තුන්ස­රණේ බලෙන් තුන් වස­ර­කට පසු කල­එළි බහින දන්සල් සහ තොරන් | සිළුමිණ

තුන්ස­රණේ බලෙන් තුන් වස­ර­කට පසු කල­එළි බහින දන්සල් සහ තොරන්

- මෙවර කොළඹ දන්සල් 214ක්
- දොළොස් වස­රක් දින­පතා දුන්න දන්සල නැව­තුන හැටි
- ලංකාවේ පළමු තොරණ ජපා­න­යට ගෙන ගිය හැටි
- වෙසක් එකට සිර­ක­රු­වන්ට රස­කැ­විලි

කොරෝනා වසං­ග­තය නිසා අපට අහිමි වූ දේ බොහෝය. එයින් වැඩිම හානි­යක් වූයේ වෙසක් උත්ස­ව­යට යැයි සිතිය හැකිය. අපේ වෙසක් උත්ස­වයේ ජීව­මාන සාධ­ක­යන් වූ දන්සල හා තොරන යන සංකල්ප කොරෝනා වසං­ග­ත­යත් එක්කම අපෙන් ඈත්ව ගියේය. කොරෝ­නා­වෙන් පසු වස­රක් ගෙවී ගියේය. දෙකක් ගෙවී ගියේය. වසර තුනක් ද ඉක්මවූ පසු මෙවර වෙසක් උත්ස­වය අමු­තුම ප්‍රබෝ­ධ­යක් ගෙන ඇත.

වෙසක් උත්ස­වය වෙනු­වෙන් කොළඹ, හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­නය සංවි­ධා­නය කරන 'බුද්ධ රශ්මි' වෙසක් කලා­පය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් මුලින්ම ආරම්භ වූයේ පසු­ගිය තුන්වැනි බදා­දාය. රාජ්‍ය මට්ට­මින් වෙසක් උත්ස­වය ආර­ම්භය සනි­ටු­හන් කෙරුණේ එසේය. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනු­වෙන් ගාලු මුව­දොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනා­ධි­පති කාර්යාල පරි­ශ්‍රයේ මැයි 03 වැනිදා සිට 06 වැනිදා දක්වා තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සල, සීල භාවනා ඇතුළු වැඩ­ස­ට­හන් රැසක් ආරම්භ කෙරිණි.

එහි සමා­ර­ම්භය සට­හන් කර­මින් විදුලි පහන් ආලෝ­කය දැල්වීම ජනා­ධි­ප­ති­ව­රයා අතින් සිදු වූ අතර අන­තු­රුව ජනා­ධි­පති කාර්යා­ල­යීය පිය­ගැ­ට­පෙළ ඉස්ම­ත්තේදී පැවති විචි­ත්‍ර­වත් භක්ති ගීත ප්‍රසං­ගය නැර­ඹී­මට ජනා­ධි­ප­ති­ව­රයා අම­තක නොක­ළේය. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ ගංගා­රාම සීමා මාල­කයේ බුදු­පි­ළිම වහන්සේ වෙත මල් පූජා කර ආග­මික වතා­ව­ත්වල නිරත වීමෙන් අන­තු­රුව විදුලි ආලෝ­කය දල්වා "බුද්ධ රශ්මි වෙසක් කලා­පය" විවෘත කළේය.

දකුණු ආසි­යානු තානා­පති කාර්යාල හා මහ කොම­සා­රිස් කාර්යා­ල­වල දාය­ක­ත්වය සහි­තව ඉදි කෙරුණු මෙම වෙසක් කලා­පයේ බෞද්ධ උරුම නිරූ­ප­ණය වන අයු­රින් එම රට­වල් ඉදි­කර ඇති ප්‍රද­ර්ශන කුටි ඉතා ආක­ර්ෂ­ණීය විය. පාකි­ස්ථාන බෞද්ධ උරුම පිළි­බඳ ප්‍රද­ර්ශන කුටි­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ එහි තිබා තිබූ සමරු ග්‍රන්ථයේ සට­හ­නක් තබනු දැක ගැනී­මට හැකි විය.

කොවිඩ් වසං­ගත තත්ත්වය හමුවේ වසර 3ක් අඛ­ණ්ඩව කොළඹ නග­රය තුළ දන්සල් නිසි අයු­රින් පැවැ­ත්වී­මට වාතා­ව­ර­ණ­යක් නොවීම හේතු­වෙන් මෙවර වෙසක් පුන් පොහොය යෙදෙන මැයි 05 වැනිදා සිට කොළඹ නගර සීමාවේ කොළඹ 01 සිට කොළඹ 15 දක්වා දන්සල් වැඩි වැඩි­යෙන් සංවි­ධා­නය කරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි රුවන් විජ­ය­මුණි සංවි­ධා­ය­ක­ව­රු­න්ගෙන් ඉල්ලා සිටියේ මේ අත­රය. 

කොළඹ නග­රයේ දන්සැල් පැවැ­ත්වී­මට කැමැති අය කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක අබේ­රත්න හමුවී ලියා­ප­දිංචි විය යුතුව තිබුණ අතර කොළඹ නග­රයේ පව­ත්වන සිය­ලුම දන්ස­ල්වල ආහාර පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩා­යම් 6ක් යොද­වන බව ද රුවන් විජ­ය­මුණි පැව­සීය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය අසල බත් දන්සල ඇතු­ළුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේ­ශයේ දන්සල් 214ක් බ්‍රහ­ස්ප­තින්දා දහ­වල් වන විට කොළඹ මහ­න­ගර සභාවේ ලියා­ප­දිංචි වී තිබුණි. වැඩිම දන්සල් ප්‍රමා­ණ­යක් එනම් දන්සල් 123ක් ලියා­ප­දිංචි වී තිබෙන්නේ උතුරු කොළඹ වන අතර දෙවන වැඩිම දන්සල් ප්‍රමා­ණය වන 91ක් ලියා­ප­දිංචි වී තිබෙන්නේ දකුණු කොළ­ඹය.

බත් දන්සල් 127ක් ලියා­ප­දිංචි වී ඇති අතර එයින් 37ක උතුරු කොළ­ඹද 27ක් දකුණු කොළඹ ද ලියා­ප­දිංචි වී ඇත. ලියා­ප­දිංචි වී ඇති අයිස් ක්‍රීම් දන්සල් 88ක් අත­රින් 29ක් උතුරු කොළඹ පව­තින අතර දකුණු කොළ­ඹට 19ක් අයත් වේ. සීනි සම්බල් පාන් දන්සල් 48ක් ලියා­ප­දිංචි වී ඇති අතර එයින් ද වැඩිම ප්‍රමා­ණ­යක් එනම් දන්සල් 20ක්ම ලියා­ප­දිංචි වී තිබෙන්නේ උතුරු කොළඹ ප්‍රදේ­ශයේ වීම විශේ­ෂ­ත්ව­යකි.

සාමා­න්‍ය­යෙන් දන්සල් පැවැ­ත්වෙන්නේ වෙසක් දිනයේ වුවත් අපට ඊට කලින් දින බ්‍රහ­ස්ප­තින්දා සීනි සම්බල් පාන් දන්ස­ලක් දක්නට ලැබුණේ පිට­කො­ටුව නව­න­ගර ශාලාව ඉදි­රි­පිට ලංකා බැංකු­වේය. සීනි සම්බල් දන්සල ආරම්භ කෙරුණේ බ්‍රහ­ස්ප­තින්දා සවස හත­ර­ටය. ලංකා බැංකු ශාඛාව අස­ලට ගිය අපට දක්නට ලැබුණේ මනාව සැකසූ පාන් හා සීනි­ස­ම්බල් පාන් ෂොපිං උර­වල බහා සූදා­නම් කොට තිබූ අයු­රුය. වසර 15කට අධික කාල­යක සිට පැවත එන මේ දන්සල ගැන අප අසා සිටියේ එම බැංකු ශාඛාවේ කළ­ම­නා­කරු සමින්ද රාජ­ප­ක්ෂ­ගෙනි.

"පසු­ගිය කොවිඩ් කාලේ මේ දන්සල නැව­තිල තිබුණේ. අවු­රුදු තුන­කින් තමයි මේ පටන් ගත්තේ."

ඒ සම­ඟම එම ස්ථාන­යට ආවේ මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් වන විතා­නගේ හා ඩිල්ෂාන්ය. දන්ස­ලට සැකසූ ආහාර ද්‍රව්‍ය ඔවු­නගේ නිරී­ක්ෂ­ණ­යට ලක්විය. වේල්ල වීදිය පොලි­සියේ ප්‍රධා­නියා වූ අජිත් පේදුරු ආරච්චි ද දන්සල විවෘත කිරීමේ අව­ස්ථා­වට එක්විය. දන්සල ආර­ම්භ­යට පෙර දන්සලේ පෝලිම නව­න­ගර ශාලාව ද පසු­කර තිබුණි. හොඳින් හැඳ පැල­ඳ­ගත් වැද­ගත් බොහෝ­ම­යක් දෙනා එම පෝලිමේ සිටියේ අලුත් අත්දැ­කී­මක් ලබා­ග­න්නට සූදා­න­මිනි. මුලින්ම දන්ස­ලෙන් සීනි සම්බල් පාන් පාර්ස­ලය ලබා ගත්තේ සිඟිති දැරි­යකි.

"වෙසක් දන්ස­ල­කින් නොකෑ­වොත් ඇඟට ටිකක මදි වගේ. හෙට බැංකු නිවාඩු හින්ද දන්සල අද දෙන්නේ. රෑ දොළහ විතර වෙනකං මේ පෝලිම තියෙ­නවා." පෝලිමේ සිටි අයෙක් අනා­රා­ධි­ත­වම අපට පැව­සීය. මේ දැන් දන්සල් ඇත්තේ වෙසක් පොසො­න්ව­ලට පම­ණක් වුවත් වසර 12ක් පුරා පැවැ­ත්වෙන දන්ස­ලක් කොළඹ මහ රෝහල අසල පැවැ­ත්විණි. එය පැවැ­ත්වූයේ මුස්ලිම් ජාතික ව්‍යාපා­රි­ක­ය­කුගේ අනු­ග්‍රා­හ­ක­ත්ව­යෙනි. මහ රෝහ­ලට ප්‍රති­කාර, වෛද්‍ය වාර්තා හා ප්‍රති­කාර ගන්නට එන දහ­ස­කට අධික පිරි­සක් සඳහ උදෑ­සන ආහා­රය හා දිවා ආහා­රය එහිදී ලැබුණි. එහෙත් පාස්කු ප්‍රහා­ර­යෙන් පසු මෙම අනු­ග්‍රා­හ­ක­යාට විවිධ චෝදනා එල්ල වීම නිසා මෙම දන්සල නවත්වා දමන ලදී. එහෙත් මෑත­කදී එම ස්ථාන­යට යාබ­ඳව නැව­තත් මෙම දන්සල් කට­යුත්ත සංවි­ධා­නා­ත්ම­කව අරඹා තිබෙනු දක්නට ඇත.
මේ අතර වෙසක් උත්ස­වය නිමිති කොට ධර්මා­ය­ත­නා­ධි­පති පූජ්‍ය ඇල්ලේ ගුණ­වංශ හිමි­යන්ගේ සංක­ල්ප­යක් අනුව ක්‍රියා­ත්මක කෙරුණු කොළඹ ආශ්‍රිත මගී ප්‍රවා­හ­නයේ යෙදෙන ත්‍රිරෝද රථ දහ­සක බෞද්ධ කොඩි සවි කිරීම වැඩ­ස­ට­හ­නක ආර­ම්භය මැයි 03 දින අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධ­නගේ ප්‍රධා­න­ත්ව­යෙන් කොළඹ 7, ධර්මා­ය­ත­නයේ දී සිදු කෙරිණි.

මෙහිදී අද­හස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණ­වංශ හිමි­යන් මෙසේ පැව­සූහ.

"උත්ස­වය කියන වච­නය බෞද්ධ­යන් සතු වච­න­යක්. උත්ස­වය කියන වච­නය තුළ එක­තු­වීම, එකට වැඩ කිරීම, එක අර­මු­ණක සිටීම, සියලු දෙනා සතු­ටින් සිටීම යන වචන තියෙ­නවා. අපේ තිබුණේ බෞද්ධ උත්සව, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර කියලා. දැන් හුඟාක් බෞද්ධ උත්සව වැටිලා ගිහිල්ලා. ඉතුරු වෙලා තියෙන්නේ වෙසක් සහ පොසොන් විත­රයි. මේ සැර­සිලි නැතුව ගියොත් ආලෝ­ක­යක් නැහැ. අපේ වෙසක් උත්ස­වය බලන්න ජපා­නය, කොරි­යාව, තායි­ල­න්තය, මිය­න්මාර් ආදී බෞද්ධ රට­ව­ල්ව­ලින් විශාල සංචා­ර­ක­යන් පිරි­සක් ලංකා­වට පැමි­ණෙ­නවා."

වෙසක් උත්ස­වය ගැන අලුත්ම ආරං­චිය එන්නේ ඇම­රි­කාවේ ධවල මන්දි­රයේ පැත්තෙනි. වෙසක් උත්ස­ව­යක් ප්‍රථම වතා­වට ධවල මන්දි­රයේ පැවැ­ත්වී­මට පූජ්‍ය හේනේ­පොල ගුණ­ර­තන හිමි­යන්ට ඇර­යුම් ලැබී ඇති අතර උන්ව­හන්සේ වෙනු­වෙන් එම උත්ස­ව­යට වැඩම කරන්නේ ඇත්ක­ඳු­වල ශ්‍රද්ධා­ජීව හිමි­පා­ණන්ය.

බන්ධ­නා­ගා­ර­ගත වූවන්ට 'රස­කැ­විලි' දෙන ආරං­චි­යක් එන්නේ වැලි­කඩ බන්ධ­නා­ගා­රය පැත්තෙනි. ඒ අනුව බන්ධ­නා­ගා­ර­ගත වූවන් බැලී­මට එන ඥාතීන්ට, රැඳවියන්ට රස­කැ­විලි පාර්ස­ල­යක් ලබා­දී­මට අව­ස්ථාව උදාවී ඇත. එමෙන්ම සිර­ක­රු­වන් 500කට ජනා­ධි­පති සමාව මෙවර වෙසක් උත්ස­වය වෙනු­වෙන් පිරි­නැමී ඇත. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්ති­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා පැවරී ඇති බල­තල වලට අනුව අධි­ක­රණ ඇමැ­ති­ව­රයා කළ ඉල්ලී­ම­කට අනුව මෙම සමාව ලැබී ඇත. වෙසක් මංග­ල්‍ය­යට සම­ගා­මීව වැලි­කඩ බන්ධ­නා­ගාර පරි­ශ්‍රය තුළ තෙදි­නක වෙසක් කලා­ප­යක් පැවැ­ත්වී­මට බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන තිබුණි.

"අවිදු අඳුර දුර­ලමු සිපිරි වෙසක් සම­රමු" යන තේමාව මුල් කර ගනි­මින් පැවැ­ත්වෙන මෙම වෙසක් කලා­පය මෙම 6 දින සිට 7 දින දක්වා පැවැ­ත්වෙන අතර මෙම ප්‍රද­ර්ශ­නය බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ හා රැඳ­වූ­වන්ගේ මූලි­ක­ත්ව­යෙන් සිදු කෙරෙයි.

මෙම වෙසක් කලා­පය තුළ දර්ශ­නීය පහන් කූඩු, බැති ගී, දන්සල්, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩ­ස­ට­හන් රැසක් ක්‍රියාත්ම කිරී­මට කට­යුතු යොදා තිබුණි. මෙම වෙසක් කලා­පය වැලි­කඩ බන්ධ­නා­ගා­රය ඉදි­රි­පිට කිලෝ මීටර් භාග­යක් පුරා ප්‍රද­ර්ශ­නය කෙරෙන අතර එය නැර­ඹීම සඳහා මහ­ජ­න­තා­වට අව­ස්ථාව උදා කර දී තිබීම විශේ­ෂ­ත්ව­යකි.

වෙසක් දිනය ජාත්‍ය­න්තර නිවාඩු දින­යක් බවට පත්ක­ර­න්නට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩ­ල­යට යෝජනා කළේ එවක විදේශ ඇමැ­ති­ව­රයා වූ ලක්ෂ්මන් කදි­ර­ගා­මර්ය. බුදුන්ගේ ශ්‍රී සද්ධ­ර්මය ගැන අසී­මිත ගෞර­ව­යක් තිබූ කදි­ර­ගා­මර් නම් ද්‍රවිඩ ජාති­කයා 2005 වස­රේ­දීම ද්‍රවිඩ ත්‍රස්ත­වා­දීන්ගේ ස්නයි­ෆර් ප්‍රහා­ර­ය­කින් ජීවි­ත­ක්ෂ­යට පත්වීම දෛවෝ­ප­ගත සිදු­වී­මක් විය. වෙසක් උත්ස­ව­යත් සමඟ කිය­වෙන තවත් අත්‍ය­වශ්‍ය අංග­යක් වන්නේ තොර­ණයි.

කොරෝනා උව­දු­රට පෙරා­තුව පෑලි­ය­ගොඩ, නව­ලෝක, කිරි­බ­ත්ගොඩ, ගංගා­රාම, කොස­ගස් හංදිය, රාගම, පිට­කො­ටුව, එළ­වළු මාකට්, බොරැල්ල, බෞද්ධා­ලෝක මාවත, ගාලු­මු­ව­දොර, නුගේ­ගොඩ, මහ­ර­ගම, හෝමා­ගම ආදී ප්‍රදේ­ශ­වල පවා තොරන් දැක­ගත හැකි විය. එහෙත් මෙවර කොළඹ තොරන් දැක­ගත හැකිව ඇත්තේ දෙම­ට­ගොඩ හා තොට­ල­ඟය. මෙම තොරන් ඉදි­කි­රීම් දක්නට නොමැ­ති­වී­මට ප්‍රධාන හේතූන් ලෙස සංවි­ධා­ය­ක­යන් දක්වා ඇත්තේ විදු­ලි­බිල හා විදුලි බුබුළු, ෆ්ලයි­වුඩ්, වයර්, චිත්‍ර ශිල්පී ගාස්තු හා පුව­ක්ගස් හා යකඩ බාර් කුලී ගාස්තු ඉහළ යෑමය. මෙවර කොළඹ තොරන් ඇත්තේ තොට­ළඟ හා දෙම­ට­ගොඩ පමණි.

තොරන් ඉති­හා­සය පිරි­ක්සද්දී පෙනෙන්නේ ලංකාවේ මුල්ම වෙසක් තොරණ ඉදි­වන්නේ 1955 දී තොට­ළඟ බවය. උසින් අඩි 85ක් පමණ වූ මේ තොරණ නිර්මා­ප­කයා නාග­ල­ගම් වීදියේ ප්‍රකට ව්‍යාපා­රි­ක­යකු වූ විල්බට් පෙරේරා යි. තොර­ණට තේමාව වූයේ මහා භද්‍ර­කල්ප පුවත යි. වයස අවු­රුදු 12ක් පමණ විට කොල්වින් පීරිස් ඇතුළු කොලු ගැට­වුන් පිරි­ස­කගේ කුඩා කුඩා සිතු­වම් තොර­ණක් දැකී­මෙ­නුයි විල්බට්ට තොට­ලඟ තොරණ කිරී­මට සිත් පහළ වී තිබෙන්නේ.

විදුලි බුබුළු 25000කින් අලං­කාර වූ මෙම තොර­ණට රුපි­යල් 7500/-ක් එකල වැය වී තිබේ. මුළු රටට ම විදු­ලිය නැති කුප්පි ලාම්පු එළි­යට හුරු ඒ කාලේ ජෙන­රේ­ට­ර්ව­ලින් තොර­ණට විදු­ලිය සප­යා­ගෙන තිබේ. විල්බට් පෙරේ­රාගේ එක් පුතකු වන්නේ අනුර පෙරේ­රාය. ඔහු මේ තොරන් ඉති­හා­සය හාරා අවු­ස්සන්නේ මෙසේය.

"මුල්ම තොර­ණට පුවක් ගස් දෙතුන් සිය­යක් ඒ සඳහා අව­ශ්‍යයි කියලා දැන ගත්තට පස්සේ මේ පළාතේ එච්චර පුවක් ගස් නැති හින්දා ඒවා යටි­ය­න්තොට, රුව­න්වැල්ල පැත්තෙන් පුවක් ගස් කැලණි ගඟ දිගේ තමයි තොට­ළ­ඟට ගෙනත් තියෙන්නේ. ඒක ලංකාවේ මුල්ම වරට ඉදි කළ දැවැ­න්තම තොරණ හින්දා දස දහස් ගණ­නක පිරි­සක් මේක නර­ඹන්න ඇවිත් තියෙ­නව.

අග­මැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩා­ර­නා­යක අතින් තමයි එදා තොරණ විවෘත වෙලා තියෙන්නේ. ඒ අව­ස්ථාව වඩාත් අලං­කාර කරන්න ගුව­නින් මල් පවා ඉහළ තියෙ­නවා.

සති ගණ­නක් ප්‍රද­ර්ශ­නය කෙරුණු මේ අරුම පුදුම තොරණ නර­ඹ­න්නට ලක්දිව පුරා ජනයා තොට­ළ­ඟට ඇවිත් තිබේ. එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාති­ක­යන් පිරි­ස­කගේ ඉල්ලීම මත මුළු තොරණ ම නැවත ජපන් රටෙත් ප්‍රද­ර්ශ­න­යට රැගෙන ගොස් තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ලංකාවේ පැර­ණි­තම තොරණ ලෙස තොට­ළඟ තොරණ ඉති­හා­ස­ගත වුවත් 1971 කැරැල්ල හා 2019 පාස්කු ප්‍රහා­රය හා කොරෝනා වසං­ග­තය හේතු­වෙන් තොට­ළඟ තොරණ එම වස­ර­ව­ලදී ඉදිවී නැත.
මෙරට තොරන් කර්මා­න්තය දේශ­පා­ලන ව්‍යාපෘති සඳහා ද යොදා­ගත් ඉති­හා­ස­යක් මෙරට තිබුණ බවට බොහෝ­ දෙ­නාට අම­ත­කය. ප්‍රේම­දා­ස අග­මැති වූ යුගයේ නිද­හස් දිනය සැම­රෙන පෙබ­ර­වාරි 4 වැනි දින­යට පෙර දින­යක මෙවැනි ප්‍රකා­ශ­යක් කොට ඇත.

"අපිට ආරං­චියි නිද­හස් දින­යට ජාතික වීරයෝ ඉන්න තොරන් කොළඹ හදන්න යන­වයි කියලා."
සුපු­රුදු පරිදි නිද­හස් දින­යේදී ජාතික වීර­යන්ගේ රූප සහිත තොරන් විවෘත විය. ප්‍රේම­දාස අග­මැ­ති­ව­ර­යාගේ යටතේ එව­කට තිබූ ගොඩ­නැ­ඟිලි ද්‍රව්‍ය සංස්ථාව ගොඩ­නැඟූ තොරනේ ජාතික වීර­යකු ලෙස ප්‍රේම­දාස රුවත් චිත්‍ර­ණය කොට තිබුණි.

එමෙන්ම විජය කුමා­ර­තුංග ඝාත­නය වූ වසරේ වෙසක් උත්ස­ව­යේදී විජය වෙනු­වෙන් තොර­ණක් විජය වෙඩි කෑ පොල්හේ­න්ගොඩ නිවස ඉදි­රි­පිට ගොඩ­නැ­ඟුණේ පළාත් සභා ඡන්ද උණු­සුම මධ්‍ය­යේය.
එක්සත් සමා­ජ­වාදී පක්ෂයේ පක්ෂ ලාංඡ­නය වූයේ මැටි පහ­නය. තොරනේ මැටි පහන් සහ ඡන්ද කති­රය නිවි නිවී පත්තු වූයේ බල්බ් වලිනි. එම තොරනේ විජය බුදුන් වඳින කට­වුට් එකක් ද විය.
ඩිජි­ටල් මුද්‍ර­ණය ප්‍රච­ලිත වීමත් සමඟ තව­මත් අපේ තොරනේ 'ගති­යක්' ඇත්තේ සිත්ත­රකු එම තොරණ චිත්‍ර­ණය කළොත් පමණි. තොරන් නිර්මා­ණ­යෙන්ම ජීවත් වූ පිරි­සක් කොරෝ­නා­වට පෙර මෙරට සිටි බව ඉති­හා­ස­යට පම­ණක් එක්වී හමා­රය.

ජනක් ප්‍රේම­ලාල්ගේ 'අබු­ද්දස්ස කෝලම' නමැති නාට්‍ය­යට පාදක වී ඇත්තේ තොර­ණක් පිටු­පස ඇති නෙත නොගැ­ටුණ කතා­න්ත­ර­යයි. තොරනේ කතාව විරි­ඳු­වෙන් හෝ කතාං­ග­යක් ලෙස කොටු­වෙන් කොටුව විස්තර කිරීම විචි­ත්‍ර­වත් අංග­යකි. එමෙන්ම තොර­ණට ආධාර කරන බැති­ම­තුන්ට පැදි පෙළ­කින් ආශි­ර්වාද කිරීම ද ජය­ටම සිදු කෙරෙ­න්නෙකි. අබු­ද්දස්ස කෝලම නාට්‍යයේ එවැනි බැති­ම­තු­නට තුති පුද කරන්නේ මෙසේය.

ඒ.කේ. නෝමිස් සිඤ්ඤෝ
සත පන­හක් දෙන්ඤෝ
ඒ පින් අර­ගන්ඤෝ
නිවන් පුරට යන්ඤෝ

අපිට මේ තොරන් දැක ගත හැකි වන්නේ වෙසක් එකට පම­ණය. එහෙත් 1875 සිට දැක­ගත හැකි තොර­ණක් අම්බ­ල­න්ගොඩ ඇත. එහෙත් මෙම තොරණ නිර්මා­ණය කොට අව­සන් කොට ඇත්තේ 1916දී යයි සැලකේ.

අම්බ­ල­න්ගොඩ මහ පන්සල හෙවත් සුන­න්දා­රාම මහා විහා­රයේ ප්‍රධාන පිවි­සුම් දොර­ටුවේ ඇති ඝණ්ටාර තොරණ ද ගෞතම බුදුන්ගේ ශාස­නය වෙනු­වෙන් ඉදි වූ සුවි­ශේෂි නිර්මා­ණ­යක් ලෙස සඳ­හන් කළ හැකිය. ප්‍රධාන වශ­යෙන්ම මෙම ඝණ්ටාර තොරණ සුවි­ශේෂි නිර්මා­ණ­යක් වන්නේ එහි ප්‍රමා­ණය හේතු­වෙනි.

මහල් 4කින් යුතු මෙම ඝණ්ටාර තොරණ උසින් අඩි 75ක් කුත්, පළ­ලින් අඩි 40 කිනුත් යුක්ත වේ. එහි සවි­කර ඇති ඝණ්ටාරය හොණ්ඩර 5ක බර­කින් යුක්ත බැවින් මෙම ඝණ්ටාර තොරණ ලංකාවේ ඇති විශා­ල­තම ඝණ්ටාර තොරණ බව සැක හැර සඳ­හන් කළ හැකිය.

අප දන්නා මෑත කාලීන තොර­න්වල කොටු­වෙන් කොටුව විස්තර කෙරෙ­න්නාක් මෙන් මේ ඝණ්ටාර තොරණ ගැන ඇති විස්ත­ර­යක් මෙසේය.

බඹරේ කැර­කෙන විල­සින් කැර­කෙයි
මැසින් එකක් තුන්වෙනා මහ ලේ
විතරේ නැති එම ලෝකඩ ගුලි­යක්
දුනු­පිට කැර­කෙ­නවා ලක ලේ
අතරේ පැන පැන එක එක දුන්නෙක්
උඩ­ග­න්ටා­රෙට ගහන ක ලේ
පැතිරේ නාදය අම්බ­ල­න්ගොඩ
සුන­න්දා­රාමේ වෙහෙර තු ලේ

කෙසේ වෙතත් අව­සා­නයේ අපට පැව­සිය හැක්කේ මෙවර වෙසක් උත්ස­වය වසර තුන­කට පසු අමු­තුම ප්‍රබෝ­ධ­ය­කින් සැම­රෙන බවය. ගිය­වර වෙසක් සමයේ ගෑස් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ සිටි බැති­ම­තුන්ට ඒ වෙනු­වට මෙවර තමන්ට රිසිසේ තොරන් පෝලිමේ මෙන්ම දන්සල් පෝලිමේ බැති සිතින් ගත කිරී­මට මෙවර අව­ස්ථාව උදාවී ඇත.

Comments