගංවතුර තත්ත්වයකදී රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
* කුඩා දියකඩිතිවල (විශේෂයෙන් කුඹුරු අවට) මසුන් ඇල්ලීමේදී හෝ දිය නෑමෙන් පසු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

Comments