ජයටම වැනසෙන කැබිලිත්ත | Page 2 | සිළුමිණ

ජයටම වැනසෙන කැබිලිත්ත

වගා­වන්ට රක්ෂි­තයේ බිම් එළි පෙහෙළි කර ඇති අයුරු

කැබිලිත්ත ගැන කතා කරන විට අපේ සිහියට නැඟෙන්නේ කතරගම දෙවියන් ජීවමානව වැඩ වසතැයි විස්වාස කරමින් සාමාන්‍ය භක්තිකයාගේ සිට කෝටි ප්‍රකෝටිපතියන්, දේශපාලන ප්‍රභුන් මෙන්ම ව්‍යාපාරිකයෝද තම අරමුණු ඉටු කර ගන්නට බාරහාර වීමට මහ වන මැද පිහිටි කැබිලිත්ත දේවාලයට යන අතිදුෂ්කර ගමනය. කැබිලිත්ත දේවාලයට උරුම වූ මහ හාස්කම් ඇති සියඹලා ගස අද නැත. පසුගිය කාලයේ කැබිලිත්ත ගැන අසන්නට ලැබුණේ බැතිමතුන් නිසා දේවාලය අවට සිදුවන පරිසර හානියකි. නමුත් ඒ සියල්ල පරයමින් මේ පූජනීය වූ වන සංරක්ෂිත අඩවියේ සිදුවන පරිසර හානිය, අක්කර 25,000 ක පරිසර විනාශය පිළිබඳ බොහෝ පරිසර සංවිධාන හඬ නැඟුවේ දිගු කලක සිටය. අදවන විට වත්තේගම, කැබිලිත්ත, කොටියාගල රක්ෂිත ඉඩම්වල සිදුවෙමින් පවතින වන විනාශය අධිකරණය දක්වාද ගිය ගමනක් වී ඇත. 

පරිසර සංගම්වල චෝදනාවන්ට අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්වන වත්තේගම, කැබිලිත්ත හා කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තරවල කාලයක සිට වගා මුල්කර ගනිමින් මහා වන සංහාරයක් සිදු වූයේ ප්‍රසිද්ධියේමය. මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 5,63,900 කි. එම භූමියෙන් වනාන්තර හා තෘණ භූමිවලින් යටවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 2,96,125කි. එය දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 52%කි. හෙක්ටයාර 28,926ක් නැතහොත් අක්කර 71,537ක භූමි පුදේශයක් පුරා පැතිරුණු වත්තේගම – කැබිලිත්ත වන රක්ෂිතය විල ඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන ජල මූලාශ්‍රවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. එය ආරක්ෂිත පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශය විසින් රක්ෂිතයක් ලෙස ගැසට් කළේ 2012 නොවැම්බර් 12 වැනි දින 1784/9 දරන ගැසට් එක යටතේය.

තේක්ක, බුරුත, පලු, කළුවර, නැදුන්, වීර, මිල්ල, කෝන් වැනි ශාකවලින් පිරුණු මහ කැබිලිත්ත වනය වසර 2000න් පසු ශීඝ්‍ර වන විනාශයකට ලක් වෙමින් තිබුණි. බොහෝ පිරිස් ඇස් කන් පියා සිටියා මිස ඊට නිසි විසඳුම් ගත්තේ නැත. පසුගිය කාලයේ මෙහි ඉඩම් මහා පරිමාණයෙන් අත්පත් කර ගනිමින් බඩඉරිඟු වැනි වගා කිරීමටත් ඒ ඒ බිම් කොටස් අනවසරයෙන් බදු දීමටත් විවිධ පිරිස් කටයුතු කර තිබුණේ අනීතික ආකාරයටය. ඒ අතර විවිධ ව්‍යාපාරිකයෝ මුදල් යොදවා ප්‍රදේශයේ ගම්වැසියන් අවුස්සා ඔවුන්ට අක්කර 5- 10 ඉඩම් බෙදා දෙමින් වත්තේගම කැබිලිත්ත කොටියාගල රක්ෂිත ප්‍රදේශවල ඉඩම් ඇල්ලීමට මහා පරිමාණයෙන් ජයටම සිදු කරගෙන ගොස් තිබුණි. මේ වන විට එසේ අනවසරයෙන් අල්ලා ගෙන රක්ෂිතය තුළ වගා කළ භූමි ප්‍රමාණය අක්කර 25,000 කටත් අධිකය.

“වත්තේගම කැබ­ිලිත්ත රක්ෂිත වනාන්තරයක්. කුඹුක්ඔය, ගල්ඔය, විල ඔය රක්ෂතයට මෙය මායිම්ව පවතිනවා. වසර 2000 වෙනකම් මේ රක්ෂිතය කිසිදු බලපැමකින් තොරව ආරක්ෂා වී තිබුණා. නමුත් 2000 සිට 2017 වසර දක්වා මේ රක්ෂිතයේ අක්කර 25,000 ක් කපලා අහවර වෙලා තිබුණා. ඒ බඩඉරිඟු වගා කිරීම සඳහා. නමුත් මෙය අයිති වන සංරක්ෂණයට. හේන් වගාවටයි මේ ආකාරයෙන් භුමිය විනාශ කර ඇත්තේ. අක්කර 50-100 ක් අල්ලා ගත් ඉඩම් ජාවාරම්කරුවන්ද මෙහි සිටිනවා. බහුතරයක් දේශපාලන හිතවත්කම් මැද මේ ඉඩම් අල්ලා ගත්තා. මේ අල්ලා ගත් අය නැවත අක්කරය රුපියල් 5000 ගණනේ වගා කිරීමට තව අයට බද්දට දීමක් සිදු කරනවා. මේ ක්‍රමවේදයයි දිගටම මෙහි ක්‍රියාත්මක වෙමින් තිබුණේ. වන රක්ෂිතයක අක්කර 25,000 ක් විනාශ කරනකම් වන සංරක්ෂණ බලධාරින් නිහඬව බලා සිටියාද? නමුත් ජනතාව පවසන්නේ යම් යම් බලධාරින් විසින් මුදල් ලබා ගනිමින් මේ වගාකිරීම් කරගෙන යාමට අවසර දී ඇති බවයි. මේ වන විට වත්මන් නිලධාරීන්ට මේ වන සංරක්ෂිත ප්‍රදේශය ආරක්ෂා කරන්නට විශාල වෙහෙසක් ගැනීමට සිදු වෙලා තියෙනවා. පසුගිය කාලයේ මේ පිළිබඳව දැනුම් දුන්නත් එය නතර කිරීමට කිසිවක් සිදුවී නැහැ. මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තියෙනවා. වන සංරක්ෂණ ආඥා පනත යටතේ ගැසට් කර ඇති වනාන්තරයක් විනාශ කිරීම නීති විරෝධීයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම රක්ෂිත ඉඩම් යම් නිලධාරීන් විසින් සෑම වසරකම මාස් කන්නයේදී අක්කරයට රුපියල් 5000 බැගින් ගෙන ඒවා අනවසර හේන් ගොවියන්ට වගා කිරීමට අවසර දුන් බවට අනවසර හේන් ගොවියන් පවසා සිටිනවා. එම චෝදනාව සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුනිවත රකිනවා. වත්තේගම කැබිලිත්ත රක්ෂිතයෙන් අනවසරයෙන් විනාශ කර දැමූ වනාන්තර නැවත ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් නැවත වන වගා ඇති කිරීමේ වැඩසටහනක් මේ වන විට අරඹා තියෙනවා. අද වන විට මිලියන 40ක ට අධික රජයේ මුදල් මේ සඳහා වැය කිරීමට සිදුවී තියෙනවා” ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුම්වත් කිරීමේ නිලධාරී ජනක විතානගේය . 

මෙම වනාන්තර පද්ධතිය විනාශ කිරීම හේතුවෙන් සිදු වූ ජෛව විවිධත්ව හානියට වගකිවයුත්තෝ කවරහුද? එම වන විනාශය හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක තුළ නිර්මාණය වූ අලි- මිනිස් ගැටුමට ඔවුන් වගකිව යුතු නොවේද ? සංස්කෘතික වටිනාකමක් සහිත කැබිලිත්ත දේවාලය මෙන්ම විල ඔය, ගල ඔය පෝෂක කලාපයට අයත් මෙම වනාන්තරය විනාශ කිරීමේ වගකීම භාර ගන්නෝ කවරහුද? පරිසර සංගම් චෝදනා කරන්නේ වන නිලධාරීන්ගේ වගකීම වනාන්තර සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම මිස ඒවා විනාශ කිරීමට නොවන බවයි. මෙසේ හෙයින් පරිසර යුක්ති කේන්ද්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දැනුම්වත් කර ඇත්තේ මෙලෙස රාජකාරිය පැහැර හරින ලද නිලධාරීන් හඳුනා ගෙන එවැනි නිලධාරීන්ට විරුද්ධ නිසි විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

“මේ රක්ෂිතයට යාබදව ඊට පිටින් හෙක්ටයාර 32, 000 වැඩි වනාන්තරයක් තියෙනවා. මේ ඉඩම තමයි මුල සිට සුද්ද කරමින් පැමිණියේ. 2010 වසර වන විට මෙහි අක්කර 32,000 ක් පමණ එළිපෙහෙළි කර විනාශ කර තිබුණා. එය එතැනින් නොනැවතී දිගින් දිගටම විනාශ කරමින් රක්ෂිතය තුළටත් විනාශ කරමින් පැමිණියා. මේ නිසා ආරක්ෂිත පියවරක් ලෙස වහා වත්තේගම කැබිලිත්ත රක්ෂිතයක් ලෙස 2012 ගැසට් කළා. රක්ෂිතයක් බවට ප්‍රකාශ කළත් දැන් මේ තුළත් අක්කර 25,000 ක් විනාශ වෙලා තියෙනවා. මේ විනාශය යාලට වගේම අනිකුත් පළාත්වලටත් විශාල ප්‍රශ්නයක්. ඔක්කම්පිටිය, රාත්‍රි වැව, ලියදැල්ල, දෙමෝදර දක්වා අක්කර 60,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වෙලා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙය රැක ගැනීමට නිලධාරින් පහසුකම් අඩුයි කියනවා. නමුත් එය පිළිතුරක් නෙමෙයි. නියපොත්තෙන් කඩන්න තිබුණු දෙය දැන් පොරොවෙන්වත් කපා ගන්නට බැහැ...” ඒ ස්වභා පදනමේ සාමාජිකයකු වූ සංජීව බණ්ඩාරය.

මෙම වනාන්තරයේ පාරිසරික වැදගත්කම නිසා 2021 ඔක්තෝබර් මාසයේදී කැබිලිත්ත රජයේ වන රක්ෂිතය වෙත බීජ බෝම්බ තොගයක් ද හෙළනු ලැබීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සංවිධාන කරන ලද මෙම මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අක්කර 495 ක් පමණ පෙදෙසක වන රක්ෂිතයට ඉහළින් බීජ බෝම්බ 75,000ක් හෙළා ඇත්තේ සංරක්ෂිත පියවරක් වශයෙනි. ගුවන් හමුදාව බීජ බෝම්බ ව්‍යාපෘතිය වන වගා කිරීමට කටයුතු කළ ප්‍රදේශයේ පවා එම වන වගාවන්ට හානි කිරීමට මෙම සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් අවස්ථා කිහිපයකදී කටයුතු කර තිබේ.

“ලාහුගල කුමන අතර රජයේ, වන සංරක්ෂිතයේ හා වන ජීවියේ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ මේ වන විට ජනතාව අක්‍රමවත්ව පැහැර ගෙන තියෙනවා. මෙයින් අක්කර 50,000 ක් වත්තේගම කැබිලිත්ත රක්ෂිතයට අයත් ඉඩම්. ඒ්වායේ අක්‍රමවත් ලෙස වගා කිරීම් මෙන්ම අවභාවිත කිරීම් සිදු වෙලා. මෙයින් අක්කර 25,000 ක් වන සංරක්ෂණය සඳහා වෙන් කළා. ඉතිරි අක්කර 25,000 මුදා හැරියා, අදාළ වගාකරුවන් සඳහා. නමුත් ප්‍රශ්නයකට ඇත්තේ මේ වගාකරුවෝ කවරහුද යන්නයි. ඔවුන් සියල්ල ව්‍යාපාරිකයෝ. අක්කර දෙතුන් සියය වගා කරන ගොවීන් ඉන්නවා. මෙහි තියෙන්නේ ව්‍යාපාරික මාෆියාවක්. මෙහි ගොවියො‌ ඉන්නේ 1000 ක් පමණයි. රජයේ ඉඩම් ලබාදීමේ නීතිය අනුව එක්කෙනෙකුට ලබා දිය හැක්කේ අක්කර දෙකක් පමණයි. එහෙම වුණොත් බෙදා දීමට අවශ්‍ය වන්නේ අක්කර 2000 යි. නමුත් අක්කර 2000 ක් අවශ්‍ය තැනට අක්කර 25,000 ක් බෙදා දෙන්නේ කාගේ වුවමනාවටද? මේ සියල්ල පිටුපස සිටින්නේ හිටපු බලධාරීන්. මීට අමතරව හම්බන්තොට මී හරක් පට්ටි ගෙනත් වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ මඩු හදලා මුදා හැරලා‍. කැබිලිත්තේ නැවත වන වගා කරන ව්‍යාපෘතියේදී මේ වන වගාව හරක් කනවා. ඒ් නිසා වනාන්තර බවට නැවත පත් කිරීමත් සිහිනයක් වෙලා. රජයේ ඉඩම් මේ ආකාරයෙන් කාලයක් මුළුල්ලේ අවභාවිත කළත් ඊට නිසි ක්‍රියාමාර්ග ගෙන නැහැ...” මේ චෝදනාව වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහගේය.

මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දිසා වන අඩවි කාර්යාල මෙන්ම හමුදාවේ සහාය ඇතිව මේ ප්‍රදේශ ආරක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත්තේ විවිධ බාධා හමුවේය. මේ පිළිබඳව අදහස් දක්වන මොනරාගල දිසා වන නිලධාරී චමින්ද ලියනාරච්චි පවසන්නේ 2012 නොවැම්බර් 12 වැනි දින 1784/9 දරන ගැසට් පත්‍රයට අනුව ගැසට් වූ කැබිලිත්ත රක්ෂිතය ආරක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි.

“කැලය තුළ හේන් කෙටීම දීර්ඝ කාලයක් පුරාවට සිදුවුණා. මේ තුළ ඉන්නේ ගමේ අයට වඩා ව්‍යාපාරිකයෝ. 2012 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි සීමාවක් ලකුණු කර හෙක්ටයාර් 28,926 ක් ගැසට් කළා, රක්ෂිතයක් ලෙස. මේ රක්ෂිතයේ කැලෑ නොමැති කොටස හෙක්ටයාර් 8000 ක් පමණ තියෙනවා. 2022 වසරේ හමුදාවේ සහාය ඇතිව මෙයින් හෙක්ටයාර් 1000 ක ස්වාභාවික පුනර්ජනනීය වන වගාවන් ආරම්භ කළා. 2018 වස‍රේ සිට දෙපාර්තමේන්තුව මේ රක්ෂිතයේ ඇතුළට වගා කරන්නට කිසිවකුටත් අවසර නොදීමට තීරණය කළා. ඊට පරිබාහිරින් එළිමහනේ හෙක්ටයාර් 9960 ක ගොවිතැන් භූමිය තිබුණා. මෙම ඉඩම් අදාළ අයට පවරා දීමට දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පැවරුවත් හරියට ඒ කටයුතු සිදු වුණේ නැහැ. මේ නිසා කොතරම් සීමා දැම්මත් වසරින් වසර රක්ෂිතයේ වගා කිරීමට අවසර ඉල්ලුවා. නමුත් 2021 වසරින් පසුව කිසිම කෙනකුට වගා කිරීමට රක්ෂිතය ඇතුළට යාමට අවසර නොදීමට දැඩි තීන්දුවක් ගත්තා. රක්ෂිතය තුළ ඇති ගව ගාල් ඉවත් කිරීමට පියවර ගත්තා. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් යනවා. නමුත් රක්ෂිතයට පිටින් වූ මේ ඉඩම්වලට තවමත් සාධාරණයක් ඉටු නොවීම තුළ මේ රක්ෂිතයට ඇති වී ඇත්තේ තර්ජනයක්...”

රක්ෂිතයේ ඉඩම් එලෙසම තබා ගනිමින් ඊට පරිබාහිර වූ ඉඩම්වලට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට බාර දුන්නත් තවමත් ඒවා නිසි ලෙස බෙදා දී නොමැති බව වාර්තා වෙයි. මේ නිසා වගා කන්නය ආරම්භ වීමත් සමඟ යළි යළිත් මේ ගැටලුවලට මුහුණ දෙන්නට බලධාරීන්ට සිදුවනු ඇත. රක්ෂිතයට පිටින් වූ මේ ඉඩම් බෙදාදීමේ කාර්ය හමුවේ වුවද මොනරාගල දිස්ත්‍රික් ලේකම් මෙන්ම සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් බලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ එදා නියපොත්තෙන් කැඩීමට තිබූ දේ අද පොරොවෙන්ද කපා දැමීමට නොහැකි තත්ත්වයක් උදා කිරීම නිසාවෙනි.

කෙසේ වෙතත් මේ දුෂ්කර අභියෝගයන්ට අභියෝග කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා යුද හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය එක්ව වන වගා ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ඉදිරි අනාගත සැලසුම් අනුවය.

“පසුගිය වසරේ යුද හමුදාව හා සිවිල් ආරක්ෂක බළකාය එක්ව අපි හෙක්ටයාර 1040 ක නැවත වන වගා ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉදිරි ඔක්තෝබර් මාසයේත් මේ පැළ සිටුවීම ආරම්භ කරනවා. ඒ සඳහා පරිසරයට හිතැති සිවිල් සංවිධානවලටත් අපි ආරාධනා කළා, මේ සඳහා සහභාගී වන ලෙස. මීට අමතරව වත්තේගම කැබිලිත්ත රක්ෂිතය තව දුරටත් අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. අනවසර ඉදිකිරීම්, අනවසර වගා කිරීම් මෙන්ම අනවසර ඇතුළු වීම් වළක්වා ලන්නට අපි මේ වන විට අපේ නිලධාරීන් යොදවා තියෙනවා. ඒ වගේම රක්ෂිතයෙන් පිට ඇති නොබෙදූ ඉඩම් අක්කර 25,000 මැනීම් කටයුතු අදාළ නිලධාරින් විසින් සිදු කරගෙන යනවා. අපි විශාල උත්සාහයක් ගන්නවා, මේ වත්තේගම කැබිලිත්ත රක්ෂිතය ආරක්ෂා කිරීම වෙනුවෙන්...” ඒ වන සංරක්ෂක ජෛව විවිධත්ව හා ජලාධාර සංරක්ෂක නිශාන්ත එදිරිසිංහය.

ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ ඉතා අවම වන ගහනයකි. මෙවැනි පරිසර විනාශයන් හමුවේ රටක්ම අවදි විය යුතු කාලයක් උදා වී ඇත්තේය. පසුගිය කාලයේ අපි බොහෝ පාඩම් උගෙන ගතිමු. පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම නිහඬව අත් වින්දෙමු. ලංකාව මේ වන විට ගිලෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සටනක නියැළී ඇත්තේය. එහිලා පරිසරය සුරැකීමේ අගය වැඩි වැඩි­‍ෙයන් අවධාරණය විය යුතුය.

Comments